දුල්නෙත් ගේ රුව දකින්නට නැතිව දෙදිනක් ම ගෙවෙත්දී ඔහු යළි නිර්වාණයෙහි දැකිය නො හැකි වනු ඇති බවට අයානා නිගමනයකට ආවා ය. ඒ සිතිවිල්ල ඇය තුළ ඇති කළා වූ ශෝක රසය කහ අරලිය සුවඳ වාගේ එකකි. ඇය ඒ ශෝකය සඟවා ගනු වස් වැඩියෙන් සිනහ වී සිටියා ය.
“දැං ඔයා හිනා වෙලා හංගන්න හදන්නෙ මොනාද…”
දුරාශා ඒ සිනහවේ රහස දැන සිටියා ය. කොහොමටත් අයානා ගේ හුස්ම ගැනීමේ වෙනසක් සිදු වුණත් යෙහෙළිය එය හඳුනා ගනී. ඔවුන් ගේ හිත මිතුරු කම අවුරුදු විසි ගණනක් පැරණි ය. ධර්මාශෝකයේදීත් එක ළඟ අසුන් ගත් ඔවුන් ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු තෝරා ගත්තේත් එක ම බාලිකාවකි. ඇතැම් වසර වල දී ඔවුන් දෙදෙනාට එක පන්තියක් ලැබුණේ නැත. එවන් අවස්ථාවක අයානා මිතුරිය වෙන පන්තියකට වැටීමේ ශෝකයෙන් දෙදිනක් පුරා ඉකි බිඳිමින් හැඬුවා ය.
“වෙන පන්තියකට වැටුණට මං තමයි ඔයාගෙ හොඳම යාළුව. අපි ඉන්ටවල් එකේදි එකට කෑම කමු”
හඬනා අයානා ගේ හිස පිරිමදිමින් දුරාශා ඇය සැනසුවා ය. අයානා සැනසුණේ ඒ වචන වලිනි. ඒවා වචන පමණක් නො වූයේ, පාසලෙන් සමු ගන්නා තුරු ම පන්ති දෙකක සිටියත් ඔවුන් විවේකයේ දී එකට හමු ව එක පන්තියක හිඳ කෑම ගත් නිසා ය. සිය ගණනක් මිතුරියන් අතරේ හැමදාමත් ඔවුන් දෙදෙනා හොඳ ම මිතුරියෝ වූහ.
දුරාශා ගේ ප්‍රශ්නයටත් අයානා කළේ සිනහවක් නගා ගන්නා එක ය.
“දෙයක් අහන්න ඇත්තම කියනවද…”
දුරාශා ගේ තියුණු ඇස් වල පෙනුමටත්, ඒ වචන වල තිබූ ඍජු බවටත් අයානා ගේ සිත ලදල්ලක් සේ සැලී නො ගියා ම නොවේ. නමුත් ඕ මිතුරිය දෙස බලා උන් බැල්මේ වූයේ ඇයට කිසිත් වසංගන්නේ නැති බවට කතාවකි.
“දුල්නෙත්ට කැමතීද…”
එය නම් ඇති කළේ ලදල්ලක සෙලවුමක් නොව භූමි කම්පාවක සෙලවීමකි. අයානා ඇස් පිය නො සලා, මඳක් විවර වූ මුවින් යෙහෙළිය දෙස බලා ගෙන ම සිටියා ය.
ඔව් කියන්නේ කෙසේ ද? දැන දැන ම වෙනත් කෙනෙකුට අයිති පුරුෂයෙකුට කැමති වීමේ පාපයට කර ගහන්නට ඇයට ඕනේ නැත. මිතුරියගෙන් නොව මෙතුවක් දිනක් ඇය ඇගේ ම හිතෙන් මුවහ වෙමින් සිටියේ ඒ ඇත්තට මූණ දෙන්නට වන බියෙනි. නමුත් ඒ ඇත්ත දැන් ප්‍රශ්නයක් වී ඈ අභියස නග්න ව හිඳී.
නමුත් නෑ කියන්නේ කෙසේ ද? ඔහු ට තියෙන්නේ තියුණු රාජාලි දෑසකි. අයානා ගේ ඇස් මුලින් ම යොමු වූයේ ඒ ඇස් දෙසට ය. එක සිනහවක් ඔහු ගෙන් ලබන්නට පසු ගිය කාලය පුරා ම ඇයට අවස්ථාවක් නොවී ද ඒ බැල්මෙන් සෑහෙන්නට ඇගේ හිත පුරුදු වූයේ ය. ප්‍රේමය දැනෙනා හිතකට එහෙම බැල්මක් ඉහටත් උඩිනි!
“ඔයා දන්නව මං කවදාවත් පිරිමි ළමේක්ට ආදරේ කරල නෑ. විදුර ව මැරි කරන්න කැමැත්ත දුන්න තමයි. ඒත් එතන ලොකු හැඟීමක් තිබුණෙ නෑ. අයියයි තාත්තයි එයාට කැමැත්තෙන් හිටිය නිසා…අකමැති වෙන්න හේතුවක් මං දැක්කෙ නෑ විතරයි…”
අයානා දුරාශා සමග වුව මේ විදුර ගේ නම පවා කීවේ ඒ සිදුවීම වී අවසන් වූවාට පස්සේ ප්‍රථම වතාවට ය.
“ඒ කියන්නෙ දුල්නෙත් ට ආදරෙයි…”
දුරාශා ගේ ඇස් දිළිසුණේ ය. අයානා නම් තිගැස්සී ගියා ය.
“මො…නාද කියන්නෙ…එයාට ගර්ල් කෙනෙක් ඉන්නව කියල අපි දන්නව දුශ්…”
“කවුරුහරි වෙන කෙනෙක් නිසා අෆෙයා එකක් කඩා ගන්නවනං ඒ ගැන මොකද්ද හිතන්න තියෙන්නෙ…”
දුරාශා ගේ ඇස් වල ද ස්වරයෙහි ද වූයේ අභියෝගයකි. අයානා ඒ ප්‍රශ්නය ගැන නො සිතා ම දෙතොල් දසන් දෙපෙළ අතරට ගෙන සපා ගත්තා ය.
“ඒ සම්බන්දෙ කිසිම හයියක් තිබිල නෑ කියලයි හිතන්න තියෙන්නෙ. පොඩි හුළඟටත් කඩං හැලෙන ගස් වලට පැවැත්මක් නෑ අයා. ගහක් උසින් මහතින් හැදිල හොඳට පොළොවට මුල් ඇදලනං සුළි සුළඟටත් නැවෙනව මිස ගැලවිලා යන්නෙ නෑ. දුල්නෙත් ගෙ පිරිමි හිතේ අහුමුළු පුරවන්න අර මංජරීද මොකීටද පුළුවන් වුණා නං ඒකා සැරෙන් සැරේට නිර්වාණෙට දුවං එන්න හේතුවක් නෑ. අර හොල්මන ඇවිත් තමංවම කන්ට්‍රෝල් කර ගන්න බැරුව ඔයාගෙ කම්මුලට ගැහුවෙ…ඒකිගෙ කම්මුලට ගහ ගන්න බැරි පාර. ඒකෙන් තේරෙනව මංජරී කොච්චර ෆේල්ද කියල. එයාට දුල්නෙත්ව ශුවර් නෑ. තමංගෙ ආදරේත් ශුවර් නෑ. එහෙම ආදර කතා තමයි අයා මේ ලෝකෙ වැඩියෙන්ම තියෙන්නෙ. ඇත්තටම ඒවට ආදර කතා කියන්න බෑ. ඔය මොන අවුල් තිබුණත් ඔය කාලෙට හිතෙන්නෑ ඒ අෆෙයා එක කොච්චර ටොක්සික් ද කියල. ඒකෙම එල්ලිල ඉන්නයි බලන්නෙ. අඬ අඬ හැපි හැපි ඒකෙම එල්ලෙනව. එතනින් එහාට ජීවිතයක් නෑ කියලයි හිතන්නෙ. කසාද බැඳල ටික කලක් යනකොට තමයි තේරෙන්න ගන්නෙ ඒ විෂ කොච්චර සැරද කියල. මට වුණත් ඒක තේරෙන්නෙ දැන්. ඒත් එතකොට ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. ළමයි බමයි හැදිල…අපේ සතුට වෙනුවෙන් කොච්චර වුණත් උන්ගෙ අනාගතේ අවුල් කරන්න හිත හදා ගන්න බෑ. අපි ඒ කාලෙම වෙන් නොවී ළමයින්ට දෙමව්පියන්ගෙන් එක්කෙනෙක්ව නැති කරන එක මහ කරුමයක්. ඒක නිසා මාර අමාරුවෙන් වුණත්…බෑ කියල තේරෙද්දි වුණත් ඉවසං දරං ඉන්නව. ඒ දෙන්න වුණත්…ගැලපෙන්නැත්තං කරන්න ඕන හොඳ ම දේ වෙන් වෙන එක. ගැලපෙන තැන් වල නතර වෙන එක. මං මේ කියන්නෙ කොල්ලෙක් කෙල්ලො මාරු කර කර යන්න ඕන කියන එක නෙවේ. අවලං කමට එහෙම කරන එවුංව තේරුං ගන්න පුළුවන්. හැබැයි දුල්නෙත් එහෙම කොල්ලෙක් නෙවෙයි කියල තේරෙනව. ඌ තාම ආදරේ විතරක් නෙවෙයි ඌවමත් හොයනව…ඔයාට දුල්නෙත්ව දැනෙනවනං…ඒ හැඟීමට කැමති විදිහට වැවෙන්න අරින්න”
“ඒත් දුශ්…”
“අනිත් ඒව ගැන හිතන්න යන්න බෑ බං අපිට. ගෑනියෙක්ට මිනිහෙක් දැනෙනවනං ඒක එච්චරයි. අනිත් එවුන් කුද ගහ ගත්තාවෙ. මං දන්නව ඔයාට තියන ප්‍රශ්න. සැරයක් කෙල්ලෙක් නිසා වෙඩින් එකක් කෑන්සල් කරපු ගෑනියෙක්නෙ උඹ. දැන් මංජරීගෙ ඇහැට වැලි ගහල අර කොල්ලව අල්ල ගන්න ප්ලෑන් අඳින්නෑ කියල කවුරු නැතත් මං දන්නව. අනිත් එක ඔයා ප්‍රයිවට් කැම්පස් එකක ඩිග්‍රි එක කම්ප්ලීට් කරල හිටියට මහ වයසක් නෙවේනෙ..ඕන්නං දුල්නෙත් අවුරුදු දෙක තුනකට මල්ලියෙක්…මන්නං කියන්නෙ ඔය කිසි දෙයක් ආදරේ දැනෙනවනං ප්‍රශ්න නෙවේ. ඔයා එක්ක හැමදාම ඕන තත්වෙකදි මං ඉන්නව. තව දෙයක් කියන්නද…”
“මොකද්…ද…”
දිගු වෙලාවක් තනිව කියවූ දුරාශා ට නැති මහන්සියක් අයානා ගේ තනි වචනයේ විය.
“දුල්නෙත්ට මං කැමතී”
“ආ…”
දුරාශා හඬ නගා නිදහසේ සිනහ වූවා ය.
“මං කිව්වෙ බූරියෙ…තමුසෙ ඒකාට ලං වෙනවට මං කැමතී කියල”
දුල්නෙත් හමු නොවී දෙදිනක් ම ගත වී තිබුණත් අයානා ගේ පපුව ඇතුළේ ඔහු ළඟ දැනුණ සුවඳ යන්තමින් පැතිර ගියේ ය. ඇය ඇස් පිය සැළුවේ පවා පරිස්සමෙනි.
දුල්නෙත් විශ්ව විද්‍යාලයට නො පැමිණි පළමු දිනයේ මංජරී ට දැනුණේ බරපතල රිදුමකි. එය ඇගේ ආත්ම අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් විය. දුල්නෙත් ගෙන් ඇය ප්‍රතික්ෂේප වී යාම පිළිබඳ හීන මානයක් එතැන තිබිණි.
‘තව අවස්ථාවක් දෙන්න’ යනුවෙන් ඇය යැවූ වට්සැප් පණිවිඩය ඔහු දැක තිබිණි. නමුත් දුල්නෙත් කිසිදු ප්‍රතිචාරයක් නො දක්වා සිටියේ ය. මංජරී දෙවතාවක් ඔහු ගේ දුරකතනයට ඇමතුම් ගත්ත ද ඔහු පිළිතුරු නො දුන්නේ ය. රාත්‍රියේ දී ඔහු ගේ දුරකතනය ක්‍රියා විරහිත ව තිබිණි. ගෙදර අංකය අමතන්නට මංජරී නො ඉවසිලිමත් වූවා ය. නමුත් එය ට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත.
ඉවසීමක් නැති මංජරී ගෙදර දුරකතනයට ඇමතුම් ගත හැකි බව අනුමාන කළ දුල්නෙත්, කාටත් හොරෙන් දුරකතනයේ වයරය ගලවා දැමුවේ ය. ඔහු එය යළි සවි කළේ උදේ ය.
මංජරී හිටියේ පිස්සු වැටුණ ගානට ය. දුල්නෙත් ට එහෙම ගැලවී යන්නට නොදෙන්නෙමියි ඇය තදින් සිතා ගත්තේ ඔහු නො පැමිණි මුල් දිනයේ නිර්වාණය ඉදිරියෙන් ඇවිද යත්දී ය. අයානා හා දුරාශා අඹ අච්චාරු කමින් නිර්වාණය දොරකඩ හිඳ සිනහ වෙමින් පාර බලා සිටියහ. මංජරී ගේ සිරුර පුරා දිව ගිය ද්වේශයේ හෝ ඊර්ෂ්‍යාවේ හෝ හීනමානයේ තරංග වෙන් කොට හැඳින ගන්නට ඇය සමත් වූයේ නැත. මංජරී වෙව්ලමින් සිටියා ය.
මග අයිනට කොට මෝටර් රථයක් නැවතුණේ මංජරී සෝරත මාවතෙන් මැද මාවතට හැරෙන්නට හදනකොට ම ය. ඉදිරි වීදුරුව පහත් කරමින් රියදුරු අසුනේ උන් තැනැත්තා මඳක් වම් පසට බර වී මංජරී ඇමතුවේ ය.
“කොහෙටද ඔයා යන්නෙ…”
ඇය සිටියේ ආත්ම දැවීමක ය. එනිසාවෙන් ම ඒ මෝටර් රථය තුළ වන්නේ කවුදැයි එක්වර හැඳින ගන්නට ඇය සමත් වූයේ නැත. ඒ හැඳිනීම සිදු වූයේ තත්පර කිහිපයක ඇවෑමෙනි.
සයුරංග ඒකනායක!
මංජරී පින්තූරයක් වගේ සිනහ වූවා ය. ඇය සිනහ වෙන විට සුන්දර ය. නල දත් දෙක ඇගේ සිනහව නෙත්තාකර්ෂණීය කරවයි.
“දෙල්කඳට”
ඒ සිනහවෙන් ම, පහත් වූ වීදුරුව සහිත කවුළුව ළඟ මඳක් නැවී, අව්වට ඉහළා ගත් කුඩය කරකවමින් මංජරී පිළිතුරු දුන්නා ය.
“මාත් නුගේගොඩ පැත්තට යන්නෙ. නගින්න”
“මේ පාරෙන් ශෝට් කට් එකක් තියනව. වැඩි දුරක් නෑ”
ඇය ලැජ්ජාශීලී ලෙස, දේශකවරයා ගේ ඉල්ලීම එකවර නො පිළිගෙන සිටියා ය.
“හරි හරි නගින්න ළමයො. පයින් යන්නෙ මොකටද බස් තියාගෙන”
ඔහු විහිළුවක් කළේ ය. මංජරී ඒ සිනහවට සමාන්තරව කිකිණි හඬින් සිනහ වූවා ය. ඒ වන විටත් සයුරංග රිය දොර විවර කොට අවසන් ය. දම් පාට මල් කුඩය හකුළා ගනිමින් යුවතිය ඊට ගොඩ වූවා ය. හරි බරි ගැසී හිඳ ගත්තාට පස්සේ ආසන පටිය තද කරන්නට සිදු වූයේ සයුරංග ට ය. මංජරී නැවත ද ඔහු ගේ මූණ බලා සිනහ වූවා ය. අව් කණ්ණාඩි පැළඳ සිටි නිසා ඔහු ගේ දෑස් පැහැදිළිව දැකිය හැකි වූයේ නැත. නමුත් ඔහු මේ විදිහට වඩාත් කඩවසම් ය කියා ඇයට නිකමට සිතිණ.
“ගෙවල් දෙල්කඳද…”
සයුරංග රිය පණ ගැන්වූයේ කතාවකට පාර කපමිනි.
“නෑ. දුරින් නෑදෑ වෙන ගෙදරක ඉන්නෙ”
විජේරාමේ සිට දෙල්කඳට වන අල්පයක් දුර තුළ කතා කරන්නට හැක්කේ වචන කිහිපයක් පමණි. නමුත් ඒ කෙටි දුර තුළ ඔහු වඩාත් සිය හිතට සමීප වූ සෙයක් මංජරී ට දැනිණ. ඊළඟ උදයේත් දුල්නෙත් විශ්ව විද්‍යාලයට පැමිණ තිබුණේ නැත. කැන්ටිමේ දී මංජරී ට සයුරංග හමු විය. එදා ඇය වෙනුවෙන් කෑම මිල දී ගත්තේ ඔහු ය. ඔහු කී විහිළු කතා වලට ඇය ඕනවටත් වැඩිය සිනහ වූවා ය.
“ඔයාව දෙල්කඳින් ඩ්‍රොප් කරන්න මට පුළුවන්. ලෙක්චර්ස් ඉවර වුණාම මට කෝල් එකක් දෙන්නකො”
කියමින් සයුරංග මංජරී ගේ ජංගම දුරකතනයෙන් සිය දුරකතනය හැඬවූයේ ය. ඔහු ඇගේ අංකය ලබා ගත් විදිහ මංජරී තුළ සතුටක් ඇති කරවී ය. ඒ මෝටර් රථය තුළ දැනුණ අපූරු සුවඳ ඇය චමත්කාර හීනයක අතරමං කරවන ලදී. ඒ තරම් නවීන රියකට ඇය නැගුණ ප්‍රථම අවස්ථාව පෙර දා හවස උදා වූයේ ය. එහෙම රියක හැමදාම ගමන් යාම හීනයක් හැබෑ වීමකි. ඒ චමත්කාර ලෝකයෙහි හිතෙන් සැරිසැරු නිසා ඒ රාත්‍රියේ මංජරී දුල්නෙත් ට ඇමතුම් ගන්නට නො ගියා ය.
“එයාට ඕන්නං ගනී”
එහෙම හිතන්නට ඇයට හැකි වී තිබිණ.
දුල්නෙත් යළි විශ්ව විද්‍යාලයට පැමිණියේ දෙදිනකට පසුව ය. නිර්වාණයට නොයන්නට ඔහු හිතා ගෙන ම ආවේ ය. මේ සියල්ල නිසා අවසානයේ සිදු වීමට නියමිත අයානා ගේ හිත බිඳීමෙන් වළකා ලන්නට ඔහු හිත දැඩි කර ගෙන සිටියේ ය. අනිත් අතට ඔහු මංජරීට ඒ සම්බන්ධය නතර කරමු කියා කීවේ අයානා නිසායි කිසිවෙකු චෝදනා කරනු දකින්නට ඔහු ට ඕනෑ නොවී ය. මංජරී ගේ ප්‍රේමය පිළි ගන්නා විටත් අයානා හිතේ හිටි බවත්, මංජරී ට හද දොරටු විවර කළේ අයානා ට එහි එන්නට කිසිදු අවස්ථාවක් තබා ගෙන නොවේ කියාත් ඔහු කීවාට කිසිවෙකු නොපිළිගනු ඇතැයි දුල්නෙත් සිතුවේ ය. ඉතින් සියලු දොස් අයානා මතින් ගසා යන්නට ඉඩ තැබිය යුතු නැත.
පණ කෙන්දක් නැතිව වගේ දුල්නෙත් වැනි වැනී පාරේ අනිත් පැත්තේ ඇවිද යනු අයානා වීදුරු දොරට මූණ තියා ගෙන බලා සිටියා ය. ඔහු නිකමට හෝ නිර්වාණය දෙස බැලුවේ නැත. නමුත් අයානා ගේ හිතේ පුංචි සුදු මලක් පිපී වැනුණේ ය.
“එයා අසනීප වෙලා ඉඳලද මන්දා”
ඇය තනිව මිමිණුවා ය.
මංජරී සොයන්නේ නැතිව දේශන ශාලාවට යන්නට දුල්නෙත් හිතා හිටියේ ය. නමුත් ඇය සිනහ වෙමින් හා කතා කරමින් සයුරංග සමග කැන්ටිම වෙත යමින් සිටිනු ඔහු ට අතර මගකදී දැකිය හැකි විය.