සරෝජනීට ඇහැරුණේ දවල් වෙලා. කවදාවත් වෙන්නේ නැති වැඩක්. එලාම් එක වැඩ කරලා නෑනෙ. අද ඉරිදානම් තමයි. ඒ වුණාට මෙහෙම නිදාගෙන කොහොමද?
සරෝජනී කුස්සියට ගියේ ඔහොම නානාප්‍රකාර සිතුවිලි අස්සේ. ඉසුරි මල් වට්ටිය වගේ හිනාවෙලා සරෝජනී දිහා බැලුවා. කොහොමටත් ඉසුරිගේ හිනාව ඉද්ද මල් කිනිත්ත වගේ කියලා සරෝජනී දන්නවා. මුල් කාලේ පොඩ්ඩ පොඩ්ඩ සරෝජනීට රිද්දන තාලේ වැඩ කරන්න දෙපාරක් නොහිතුවට දැන් ඉසුරි පුදුම හොඳ කෙල්ලක්.
“මුං කිරිබත් හැදුවා අම්මේ.”
ඉසුරි කියන්නේ ආයේ අර ඉද්ද මල් හිනාවෙන්. සරෝජනී කන්න ආසාම මුං කිරිබත්. ඒ කිරිබත සරෝජනීට තරම් රසට කාටවත්ම හදන්න බෑ.සරෝජනී ඒ රහස ඉගෙන ගත්තේ අම්මගෙන්.
“අම්මෙක්ගෙන් තමා දුවෙක්ට උයන්න ඉගෙන ගන්න පුලුවං. මට දූලා නෑනෙ. ඒ හන්දා දුව ඉගෙන ගන්න.”
ඉසුරිගේ ආගමනයට පස්සේ සරෝජිනී ඒ හැමදේම ඉසුරිට ඉගැන්නුවා. ලොකු රස්සාවක් කරාට ඉසුරි උයන්න ආසයි. වෙලාවකට උයලා ලස්සන ලස්සන ෆොටෝ ගන්නවා. ඊටත් පස්සේ ඒවා ෆේස්බුක් යාළුවෝ එක්ක බෙදා ගන්නවා.
“අලුත් කෙල්ලන්ගේ කෝලං”
එහෙම හිතලා හිනා වෙනවා මිසක්කා සරෝජනීට ඕවාට කේන්ති යන්නේ නෑ. ළමයින්ට ළමයින්ගේ හැටියට ඉන්න අරින්න එපැයි
“කිරිබත් හරි රසයි පුතේ.”
තව පොඩ්ඩක් කිරි රහ වුණානම් පංකාදු වුණත් සරෝජිනී එහෙම කිව්වා. ලුණු මදි විල්ලයි හොද්දේ මිරිස් සැරයි ඉඳලම කියවන්න ගියාම ලේලිලාට නැන්දම්මලා එපා වෙනවා.
“තාම අම්මගේ ගාණටනම් ඇවිල්ලා නෑ හැබැයි.”
සහන් එහෙම කිව්වම සරෝජිනි පුතාට රැව්වා. අම්මයි නෝනයි සංසන්දනේ කරන්න එපා කියන පාඩම සරෝජනී සහන්ට ඉගැන්නුවේ ඉසුරි කසාදෙන් පස්සේ මෙහෙ පදිංචියට එන්න කලින්.ඒව තමටු ප්‍රශ්න ඇති ඇතිවෙන්න මූලිකම කාරණා. සරෝජිනි එහෙම හිතනවා.
“අද දවල්ටත් උයන්නේ මම අම්මේ. තනියම.”
ඉසුරි වෙනදාට තනියෙන්ම උයන්නේ නෑ. ඇත්තටම උයන්නෙත් නැති තරම්. ඔෆිස් ගාණේ බාගෙට නැහෙන කෙල්ලගෙන් වැඩට උදව් ගන්න සරෝජනී ආස නෑ. ඔන්නොහෙ නිවාඩු දවසේ නිදාගත්තාවේ. සරෝජිනි හිතන්නේ එහෙමයි.
“අද එයා උදව් නොඉල්ලන්නේ විශේෂ හේතුවකට. අම්මා උදව් නොකරට මම කරන්නම්.”
සහන් එහෙම කියලා කුස්සියට ගියා. අද සරෝජිනිගේ උපන්දිනේ නෙවෙයි. අවුරුදු දොළහකට කලින් නැති වුණු සහන්ලගෙ තාත්තගෙ උපන්දිනෙත් නෙවෙයි
“දැන් ඉන්න කෙල්ලො කසාද බැන්ද දවස විතරක් නෙවෙයි, මුලින්ම මුණ ගැහිච්ච දවස, කැමති වුණු දවස කිය කිය දවස් දහයක් පහළොවක් මතක තියන් ඉන්නවනෙ. ඔය මොකක් හරි දෙන්නගෙ දවසක් වෙන්නැති. “
සරෝජිනි තනියම හිනාවෙන ගමන් රෝස පාත්තිවල පස් බුරුල් කරා. ඔය ඕනෑ එකක්. උයන ඒවායින් ටික ටික කන එකනෙ.
උයමන් ඉවර වෙන්න කලින් ඩිලිවරි හාදයෙක් මොනවදෝ අරන් එනවා සරෝජිනි බලාගෙන. මල් පොකුරක් වගේ දැක්කට පැහැදිලි නෑ.කණ්නාඩිය ඇහේ තිබුණෙත් නෑනෙ. ඉසුරි ඒක හංගගෙන වගේ අරන් යනකොට සරෝජිනිට ආවේ හිනාවක්.ඕක ඉතින් හංගන්න දෙයක් ද? කෙල්ලන්ගේ කෝලං!
කෑම මේසේ බොහොම සරුවට තිබුණා. ඉසුරි දන්න වැඩ සේරම දාලා රස කෑම ගොඩාක් හදලා තිබුණා. අම්මා කන්න කැමති තමයි හැදුවේ කියලා ඉසුරි කියන්නේ අභිමානෙන්. ඒ කෑම කවදාවත් කන්න කැමති බව කියපු වගක් සරෝජනීට මතක නෑ. ඒත් ඉසුරි හදන සමහර කෑම හරිම රස බව කියලා ටිකක් වැඩියෙන් කාපු දවස් සරෝජිනි මතක් කළා. මෙන්න මේ කෙල්ල ඒකත් මතක තියන් ඉඳලා. කොයි වෙලේ හැදුවද හිතාගන්න බැරි වටලප්පමක් පවා එළි බැහැලා.
“අම්මට හිතා ගන්න බැරිද ඉසූ අද මේ කෑම ගොඩාක් හදන්න හේතුව? අම්මට උදේ ඉඳන් ආස දේවල් ලැබෙනවනෙ.”
මොකක් හරි සුබාරංචියක් ද? සරෝජිනී ඕවා හාර අවුස්සන්නේ නෑ. ඇරත් යන්තම් උණක් හැදුනත් ඇඳ බදාගෙන කෙඳිරි ගාන ඉසුරිට එහෙම දෙයක් වුණානම් මේ වෙද්දී ඇහැක් නෑර ඉන්න බව සරෝජිනි දන්නවා. රස්සාවේ ප්‍රමෝෂන් එකක් එහෙමනම් අපූරුයි. කොහොම වුණත් දරුවන්ගේ දේවල් හාරවුස්සලා බලන්න සරෝජිනි ආස නෑ. එයාලම කියන්නේ නැතැයි.
“මේ මල් අම්මට”
ලිලී මල් පොකුරක්. මනමාලියෙක් වෙච්ච දා අතේ තිබ්බ ප්ලාස්ටික් මල් පොකුර ඇරුණම සරෝජනීටම කියලා මල් පොකුරක් ලැබුණමයි. සුවඳේ බෑ. සරෝජිනි ලේලි දිහා බලා හිටියේ පුදුමයෙන්. මේ දරුවට මක් වෙලා ද?
“මේ තෑගි අම්මට. අපි දෙන්නගෙන්ම.”
මහ විසාල තෑගි පාර්සලයක්.ලස්සනට ඔතපු තෑගි පාර්සලේ සරෝජනී ඇරලා බැලුවෙත් සීරුවට. පොත් කීපයක්. ලස්සන ඇඳුමක් විතරක් නෙවෙයි, ඉසුරි තමන්ව දහ අටේ කෙල්ලෙක් ගාණට දාලා හැඩයි. විලවුන් බෝතලේකුත් තියනවා.
“මොකද පුතේ මේ?”
හේතුවක් නැතුව ඇහැට උනන කඳුළු පිහින ගමන් සරෝජිනි ඇහුවා.ඉසුරි සහන් දිහා බලා ඉන්නේ හිනා වෙන ගමන්.
“අද අම්මාවරුන්ගේ දිනයනෙ අම්මේ. ඉසුරිට අම්මා එක්ක ඒක සමරන්න ඕන වුණා.”
සහන් හේතුව පැහැදිලි කරා. ඉසුරි ඇවිත් සරෝජිනිව බදාගත්තේ අන්න ඒ වෙලාවේ.
“මගේ වෙඩින් එකට මාස ගාණක් තියලා අපේ අම්මා නැති වුණාම මං හරි අසරණ වුණා අම්මේ. මේ ගේ ඇතුළෙදි හිත රිදෙන දෙයක් වුණොත් කියන්නෙවත් කාටද කියලා මං කොච්චර කල්පනා කරන්න ඇතිද?”
ඒ අහඹු වියෝව ඉසුරිට දරා ගන්න අමාරු වුණු බව සරෝජිනි දන්නවා. එදා ඉසුරි විලාප දෙනකොට පුතාගේ පෙම්වතියගේ ඔලුව අතගාලා දූට මං ඉන්නවනෙ කියලා සරෝජනී කිව්වේ බොරුවට නෙවේ ඇත්තටම. ඒ පොරොන්දුව රකින්න සරෝජනී වග බලා ගත්තා. හිත් රිදෙන තැන් ආවේ නැතුවම නෙවෙයි. ඒත් සරෝජනී ඉවසුවා.ඊටවඩා ඉසුරිත් ඉවසන්න ඇති.
“අම්මා ඉන්නකම් මං තනි වෙලා නෑ. මගේ අම්මා තරමටම අම්මා මාව පරිස්සං කරනවා. ඉතිං ඇයි මං මදර්ස් ඩේ එක අම්මා එක්ක සමරන්නේ නැතුව ඉන්නේ.”
සරෝජනී ඉසුරිගේ තෙත කම්මුලක් අතගාලා හාද්දක් තිබ්බා. අඬන්නේ නම් මොකටද? සරෝජනීට පුලුවන් මැරෙනතුරුම මේ ආදරේ ඉසුරිට දෙන්න.
සරෝජනී ලිලී මල් පොකුර දිහාවේ ආයේ පාරක් බැලුවා. ලස්සන සුවඳ මලක්. ඒත් තමන්ගේ උයනේ පිපුණු ලස්සනම සුවඳම මල ලේලි පොඩ්ඩ කියලා හිතෙනකොට සරෝජිනි ඉසුරිව තව පාරක් සිප ගත්තා.