සඳ ගංතෙර -75

ගේට්ටුවේ සීනුව නාද විණ. මේ මොහොතේ එන්නට ඇත්තේ කවුදැයි දැන ගන්නට චාන්දනීට වගක් නැත. අද කමල් ගෙදර ඉන්නා දවසකි. මැති ඇමතිවරුන්ගෙන් ඇරඹී ටවුමේ වඩේ කරත්තයේ මුදලාලි දක්වාම නිවස එළිපත්තෙන් මතු වීමට ඉඩ තිබේ.

“ඔයාට කිසිම මැනර්ස් එකක් නෑ. මිනිස්සුන්ව ගාණකට ආස්සරේ කරන්න.”

එවැනි මොහොතක චාන්දනීගෙන් උපදෙස් ලැබේ.

“ගුණේ අයියගෙ ගරාජ් එකේ වැඩ කරලා හිතිච්ච වෙලාවට ත්‍රීවිල් දිව්ව කොල්ලට කන්න බොන්න දීපු මිනිස්සු ඔය කොතැනත් ඔන්නවා. කුලතිලක ඇමති ඒ කාලේ ටවුන් එකේ කවුද කියලා කියන්ඩෝන නෑනෙ. එතැනින් ගියාම ඔය වඩේ විකුණන සෙල්වයියාගෙන් වඩයක් දෙකක් ණයට කාලා ජීවත් වුණු කාල මට තිබ්බ මැණිකේ”

කමල් කියන්නේ කල්පනාකාරීව ය. ඔහුගේ අදහස් කොහොමටත් වෙනස් කරන්නට කිසිම දවසක අසීරු ය. ඇය හැම දවසකම කළේ ඔහුගේ අදහස් පිළි ගැනීම ය. ඒ හැරෙන්නට ඔහුට යමක් වටහා දෙන්නට හෝ ඔහු යන ගමනේ වේගය පාලනය කරන්නට කිසිම දවසක හැකියාවක් නොතිබූ බව ඇය දන්නී ය. ජීවිතය එහෙම ය. නමුත් චාන්දනී එයට හුරු වී සිටියා ය.

“මැඩම් බලන්න අමුත්තො දෙන්නෙක් ඇවිල්ලා. මහත්තයා එයාලව රූම් එකට එවනව කිව්වා.”

කන්මනී ආවේ පණිවිඩයක් රැගෙන ය. අසනීප වූ දා පටන් චාන්දනී බලන්නට බොහෝ මිතුරන් පිරිසක් පැමිණි නිසා ඇයට මඳ සැකයක්වත් නොදැනිණ. හෘදයාබාධයකින් ප්‍රවේසම් වන ආකාරය ද ලංකාවේ සිටින හොඳම හෘද රෝග විශේෂඥයන්ගේ වග ද අසා කන් පිරී තිබුණු බව ඇත්තකි. නමුත් දැන් ඇය අමුත්තන්ව ඔහේ පිළි ගන්නී ය.

“ඔයාව බලන්න විශේෂ අමුත්තො දෙන්නෙක් ආවා. ගෙදරම අය නිසා ඔන්න රූම් එකටම එව්වා.”

කමල් එසේ කියමින් කාමරය එබිණ.මල් කළඹක් ඔසවාගත් දුලන්‍යා මල් පොකුරකට ද වඩා සුන්දරව හිනැහී කාමරය තුළට ආවා ය. සඳරැස් ආවේ ඇයට පිටුපසිනි. ඔහු අපහසුවෙනි. එහෙත් වේදනාවෙනි.

“හොඳටම බිසී වෙලා හිටියෙ. ආන්ටිව බලන්න එන්න වෙලාවක් නැත්තටම නැති වුණානෙ. අයියා කිව්වා අද යං කියලා.”

දුලන්‍යා කාමරයේ නිහැඬියාව බින්දේ ය. චාන්දනීගේ තනියට කාමරයට වී සිටි පර්සියන් වර්ගයේ පූස් පැටවා සඳරැස්ගේ කකුල් අතර දැවටෙන්නට පටන් ගත්තේ ය. සඳරැස් පැටවාගේ හිස පිරි මැද්දේ ය.

“හපන්නෙ එහෙම නෑ. ඔය ලොකු අයියා”

ඒ අණ බළල් පැටවාට නොවැටහෙන්නට ඇත. නමුත් සඳරැස්ට යමක් වැටහිණ. තමන් ගෙදර ලොකු අයියා කරන්නට කමල් විජේවර්ධන කැමැත්තෙන් හිඳියි.

“පුතාලා මොනවද බොන්නේ?”

චාන්දනී ඇසුවේ එවර කාමරයේ දොර ළඟින් මතු වූ ලීලා දෙස බලමිනි. විශේෂ අමුත්තන් දෙදෙනෙකු ආ වගක් කන්මනී ඇගේ කන තබන්නට ඇත. චාන්දනීට සඳරැස්ගෙන් දේවල් අසන්නට අසීරු බවක් දැනේ. අඩුම තරමේ ඔහු කනබොන දෙයක්වත් ඈ දන්නේ නැති බව කියන්නේ කොහොමද?

“කූල් මොනාහරි හදන්නද මැඩම්? “

ලීලා අසද්දී දුලන්‍යා හිස වැනුවා ය. චාන්දනීට වහා යමක් සිහිපත් විණ.

“දොඩම් හදන්න ලීලා. මේ පුංචි මහත්තයා දොඩම් වලට කැමතියි.”

එහෙත් දුලන්‍යා ඇය දෙස බැලුවේ කලබල බැල්මකිනි. අනතුරුව ඇය මන්ද ස්වරයකින් චාන්දනී ඇමතුවා ය.

“අයියට හොඳටම ගෑස්ට්‍රයිටිස් ආන්ටි. අපේ අම්මානම් කෝමාරිකා ඇරෙන්න කිසිම දෙයක් බොන්න දෙන් නෑ. දොඩම් නැතුව මොනා හරි..”

කොමඩු බීම කියන්නේ ගෑස්ට්‍රයිටිස් වලට අත්දුටු බෙහෙතක් බව ලීලා වහා පැවසුවා ය. ඇය ඔවැනි තැන්වල ලකුණු ගන්නට කැමති අත්උදව් කාරියකි. ඒ ලකුණු දමා ගැනීම හන්දා චාන්දනීගේ අපහසුතාවයට පත් වීම මැකී යාම ගැන කමල්ට ඇති වූයේ සතුටකි. ඔහු දුලන්‍යාගේ හිස අතගාගෙන සඳරැස්ට හිතවත් සිනාවක් දෙමින් කාමරයෙන් පිට වූයේ දොඩම් කොමඩු කතාව අතිශය සාමාන්‍යකරණය කරමිනි.

“දැන් කොල්ලො අනුමත වෙන අනුමත විල්ලේ හැටියට ගෑස්ට්‍රයිටිස් කියන්නේ හරිම සාමාන්‍ය ලෙඩක්. මේ ගෙදර ඉලන්දාරින්ට කොමඩු හදලම ලීලක්කා ඕවට දැන් හපනි”

සඳරැස් කිසිත් නොකියා හිනැහිණ. අම්මා තමන් දොඩම් බොන්නට කැමති ඇයිදැයි සිතීමට හේතුව ඔහු දනියි. නමුත් ඇය එය වචන කරාවියැයි ඔහු සිතුවේම නැත.

“පුතාලගෙ ගෙදර ලොකු පැණි දොඩං ගහක් තිබ්බනෙ. පුතාලගෙ තාත්තා හරීම ආසයි දොඩම් බීම බොන්න. “

ඇයට තවම ඒ වත්තේ ගහ කොළ ගැන මතකයේ තිබේ. තාත්තාගේ කැමතිම කෑම පවා මතකයේ තිබේ.

“ඔය නළලේ තියන කැළලත් ඒ දොඩං ගහෙන් බිමට පත බාලා හදා ගත්තු එකක් ආන්ටි. මට විජිත මාමා සම්පූර්ණ ඕපාදූප කියනවා ඉස්සර.”

දුලන්‍යා ඕනෑවටත් වඩා හඬ නඟා හිනැහුණා ය. ඇත්තටම මෙතැන ඇති ලොකු විහිළුවක් නොවේ. නමුත් ඇයට ඕනෑ අම්මාත් පුතාත් සාමාන්‍යකරණය කරන්නට ය.

“දොඩම් ගහ, අඹ ගස්,පේර ගස් ඔක්කොම තාම තියනවා. ගේ විකුණලා දාන්න කියලා පුංචම්මලා කිව්වට මට හිත හදා ගන්න බෑ.”

සඳරැස් ඒ කතාව ඕනෑතරම් වාරයක් දුලන්‍යාට කියා තිබේ. ඔහු මේ කියන්නේ චාන්දනීට බව චාන්දනී දන්නී ය. මනාලියක් වී දීග ආ නිවස ඇය සිහි කළා ය. විජිත පසුකාලීනව ඒ නිවස බොහෝ අලුත්පන්නයට අලුත්වැඩියා කළ බව ඇය දනියි. නමුත් පරිසරයේ වෙනසක් නැත. තාරුකා ද සඳරැස් ද ලැබෙන්නට සිටි කාලයේ ඒ සෞම්‍ය පරිසරය හිත නිවා දැමූ අන්දම ඇය සිහි කළා ය.

“අම්මත් එක්ක කතා කරන්න.මං එළියට යන්නං?”

දුලන්‍යා එහෙම වට්ස් ඇප් පණිවිඩයක් සඳරැස්ට යැවී ය. ඔහු ගැහැනු ළමයෙක් මුණ ගැසෙන්නට පළමු වතාවට ගිය කොලුවෙකුටත් වඩා තිගැස්මෙනි. අපහසුවෙනි.

“අනේ එපා. මං ගාව ඉන්න.”

ඔහු වහා ලියා එවී ය. ඔහු මේ ආවේ චාන්දනීට මොනවා කියන්නටදැයි දුලන්‍යා නොදනියි. සමහරවිට ඔහු ඇයට බැන වදින්නට පවා ඉඩ තිබේ. දුලන්‍යාට දැන් දැන් සසැලීමක් දැනෙයි.

“අම්මා එනවද වෙලාවක ඒ ගෙදර පැත්තේ යන්න.”

චාන්දනීගේ හදවත සත් කඩකට පැලී ගියේ ය. මේ ඔහු අම්මා යැයි පැවසුවාම ය. අනෙක් අතට ඔහුව මාස කිහිපයක් පමණක් තුරුළු කරගෙන සිටි නිවසට යන්නට පුතු ආරාධනා කරයි. ඇඳ විවේකය ගන්නැයි වෛද්‍යවරයා පැවසූ කතා ඇඳ යටට විසි කර දමා මේ දැන්ම ඇඳුමක් ඇඳ ගන්නට ඇයට ඕනෑ විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles