මල්වර මල් සර -23

දුරස්ථ පාලකයෙන් රෝලර් ඩෝ එක විවර කරන ගමන් අයානා දුම් කබල මිදුලේ පසෙක තැබුවා ය. පෙර දා රාත්‍රියේ වට වැස්ස නිසා හාත්පස නැවුම් වී ඇති බවක් ඇය ට දැනිණ. ටික දවසකට පෙර තාප්පය අයින දිගේ ඉස ගෙන ගිය සීනියාස් ඇට පැළ වී, දැන් පොහොට්ටු මතු වී තිබේ. ඊයේ වැස්සට සීනියාස් පැළ දෙකට නැවී, පොහොට්ටු පෙනුණේ බිම බලා ගත් යුවතියන් පෙළක් වාගේ ය. කහ අරලියා ගසේ රැඳී සිටි දිය බින්දු, උදා හිරු රැස් වල නැහැවෙමින් දේදුණු වර්ණ මවයි. අරලියා කොළ හැලී මිදුල හැඩි වී තිබුණ ද අයානා ඒ ගැන නොරිස්සුම් නො වූයේ මේ නැවුම් බවට ඇය කවදත් රිසි බැවිනි. 

පිරිමි ළමයින් රෑනකින් මිදී දුල්නෙත් අලගියවන්න නිර්වාණය දෙසට පාර පැන්නේ ය. අයානා දෙතොල් තද කර ගත් සිනහවෙන් යුතුව ගේට්ටු කණුවට හේත්තු වූවා ය.

“ගුඩ් මෝනිං…”

“පිපිච්ච ගමං මලක්ද කියල මං රැවටුණා”

“ඔන්න ඉතිං උදේ පාන්දර බොරුවක් කියලම දවස පටං ගන්න හදනව”

අයානා තරමක් හඬ නගා සිනහ වූවා ය. යන්තම් මූණ ඉහළට හරවා ගෙන ඈ නැගූ ඒ සිනහව දෙස දුල්නෙත් බලා සිටියේ වශීකෘත බවකිනි. ජීවිතය කියන්නේ මොන තරම් මිහිරි වූ යමක් දැයි විඳ බලන ලෙස ඇගේ ඇස් පිල්ලමකින් පවා ඔහු ට ඇරයුම් කොට සිටී.

“තාත්තටයි අම්මටයි ඔයාව දකින්න ආසයි කිව්ව. ෆ්‍රී වෙලාවක එනවද…”

ඇය කතා කළේ හිස මඳක් ඇල කොට ගෙන පරිස්සමට වචන තෝරා බේරා ගනිමිනි. දුල්නෙත් අත් දෙක පපුවේ බැඳ ගත්තේ ය. ඔහු ගේ තුරුණු මුහුණේ සිනහ රේඛාවක් ඇඳී තිබිණ.

“මං වගේ හෝතම්බුවෙකුට කැමති වෙයිද…”

“ඒ හෝතම්බුවට මං කැමතියිනං අපේ තාත්තලට වැදගත් වෙන්නෙ එච්චරයි”

“ඇත්තටම ඇයි මට කැමති කියල සමහර වෙලාවට හිතා ගන්නත් බෑ. විදුර වගේ හැන්ඩ්සම් මිනිහෙක් එක්ක බලනකොට මං මොකෙද්ද කියල හිතෙන්නැද්ද…”

“ඒක  අහන්න ඕනෙ මං…මංජරී වගේ ගර්ල් කෙනෙක්ගෙ ලස්සනට කැමති වුණ ඔයාට මාව මොකෙක් වගේ පේනව ඇද්ද දන්නෑ”

වතුර පහරකින් ඔවුන් දෙදෙනා නැහැවී ගියේ ඒ මොහොතේ ය.

“ඒ..හ්…”

අයානා ට කෑ ගැසිණ. ඒ ඉගිල ගියේ විදුර ගේ මෝටර් රථය ය. අයානා හා දුල්නෙත් පාර අයිනේ කතා කරමින් සිටිනු, මීටර කිහිපයක් ඈත දී ම විදුර දුටුවේ ය. වහා ඔහු ට සිහි වූයේ පෙර දා හවස ඇය ඔහු ව නිර්වාණයෙන් පිටතට දමා දොරගුලු දමා ගත් සිදුවීමයි. ඒ වෙලාවේත් පාන්දර වට වැහි දිය පාර දිගේ ගලා යමින් තිබිණ. සමහර තැන් වල වැහි වතුර රැඳී පාරේ පොකුණු තැනී තිබුණේ ය. නිර්වාණය ඉදිරියෙන් ගලා යමින් තිබූ වතුර පාර දෙසට විදුර රිය මඳක් හැරවූයේ හිතා මතා ම ය. ඒ තරම් මඩක් නොවූව ද ඒ වතුර පහර මුළුමනින් දුල්නෙත් ව තෙත් කළේ ය. මඩ වතුරෙන් ඇළුණ ඔහු ගේ කමිසය දුටු ගමන් ඔවුන් දෙදෙනා ගේ ම සිත් වල ඇඳී මැකී ගියේ සිය ළමා වියේදී වූ ඒ සිදුවීම ය. එදා මඩ වතුර වළට විසි වීම නිසා දුල්නෙත් ගේ ත් මඩ දිය විසි වීම නිසා අයානා ගේත් පාසල් නිල ඇඳුම් අපවිත්‍ර වූයේ ය. අතීතය යළි යළිත් සිහි වේ!

“තාත්තේ”

අයානා එහෙම ම හිඳ මතු මහල දෙස බලමින් කෑ ගැසුවා ය. ඇය කෝපයට පත් වී සිටියා ය. රෝහණ ජයසුන්දර සඳැල්ලෙන් පහළ ට එබුණේ ය.

“ඇයි පුතේ…”

“බලන්න තාත්තෙ අර ජරා මිනිහ කරපු දේ…මේ…මඩ වතුරෙන් නාවල ගියා. අච්චර පාරෙ ඉඩ තියෙද්දි මේ පැත්තට කපල…”

එය හැඬුම් ස්වරයකි. ඇය වැඩිපුර වේදනාවට පත් ව සිටියේ දුල්නෙත් ට එසේ වීම ගැන ය.

“විදුරද…”

“ඒ අවිදුරය තමයි”

එදා පාසල් නිල ඇඳුමේ කළල් දිය විසි වූ වෙලාවේත් අයානා හැඬුම්බර වූයේ මේ විදිහට ම බව සිහි වී දුල්නෙත් ගේ දෙතොල් අතරට මඳහසක් ආවේ ය.

“එයානං හිනා වෙනව”

ඇය නෝක්කාඩු කීවා ය. රෝහණ ඉක්මනින් පිය ගැට පෙළ බැස එතැනට පැමිණියේ ය. පෙර දා විදුර නිර්වාණයට පැමිණි සිදුවීම, රාත්‍රියේ දී අයානා රෝහණ ට පවසා තිබුණෙන් අවස්ථා සම්බන්ධීකරණය අපහසු වූයේ නැත. 

“මේ දුල්නෙත් තාත්තෙ”

එහෙම කියත්දී අයානා ට හැඬුම් ආවේ ය. ඇය යටි තොල සපා ගත්තා ය. නමුත් ඇස් දවා ගෙන කඳුළු පෙරට ආවේ ය. 

“පුතා”

“තාත්තෙ”

රෝහණ ජයසුන්දර එහෙම ම දුල්නෙත් අලගියවන්න ව වැළඳ ගත්තේ ය. 

“මගෙ ඇඳුං වල මඩ වතුර තාත්තෙ”

උනුන් වැළඳ සිටියදී දුල්නෙත් කීවේ ය. කඳුළු අතරින් ම අයානා ට සිනා ගියේ ය. ඒ මොහොත වචන වලින් පැහැදිලි කරන්නට කිසි දා ඇය පොහොසත් නොවනු ඇත. මෙදිවියෙහි දී ඇය වැඩියෙන් ම ආදරය කරන පිරිමින් දෙදෙනා ඔවුන් වනු ඇත. දුල්නෙත් කියන්නේ ඇයට හිමි වෙන්නට නියමිත කෙනෙකු ද කියා ඇය දන්නේ නැත. අහිමි වූවද එය එසේ ම ය. මේ, ජීවත් වීම තුළ ඇයට වැඩියෙන් ම ආදරය දැනවූ පිරිමින් දෙදෙනා ය. 

“යං…අපි උඩට ගිහිං වොශ් එකක් දාල ඇඳුමක් මාර කර ගමු”

“අනේ…ඕන්නෑ අංකල්. යාළුවෙක්ගෙ බෝඩිමට මෙහෙමම ගිහිං චේන්ජ් කර ගන්න පුළුවන්”

“යාළුවගෙ බෝඩිමට යන්නෙ මොකටද තමංගෙ තැං පහු කර ගෙන. යං යං…”

රෝහණ දුල්නෙත් ගේ අතක් අල්ලා ඔහු ව නිර්වාණය දෙසට හැරවූයේ ය. අයානා දොරෙහි ‘ක්ලෝස්ඩ්’ බෝඩ් එක දැමුවා ය. පිය ගැට පෙළෙහි දී රෝහණ ඉස්සර විය. දුල්නෙත් මැදිනි. අයානා ඔහු ට කිට්ටුවෙන් පිය තැබුවා ය.

සතුට කියන්නේ කුමක් දැයි ඇය හරියට ම අත්විඳිමින් සිටියා ය. හෘත් කුටීර හතර ම කාර්යක්ෂම ව ක්‍රියා කරන්නට පටන් ගෙන ඇති බවක්, දැනුණ උද්‍යෝගය අනුව සිතා ගත හැකි විය. 

දුල්නෙත් ට යම් දෙගිඩියාවක් නො දැනුණා ම නොවේ. තවමත් ඔහු අම්මාට නම් පොඩි එකෙකි. අතින් කෑවොත් බත් එක ඉතුරු කරනවා කියමින් හැකි හැම අවස්ථාවක ම ප්‍රියන්ති ඔහු ට බත් කවයි. රෙදි ටික සෝදා දෙයි. කොණ්ඩය හරියට පිස දමා ගෙන නැත ය කියමින් දිය දා ගත් පසු ඇවිත් හිස පිස දමයි. උසස් පෙළ ට පාසල් යන තුරු ම ඔහු ගේ ඇඳුම් මැද දුන්නේ අම්මා ය.

“එයා අයන් කරන්න ගියොත් තව එකක් දෙකක් ගන්න වෙයි…පුච්චල දාල…”

ඇත්තට ම දුල්නෙත් ට කර ගත හැකි වී ද ප්‍රියන්ති ඒ සියල්ල කළේ පුත්‍රයා කෙරේ වන වැඩි ආදරයට ය.

 “එයා මට වඩා අවුරුදු තුනයි බාල. හැබැයි අවුරුදු තිහක් බාලයි වගෙයි එයාට සලකන්න. මට පුළුවන් ඔක්කෝම එයාට බෑ. හුරතල් කරන්නකො ඔහොම. ගෑනු ගත්ත කාලෙක අම්මට තමයි දොස් අහ ගන්න වෙන්නෙ”

අයානා ගේ සොයුරිය ගෙදර ඉන්නා කාලේ ද දැන් දුල්නෙත් ගැන කතා කළොත් ද නො වරදවා ම කියන කතාවකි ඒ. ඒ වෙලාවට ප්‍රියන්ති සිනහ වී එ කතාව මගහැර යන්නී ය.

ඒ තරම් ගෙදරට පොඩි එකෙකු වූ ඔහු මේ විදිහට පෙම්වතිය ගේ දෙමව්පියන් හමු වන්නට යාම ගැන සිතත්දී වැරදිකාර හැඟීමක් ඔහු ට නො දැනුණා ම නොවේ. මේ සම්බන්ධය ගැන ඉන්මනින් ම අම්මා ට කිව යුතු යයි ඔහු ඒ වෙලාවේ තීරණයකට ආවේ ය.

“නාලිනී…”

කියා ගෙන රෝහට ගෙතුළට වැදුණේ “පුතා ඉඳගන්න” යයි දුල්නෙත් ට ඇරයුම් කරමිනි. නමුත් ඔහු සෝෆා කට්ටලයෙහි අසුන් ගත්තේ නැත.

“මඩනෙ ඇඟේ. කමක් නෑ මෙහෙම ඉන්නං”

“ඒකට කමක් නෑ…ඉඳගන්න”

අයානා බලයෙන් ම ඔහු ව අසුන් ගත කරවූවා ය. සැනසුම් සිනහ වතකින් දුල්නෙත් වෙත ආ නාලිනී තරුණයාව වැළඳ ගත්තා ය. 

“ඊයෙ රෑ මෙයා කිව්වෙ. අද උදේම පුතාව දැක ගන්න ලැබෙයි කියලනං හිතුවෙ නෑ”

“මං අයියගෙ ඇඳුමක් අරං එන්නං”

කියමින් එතනින් නික්මුණ අයානා දහම් ගේ ඇඳුම් කිහිපයක් තිබූ අල්මාරියක් ඇද ගෙන එතනින් හොඳ ම ටී කමිසය තේරුවා ය. 

දුල්නෙත් ඇඳුම් මාරු කර ගෙන මඩ දිය විසි වුණ ඇඳුම් කට්ටලය බෑග් එකෙහි ඔබා ගන්නට හැදුවේ ය. නමුත් අයානා ඊට ඉඩ නොදී එය උදුරා ගත්තා ය.

“මං හෝදල වේලල තියන්නං. හවසට යද්දි ගෙනියන්න”

රෝහණ හඬ නගා හිනැහුණේ ය. ඒ සිදු වීම තාත්තා දැක ඇති බව දැන ගත් අයානා ලැජ්ජාවෙන් බිම බලා ගත්තා ය.

“පුතා…ජීවිතේට බවලතෙක් සම්බන්ද කර ගන්නව කියන්නෙ ඕකට තමයි. එයා තමයි අපි කරන්න ඕනෙ මොනාද නොකරන්න ඕනෙ මොනාද කියල තීරණේ කරන්නෙ. අම්ම කෙනෙක් පුතෙක්ව හදන විදිහෙයි වයිෆ් කෙනෙක් හස්බන්ව බලා ගන්න විදිහෙයි කිසි වෙනසක් නෑ පුතා. ඕක දෙන්නට දෙන්නා තේරුං ගන්න විදිහත් එක්ක තමයි දෙන්නගෙ ජීවිතේ මොන තරං ලස්සන වෙනවද කියන එක තීරණේ වෙන්නෙ. පුතාට කියන්න ඉස්සර මං පඩි ගත්තහම මුළු පඩියම ගෙනත් අපේ නෝනගෙ අතට දෙන්න ඕනෙ. එයාගෙං බස් වියදම ඉල්ල ඉල්ල පස්සෙං යන්න ඕනෙ ඊළඟට”

රෝහණ හඬ නගා සිනාසුණේ ය. අයානා තාත්තා දෙස බලා සිටියේ ආදරයෙන් පපුව පුරවා ගෙන ය. තාත්තා මේ තරම් විවෘත ලෙස කතා කරනු ඇය මීට පෙර අසා නැති තරමි. අම්මා ගෘහ පාලනය ඇගේ අතේ තියා ගෙන හිටි තරමට තාත්තා සාර්ථක පිරිමියෙකු වන හැටි බලා උන් යොවුන් වියක් අයානා ට තිබේ. තාත්තා ගේ මාසේ පඩියෙන් පිරිමහ ගත නො හැකි ජීවිතය අඩියකින් හෝ ඉස්සරහාට තබන්නට අම්මා ගේ ධෛර්යය හේතු වාසනා වූ හැටි ඇයට තවමත් මතක ය.

“පුතාව මුණගැහෙන්න හිටියෙ හොඳ ලන්ච් එකක් එහෙම ලෑස්ති කර ගෙනයි. කොහෙද ඉතිං…මේ මඩ වතුරක් නිසා ඒකත් නැතුව ගියා”

තේ පැන් සංග්‍රහයකින් පමණක් සිය අනාගත බෑණා ට සලකන්නට වීම ගැන නාලිනී ගේ හිතේ වූයේ මදි පුංචි කමකි. ඇය ගෙදරට එන අයට සිය අත් ගුණයේ තරම පෙන්වන්නට කැමති ගැහැනියකි. දුල්නෙත් සිනහවකින් බිම බලා ගත්තේ ය.

“බැරියෑ ඉතිං…පුතාලගෙ අම්ම තාත්ත එහෙමත් මුණගැහිල දැන ඇඳින ගන්න අපිට අවස්ථාවක් හදල දෙයිනෙ මේ දෙන්නා”

“මං අම්මලට කියන්නං තාත්තෙ”

ඒ සිය ජීවිතය සම්බන්ධයෙන් ගත් වැදගත් ම තනි තීරණය සේ දුල්නෙත් ට දැනිණ. ඔහු උන් හිටි ගමන් පරිනත පිරිමියෙකු වූවා සේ ය. අයානා සමගින් පිය ගැට පෙළ බැස එත්දී වඩාත් වගකීම් සහගත බවක් ඔහු ගේ හදෙහි පැටවී ගත්තේ ය.

“ආව් ආව්…බෑණා බත වළඳන්න ගිහිං වගේ”

දුරාශා විහිළු කළා ය. දුල්නෙත් ඇගේ කොණ්ඩයෙන් ඇද්දේ ය. 

“ඔව් ඉතිං.. ජෙලස්ද…”

“අනේ නෑ දෙයියනේ…අපිත් මේ බලං ඉන්නෙ නාලි ආන්ටිගෙ කහ බතේ තෙම්පරාදු සුවඳ කොයි වෙලේ පහළට හමං එයිද කියල. ඒක ඉක්මන් වෙන්න තමයි ඕනෙ”

ජීවිතය මේ තරමින් වෙනස් වී තිබීම ගැන අයානා ට ඇදහිය නො හැකි වූවාමත් නොවේ. නමුත් ඇය විශ්වාස කරන්නට කැමති වූවා ය. ඇය හෙමි හෙමිහිට උදා කර ගත් නිර්වාණීය හැඟීම් මත්තෙහි දුල්නෙත් සිය ඇස් නමැති සූර්ය කිරණින් ස්නේහයේ මල් පුබුදුවාලන හැටි දකින්නට ඕ රිසි වූවා ය.

පෙර දා හැන්දෑවේ අයානා නිසා ඇති වූ හිත් වේදනාව, ඇය සමග පෙම් පිළිසඳරේ උන් දුල්නෙත් ව මඩ වතුරෙන් නැහැවීම මගින් පියවා ගත හැකි වූවායි විදුර සිතුවේ ය. නමුත් එය වෙනත් වේශයකින් ඔහු පෙරළා ගෙන නැගී සිටියේ විශ්ව විද්‍යාල භූමිය තුළ දී වූ සිදුවීමකිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles