දරුවා ලැබුණු පසු බිරිඳ ඈත් වූ බව පවසමින් අනියම් සබඳතාවයක පැටලුණු සැමියෙක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරිනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

හිරුණි සහ ඉසුරු මුණ ගැසෙන්නේ රැකියා ස්ථානයේ දී. එකම අංශයක සේවය කරන ඔවුන් දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ඇති වන්නේ ඉසුරු නිතරම හිරුණිට සහය වෙන්නට සූදානමින් සිටි නිසාමයි.

“අනේ ඉසුරු, ඔයාට පුලුවන්ද මට මේ ඩොකියුමන්ට්ස් ටික චෙක් කරලා දෙන්න.”

එහෙම පටන් ගන්නා උදව් ඉල්ලීම ටික ටික වර්ධනය වෙන්නට පටන් ගන්නවා.

“ඉසුරු, අද අම්මට උයන්න බැරි වුණා. ඔයා කෑම ගේනකොට මටත් ගේන්න”

“ඉසුරු, අනේ මිස්ට පෙරේරා කිව්වා අද මේ වැඩ ටික ඉවර කරන්න කියලා. මාත් එක්ක ඉන්නවද?”

වැනි ඉල්ලීම් පවා හිරුණි මිතුරාගෙන් ඉල්ලා සිටින්නට පටන් ගත්තා. ඒ තරමට සමීප වීම නැවතුණේ ඔවුන් දෙදෙනා එකිනෙකාට ආදරය කරන්නට පටන් ගැනීමෙන්.

සමාන පවුල් පසුබිමක් සහ සමාන අධ්‍යාපන මට්ටමක් ඇති ඉසුරුට සහ හිරුණිට දෙපාර්ශවයෙන් ම කිසිම විරුද්ධත්වයක් නැගෙන්නේ නැහැ. දෙදෙනාම අගනුවරට සෑහෙන දුරබැහැර ගම්වලින් පැමිණ රැකියාව කරමින් සිටින අය වුණා. හිරුණිගේ ආරක්ෂාව ගැන නිතරම වද වූ දෙමව්පියන්ට ඇය ප්‍රේමවන්තයෙකු සොයා ගැනීම විශාල අස්වැසිල්ලක් ද වුණා.

“ඔයාලාගෙ වෙඩින් එක ගන්න පරක්කු කරන්න කිසිම හේතුවක් නෑනෙ ළමයිනේ”

ඉසුරුගේ අම්මා එසේ යෝජනා කරන්නේ ඔවුන්ගේ සම්බන්ධයට අවුරුදු එක හමාරක් පමණ ගත වෙද්දී. එයට විරුද්ධ වන්නට කිසිම කෙනෙකුට අවශ්‍ය වුණේ නැහැ. සුන්දර විවාහ උත්සවයක් පැවැත්වෙනවා. හිරුණිගේ ජීවිතයේ ලස්සනම සිහිනය ඉෂ්ට වන්නේ ඒ ආකාරයටයි. සිහින සැබෑවීම එතැනින් නවතින්නේ නෑ. විවාහයට හත් මසක් පමණ පිරෙනවිට හිරුණි මවක් වන ළකුණු පහළ කළා.

“අපේ පවුලේ දෙවැනි මුණුබුරා.”

හිරුණිගේ අම්මා එසේ සතුටු වූයේ හිරුණිගේ අයියා දැනටමත් කුඩා පුතෙකුට තාත්තා කෙනෙකු වන නිසා. නමුත් ඉසුරුගේ සහ ඔහුගේ පවුලේ අයගේ ප්‍රීතිය නිම්හිම් නැති වූයේ මේ ඔවුන්ගේ පවුලේ අයගේ පළමු මුණුබුරා වන නිසා.

නමුත් ගර්භනී කාලය සුරංගනා කතාවක් තරම් සුන්දර නෑ. හිරුණිට දැඩි ලෙස ගර්භනී අපහසුතා නැඟෙන්නට වුණා. ඇයට සියලුම දේ අප්‍රසන්න වූ අතර ඇය ඉසුරුටවත් ඇගේ අසලට එන්නට නොදුන් තරම්. ලිංගික සම්බන්ධතා ගැන සිතන්නටවත් අසීරු වුණා. නිතරම ඇඳ විවේකය ලබා ගන්නා හිරුණි ඉසුරුට කතාබහ කළේ පවා ඉඳහිටයි.

දරුවාගේ උපතින් පසු හිරුණි දරුවා සමඟ ඉතා කාර්යබහුල වුණා. ඇය දරුවා ලැබී මුල් කාලය ගාල්ලේ මහ ගෙදර ගෙවා දැම්මා. ඉසුරු ඒ කාලය ගත කළේ කොළඹට නුදුරු ඔවුන්ගේ කුලී නිවසේ තනිවමයි. දරුවාට මාස හයක් ගත වෙද්දී හිරුණි නැවත නිවසට පැමිණියා. දරුවාට දෙවසරක් පමණ ගත වෙනතුරු හිරුණි රැකියාවක නිරත නොවීම සම්බන්ධයෙන් ද ඔවුන් තීරණයකට පැමිණ තිබුණා.

“අනේ ඉසුරු, බත් බෙදාගෙන කන්න. බබා දොයි.” 

හිරුණි එහෙම කියන්නේ ඉසුරු සවස නිවසට පැමිණි පසුවයි. ඇය බොහෝ කාර්යබහුල වී සිටියා.

“ඔයා දැන් මාව ගණන් ගන්නේ නෑ.”

ඉසුරු එසේ කියන්නට පටන් ගත්තා. නමුත් හිරුණිට කරන්නට දෙයක් තිබුණේ නෑ. නමුත් ඉසුරු තනිකම නැති කර ගැනීමේ මාර්ගයක් සොයා ගත්තා. ඔහු ෆේස්බුක් හරහා තරුණියකට සමීප වෙන්නට ගත්තේ ඒ කාලයේදී.

මේ අනියම් සම්බන්ධතාවය පැවැත්වූ කල්හාරි විදෙස් රටක ජීවත් වන්නියක්. වීඩියෝ ඇමතුම් සහ කෙටි පණිවිඩ වලින් පමණක් ඉසුරු ඇය හා සම්බන්ධ වුණා. නමුත් ඒ සම්බන්ධය හිරුණිට අසු වන්නේ හිටිහැටියේමයි.

“මං මොකක්ද ඔයාට කරපු අඩුපාඩුව. ආදරේ කරපු එකද? ඔයාගේ දරුවා දුක් විඳලා මේ ලෝකෙට ගෙනාව එකද? බබා මත්තෙ ඉඳගෙන රස්සාවට පවා නොයා ඉන්න එකද?”

හිරුණි එහෙම අහමින් හඬන්නට ගත්තා. ඇයට දික්කසාදය අවශ්‍ය බව කිව්වත් ඔවුන්ගේ ළඟම මිතුරු යුවළක් උපදේශනයට පිවිසෙන්නට ඔවුන්ට උපදෙස් ලබා දුන්නා. උන් මා වෙත පැමිණෙන්නේ ඒ අනුවයි.

“හිරූ මගෙන් ඈත් වෙන්න ගත්තා. එයා වෙනදා වගේ ලස්සනට ඉන්නෙත් නෑ. අනිත් එක යක්ෂණියකට වගේ කේන්ති යනවා. ඒ නිසා තමයි මං තනියම ඉන්න පුරුදු වුණේ.ඒ තනිකම නිසා මං කල්හාරි ට ළං වුණා.”

ඉසුරු තමන්ගේ පාර්ශවය සම්බන්ධයෙන් එහෙම අදහස් ඉදිරිපත් කළා. 

“ඔබේ දරුවාව රැක බලා ගනිමින් ඉන්නේ ඇය. ඔබව තාත්ත කෙනෙක් කළේ ඇය. ඒක විශාල කැපකිරීමක්.”

ඉසුරුට එසේ පවසන්නට මම වග බලා ගත්තා. තමන් අතින් සිදු වූ වරද පිළි ගන්නට ඔහු කටයුතු කළා.

ගර්භනී කාලය සහ දරුවා ලැබී මුල් කාලයේ ඒ තත්වයන්ට හැඩ ගැසෙන්නට කාන්තාවට යම් කාලයක් අත්‍යවශ්‍යම වෙනවා. ඒ කාලය පුරා ඇය ව දරා ගැනීම ස්වාමියාගේ වගකීමක් වනවා. 

“එයා වෙන කෙනෙක්ට ළං වෙන්න මගේ වරදක් තියෙන්න ඇති.”

මේ පසුගාමී සිතිවිල්ල බිරිඳකට නැගෙන්නට ඉඩ දිය යුතු වන්නේ නැහැ. මේ ඇය අලුත් තත්ත්වයන්ට පුරුදු වෙමින් සිටින කාලයක් නිසා ඇයට ඒ සඳහා හැඩ ගැසෙන්නට කාලය ලබා දිය යුතුම වෙනවා. ඒ නිසා දරුවකු ලැබුණු අලුත සැමියෙකු වෙන සම්බන්ධතාවයකට යොමුවන්නේ තමන්ගෙ වරදක් නිසා නොවන බව හිරුණි ට සීරුවෙන් වටහා දෙන්නට මට හැකියාව ලැබුණා. එය අසාර්ථක වූයේ ද නැහැ. 

බිරිඳට දරුවෙක් ලැබීමෙන් පසුව ඇය දරුවා වෙත යොමු වී ඇයව සහ තමන්ව අමතක කරන බව පවසමින් වෙනත් සම්බන්ධතාවලට යොමු වීම සමහර පිරිමින්ගේ ලක්ෂණයක්. නමුත් එය ඉතාම වැරදි ක්‍රියාවක්. කුඩා දරුවකු වෙනුවෙන් මානසිකව සහ කායිකව බොහෝ වෙහෙසෙන්නට මවකට සිදු වෙනවා.ඇයට වෙනදාමෙන් පිළිවෙළට සහ ලස්සනට ඉන්නට වෙලාව මදි වන්නට පුළුවන්. නිවසේ කටයුතු ද වෙනදාමෙන් නූලට තිතට කරන්නට අසීරුයි. හැම කෙනෙකුටම අත් උදව්කාරියක තබා ගන්නට ද ආර්ථික ශක්තියක් නැහැ. බොහෝ අයට මවගේ අත් උදවු ලබාගැනීමේ අසීරුතා පවා මතු වනවා. දරුවාගේ කටයුතු කරන ගමන් නිවසේ කටයුතු ද කිරීම තරුණ බිරිඳකට අපහසු වන්නට පුළුවන්. පසු ප්‍රසව විශාද තත්ව පවා ඇයට ඇති වීමේ ඉඩ තිබෙනවා.ඒ නිසා කළ යුතු වන්නේ බිරිඳ වෙනස් වී ඇති බව පවසමින් ඇයගෙන් ඈත් වීම නොවේ. ඒ වෙනුවට ආදේශ සොයන්නට යාමට නොවේ. හැකි උපරිම අයුරින් නැවත ගොඩනැගෙන්නට සහ කටයුතු කරගන්නට ඇයට සහය ලබා දීමයි.

(ඔබට සේවා ගාස්තු සහිතව මනෝ උපදේශනය ලබා ගන්නට 074 0377539 අංකයෙන් රශ්මි රාජපක්ෂ මහත්මිය සම්බන්ධ කර ගන්න පුලුවන්. Rashmie Rajapaksha ෆේස්බුක් පිටුව හරහා ද ඇය හා සම්බන්ධ වෙන්න පුලුවන්)

Related Articles

Don't Miss


Latest Articles