මල්වර මල් සර -11

මංජරී සිනහ වෙමින් කතා කරමින් තමන් අභියසට පැමිණෙමින් හිඳින්නේ කවුරුන් සමගද කියා දුල්නෙත් ට හැඳිනිය හැකි වූයේ නැත. නමුත් මංජරී ඒ පුද්ගලයා කෙරේ විද්‍යමාන කළ රසායනය තුළ ඔවුන් ඉතා හොඳින් උනුන් හඳුනන බවක් ප්‍රකට විය. දුල්නෙත් ගේ ඇස් බැමි මඳක් හැකිළී නළල රැලි නැංවුණේ මංජරී ප්‍රකට කළ හුරතලය, ජීවිතයට ළඟින් ම හිඳිනා පිරිමියෙකු කෙරේ ගැහැනියකගෙන් විද්‍යමාන වන්නක් බව ඇදහූ බැවිනි.

ඔවුන් ගේ මග හරස් වන සේ දුල්නෙත් ඔවුන් ඉදිරියේ නතර වූයේ ය.

“දුල්නෙත්. ඔයා ආවද…මං හිතුව අදත් එන එකක් නෑ කියල”

මංජරී කිසිදු වෙනසකින් තොරව කීවා ය. දුල්නෙත් ගේ අතැඟිලි මිට මෙළවුණේ කේන්තිය ඉවසා ගන්නට බැරිව ය. නමුත් ඔහු තමන් ව පාලනය කර ගැනීමේ උත්සාහයක් ගත්තේ ය.

“කවුද මේ..”

සයුරංග ඒකනායක දෙස බලන්නේ හෝ නැතිව දුල්නෙත් කෙලින් ම බැලුවේ මංජරී ගේ ඇස් දෙක දෙස ය. ඒ බැල්මට කෙලින් මුහුණ දීමේ අසීරුවකින් මංජරී ඔහු ගෙන් ඇස් මුදා ගත්තා ය. සයුරංග ගේ කට කොනක් සිනහවකින් ඇද විය. 

දුල්නෙත් ගේ කෝපය හා නො ඉවසිලිමත් බව මංජරී හරියට ම තේරුම් ගත්තේ මේ මොහොතේ ය. ඔහු ඇයට ඒ සම්බන්ධය නවත්වමු යයි යෝජනා කළේ ය. දැන් මූණ අඳුරු කර ගෙන සයුරංග කව්දැයි ප්‍රශ්න කරයි. ඔහු  රිදවීමේ ක්ෂණික ආශාවක් මංජරී තුළ ඇති විය.

“දුල්නෙත් අපි කැන්ටින් එකට යනව. මං පස්සෙ ඔයාට කතා කරන්නංකො”

එසේ කී මංජරී උරහිස මඳක් හරවා දුල්නෙත් ගේ ඇඟේ නො ගෑවී ඔහු ට වම් පස ඉඩෙන් පෙරට අඩියක් තැබුවා ය. එතකොට දුල්නෙත් බැලුවේ සයුරංග දෙස ය. ඔහු තව දුරටත් සමච්චල් කට කොන් සිනහවකින් දුල්නෙත් දෙස බලා ගෙන ඔහු ළඟින් ඉස්සරහාට ගියේ දුල්නෙත් ගේ ඇඟේ හැපුණත් ඒ ගැන කිසිදු සැලකිල්ලක් නො දක්වන්නා සේ ය. ඒ අනුව අයින් වෙන්නට සිදු වූයේ දුල්නෙත් ට ය. පිටුපා යන යුවළ දෙස ඔහු හැරී බැලුවේ ය. කේන්තියක් ද ලැජ්ජාවක් ද ඊර්ෂ්‍යාවක් ද දුකක් ද පරාජිත බවක් ද නැත්නම් ඒ සියල් හැඟුම් වල සම්මිශ්‍රණයක් ද මන්දා ඔහු තුළ එකිනෙක පරයමින් නැගී සිටින්නට වූයේ ය. ආත්ම අසරණකමකින් ඔහු දේශන ශාලාව වෙත ගෑටුවේ ය. 

ඒ සම්බන්ධය නවත්වමු යයි මංජරී ට යෝජනා කළේ දුල්නෙත් ම ය. ඇගේ ඇමතුම් නො සලකා සිටියේත් ඔහු ය. ඉතින් දැන් මේ ඔහුව යට කරනා හැඟුම් රළ පහර කවරේ ද? මේ තරම් ඉක්මනට මංජරී මේ විදිහට වෙනස් වේ යයි ඔහු නො සිතුවා වන්නට ඇත. ඒ සම්බන්ධය නවත්වා දමන එක ඔවුන් දෙදෙනාට ම යහපතක් වන බව  මේ මොහොතේත් දුල්නෙත් දනී. නමුත් මේ නො සන්සුන්කම කුමක් දැයි ඔහු දන්නේ නැත. කෙලවර අසුනක හිඳ ගත් දුල්නෙත් හිස බිත්තියෙහි හේත්තු කර ගෙන ඇස් පියා ගත්තේ ය. අදත් විශ්ව විද්‍යාලයට නෑවිත් ඉන්නට තිබුණායි ඔහු ට සිතිණ.

මංජරී ට දැනුණේ කුරිරු සතුටකි. කෙසේ හෝ යළි දුල්නෙත් ගේ හිත දිනා ගන්නවා මිස ඔහු රිදවන්නට ඇය සිතා උන්නා නොවේ. එසේ කළ හැකි බව දැනුණේ ඔහු ගේ මූණ වෙනස් වී තිබි විදිහ නිසා ය. දුල්නෙත් ඇගේ සිහින වලට අංශු මාත්‍රික වටිනාකමක් දුන්නේ නැත. ඒ ගැන ඔහු ගෙන් පළි ගන්නවා නම් ඊට හොඳ ම පාර වැටී තිබෙන්නේ සයුරංග හරහා ය.

“මොකද්ද දැං ඔය අෆෙයා එකට වුණේ…”

කැන්ටිමේ මේස පුටුවක හරි බරි ගැහෙමින් සයුරංග මංජරී විචාලේ ය. ඇය ඇස් දෙක පහළට හරවා ගත්තා ය. 

“එයාට මට වැඩිය අර කමියුනිකේශන් එකක ෆොටෝ කොපි ගහන කෙල්ලෙක් ලොකු වුණා”

සයුරංග හඬ නගා සිනාසුණේ ය. කැන්ටිමේ උන් කිහිප දෙනෙකුගේ ම ඇස් නව යුවළ වෙත යොමු විය. වෙනදාට මංජරී හා දුල්නෙත් වෙනුවෙන් වෙන් වූ මේසය දැන් දින දෙක තුනක් තිස්සේ සයුරංග හා මංජරී වෙනුවෙන් වෙන් වී තිබේ. පසු ගිය දින වල දුල්නෙත් ව විශ්ව විද්‍යාල භූමියේ දැකිය නො හැකි ද විය. ඒ සම්බන්ධය අවසාන වී ද යන පිළිතුරක් නො ලද මුණු මුණුවක් සරසවි සිසුන් අතරේ පැතිර යමින් තිබිණ.

“කොල්ලන්ට ලව් කරන්න ෆොටෝ කොපි ගහන කෙල්ලෙක්ද නගර සභාවෙ කුණු අදින කෙල්ලෙක්ද අරව මේව අදාල නෑ. අවුරුදු බර ගාණකට කලින් ලංකාවෙදි හිත ඇදිල ගිය බාල්දි වැසිකිලි වල බාල්දිය ඔළුවෙ තියං යන අඩු කුළේ කෙල්ලෙක්ට ආදරේ හිතිල නෙරූඩා ඒ කෙල්ලව ඇඳටත් අරං ගියා. වෙන කවුරුත් නෙවෙයි නෙරූඩාමයි එයාගෙ මතක ගැන ලියපු පොතේ අවුරුදු තිස් හතළිස් ගාණකට පස්සෙ ඒ සිද්දිය ලිව්වෙ. ලව් කරන්න පුළුවන්නං එවෙලෙට එච්චරයි. මැරි කරන්න යද්දි තමයි වංශය වර්ගය ගෝත්‍රය කුළය මළය හොයන්නෙ”

ඒ සිනහවේ කෙළවර ඉතා සරල හා සැහැල්ලු ලෙස ඔහු පැවසී ය. මංජරී මුහුණ රතු කර ගත්තා ය.

“මුහුදෙ ඉන්නෙ එක මාළුවද ළමයො. එයා ෆොටෝ කොපි ගහන කෙල්ලෙක් යාළු කර ගත්තනං ඔයාට තියෙන්නෙ ලෙක්චරර් කෙනෙක් සෙට් කර ගන්න”

මංජරී ගැස්සී ගියා ය. ඇගේ ඇස් ලොකු වූයේ ය. මුව පසෙකින් මඳක් විවර වී නළ දත යාන්තමට දිළිසෙමින් පෙනිණ. නැවත ද වරක් සයුරංග පෙර සේ ම සිනහ වූයේ ය.

“ඇයි…හොඳ නැද්ද මං කරපු යෝජනාව…”

“අපිට කොහෙන්ද ඉතින් ලෙක්චරර්ස්ල…”

මංජරී ලැජ්ජාවක් නගා ගත්තා ය. සයුරංග ඇගේ මූණට එබුණේ ය.

“හඳක් වගේ මූණක් තියෙන…නෙළුම් මලක් වගේ නළ දත් හිනාවක් තියෙන…දිය ඇල්ලක් වගේ ලස්සන කොණ්ඩයක් තියෙන දිව්‍යාංගනාවක් වගේ චූටි කෙල්ලෙක්ට ආදරේ නොකරන ලෙක්චරර් කෙනෙක් ඉන්න පුළුවන්ද…ම්..”

මුළු සිරුරේ ම සංසරණය වූ රුධිර ධාතුව ඒ නිමේශයේ මංජරී ගේ මූණට එක්කාසු වී ඇය තව තවත් රතු වෙමින් සිටියා ය. දුල්නෙත් ට ඇය එපා කීවේ ය. ඔහු ට පේන්නට ම සයුරංග වාගේ ආචාර්යවරයෙකු දිනා ගන්නට ඇයට හැකි වී තිබේ. මංජරී සිහින් ආඩම්බරයක් අත්වින්දා ය. දුල්නෙත් ට රිදිය යුතුයයි ඇය සිතුවා ය.

සැබවින් ඔහු ට රිදී තිබිණ. රිදෙන්නේ ඇයි දැයි දුල්නෙත් නො දැන සිටියේ ය. මංජරී වෙනත් පෙම්වතෙකු තෝරා ගෙන ඔහු ගෙන් ඈත් වෙනවා නම් ඒ ගැන වැඩිපුර ම සතුටු විය යුත්තේ ඔහු ය. නමුත් එවන් සතුටක් දුල්නෙත් ට දැනුණේ නැත. ඔහු ට දැනුණේ නොතේරෙන අගාධයක ඔහු ගිලෙමින් යනවා සේ ය.

එදා හැන්දෑවේ දේශන වලින් පසු විශ්ව විද්‍යාලය තුළ දී ම මංජරී සයුරංග ගේ රියෙහි නැගී ගියේ දුල්නෙත් ඇතුළු මිතුරු පිරිස එතැන සිටියදී ම ය. 

“කෙල්ලො ඔහොම තමයි බං. උංව සත පහකට විශ්වාස කරන්න බෑ”

“සයුරංගය කොහොමත් කොබා කියල පේනව. ඌට පත සයිස් වෙසල් එකකුත් තියනවනෙ. බයික් එකක්වත් නැති එකෙක්ට වඩා එහෙම එකෙක්ගෙ කරේ එල්ලෙන එක හොඳයි කියල හිතෙන්නැති”

“එක අතකට උං හරි බං. අපි මේකෙන් එලියට ගිහින් කවදා උන්ට ඔය වගේ ලයිෆ් එකක් දෙන්නද…”

“සයුරංගය ඩිවෝස් වෙච්ච පොරක්ලු”

“ඩිවෝස්නං දහයක් වුණත් මුන්ට ගාණක් නෑ. අපේ උං ඔය වගේ වාහනයක් දැක්කහම ඒකට පනින්නැති ටික විතරයි”

