ඔබ දකින තුරා 37

දිසත් එදා රෑ බෝ වන තුරු ම අමාරසී ගේ ගෙදර රැඳුණේ ය. නමුත් වෙනදා ඔහු සිටි මොහොතක දැනුණ සතුට හෝ සැහැල්ලුව අමා වෙත වූයේ නැත. ඇය තුළ කිසියම් භීතියක් ලියලමින් තිබිණි. සමහර විට ඒ කුමක් දැයි ඇය වුව නිසැක ව දැන නො සිටියා ය. නිර්මලා, අජිත් හා දිසත් අතරේ සිටියදීත් ඇය බලා ගත් අත බලා ගෙන නිහඬ සිතිවිල්ලක හුදෙකලා වූවා ය. නමුත් කල්පනා කළ නිරවුල් යමක් ද වූයේ නැත.

“මං මේක විසඳන්නං. ඔයා බය නොවී ඉන්නකො. ම්…”

වෙනදා ට වඩා රෑ වන තුරු අජිත් සමග කතා කරමින් එහි රැඳුණ දිසත් නික්ම යත්දී අමා තුළ වූ භීතිය දැවැන්ත වන බවක් දැනිණ.

“අනේ ප්ලීස්…යන්න එපා”

ඇගේ ඇස් වල වූයේ ආයාචනාත්මක බවකි.  දිසත් මෙවන් විලාශයක් ඇගෙන් දැක තිබුණේ ම නැත.

“ඇයි මැණික මේ..”

ඔහු ඇගේ හිස් මුදුනේ සුරත තැබුවේ ය. අමා ට අමා සුවයක් දැනිණ. තාත්තා හිස් මුදුණේ අත තබත්දීත් ඇයට දැනෙන්නේ ඒ හෙවන ම ය. තුරු වියනක් යටදී අව් වැසි වලින් කෙරෙනා මුවහ වීම සිහිපත් කරනා සිහිල ය.

“තව ටිකක් ඉඳල යන්න. නැත්තං අද රෑ ඉන්න. මට බය හිතෙනව දිසත්. ඒ මිනිස්සු ආයෙ එයි කියල බය හිතෙනව. මට තාත්ත ගැන බය හිතෙනව”

ඇගේ මුහුණ සුදු මැළි වී ය. තොල් පට වල පිරී තිබූ ලේ සිඳී ගියා සේ ය. දිසත් අජිත් ගේ හා නිර්මලා ගේ මුහුණු දෙස බැලුවේ ය. ඔහු ඉන්නේ අසරණ කමක් තුළ බව අජිත් ට හොඳින් වැටහිණ.

“පුතේ. දිසත්ට තව රෑ වෙනකල් ඉන්න බෑ. රෑ වෙලා එයා තනියම යන එකත් එච්චර හොඳ නෑ තියෙන තත්වෙත් එක්ක. ඒ මිනිස්සු ආයෙ එන්නෙ නෑ. රසී එ් ගැන බය නොවී ඉන්න. අනිත් එක තාත්ත ඉන්නෙ”

අමාරසී ලොකු හුස්මක් ගෙන ගැඹුරෙන් ම එය පිට කළා ය. අතර මගක දී අවදානමක් ගන්නවාට වඩා දිසත් මෙහි නවතින එක හොඳ නේදැයි සිතුණ ද හතර වටින් දහසක් නෙත් ඔවුන් වෙත දැල්වී තිබෙනවා නේද කියාත් අමාට දැනී නො දැනී ගියේ ය. එහෙයින් ඈ කර බා ගත් අතර දිසත් ද නික්ම ගියේ හිත එහි තබා ය.

අමාරසී ඇඳ වතට හේත්තු වී, දෙපා නවා නිකට එහි රඳවා ගෙන, දෑතින් ම දෙපා වැළඳ ගුලි වී ගෙන යහනේ හිඳ උන්නා ය. දොරවල් වසා නිදන්නට සූදානම් වෙමින් නිර්මලා දෙවරක් ම නිදන්නැයි කියා ගිය ද අමා හිටියේ ඒ ඉරියව්ව වෙනස් නො කර ගෙන ය.

“දිසත් ගිහිං කෝල් කළාම නිදියන්නං”

නමුත් ඔහු එසේ කළ පසුත් ඇය නිදි සුව ලැබුවේ නැත. යහනේ ඒ මේ අත පෙරළෙමින් අසහනකාරී හෝරා ගණනාවක් අසීරුවෙන් ගත කර ගත් ඕ විඩාවට පත් ව සිටියා ය.  වෙනදා අවදි වන වෙලාව පසු වන තුරු ද අමා කුස්සියට නාවෙන් නිර්මලා කාමරයට ආවා ය.

“රසී…නැගිටින්න දැන්. වෙලාව පහු වේගෙනත් එනව”

“මං ඔෆිස් යන්නෑ අම්මෙ”

ඇය කීවේ මලානිකව ය.

“අද නිවාඩු දානවද…හා එහෙනං”

කියාගෙන නිර්මලා යහනෙන් නැගී සිටියා ය. එතකොට ම අමාරසී නිර්මලා ගේ අතනින් අල්ලා ගත්තා ය.

“තාත්තටත් යන්න එපා කියන්න අම්මෙ”

නිර්මලා යළිත් හැරී දියණිය වෙතට පියවරක් ලං වී හොඳින් බැලුවා ය. උන්මන්තක දෑසක වන භීතිය සිය දියණිය ගේ ඇස් වලින් දකින්නට ඇය ට හැකි විය.

“තාත්ත ඔෆිස් ගියාම මොකද රසී…මං ඉන්නවනෙ ගෙදර…”

“අනේ අම්මෙ ඒ වුණාට තාත්තට යන්න දෙන්න එපා. උං මගදි කරදරයක් කරයි. තාත්තව බේර ගන්න ඕන අම්මෙ. තාත්තට යන්න එපා කියන්න”

නිර්මලා දියණිය වෙතින් නික්ම යළි මුළුතැන්ගෙට පැමිණියා ය. ඇය හිටියේ තරමක් වික්ෂිප්ත ව ය. අමා අනවශ්‍ය ලෙස බිය පත් ව හිඳිනා බව ඇය ට නො දැනුණා නොවේ.

“අජී…”

ඇය දෙගිඩියාවෙන් යුතු ව නාන කාමරයේ දොරට ගැසුවා ය. රැවුල කපමින් සිටි අජිත් ඒ කාරිය මඳකට නවතා දොර දෙස බැලුවේ ය.

“ඇයි…”

“රසී ඔෆිස් යන්නෑලු. ඔයාටත් යන්න එපා කියන්නලු”

කම්මුල් වල හා නිකටේ සබන් පෙණ පිටින් ම අජිත් නාන කාමරයේ දොර හැරියේ ය. එක්වන ඔහු ගේ මුවට අහන්නට හෝ කියන්නට යමක් පැමිණියේ නැත. නමුත් හිත ළඟ ප්‍රශ්න පෝළිමක් විය.

“රසී හොඳටම අවුල් වෙලා වගෙයි මට පේන්නෙ”

“මං රැවුල කපා ගෙන එන්නංකො”

අජිත් ඒ කාරිය නිමා කළේ හිතේ දෙගිඩියාවෙන් යුතුව ය. හොද්ද හැඳි ගානා නිර්මලා ගේ අතේ ද වෙව්ලීමක් විය.

අජිත් අමාරසී ගේ කාමරයට යන විටත් ඇය සිටියේ දුටුගැමුණු කුමාරයා ගේ කතාවේ සෙයින් යහනේ වකුටු වී ගෙන ය. ටික වෙලාවක් ඇදෙස බලා ගෙන ම උන් අජිත් ‘රසී’ කියා මුදු හඬින් ඈ ඇමතුවේ ය. අමාරසී දනි පනි ගා නැගිට ඇඳෙන් බැස තාත්තා වෙතට ආවා ය.

“තාත්ත ඔෆිස් යන්නෑ නේද..”

“ඇයි පුතේ ඉතිං…අපි දෙන්නම යමු”

“අනේ බෑ තාත්තෙ. මට යන්න බෑ. තාත්ත යන්නත් එපා. මට බයයි. අපි ගෙට වෙලා ඉමු”

“එහෙම මිනිස්සුන්ට බයේ ජීවත් වෙන්න බෑ රසී. අනිත් එක අපි මොකටද බය වෙන්නෙ අපි වරදක් කරල නැතුව…”

“ඒ වුණාට යන්නෙපා තාත්තෙ. අනේ වැඳල කියන්නං යන්නෙපා”

“කවද වෙනකල් අපි එහෙම ගෙට වෙලා ඉන්නද…ඔයා ඕනවට වඩා බය වෙලා. බල්ලෙක් බිරුව කියල කඳු පාත් වෙන්නෙ නෑ රසී”

නමුත් අමාරසී ගේ හිත වෙනස් වූවා නොවේ. පාරට බහින්නට බැරි ලෙස අසල්වැසියන් ඔවුන් වෙතට නෙත් හෙළා ගෙන සිටිනා බවක් ඇය ට දැනිණ. මගදී පරාක්‍රම ගේ මිනිසුන් අජිත් ට හිංසා කරනයුරු ඇගේ මනසේ මැවි මැවී පෙනිණ. කෙසේ හෝ අමාරසී ගේ දැඩි විරෝධය නිසා අජිත් එදා නිවාඩුවක් ලබා ගත්තේ ය.

අමාරසී ගේ තත්වය ගැන අජිත් ගෙන් දැන ගත් දිසත් දිවා ආහාර විවේකයේ දී එහි ගොඩ වූයේ ය.

“කේෂිගෙ තාත්ත අපේ තාත්තට වෙඩි තියයි දිසත්. මං දැක්කනෙ ඒ මනුස්සයගෙ හැටි. තාත්තව බේර ගන්න ඕනෙ”

ඇය කියවූවා ය. අමා සිටින්නේ මානසික වියවුලකට පත් ව බව ඔහු හැඳින ගත්තේ ය. අජිත් හා නිර්මලා සමග ද කතා බහ කොට පවුලේ වෛද්‍යවරයා වෙත ඇය ගෙන යන්නට ඔහු කටයුතු කළේ ය.

“අමාරසී ට ස්ට්‍රෙස් එකක් වගේ. මොකක් හරි හිත කලබල වෙන දෙයක් වුණාද…තදින් කල්පනා කළාද මොකක් හරි දෙයක් ගැන…”

වෛද්‍යවරයා ට රෝග නිධානය සැඟවීමෙන් වෙන්නේ සුව වීම කල් යන එක ය. ඒ නිසා ඔවුහු සිදු වූ සියල්ල ඔහු සමගින් පැවසූහ.

“නෑ එහෙම බරපතල අතකට හැරිල නෑ. අපි බෙහෙත් ටිකක් දෙමුකො. මෙයාට තියෙන්නෙ තාත්තගෙ ජීවිතේට කරදරයක් වෙයි කියන බය කියලයි මට හිතෙන්නෙ .  දිගටම මේ තත්වෙ තිබුණොත් නං සයිකෑට්‍රිස්ට් කෙනෙක්ට දාන්න වෙයි. මං හිතනව මේක අඩු වෙලා ගිහිං ඉක්මනට සාමාන්‍ය අතට හැරෙයි කියල. චුට්ටක් ඔය හිතිවිල්ල ඇති කරන පරිසරෙං එයාව ඈත් කරල තියන්න බලන්නකො”

අමාරසී නිර්මලා සමගින් පිටතට ගිය පසු වෛද්‍යවරයා අජිත් ට පැහැදිලි කර  දුන්නේ ය. දිසත් එදා හැන්දෑවේ සිට රෑ වන තුරුත් අජිත් ගේ ගෙදරට වී සිටියේ ය. ඔහු ඉන්නා විට අමාරසී ගේ ඇස් වල බිය අඩු වී සාමාන්‍ය අතට හැරෙයි.

“අජිත් ව අර මනුස්සය තල්ලු කරපු වෙලාවෙ රසී බය වුණා”

නිර්මලා ට දැනුණ දේ ඒ ය.

“ඔව් ඒක නිසා තමයි අමා ශොක් වෙලා ඇත්තෙ. සමහර විට අදත් කේෂි ගෙ තාත්ත මෙහෙ එයි කියන හැඟීම එයාගෙ හිතේ ඇති. මං ඉන්නකොට මෙතන තව කෙනෙක් ඉන්න නිසා එයාගෙ බය අඩු වෙනව ඇති”

“කෙල්ලගෙ වෙලාව බලෝගෙන එන්න ඕනෙ”

නිර්මලා ගේ ඒ ප්‍රකාශයට වෙනදා සේ අජිත් අපහාස උපහාස කරන්නට ගියේ නැත. සත් දිනක් හැන්දෑවේ බෝධි පූජා පවත්වන්නට ද නිර්මලා සිතා ගත්තා ය.

කේෂි වෙනුවෙන් නඩුවට පෙනී හිඳිනා නීතිඥවරයා පරාක්‍රම ගේ ක්‍රියාව ගැන ඔහු ට දැඩි ව දොස් කීවේ ය. මතුවට එවන් දේ සිදු නොවිය යුතු යයි අවවාද කළේ ය. නීතියකට අනුව කටයුතු කරනා සිද්ධියක් මැද්දෙන් අවනීතික කටයුතු සිදු වීම නඩුවට අවාසි සහගත ලෙස බලපෑ හැකි බව ද ඔහු අවධාරණය කරනා ලදී.

ඒ වෙලාවේ ආවේගයන් ට නතුව කටයුතු කළ ද, සිදු වූ දේ ගැන පසු තැවීමක් පරාක්‍රම කෙරේ ද විය. යන තැනට වැඩ සිද්ධ කොට ගියාට පස්සේ දිසත් ඉල්ලා නහයෙන් හැඬීම කේෂි ගේ ප්‍රශ්නයක් බව ද ඔහු දැන සිටියේ ය. පරාක්‍රම ට ඉවසා ගත නො හැකි වූයේ දිසත් වෙනත් තරුණියකට පෙම් කරනවා කියන පුවත ය. අන්තිමට සියලු කරුණු ගොනු වූයේ ඔහු දික්කසාදයක් බලාපොරොත්තු වන්නේ මේ අලුත් පෙම්වතිය වෙනුවෙන් ය කියන තැනට ය. ජීවිතයේ අත්දැකීම් වලින් පිරිපුන් ව සිටිය ද අන්න ඒ තැන උහුලා ගන්නට පරාක්‍රම ට වුව හැකි වූයේ නැත.

“එක අතකට ඩිවෝස් එක දීල දැම්මහම ඉවරයි. කොහොම කළත් දිසත් ආයෙ කේෂි එක්ක සෙට්ල් වෙන්නෙ නෑ”

අන්තිමට ඔහු අම්මාටත් දුවටත් දෙන්නා ට ම ඇසෙන්නට කීවේ ය.

“එහෙම කොහොමද…මං නඩුව ඇදං යනව. දිසත්ට ඒ කෙල්ලව බඳින්න බැරි වෙන්න”

තමන්ට හිමි නැති දෙයක් අනිත් අයට ද හිමි විය යුතු නැත ය යන්න බොහෝ දෙනෙකු ගේ ජීවන දර්ශනය වේ. කේෂි ද කටයුතු කළේ ඒ මතයේ පිහිටා ය. ආදරයක් නැත ද තමන්ට අයිති ව තිබූ දෙයක අයිතිය නැතිව යාම නොව වෙන කෙනෙකුට ඒ අයිතිය ලැබීම, ඉවසා ගන්නට බැරි ම දෙයයි.

“හවසට කැළණියෙ පන්සල් යමු. අම්මයි තාත්තයි එක්කම ලෑස්ති වෙලා ඉන්න”

දිසත් අමා ට දුරකතන ඇමතුමක් දී කීවේ ය.

“උඹ ඔය කෙල්ල එක්ක වැඩිය එහෙ මෙහෙ යන්න එහෙම එපා. මොකද උං සාක්ෂි එකතු කරල උඹ වැරදිකාරය කියල ඔප්පු කරන්න පුළුවන්”

නීතීඥ මිතුරා ගේ ඒ අවවාදය හිතේ ප්‍රතිරාව නැගුණ ද අමාගේ හිත සන්සුන් කරනු පිණිස මෙවන් ගමනක් යන එක හොඳ යයි ඔහු හිතුවක්කාර ලෙස තීරණය කළේ ය. සුදු මැළි වී සිටි යුවතිය ගේ මුහුණට සතුටු සිනහවක් ගෙන එන්නට ඒ යෝජනාව හේතු විය. එය දිසත් එක්ක කොහේ හෝ යාමේ ආශාවක් මත උපන් සිනහවක් නොවේ. ඇය සතුටු වූයේ ගෙදරින් පිට ව හිඳින්නට ලැබෙන එක ගැන ය. පරාක්‍රම යළි ආවත් එවිට ඔවුන් ගෙදර නැති එක ගැන ය. ඒ තරම් බියක් අමාරසී ව සිව් දෙසින් වට කර ගෙන තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles