පැය කිහිපයක් තිස්සේ එක දිගටම නවකතාව ලියූ බැවින් ආරාධ්‍යාගේ අත රිදිණ. ඇය කරමින් සිටි කාර්යය මොහොතකට නතර කළාය. නවකතාව නිමා කරන්නට තවත් ලියන්නට ඇත්තේ පිටු කිහිපයක් පමණකි. කෙතරම් වෙහෙසකාරී වුව ද අද දිනයේම මෙම කාර්යය නිමා කළ යුතු යයි සිතූ ඇය නැවතත් පෑන අතට ගත්තාය.
එක්වරම කාමරයේ දොර විවෘත විය. විහාරා කිසිදු කතා බහකින් තොරව ආරාධ්‍යාගේ කාමරයට කඩා වැදුනාය. නිවසින් පිටව යන්නට සූදානම් කර තිබූ විශාල ගමන් බෑගය කාමරයේ මුල්ලකට විසි කළ විහාරා යහන මත ඇද වැටුනාය. ආරාධ්‍යා ඇය දෙස බැලුවේ නොපහන් නෙතින් යුතුවය.
“මොකක්ද ළමයො මේකෙ තේරුම? ගමන් ගිහින් ඇවිත් මගේ ඇඳට එනවා දාඩිය පිටින්ම. ගිහින් ඔයාගේ ඇඳේ නිදාගන්නකො අනේ… අද උදේ බෙඩ් ෂීට් එක මාරු කළේ.”
විහාරාගෙන් පිළිතුරක් නොලැබිණ. ඇය ඇඳ මත වකුටු වී නිදා සිටින ආකාරය දකිද්දී ආරාධ්‍යාගේ සිතට දැනුනේ ශෝකයකි.
“පව්.”
ආරාධ්‍යාට සිතිණ.
“හොඳටම නින්ද ගිහින්.”
ආරාධ්‍යා යහන මත හිඳ ගත්තාය. විහාරා හැඳ සිටි ඩෙනිම් කලිසමේ වාටිය බෙහෙවින් කිළිටි වී තිබූ අතර යටි පතුල් වල ද කුණු තැවරී තිබිණ.
“කකුල් මෙච්චර අපිරිසිදු වෙන්නෙ කොහොමද? සපත්තු දාන්නෙ නැතිව පයින්ම ඇවිදිනවද?”
ආරාධ්‍යා විහාරාගේ උරහිසින් අල්ලා සෙලවූවාය. ඇගෙන් පිළීතුරක් නොමැති තැන ඇය විහාරා තමා සිටින දෙසට හරවා ගත්තාය. විහාරා හැඳ සිටි ටීෂර්ට් එකේ ඉදිරිපස වූ රතු පැල්ලම එහි කරන ලද මුද්‍රණයක්දැයි සිතුණද, කිසියම් සැක සහිත හැඟීමක් එක්වරම සිතට පිවිසිණ.
“නංගි.”
සැක සිතින් යුතුව ආරාධ්‍යා, එම පැල්ලම ස්පර්ෂ කර බැලුවාය.
“ලේ…”
ආරාධ්‍යාට කෑගැසිණ.
“නංගි. මොකක්ද සිද්ද වුනේ?”
විහාරා යන්තමින් දෑස් හැර බලා මඳ සිනාවක් නැගුවාය.
“හදවත බිඳී ගිහින්. ලේ ගලනවා.”
“මොකක්ද වුනේ? කතා කරනවකො.”
ආරාධ්‍යා කෑගැසුවාය. විහාරාගෙන් පිළිතුරක් නොලද්දෙන් ඇය විහාරාගේ දෙඋරහිසින් අල්ලා ඔසවන්නට උත්සාහ කළ ද, මුලින් කපා හෙලූ ගසක් මෙන් ඇය යහන මතට ඇද වැටුනාය. ගැහෙන හදින් යුතුව ආරාධ්‍යා, විහාරාගේ රුධිරයෙන් තෙත් වූ ලය මත අත තැබුවාය. ඇගේ හදවතේ ගැස්ම නතර වී තිබිණ.
“නංගී…”
ආරාධ්‍යා මහ හඬින් කෑගැසුවාය. ඒ හා සමගම ඇයට ඇහැරිණ. තමා දැක ඇත්තේ සිහිනයක් බව පසක් වුව ද, සිතට දැනෙන්නේ අසීමිත බියකි. ඇය නැගිට මේසය මත වූ වතුර වීදුරුව එක හුස්මට බීගෙන ගියාය. වේලාව එකයි විස්ස ලෙසින් ඔරලෝසුවේ සටහන් වී තිබේ. මේ මැදියම් රැයයි. වහා කාමරයෙන් පිටව ගොස් අම්මා හෝ තාත්තා ඇහැරවා තමා දුටු සිහිනය පිළිබඳව පවසන්නට ආරාධ්‍යාට සිතිණ.
“පිස්සු නැතිව නිදාගන්න ආරාධ්‍යා. කවුද හීන ගණන් ගන්නෙ?”
අම්මා නිසැකවම පවසනු ඇතැයි ඇයට සිතිණ. දවස පුරා වෙහෙස වූ තාත්තා නින්දෙන් ඇහැරවා තමා දුටු සිහිනය පිළිබඳව පැවසීමෙන් පලක් නොවන බව ආරාධ්‍යා කල්පනා කළාය. විදුලි පහන නිවා දමන්නට ආරාධ්‍යාගේ සිත තුල ඇති වූයේ බියකි. යහන මත වැතිරුණද, සිත තුළ වූ කැළඹීම පහසුවෙන් ඉවත් නොවන සෙයකි.
සැබවින්ම විහාරාට කරදරයක්දැයි ආරාධ්‍යා සිතුවාය. ඇය යන්නට ඇත්තේ කොහේද? විමසන කිසිවකට පැහැදිලි පිළිතුරක් නොදෙන විහාරා නිවසෙන් පිටව ගොස් ගෙවන ජීවිතය කවරාකාර විය හැකිද? ඇයට කිසියම් කරදරයක්ද?
එක පෙළට සිත තුලට ප්‍රවිෂ්ඨ වන සිතිවිලි සමුදාය නින්දට දෙනෙත් කරා ළං වීමට ඉඩ නොදෙන සෙයකි. අඩ හෝරාවක් පමණම විහාරා පිළිබඳව කල්පනා කරමින් සිටි ආරාධ්‍යා යහනෙන් නැගී සිටියාය. ඇය හඬ නොනැගෙන සේ කාමරයෙන් පිට වූවාය.
මුලු නිවසම ගිලී ඇති අන්ධකාරය යන්තමින් දුරු වන්නේ පහත මහලෙහි දල්වා ඇති කුඩා විදුලි පහනක ආලෝකයෙනි. ඇය මඳ අඳුරේම විහාරාගේ කාමරය අසළට පැමිණියාය. කාමරය තුළට යන්නට සිතට ඇතිවන්නේ බියකි. සිහිනයෙහි දුටු පරිදිම විහාරා පැමිණ කාමරයෙහි යහන මත වැතිර සිටින ආකාරය ආරාධ්‍යාගේ මනසෙහි මැවී පෙනිණ. සිතට දිරි ගත් ඇය විහාරාගේ කාමරයෙහි දොර විවර කළ සැනින් විදුලි පහන දැල්වූවාය. කාමරය සන්සුන්ය. රංජනී විසින් කාමරය මනා ලෙස පිළියෙල කර තිබිණ. ආරාධ්‍යා, විහාරාගේ යහන මත හිඳ ගත්තාය.
“නංගි කොහේ යන්න ඇත්ද? ගෙදර කිසිම කෙනෙකුට විහාරා ගෙදරින් ගියා කියලා මතකයක්වත් නෑ වගේ.”
ආරාධ්‍යා සිතුවේ අප්‍රසාදයෙනි.
“ගෑනු ළමයෙක් ගෙදරින් පිට වෙලා ගියාම අම්මා කෙනෙක් මොන තරම් නම් බය වෙන්න ඕනද? අම්මා හැසිරෙන්නෙ එහෙම දෙයක් සිද්ද වුනේ නෑ වගෙයි. හොයන්න බලන්න උවමනාවක් නෑ. නංගිට මොනවා හරි කරදරයක් වෙලා නම්?”
ආරාධ්‍යා නැගිට විහාරාගේ මේසය අසළ හිඳ ගත්තාය. ඇගේ මේසය මත වූ මල් බඳුනේ බහා තිබූ කෘතිම රතු රෝස මලේ පෙති අතර කුඩා මකුළුවකු දැලක් බඳිනු පෙනේ. සුහේල්ගේ අතුරුදහන් වීමෙන් පසු කිසිම ආටෝපයකට ප්‍රිය නොකළ විහාරා මෙම රතු රෝස මල පමණක් මල් බඳුන තුළ තබා ගෙන ඇත්තේ එය සිහිවටනයක් නිසා විය යුතුය.
“පව්…”
ආරාධ්‍යා විහාරාගේ පොත් පත් සෙමෙන් හරවා බැලුවාය. කුඩා සටහන් පොතක මුල් පිටුවේ වූ ඇය විසින් අඳින ලද බලි රූප දෙස ඇය බලා සිටියාය. ඒ රූප වලින් පෙන්නුම් කරන්නේ ඇය සහ සුහේල් විය යුතු යයි ආරාධ්‍යා අනුමාන කළාය. කූරු අත් සහිත කුඩා කෙල්ලත්, හිසකෙස් ඉහළට බැඳ සිටින උසැති කොල්ලාත් විහාරා සහ සුහේල් බව සිහියට නැගුණ ආරාධ්‍යාගේ මුවග සිනාවක් නැගිණ.
“ලස්සනට චිත්‍ර අඳිනවා. අපරාදෙ. මේක දියුණු කරගත්තනම් නංගි මේ හැටි නාස්ති වෙන්නෙ නෑ. කලාව තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිත් නිවන්න. වේදනාවන් නිවන්න.”
ආරාධ්‍යා අනෙක් පිටුවට හැරවූවාය. ඊයේ දිනය යොදා ලියන ලද සටහනක් අසළ ඇගේ දෙනෙත් නතර වූයේ සැනෙකිනි.
“මේ ජීවිතේ ගොඩක් වෙහෙසයි.”
විහාරා කලබලකාරී අත් අකුරින් ලියා තිබිණ.
“දැන් වෙලාව හරියටම පාන්දර තුනයි තිහයි. මට නින්ද යන්නෙ නෑ. උදේ නැගිටලා යන්න තීරණය කරාට මගේ හිත මටම අවනත නැති හැටි… මම ගොඩක් අභිමානයෙන් ජීවත් වුනු කෙල්ලක්. ආදරය මාව පහළටම ඇද දාපු හැටි මතක් වෙනකොට මට කෑගහලා අඬන්න හිතෙනවා. පහුගිය කාලෙම මට ගොඩක් වෙහෙස වෙන්න සිද්ද වුනා. ඔක්කොටම වඩා බස් වල යන එක… ඒක මොන තරම් වෙහෙසක්ද? සමහර වෙලාවට මට බස් එකේම නින්ද යනවා. කොන්දොස්තර මාව ඇහැරවලා මිස් බහින තැන ළඟයි කියනකොට තමයි මට ඇහැරෙන්නෙ.”
ආරාධ්‍යා සටහන කියවීම මඳකට නතර කළාය. විහාරා පිස්සියක මෙන් බස් රථ වල නැගී තැන් තැන් වල යන්නේ සුහේල් සෙවීමටමද? කුතුහලය විසින් ඇගේ දෙනෙත් යළිත් සටහන කරා යොමු කළේය.
“මේ ජීවිතය සැපක් නෙමෙයි. වෙහෙසක්. ඒත් මට වෙන කරන්න දෙයක් නෑ. සමහර දවස් වලට හැන්දෑ වෙනකොට මට දැනෙන මහන්සිය නිසා ඔහේ වැටිලා නිදාගන්න හිතෙන වාරයන් අනන්තයි. සුහේල්… මං වැටිච්ච තැන ගැන ඔයානම් කවදාවත් මට සමාව දෙන්නෙ නෑ කියලා මං දන්නවා. ඒත් මට වෙන කරන්න දෙයක් නෑ. මට සල්ලි ඕන. අම්මගෙන් සල්ලි ඉල්ලන්නෙ නෑ කියලා මං තීරණය කරේ වෙන මොකක්වත් නිසා නෙමෙයි සුහේල්. ඔයා නිසා. ඇයි මං ඔයාව අම්මා ඉස්සරහ බාල්දු කරන්නෙ? දැන් මට සල්ලි තියෙනවා. ඒ හැමදේම මං යොදන්නෙ ඵලදායී දේකට කියලා හිතෙද්දි හිතට දැනෙන්නෙ සතුටක්.”
විහාරා දැන් ගත කරන ජීවිතය කුමක්දැයි ආරාධ්‍යාට සිතා ගත නොහැකි විය. ඇගේ සිතට බියක් දැනිණ. ඇය මහත් කුතුහලයෙන් සටහනේ ඉතිරි කොටස කියවන්නට වූවාය.
“හැමදාම යන එන ගමන නවත්තලා නතර වෙනවා කියලා මං හිතුවෙ එක් අතකින් ගමන් වෙහෙස මට දරාගන්න බැරි නිසා. කවුරු පිළිගත්තත් නැතත් මං කරන්නෙ රස්සාවක්. මගේ හිත හයිය වුනාට ගත හයිය නෑ. බොහොමයක් දේවල් මට දරාගන්න බෑ. සමහර වෙලාවට අනේ මට බෑ කියලා කෑගහලා අඬන්න මට හිතෙනවා. සුහේල්… මේ හැම දුකක්ම පීඩනයක්ම මම උහුලන්නෙ ඔයා නිසා. කවදාහරි ඔයා මාව හොයාගෙන කොහේ හරි ඉඳලා ඒවි කියලා මං බලාගෙන ඉන්නවා. ඒ ආව දවසක විහාරා… ඔයා කළ දේ හරි මැණික කියලා කියන්න සුහේල්. එතකොට මේ හැමදෙයක්ම මතකයෙන් හෝදලා අරින්න මට පුලුුවන් වේවි.”
ආරාධ්‍යාගේ දෙනෙත් අග කඳුලක් නැගිණ.
“මිනිස්සු ආදරය කරන බව ඇත්ත. ඒත් මේ ආදරය උමතුවක්ද?”
ආරාධ්‍යා සිතුවාය.
“හෙට උදේ මං යනවා. දවසකට දෙකකට නවතින්නම යනවා කියලා හිතාගෙන ගියත්, සමහරවිට මට සතියක් දෙකක්, නැත්නම් ඊට වඩා වැඩි කාලයක් ඉන්න හිතෙන්නත් පුලුවන්. හැමදේම තීරණය කරන්නෙ මං නෙමෙයි. කාලය… ඒ කාලය තුළ ගොඩක් දේවල් සිද්ද වේවි. මගේ ජීවිතයෙ විතරක් නෙමෙයි. අපි හැමෝගෙම ජීවිත වල කාලයත් එක්ක ගොඩක් වෙනස්කම් ඇති වෙන එකයි ඇත්ත. මං දැන් නිදාගන්න යනවා. නින්ද ගියත් නැතත් හෙට උදේට මං යන්න සූදානම් වුනු ගමන යනවා. ආයුබෝවන්…. කාටද?”
විහාරා සිනා මුහුණු පෙලක් ඇඳ තිබිණ.
“ආයුබෝවන්… කාටද? මටමයි. අභිමානවත් හිතක් ආදරය වෙනුවෙන් පාවා දුන්න මටමයි.”
ආරාධ්‍යා දිගු සුසුමක් හෙලුවාය. විහාරා දැන් ගත කරන ජීවිතය කුමක්දැයි ඇයට අනුමානයෙන් හෝ සිතා ගත නොහැකි විය.
“මට බයයි.”
නැගිට ගොස් විහාරාගේ යහන මත ගුලි වුනු ආරාධ්‍යාට සිතිණ.
“අනේ… මං හිතන දේවල් නම් කවදාවත් වෙන්න එපා.”
ඇය තමාටම පවසා ගත්තාය. ආරාධ්‍යාගේ හිස තුළින් දැඩි වේදනාවක් දැනිණ. එම වේදනාව හඬන්නට තරම් බලවත්ය. විහාරාගේ සටහන තම සිත කෙතරම් පීඩනයකට හසු කර ඇත්දැයි ඇයට සිතිණ. මෙය රැගෙන ගොස් අම්මාත්, තාත්තාත් නින්දෙන් ඇහැරවා පෙන්වන්නට සිතුණද, හදිසි තීරණ ගැනීමේ ප්‍රතිඵලය විහාරාගේ ජීවිතයට කවර අන්දමේ බලපෑමක් ඇති කරනු ඇත්දැයි සිතා ගත නොහැකිය.
“ඉවසනවා. තව ටිකක් ඉවසනවා. ඊටපස්සෙ බලමු.”
දැඩි හිසරදය නිසා බෙහෙත් පෙති දෙකක් ගිල දමන්නට ඕඩිකොලොන් ස්වල්පයක් හිස ගල්වන්නට සිතුණද, යහනෙන් නැගිට තම කාමරයට යාම පවා අපහසු සේ දැනිණ. ආරාධ්‍යා විහාරාගේ යහන මතම නින්දට වැටුනාය.
*