දුල්නෙත් ගේ මිතුරෝ එක එක කතා කීහ. නමුත් ඔහු එක වචනයකුදු කතා කළේ නැත. ගිනියම් වූ ගුලියක් උගුරේ හිර වී ඇති සෙයක් ඔහු ට දැනිණ. දුල්නෙත් පසු වන්නේ හිත් වේදනාවෙන් බව දැනුණු නිසා මිතුරෝ ඔහු ව එගොඩවත්ත පාරේ බෝඩිම වෙත කැටුව ගියෝ ය. ඔහු ඉකි ගසමින් හැඬුවේ එහිදී ය. මංජරී ඔහු ට නො ගැලපුණේ වී ද ඔහු ඇයට සැබවින් ම ආදරය කළේ ය. දීර්ඝ කාලීන සම්බන්ධයක් සඳහා ඇය ව තෝරා ගත්තේත් එබැවිනි. මේ වගේ බිඳ වැටීමක් ගැන දුල්නෙත් සිහිනයෙන් හෝ සිතා තිබුණේ නැත. ඔහු ගේ සිත සසල කරන්නට අයානා සමත් වූව ද මංජරී අත් හැර ඇය සමග පෙම් සබඳකමක් ඇති කර ගන්නට දුල්නෙත් සිහිනයෙන් හෝ සිතුවේ නැත.

“එදා අයානාට ගහපු සීන් එක ගැන උඹ මළ පැනලනෙ හිටියෙ. මංජරී වැඩියෙන්ම මෙහෙම දෙයක් කරන්න ඇත්තෙ උඹට හර්ට් කරන්න. මං කියන්නෙ උඹ රිදුණා කියල පෙන්නන්න එපා. කොහොමත් මේක ඇතුළෙ ලව් කියන්නෙ අද තිබුණා හෙට නැති වෙන දෙයක්නෙ මචෝ. උඹ හිත හදා ගනිං”

මිතුරෝ ඔහු ගේ බිඳුණු හිත හදන්නට උත්සාහ කළහ. 

“ලස්සන කෙල්ලෙක්ට ලං වෙන එකෙක් මේකත් බලාපොරොත්තුවෙං ඉන්න ඕන ඇති බං”

“ඒත්…එයා ඉක්මං වුණා වැඩියි බං. මං දන්නව මංජරී හීන මවන ලයිෆ් එක මොකද්ද කියල. මේ වේගෙන් ගියොත් එයා ඉක්මනට වැරැද්දක් කර ගන්නව”

දවස තිස්සේ ම හිතුණ දේවල් සාරාංශ කොට, ඉකිබිඳුම අතරින් බිඳුණු හඬකින් දුල්නෙත් කියා ගත්තේ ය.

“වේගෙ වැඩි වෙලා හැප්පුණොත් කවුරු හරි ඉස්පිරිතාලෙට ගිහිං දායි. කොහොමත් ඔය වගේ උං දෙතුන් පාරක් හැප්පිලා කුඩු පට්ටං වෙනකල් මේක මොන වගේ ගමනක්ද කියල තේරුං ගන්නෑ. අපිට ඒකි මොනා කර ගත්තත් වැඩක් නෑ හැබැයි තෝ පිස්සු කෙළින එක අදින් ඉවර වෙන්න ඕනෙ. යකෝ මේ අපි වගේද උඹ…උඹ කොළඹ හැදිච්ච එකෙක්. අම්ම උඹව හදන්නෙ නිකං මල් පැලයක් හදනව වගේ. ඒක නිසා ඇති වෙනකල් අඬල පලයං. ආයෙ මංජරී කියල කෙනෙක් උඹේ ජීවිතේ හිටියෙ නෑ කියල අමතක කරපං”

කවුරුන් කෙසේ කීවත් එසේ කරනා එක පහසු නැති බව දුල්නෙත් දැන සිටියේ ය. ඒ ඔහු ගේ ප්‍රථම පෙම් සබඳකම ය. උසස් පෙළ පන්ති වලදීත් ඕනෑ තරම් ගෑනු ළමයින් ඇසුරු කළ ද දුල්නෙත් ට ප්‍රේම සම්බන්ධයක් තිබී නැත. මංජරී ගැන ඔහු තුළ දීර්ඝ කාලීන සිහිනයක් තිබිණ. එය විවාහයක් දක්වා දිවෙන්නකි. ඉන් පසු ද දරුවන් තනමින් ද ගෙවල් දොරවල් හදමින් ද වාහන ගමින් ද දරුවන් ට උගන්වමින් ද ගත කිරීමට නියමිත අනාගතයක් සැලසුම් කළ සිහිනයකි. මංජරී ඒ සිහිනය කුඩු පට්ටම් කොට දැමුවා ය. ඔහු මුළුමනින් හිස් වී ඒ හිස් කමට බරපතල පරාජිත හැඟීමක් කාන්දු වෙමින් තිබිණ.

දුල්නෙත් නිර්වාණයට නො එනා එක හොඳ යයි අයානා තීරණය කළා ය. හදවතේ ඉරිතැලීමක් ඇති ව තිබිණි ද ඇය සුසුමකින් රිදුමන් පිරිමැද ගෙන හිත හදා ගන්නට කැමති වූවා ය. 

විශ්ව විද්‍යාල සිසුන් ගෙන් සෝරත මාවත හිස් වන්නේ අඳුර කුර ගගා පැමිණීමත් එක්ක ය. රෑ වන තුරු සරසවි බිම රැඳී හිඳිනුයේ බාහිර කටයුතු වෙනුවෙන් ඉන්නා අය පමණකි. ඉර බැහැ ගෙන ගිහින්, පාර පාළු වී යන, අඳුර බිඳින්නට වීදි ලාම්පු දැල්වෙන වෙලාවට නිර්වාණ ද්වාර ඉදිරියේ කහ අරලිය ගසට පිට දී ගෙන අහස දෙස බලා ඉන්නට අයානා රිසි ය. ඉඳහිට දිනෙක, නිර්වාණ ද්වාර වසා දමන්නට පෙර ඇය එහෙම මග දෙස බලා හිඳී. අද එසේ සිටිනා විට හදවත තුළට රිංගා ගත් දැවීම ගැන ඇය නො සිතා සිටියා ය. මේ විශ්වයෙහි සදාකාලික වන කිසිවක් නැති බව ඇය දනී. වැදගත් වන්නේ ජීවත් වන්නට නියමිත දින ගණන සතුටෙන් හිඳීම ය.

සුමීර ගේ බොඩින් කාමරයේ සිට ගෙදර යන්නට දුල්නෙත් සෝරත මාවත දිග එමින් සිටියේ ඒ අඳුර අහසේ සිට බිමට බහිනා හෝරාවේ ය. නමුත් අහසේ තවමත් ආලෝකය ඉතිරි ව තිබිණ. දුල්නෙත් හිතා මතා ම බෝඩිමේ පමා වූයේත් අයානා නිර්වාණය වසා දමනා තුරු ය. ඔහු එදෙස බැලුවේත් එය වසා දමා තිබෙනු දකිනා බලාපොරොත්තුවෙනි. නමුත් අරලියා ගසට පිට දී ගෙන කහ පාට මන්දාලෝකයෙහි නැහැවී අයානා එහි වූවා ය. දුල්නෙත් ගේ දෙපා වල වේගය අඩු විය. අයානා ගේ මුව මත මල් පිපෙන සිනහවක් පූදිමින් තිබිණ. ඇය අරලියා ගසෙන් මෑත් වූයේ ඔහු ඇතුළට එන්න යනවා යන බලාපොරොත්තුවෙනි. දුල්නෙත් ට දිගට ම යන්නට බැරි විය. ඔහු හුස්මකින් පපුව පුරවා ගනිමින් ම අයානා දෙස නො බලා නිර්වාණයට ගොඩ වූයේ ය. පුස්තකාල කොටසේ ඔහු ට පුරුදු අසුන වෙත ගොස් එය අදිනා ගමන් බෑග් එක ගලවා මේසය මතින් තැබුවේ ය. අයානා හෙමි හෙමිහිට නිර්වාණය තුළට පිය තබා පුස්තකාල කොටසේ විදුලි පහන දැල්වූවා ය. ඒ දුල්නෙත් පොතක් තෝරා ගනු ඇතැයි සිතූ නිසාවෙනි. නමුත් ඔහු කළේ අත් දෙක මේසය මත දිගු කරමින් හිස එහි ඔබා ගන්නා එක ය. අයානා ගල් ගැසීගෙන වාගේ මඳ වෙලාවක් බලා සිටියා ය. දුල්නෙත් සිය ඉරියව්ව වෙනස් කළේ ද නැත. ගැහෙනා හදින් යුතුව කෝපි මැශිම වෙත ගිය අයානා කෝපි එකක් දැමුවා ය. බන්දේසියේ තබනු වෙනුවට අත් දෙකෙන් ම එය අල්ලා ගෙන හෙමි හෙමිහිට දුල්නෙත් උන් මේසය වෙත ආවා ය. ඔහු පසෙකින් හැමු කෝපි සුවඳ දුල්නෙත් ට දැනිණ. තරුණයා යන්තම් හිස නැගුවේ ය. ඒ ඇස් රතු වී තිබෙනු අයානා දුටුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles