මා හද මට නැති විට – 13

“සෑහෙන්නම හිත කැඩිලා ඉන්න කෙනෙක්ට ආපහු ආදරේ කරන්න,කසාද බඳින්න කියලා බල කරන්න නරකයි.කෙනෙකුට ආයේ ගොඩ නැගෙන්න කාලයක් දෙන්න ඕන.ඒකට සමහරුන්ට යන්නේ හරිම පොඩි කාලයක්.සමහරුන්ට සෑහෙන කාලයක් යනවා.ඒ කොහොම වුණත් ඒ කාලේ ගන්න ඒ කෙනාට ඉඩ දෙන්නෝන.”

අනුත්තරා මිතුරියන්ව ගිවිස්වා ගත්තේ දින කිහිපයකට පසුව ය. එහෙම පණිවිඩයක් ලියන අතර ඈ ඇය ඉදිරිපිට හිඳගෙන කෝපි කෝප්පයක් තොල ගාන චමත් දෙස බැලුවේ සැහැල්ලුවෙනි. බොහෝ පෙම් කතාවන් ලියමින් පැමිණ නිවැරදිම කතාන්දරයේ නැවතී හිඳින්නට හැකිව ඇති බව ඇයට සිතෙන්නේ ඔහු දෙස බලද්දී ය. ඔහු නිස්කලංක කොලුවකු නොවේ. සෙල්ලක්කාර කැරලිකාරයෙකි. ජීවිතය එක තැනක රඳවා තබා ගන්නට නොසිතන කොලුවෙකි. එහෙත් ඔහු ළඟ ඇති ආදරය මින් පෙර කිසිම දිනක නොලැබුණු බව අනුත්තරාට විශ්වාස ය.

“ලාවන්‍යා ගැන ඕනෑවට වඩා වොරි වෙන්න එපා.”

අනුත්තරා මිලට ගත් උණුසුම් චොකලට් පානය නිවී යයි. චමත් අනාරාධිතව එය රැගෙන උගුරක් බොමින් පැවසුවේ එහෙම කතාවකි. අනුත්තරා හිනැහුණා ය.

“ඒකනම් කිව්වේ ඉරිසියාවට. මම වැඩිපුරම ආදරේ ලාවිට ද ඔයාට ද කියලා තේරුම් ගන්න බැරුව ඉරිසියාව මතු වෙනවා.”

චමත් ඒ කතාව අසා මුහුණ පුම්බා ඉවත බලා ගත්තේ ය. නිදහස අගය කරන ඔහු මෙවැනි කතාවලින් කෝපයට පත් වෙයි. මේවා විහිළු කරන්නට මාතෘකා නොවේ.

“යාලුවොයි මායි අතර ගැප් එක තේරුම් ගන්න බැරිතරම් මම ගොනෙක් යැ.”

එහෙම කියන චමත් ප්‍රේමවන්තියගේ මුහුණ දෙස තත්පර කිහිපයක් බලා සිටියේ ය. නොපැවසුවාට ඊර්ෂ්‍යාවක ළකුණු ද ඔහුට නොනැඟුණා නොවේ. නමුත් ඔහු කියන්නේ ගැඹුරු කතාවකි.

“ලාවන්‍යා කියන්නේ කරදරයක් වුණු කෙනෙක් නෙවෙයි. ජීවිතේ අපිට තෝරා ගැනීම් තියනවා. වෙනදට කොෆී බොන ඔයා අද හොට් චොකලට් බිව්වේ. ඒ වගේ තමයි. කරදරකාර කසාදයක් තව දුර ගෙනියන් නෑ කියලා එයා තීරණයක් ගත්තා”

චමත්ගේ මේ කතාව වැරදි නැත. ලාවන්‍යා කරදරයක පැටලුණු බව සිතමින් ඇයට පිහිට වන්නට යාම ඇය මානසිකව පහළට ඇද දැමීමක් බව අනුත්තරා තේරුම් ගත්තා ය. කළ යුත්තේ එය නොවේ.

“එයාගේ රිලේෂන්ශිප් ගැන වුණත් වොරි වෙන්න එපා. එහෙම වෙලා වැඩක් නෑනෙ. ඔයා මාව තෝරාගෙනනෙ එයාලත් එක්ක ඒක ෂෙයා කරගත්තෙ. ඒ වගේ එයාට ගැලපෙන කෙනෙක් තෝරගන්න නිදහස එයාටම දෙන්න.”

එසේ නොමැති නම් ජීවිතය ගැන තමන් ගන්නේම වැරදි තීරණ බවට ලාවන්‍යා දුක් වීමේ ඉඩකඩ හොඳටම වැඩි බව අනුත්තරා සිතන්නට විය. එහෙත් ඇය ඈ පෙළන වේදනාව චමත්ට කියන්නට සිතුවා ය.

“මට නිර්වාන් ගැන ඇත්තටම ගැටලුවක් නෑ. ඒ උනාට මට තේජ ගැන බයයි. ඒක මේ හරිම සම්ප්‍රදායික විදියට දරුවෙක් ඉන්න තාත්තෙක් මොන විදියට ලාවිට ගැළපෙයිද කියලා හිතිල්ලක්නම් නෙවෙයි. තේජ ගැන මොනවත්ම අපි දන්නේ නෑ. අඩුම තරමේ ලියෝන්වත් අම්මා ගැන මොකුත්ම කියන්නේ නෑ.”

තම අතීත සම්බන්ධතාවයක් ගැන දැන් පැහැදිලිව කතා නොකරන කෙනෙක් වර්තමාන සම්බන්ධතාවයකට අවංකවේදැයි විනිශ්චය කිරීම අපහසු ය.

“ගිනි පෙල්ලකින් බැට කාපු කෙනෙක් කණාමැදිරියන්ට බයවෙන්න ඕනෙමයි කියලා නියමයක් නෑ බබා. මේ වතාවෙ ගිනිමැලේට පනින්න ලාවිට හිතෙනවනම් පැනපුදෙන්. අපිට පුලුවන් ආපහු වතාවක් එයාව බලාගන්න. මිනිස්සු හැදෙන්න ඕන අත්දැකීම්වලින්. මොනව වුණත් භවන්ත හින්දා එයාගේ ඔළුවේ රෙඩ් ලයිට්ස් වැඩ කරන්න ඕන නේද? අපි බලමු.”

අනුත්තරා ඒ කතාවට හිස වනා එකඟ වූවා ය. ලාවන්‍යාටම තීරණයක් ගන්නට ඉඩ දිය යුතු වේ.අනෙක් කාරණාව තේජ තවම ලාවන්‍යාගේ අසල්වැසියෙකු පමණි. ඔහු උදව් වූයේ ඕනෑම කෙනෙකු උදව් වෙන අවස්ථාවකට ය. ඒ ගැන සෞන්දර්යාත්මක විහිළුවක් නිර්මාණය කරගත්තේ මිතුරියන් ය. නොපෙන්නුවාට ලාවන්‍යා තවමත් භවන්ත කෙරෙහි ප්‍රේමයෙන්දැයි කියන්නට ද නොහැකි ය. තමන්ගේ ස්වාමි පුරුෂයාට වෙනත් ගැහැනියකගේ දරුවාගේ පියා වන්නට ඉඩ දෙන්නට ලාවන්‍යාට සිදු විණ. නමුත් ආදරය අවසන්දැයි කියන්නට තවම කල් වැඩි ය.

“හෙටක් ගැන නොහිතා හැකි උපරිමෙන් ,මෙන්න මොහොත විඳින්න.බරපතල නීතිමය ලියවිලියි කසාදයි අහකට දාලා නිදහසේ ආදරෙයි කියන්න කියලනෙ ඕෂෝ කිව්වේ ආදරේ විඳින මොහොතක් ලාවන්‍යාටත් තියෙන්න ඕන එච්චරයි. එයා ඒ මොහොතක් විඳලා ජීවිතේ ගැන තීරණයක් ගත්තාවේ. ඔයාලා ඉන්දියන් සෝප් ඔපෙරාවල නැන්දම්මලා වෙන්න එපා”

චමත් නික්ම යන්නට පෙර අනුත්තරාගේ කම්මුලක හාද්දක් තැවරුවේ එහෙම කියන අතර ය. ඒ ඔහුගේ ක්‍රමය ය. ඔහු විවාහයක් ගැන සිහිනයකින්වත් නොසිතන මිනිසෙකි. නමුත් ලාවන්‍යා තවමත් පවුලක් ගැන සිහින දකින්නියක බව අනුත්තරා දන්නී ය. ඇයට වේදනාවක් දැනෙන්නේ ද ඒ හන්දාම ය.

“ආදරයක් හින්දා ගොඩ ගන්න බැරිතරමට වැටෙන ගෑනු ළමයි ගොඩ ගන්න හරි අමාරුයි.එයාලා ජීවිත කාලෙම ඒ වේදනාව කරපින්නන් යන්නෙ..”

අනුත්තරා එහෙම කිව්වේ කාර්යාලයට පැමිණ තේජ සමඟ ය. ඇය සමහර කතා පටන් ගන්නේ අගමුල නැතිව ය. නමුත් ඒවාගේ අගමුලක් පෙනෙන තැන එනතුරුම කතා කිරීම තේජගේ සාමාන්‍ය සිරිත ය. මේ වතාවේ අනුත්තරා කියන්නේ කුමක්දැයි ඔහු සිතී ය.

“ඒක ගෑනුන්‍ට විතරක් නෙවෙයි. පිරිමින්ට පොදු කාරණාවක්.”

ඔහු එපමණක් කියන්නට වග බලා ගත්තේ ය. ඔහු තමන්ගේ අතීතය ගැන කියාවිදැයි මහත් අපේක්ෂාවකින් අනුත්තරා බලා සිටියා ය.

ආදරේ කියල බම්බුවක් නෑ බං .තමුන් තමුන්ගෙ ලයිෆ් ටාගට්ස් වලට ගියාම ඉවරයි. පරණ කුණු ඔලුවේ තියන් ඉන්න ගමන් තව අලුත් කෙහෙල්මල් වලටත් යන්නේ නම් මිනිස්සු වෙන්න බෑ.

එසේ සිතන්නට තරම් ඔහුට ආදරය එපා වෙන්නට ඇත්තේ ලියෝන්ගේ අම්මා හන්දා ය.අනුත්තරා ජීවිතය කියන්නේ මොනතරමට අබිරහස් පිරුණු තැනක්දැයි සිතන්නට ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles