අමරේන්ද්‍ර චන්ද්‍ර පාණ්ඩේ කියන නම ඔබ අසා තිබෙනවාද? ඒ අසා නැති නම් ටයිම් සඟරාව “විෂබීජවලින් මිනී මැරීම” ලෙස හැඳින්වූ කතාව ද සිංගප්පූරු ස්ට්‍රේට්ස් ටයිම්ස් “සිදුරු වූ බාහුවේ අභිරහස” යනුවෙන් හැඳින්වූ කතාව ඔබ අහලා තියෙනවද?
ඒ ලෝකය කැළඹූ කතාවක්!
1933 වසරේ නොවැම්බර් 26 වන දා සවස් යාමයේ නැගෙනහිර ඉන්දියාවේ කල්කටා නගරයේ දුම්රිය ස්ථානයට අමරේන්ද්‍ර පැමිණෙන්නේ ගමනක් යන්නට. ඔහුගේ සිරුරේ ගැටී මිනිසෙක් යන්නට යනවා. ඔහු ජනයා අතර අතුරුදහන් වෙද්දීම අමරේන්ද්‍රට දකුණු අතේ තදබල වේදනාවක් දැනෙන්නට පටන් ගන්නවා.
“කවුරු හරි මගේ අතට ඇන්නා”
එහෙම කෑගහන්නට අමරේන්ද්‍ර පටන් ගන්නවා. ඔහු සමඟ සිටි නෑයන් වහාම ලේ පරීක්ෂා කරන්නට ඔහුට සිහි ගන්වනවා. නමුත් ඔහුගේ අර්ධ සහෝදරයා වූ බිනෝයේන්ද්‍ර පැවසුවේ දැන් පවුලේ වත්තට යා යුතු නිසා ඒ ගමන ප්‍රමාද කළ යුතු නැති බවයි.
අමරේන්ද්‍රට උණක් වැළදෙන්නේ වතු යායේදී. ඔහු නැවත කල්කටා එන්නේ ඒ නිසා. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් ඔහුගේ අතේ එන්නත් කටුවකින් ඇති කළ බවක් පෙනෙන සලකුණක් ද දැක තිබුණා. දින තුනක් තද උණකින් ද කිසිලිවල ඉදිමීමකින් ද පෙනහැල ආසාදනයක මුල් අවස්ථාව ද පසු කරමින් සිටි අමරේන්ද්‍ර දෙසැම්බර් 3 රාත්‍රියේ කෝමා වෙනවා. හතරවැනිදා හිමිදිරියේ විසි හැවිරිදි අමරේන්ද්‍ර චන්ද්‍ර පාණ්ඩේ ජීවිතයෙන් සමු ගන්නවා.
අමරේන්ද්‍රගේ මරණයට හේතුව නිවුමෝනියාව බව තහවුරු වුණා. නමුත් පසු රසායනාගාර වාර්තා අනුව ඔහුගේ රුධිරයේ Yersinia pestis නම් මහාමාරිය රෝගය ඇතිකරවන මාරාන්තික බැක්ටීරියාව ඇති බව සොයා ගැනුණා. මේ කාලය වෙද්දී මහාමාරිය නිසා මරණ වාර්තා වූයේම නැති තරම්. අමරේන්ද්‍ර මිය යන තුරු වස තුනක්ම කල්කටාවෙන් මහාමාරිය මරණයක් වාර්තා වුණේ නෑ.
මේ ඝාතනයක් බව ඉන්පසු සොයා ගැනුණා. මේ නූතන ලෝක ඉතිහාසයේ ඒකපුද්ගල ජෛව ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ මුල්ම අවස්ථාවක් ලෙස සැලකෙනවා.කල්කටා පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.කල්කටා නුවරට කිලෝමීටර් 1900ක් පමණ දුරින් පිහිටි මුම්බායි රෝහලකින් මාරාන්තික බැක්ටීරියාවක් සොරාගැනීම ඇතුළු කුමන්ත්‍රණ ගණනාවක් හෙළිදරව් වන්නේ ඉන්පසුවයි.
මෙය ඕනෑම ධනවත් පවුලක ඇති ඉඩකඩම් පිළිබඳ ගැටළුවක අවසාන ප්‍රතිඵලයයි.
අමරේන්ද්‍රට අර්ධ සහෝදරයන් වූවා. ඔවුන් සහ අමරේන්ද්‍ර අතර පියාගේ දේපල සම්බන්ධ ගැටළු මේ සිදුවීමට දෙවසරකට පෙර වාර්තා වී තිබුණා. අනෙක් අතට අමරේන්ද්‍ර ආචාරධර්ම සහිත වැදගත් තරුණයෙක්. ඔහු හොඳ අධ්‍යාපනයක් ලැබූ අයෙක්. ප්‍රදේශවාසීන් ඔහුට ගරු කළ තරමටම ආදරය කළා. ඔහුගේ අර්ධ සහෝදරයා වුය් බිනොයේන්ද්‍ර බේබදු සල්ලාලයෙක් වුණා.අමරේන්ද්‍ර මරා දැමීමේ කුමන්ත්‍රණය ඇරඹෙන්නට තිබෙන්නේ වෛද්‍යවරයෙක් හරහා. බිනොයේන්ද්‍රගේ ළඟම මිතුරෙක් වූ වෛද්‍ය තාරානාත් භට්ටාචාර්ය 1932 දී වෛද්‍ය රසායනාගාරවලින් මහාමාරිය බැක්ටීරියාවේ රෝපණ සාම්පලයක් ලබාගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වී තිබුණා.
මීටපෙර වතාවක බිනොයේන්ද්‍ර විසින් තම අර්ධ සහෝදරයාට උපැස් යුවලක් බලහත්කාරයෙන් පළඳන්නට ගොස් තිබුණා. එහිදී අමරේන්ද්‍රගේ සම සීරීමට ලක් වී ඔහු රෝගී වී තිබුණා. උපැස් යුවළ විෂබීජවලින් අපිරිසිදු වී තිබූ බව කියැවෙනවා. ඔහුට පිටගැස්මට එරෙහි ඖෂධ ලැබුණු නිසා ඒ ඝාතන තැත ව්‍යර්ථ වුණා. බිනොයේන්ද්‍රට මල්ලිට ලබා දෙන ප්‍රතිකාර වෙනස් කරන්නට අවශ්‍ය වුවත් වෛද්‍යවරු එයට එකඟ වී නෑ.
ඒ සිදුවීම 1932 සිදු වූවක්. ඉතිරි වසරම ඔවුන් ඊළඟ ඝාතන තැත සැලසුම් කරන්නට යොදා ගන්නවා.වෛද්‍ය භට්ටාචාර්ය අවස්ථා කිහිපයකදී මහාමාරිය බැක්ටීරියාව ලබා ගැනීමේ උත්සාහයක නිරත වෙනවා. නමුත් එය පහසු වන්නේ නැහැ. “මහාමාරිය ප්‍රතිකාරය” සම්බන්ධයෙන් පරීක්ෂණවල නිරතවන බව හඟවමින් භට්ටාචාර්ය විවිධ දෑ සිදු කරනවා. නමුත් ඔහු එවැනි පරීක්ෂණයක් කළ බවට කිසිම සාධකයක් නැහැ. රසායනාගාරය භාවිතාව සඳහා අවසර ලැබී දින පහකට පසු සිය පර්යේෂණ කටයුතුහදිසියේම නවතා දැමූ වෛද්‍ය භට්ටාචාර්ය බිනොයේන්ද්‍ර සමඟ කල්කටාව බලා ගොස් තිබුණා.
ඔවුන්ව අත්අඩංගුවට ගැනෙන්නේ 1934 පෙබරවාරි මාසයේ. සාක්ෂි ලෙස බිනොයේන්ද්‍රගේ ගමන් ලියකියවිලි, මුම්බායි වල නවාතැන්ගත් හෝටලයේ බිල්, හෝටලයේ ලොග් පොතේ තැබූ සටහන්, භට්ටාචාර්ය රසායනාගාරයට යැවූ ලිපි පමණක් මොව මීයන් මිලට ගත් වෙළඳසැලේ බිල් පවා ඉදිරිපත් කෙරුණා. මුලදී මේ මරණයට හේතුව තමන් බව ඔවුන් පිළිගත්තේ නෑ. නමුත් ඔවු මහාමාරිය බැක්ටීරියාව නිපදවා එය අමරේන්ද්‍ර ඝාතනයට යොදාගත් බව තහවුරු කෙරුණා.අමරේන්ද්‍රව කුලී ඝාතකයෙකුලවා ඝාතනය කරවීමට බිනොයේන්ද්‍ර සහ භට්ටාචාර්ය කුමන්ත්‍රණය කර ඇති බව අවසානයේ හෙළිදරව් වුණා. ඔවුන්ට මරණීය දණ්ඩනය නියම වුණා. 1936 ජනවාරි මාසයේ දී කල්කටා මහාධිකරණයට ලැබුණු අභියාචනයක් නිසා මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස වෙනස් වුණා.නමුත් එන්නතෙන් අමරේන්ද්‍රට අනින ලද පුද්ගලයා හෝ එන්නත් කටුව සොයා ගන්නට හැකි වුණේ නැහැ.
මෙය සාමාන්‍ය ඝාතන ක්‍රමවලින් වෙනස් එකක්. ඒ නිසා තවමත් එය කතාබහට ලක් වන ඝාතනයක්. මිනිසාට දේපල වෙනුවෙන් මොනතරම් භයානක වන්නට හැකිදැයි හොඳින්ම හෙළි කරන මේ ඝාතනය නූතන ලෝක ඉතිහාසයේ ඒකපුද්ගල ජෛව ත්‍රස්තවාදය ක්‍රියාත්මක වූ මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසගත වෙනවා.