මල්වර මල් සර -07

මීදුම් දුමාරය ගලා හැලෙමින් තිබිණ. තේ එකක් බොමින් නවාතැනේ සඳැල්ලට වී නුදුරින් පෙනෙන මනාලියක බඳු කුඩා දිය ඇල්ලේ මනහර දර්ශනය තුළ ගිලී උන් අයානා ජයසුන්දර ගේ රතදර මත්තට මන්දහාස රැල්ලක් වැඩියේ ය.

ඒ මීදුමක් වාගේ ඇය ආදරේ ම දෙයක් නො විණි නම් දිය ඇල්ලේ දසුන වසා දැමීම ගැන අයානා නො රිස්සුම් වන්නට තිබිණ.

 මිහිදුම් දුමාරය අතරින් දුල්නෙත් අලගියවන්න හිතට ආ එක ගැන ද අයානා ගැඹුරින් හිතන්නට නො ගියා ය. හිත කියන්නේ වැටවල් ගසා නොව තාප්ප දමා වත් මායිම් වෙන් කළ නො හැකි තැනක් බව ඇය වටහා ගෙන හිඳී. අනුන්ගේ සුළඟකට වුව ඒ හතර මායිම් පැන අකීකරු ලෙස පැමිණිය හැකි ය. ඇවිත් යන්නට ඉඩ දී විවෘත මනසකින් බලා හිඳීම, වැට මායිම් සලකුණු කරන්නට යන තරම් වෙහෙසකර නොවේ!

එදා නිර්වාණයේ දී මංජරී ගෙන් පැමිණි දුරකතන ඇමතුම විසන්ධි කොට දමන්නට දුල්නෙත් ට උවමනා විය. ඔහු සිටින්නේ නිර්වාණයේ බව දැන ගත හොත් ඇය හෙට උදේ වන විට කොළඹ ඉන්නට වුව බැරි නැත. නමුත් ඇමතුම බිඳ දමනා එක ඊට වඩා භයානක ය. ඒ ඇය දුම්මල වරම අතට ගෙන මේ මොහොතේ ම යකා නැටිය හැකි බැවිනි. 

“කියන්න”

දුල්නෙත් ජංගම දුරකතනය සවනේ තියා ගෙන කවුන්ටරයෙන් – අයානා වෙතින් තරමක් ඈත් වූයේ ය. අයානා ගේ දෙතොල් මතට සිනහවක් විත් නතර විණි. 

“මොනාද…”

මංජරී කිකිණි හඬින් සිනාසුණා ය. දුල්නෙත් අයානා දෙස බැලුවේ ය. මීට පෙර අත්විඳ නැති විදිහේ වරදකාර හැඟීමක් ඔහු ට දැනී නො දැනී ගියේ ය. 

“මොනාද කරන්නෙ…”

“මං…මේ…සුමීරලව මීට් වෙන්න බෝඩිමට ආව”

“විජේරාමෙ…”

“ඔව්”

“දැං ඔය බෝඩිමෙද ඉන්නෙ…”

“යන ගමං”

දුල්නෙත් එසේ කියනා ගමන් හැරී අයානා දෙස බැලුවේ ය. ඔහු නිර්වාණයෙහි සිටිනා බවක් නො කියා සිටියේ හිතා මතා ම ය. අයානා කවුන්ටරයෙන් පිටතට විත් පුස්තකාල කොටස දෙසට හැරුණා ය. දුල්නෙත් ගේ ඇස් වල ‘යන්නං’ කියනා සමු ගැනීම විය. අයානා ඇස් වලින් සිනහ වී ගෙන ඒ බැල්ම මගහැරියා ය. තිරුවානා කැට අතුළ කුඩා මිදුලට බට දුල්නෙත් ගේ ඩෙක් ශූ එකකට පෑගෙන්නට ගිය කහ අරලියා මලක් නො පෑගී ඔහු බේරා ගත්තේ පස්සට පැන අසීරුවෙනි.

‘නිර්වාණෙට ගියාද’ කියා මංජරී නො අසා සිටියා ය. ඇසුවාට දුල්නෙත් ඇත්ත නො කියනු ඇතැයි ඇය අනුමාන කළා ය. 

“මටත් වැඩ වගයක් තියනව. නිවාඩු ඉවර වෙන්න කලින් එනව”

මංජරී ඒ ටික කීවේ නොරිස්සුම් ගතියකිනි. නිර්වාණය ඇගේ සිත විෂයෙන් පුරවන්නට සමත් වී තිබිණ.

අයානා බණ්ඩාරවෙල ආවේ නාලිනී හා රෝහණ සමග ය. දුරාශා ව මේ ගමනට සම්බන්ධ කර ගන්නට ඇයට ඕනා වී ද සහන් ඊට ඉඩ දුන්නේ නැත. දරුවන් සමග ඇය ඒ ගමන ගියාට ඔහුට වියදමක් දරන්නට සිදු වන්නේ නැති වී ද “එතකොට මං කන්නෙ කඩෙන්ද” කියා ඔහු දුරාශා ගේ ඇඟට කඩන් පැන්නේ ය.

“දවසක් දෙකක් කඩෙන් කන්න බැරි කමක් නෙවේ. ඒක ඊරිසියාවයි සැකේයි. බයයි මං එහෙම තනියම ගිහින් වෙන මිනිහෙක් එක්ක යාළු වෙයි කියල. එයා අපිව එක්කං යන්නෙත් නෑ අපිට කාත් එක්ක හරි යන්න දෙන්නෙත් නෑ”

ඒ අන්තිම ටික කියනා විට දුරාශා ගේ ඇස් බොඳ වී ගෙන ආවේ ය. අයානා ඒ ගැන දුරට දිගට කතා කරන්නට නො ගියේ ඇගේ හිත තවත් රිදේවි කියන බියෙනි. තනියම, අම්මා තාත්තා එක්ක විතරක් ගමනක් යන එක දුරාශා සමග යනවා මෙන් විනෝදාත්මක නැති බව මුල සිට ම අයානා දැන සිටියා ය. නමුත් ඒ විදිහට පැමිණි එකේ වෙනම ම නිස්කාංසුවක් දැන් ඇය අත්විඳියි. තනිකමට ඇබ්බැහි වූ මිනිසෙකුට සොබා දහම වූ කලී උක් දණ්ඩක් මෙනි!

විශ්ව විද්‍යාලය පටන් ගන්නට සතියකට කලින් සිට ම ගම් බිම් වලට ගිය ළමයි නවාතැන් වලට පැමිණෙමින් සිටියහ. කොහොමත් මාසයේ බෝඩින් ෆී එක ගෙවිය යුතු ය. අමතර වියදමකට වන්නේ කෑම බීම ය. එය දරා ගන්නා එක ගෙදර ඉන්නවාට වඩා හොඳ යයි සිතමින් මංජරී ද කොළඹ ආවා ය. ඇය නවාතැන තෙක් කැටුව එන්නට දුල්නෙත් පිටකොටුවට යා යුතු විය.

එය ඔහු ඒ තරම් කැමැත්තක් ඇතිව ගිය ගමනක් නොවේ. මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට ම වන යහපතක් නැති බව දැන් දැන් ඔහු ට හැඟේ. නමුත් වෙන් වීමක් ගැන සිතන්නටත් බිය දැනෙනා තරමට මංජරී ගේ හැසිරීම් බිහිසුණු ය. ඔහු මේ සම්බන්ධය නතර කරමු කියා කීවොත් ඇය දිවි නසා ගන්නට වුව පෙළඹෙනු ඇත. මංජරී එහෙම කියා තිබේ. ඇය එහෙම කරන්නට බැරි එකියක ද නොවේ.

නමුත් එහෙව් උන්මාදනීය ප්‍රේමයක් ඇය වෙත නොමැති බව ද දුල්නෙත් ට දැනේ. හැඟේ. ඇය ඔහු පාවිච්චි කරනවාද කියා පවා විටෙක ඔහු ට සිතේ. නමුත් එහෙම කරනවා නම් ඒ ඇයි? ඒ ප්‍රශ්නය හමුවේ දුල්නෙත් නිරුත්තර ය.

මංජරී එන විට නිර්වාණය වසා තිබිණ. ඇයට දැනුණේ සැනසිල්ලකි. ඇය නැති අතරේ දුල්නෙත් එහි ගියත් අයානා එහි නැත!

අයානා බණ්ඩාරවෙල ගොස් දෙදිනකට පසු දුල්නෙත් යළිත් විජේරාමේ ගියේ ය. එදා සුමීරලා ද එගොඩවත්ත පාරේ බෝඩිමේ නොවන බව දැන දැන ම ය ඔහු ගියේ. නිර්වාණ ද්වාරයෙහි ‘ක්ලෝස්ඩ්’ බෝඩ් එක දමා තිබිණ. උස් ගොඩනැගිල්ලක් දෑස් ඉදිරියේ ම බිමට කඩා වැටුණා වන් හැඟීමක් දුල්නෙත් ට දැනිණ. මොහොතකින් ඔහු සම්පූර්ණයෙන් ම හිස් ව ගියේ ය. ඇසිල්ලකින් ඒ හිස් තැන බලාපොරොත්තුවකින් හා අධිෂ්ඨානයකින් පිරී යන්නට විය. වීදුරු දොරෙහි අලවා තිබූ වට්සැප් අංකයට ඔහු කඩිනමින් ඇමතුමක් ගත්තේ ය. කිසිදු හේතුවක් මත එසේ නොකර සිටින සේ යටි හිතෙන් ඇමතීමක් ලැබෙන්නට පෙර එසේ කරන්නට තරම් ඔහු ඉක්මන් හා ශක්තිමත් මනසකින් හෙබියේ වූයේ ය. මංජරී ගැන හිතෙත්දී එහා ඉමෙන් අයානා ‘හෙලෝ’ කියා අවසාන ය. දුල්නෙත් මන්දහාස මුහුණ බිමට හරවා ගෙන පාරේ වූ ගල් කැටයකට සපත්තුවෙන් ගැසුවේ ය. එය විසි වී පාර අනිත් පැත්තේ ට්‍රයිඩැක්ස් ගාල මත වැටිණ.

“වහලද අද නිර්වාණෙ…මං මේ දොරේ දාල තිබ්බ නෝටිස් එකෙන් නම්බර් එක ගත්තෙ”

“අනේ ඔව්නෙ…”

අයානා ට ඒ දුල්නෙත් ගේ හඬ බව ඒත්තු ගියේ පිළිතුර දුන්නාට ද පස්සේ ය. ඇය අලුත් සිනහවකින් පිපුණා ය.

“අම්මයි තාත්තයි එක්ක මං ටිකක් එළියට ආව. තව දවස් දෙක තුනකින් තමයි එන්න හිතං ඉන්නෙ. හදිස්සි වැඩක්ද…”

“ටිකකට එළියට ගියානං දවස් දෙක තුනකින් එන්නෑනෙ. ඒ කියන්නෙ ලොකු වැඩක්නෙ…”

“චූටි බ්‍රේක් එකක් ගන්න හිතුව ඉතිං…ඔයාගෙ වැඩේ අදම කර ගන්න ඕනද…”

“හ්ම්”

එහෙම කීවාට දුල්නෙත් ආවේ වැඩකට නොවේ. ඈ ඇමතුවේ ඇයි ද කියාවත් ඔහු නො දැන සිටියේ වී ද මේ කතා බහ ඔහුව මොළොක් කොට තිබිණ.

“අනේ ඉතිං…මොකද කරන්නෙ…”

එය ඔය තරම් වද වෙන්නට හෝ වග වෙන්නට හේතුවක් නොවේ. සෝරත මාවත දිගට ම ඕනෑ තරම් සන්නිවේදන මධ්‍යස්ථාන තිබේ. නමුත් අතපසු වීමක් ගැන වචන වලට පෙරළිය නොහැකි කුමක් හෝ ශෝකාකූල බවක් දෙසිතේ ම විය. තව දින තුන හතරක් ඒ නවාතැනට වී විවේක සුව ගමු යයි කියමින් සිටියාට හදිසියේ ම යළි එන්නට ඕනෑ වූයේත් අයානාට ම ය. නමුත් ඇය ඇවිත් නිර්වාණය විවෘත කර ගෙන බලා සිටියා ට ඉන්පසු  මංජරී කොළඹ එන තුරු ම දුල්නෙත් විජේරාමේ ආවේ නැත. ඔහු ගේ දුරකතන අංකය හේතුවක් නැතිවම සුරක්ෂිත කර ගත්ත ද, ‘ඕනේ නම් වැඩේ කර ගන්න එන්න’ කියා ඔහු ට කතා කොට කියන්නට අයානා පසුබෑවා ය.

විශ්ව විද්‍යාලය නිල වශයෙන් අලුත් වාරය සඳහා ආරම්භ වන්නට පෙර දිනයේ සැලකිය යුතු ප්‍රමාණයක් සිසුහු අවට කරක් ගසමින් සිටියහ. නේවාසිකාර වෙතට ද ගම් වලට ගිය අය පැමිණෙමින් සිටියහ. ටික දිනකට පාළුව වැළඳ ගත් විජේරාම නිදි ගැට කඩා කාර්ය බහුල වීමට උත්සුක වෙමින් සිටියේ ය. 

“නිවාඩු දවස් වල දවසක් මං දුල්නෙත්වනං දැක්ක. නිර්වාණෙං එළියට එනව. ඔයත් කොළඹද කියල අහන්න බැලුව. කෝ ඉතිං…ෆෝන් එකත් කනේ ගහං ගියා. මේ පැත්ත බැලුවෙ නෑ”

උදේ ම ඒ කාරණය මංජරී ගේ කනේ තිබ්බේ පීඨයේ ම සිසුවියකි. ඒ කේළමක් ලෙස නොවේ. නමුත් මංජරී ගේ ඇඟේ ලේ රත් වී ගෙන ආවේ ය. එය මොන තරම් වියරුවක්  වී ද යත් දුල්නෙත් සොයා ගොස් ඔහු එක්ක කතා නො කොට ඇය කෙළින් ම ගියේ නිර්වාණයට ය.

 අයානා පුස්තකාල කොටසේ පොත් රාක්ක වලින් ගෙන රෙදි කඩකින් දුහුවිලි පිස දමා නැවත අසුරමින් සිට කවුන්ටරය වෙත ආවේ ලිපිද්‍රව්‍ය කොටසේ තරමක සෙනගක් සිටි නිසාවෙනි. මංජරී වීදුරු දොර ඇර ගෙන නිර්වාණයට ඇතුළු වූයේත් අයානා කවුන්ටරය වෙත යමින් දොර ඉදිරියෙන් ගියේත් එකට ම ය. මංජරී දෙස බලා අයානා ඇයට මඳහසක් දෙනකොට ම දිග හළ වෙර යෙදූ අතක් විත් ඇගේ කොපුලක් මත පතිත වූයේ අකුණක් මෙනි. අයානා ට ‘ස්’ ගෑවුණේ ත්, ඇගේ ඇස් පියවුණේත්, සුරත කම්මුල අල්ලා ගත්තේත් එකට ම ය. මුදල් කවුන්ටරයේ උන් දුරාශා ඒ අතුල් පහරේ හඬට හැරී බලා වහා තරුණියන් දෙදෙනා වෙත ආවා ය.

“මොකද්ද ඒ කළේ ආ…”

දුරාශා මංජරී වෙත කඩා ගෙන පැන්නා ය. අයානා තවමත් ගින්දර පිට වෙන කම්මුල අල්ලා ගෙන බිම බලා සිටියා ය.

“තමුන් දැක්ක දේ තමයි කළේ”

මංජරී දත් මිටි කෑවා ය. ඇගේ ඇස් වලින් ද්වේශයේ ගිනි පුපුරු විසි වේ. නිර්වාණයේ ගනු දෙනු කරුවෝ විශ්මිත ව මේ දර්ශනය දෙස බලා සිටින්නට වන්හ.

“නිවාඩු කාලෙත් දුල්නෙත්ව මේක අස්සට ගෙන්න ගත්තෙ ඇයි…මොකටද ආ…”

“මේ හලෝ…”

අයානා ගේ මූණ වෙතට ම එල්ල වී තිබි මංජරී ගේ දබර ඇඟිල්ල අල්ලා පසෙකට විසි කරමින් දුරාශා නැගී සිටියා ය.

“මේක බිස්නස් ප්ලේස් එකක්. මෙතනට එන කස්ටමර්ස්ල කාටවත් එන්න එපා කියන්න අපිට පිස්සු නෑ. තමුන්ට තමුන්ගෙ කොල්ල ගැන ඔච්චර සැකනං එයාව ඔය බෑග් එකේ දාං එල්ලගෙන යනව. අපි කිව්වෙ නෑනෙ මෙතනට එවන්න කියල. යකූ මේක මාර වැඩක්නෙ…ආයෙත් සැරයක් අත පය උස්සං ආවොත්නං කඩනව දෙයියම්ප අත…දැං බහිනව මෙතනිං එළියට මං පොලිස්සියට කෝල් කරන්න කලිං”

“හහ් බිස්නස්..හිතා ගන්න පුළුවන් බිස්නස් ගැන…”

කියමින් මංජරී නිර්වාණයෙන් පිට වූයේ මග වැරදී හදිසියේ කඩා වැදුණු සුළි සුළඟක් නික්ම යන්නා සේ ය. දුරාශා දොරේ ක්ලෝස්ඩ් බෝඩ් එක දමා,  ඇතුළත රැඳී උන් පාරිභෝගිකයන් ගේ අවශ්‍යතා කඩිනමින් ඉටු කොට ඔවුන් ව පිටත් කොට හැරියා ය. එතෙක් ආකාසේ ඉහළ ආස්තරයක බර වී ගෙන තිබි වැහි වලාකුළක් සේ කඩා වැටෙන්නට ඇස් වලට ඕන කම තිබියදීත් අයානා ට සිනහ ගියේ ය.

“මොකද ඕයි හිනා වෙන්නෙ…පිස්සුද…අර පිස්සු බැ ල් ලිගෙං ගුටි කෑවෙ…එහෙමම අත අඹරල අල්ල ගන්නැතුව…”

“මට හිනා ගියේ ඔයා කියපු ඒවට”

“අයා…විහිළුවක් නෙවෙයි. මේක දැං සීරියස් වෙලා තියෙන්නෙ…ඇත්තටම මොකද්ද මේ සිද්ද වෙන්නෙ…”

දන්නේ නැති බව හැඟවීමට අයානා හිස දෙපසට සැළුවා ය. 

කටින් කට විත් දුල්නෙත් ගේ කනට මේ පුවත පැමිණියේ රෑ බෝ වී ය. ඒ වෙලාවේ ඔහු මිතුරු කැළ සමගින් පිට්ටනියේ ක්‍රිකට් ගසමින් සිටියේ ය. මිතුරෙකු වෙතින් සිදු වූව දැන ගත් දුල්නෙත් අඩ අඳුරේ විශ්ව විද්‍යාල භූමියෙන් පිට වූයේ පණ කෙන්දක් නැති මිනිසෙකු සේ ය.

එදා දුරාශා ගිය ගමන් අයානා නිර්වාණය වසා දැමුවා ය. යහනට වී ඔහේ ඇස් දෙක පියා ගෙන සිටියා ය. රාත්‍රී ඇඳුම ඇඳ ගනු පිණිස යහනෙන් නැගී සිටියදී, බිත්තියේ ගසා ඇති රූපවාහිනී තිරයේ දිස් වන සීසීටීවී කැමරා  දර්ශන නෙත ගැටුණේ අහම්බෙනි. 

දුල්නෙත් හිටියේ කියා ගත නො හැකි ශෝකයකින් හෙම්බත් වී ය. තව දුරටත් ඒ බර උහුලා දරා ගෙන සිටිය නො හැකි බවක් ඔහු ට දැනිණ. සුරතේ ඇඟිලි වලින් හිස කේ පිටුපසට කරමින් ඇස් පියා ගෙන ඉහළ බලනා තරුණයා ගේ දසුන අයානා ට ඒ මොහොත අමතක කරවන ලදී. ඇය රාත්‍රී ඇඳුම යහන මත අත්හැර කාමරයෙන් නික්මී පිය ගැට පෙළ දිග දිව ගෙන ගියා ය. ඔහු නික්ම යාවී කියනා බිය පමණක් ඒ වෙලාවේ අයානා තුළ විය.

දුල්නෙත් යන්නට අඩියක් සෝරත මාවතට තැබුවා පමණි. නිර්වාණයේ ඇතුළත තේක්ක දොරෙහි අගුලු විවර වන හඬ ඇසුණෙන් එහෙම ම හිඳ පිටුපස හැරී බැලුවේ ය. යන්තම් කහ පාට එළියක් විහිදෙන විදුලි පහනක් පමණක් දැල්වුණ නිර්වාණ ද්වාරයේ චිත්‍රයක් වන් දර්ශනයෙහි, දොර විවර කර ගෙන අයානා ඔහු දෙස බැලුවා ය. සෝරත මාවතෙහි තැබූ කකුල, දුල්නෙත් යළි නිර්වාණය වෙත ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles