සීත මාරුතේ -40

ප්‍රේමය වූ කලී ජීවිතය නමැති කෂාය මඳ පමණින් මුත් ප්‍රණීත කරවනා අනු පාණයක් සේ සලකන්නට පුළුවන. පිරිමියෙකු නැතිව වුව ස්ත්‍රියකට ජීවත් විය හැකි යයි මම අසා ඇත්තෙමි. එය එසේ විය හැක. නමුත් ප්‍රේමයෙන් විනිර්මුක්ත ව මනුෂ්‍ය ප්‍රාණයකට සජීවී ව පැවතිය හැකි යයි දැන් මම නො සිතමි.

මගේ වයසේ බොහෝ ගැහැනු ළමයින්ට සේ, ඒ වයසේ දී අත්‍යවශ්‍ය වන්නා වූ සියල්ල මා සන්තක වූයේ ය. නමුත් පිරිමි ළමයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නට හදිසියක් මට වූයේ නැති බව මම දනිමි. මගේ සමහර මිතුරියන් උසස් පෙළ සමයේ දී පෙම්වතියක වූයේ, එසේ නොමැතිව තනිව සිටීම අඩුවක් සේ සලකා ගෙන ය. ඒ වයස වන විට පෙම්වතෙකු නැතිව පැවතීම යනු අපේ ම කුමක් හෝ අඩු පාඩුවක් ලෙසට ද පිරිමියෙකු වෙත ආකර්ෂණය වීමේ හැකියාවක් අපට නැතිය කියා ද සිතන්නට බොහොමයක් ගෑනු ළමයින් පෙළඹෙති. ඒ නිසා ඔවුන් වෙත පැමිණෙන ප්‍රථම ප්‍රේමාරාධනය ම වහා පිළි ගන්නේ, සිය පෙම්වතා කර ගන්නට යන මිනිසා කවුරුන්ට කියා හෝ හරි හැටි නො දැන, කවුරුන් හෝ පෙම්වතෙකු සිටීම සිය පරිපූර්ණත්වය ආසන්න සමාජ කවයට ප්‍රදර්ශනය කරනා හේතුවක් සේ සලකා ගෙන ය. පෙම්වතෙකු වීමට ද විවාහ වීමට ද දරුවන් ලැබීමට ද නිශ්චිත වයසක් ඇතැයි දූපත් මානසිකත්වය සහිත මිනිස්සු සිතති. වයසට සාපේක්ෂව මිස හදවතට එකඟව දේවල් සමීප කර නො ගැනීම මත පසුව ජීවිතය විඳවීමක් කර ගනිති.

ප්‍රේමය විෂයේ මම කල් බැලූ කෙල්ලක වීමි. ඒ නිසා ම, “නාකි වෙලා තමයි කසාදයක් බැඳ ගන්න වෙන්නෙ…හැරමිටියෙන් ගිහින් තමයි ළමයි මොන්ටිසෝරි ඇරලවන්න වෙන්නෙ” වැනි කතා, විශ්ව විද්‍යාල පාඨමාලාව හැදෑරූ සමය තුළ මට කොතෙකුත් අහගන්නට සිදු විය. වාසනාවකට එවැනි කතා වලට සිනහ වූවා මිස මට හීන මානයක් දැනී නොමැත්තේ ය.

ඒ සියල්ල වෙනුවෙන් දැන් මම සොබා දහම වෙත මගේ ස්තූතිය පිරිනමමි. මේ වෙලාවේ මේ ප්‍රේමණීය හැඟුම් පොදිය මගේ ජීවිතයට සමීප විය හැකි වූයේ, එදා මා කලබලයෙන් මගේ ජීවිතය වෙත එළඹි ප්‍රථම ප්‍රේමාරාධනය පිළි නො ගත් නිසාවෙන් විය හැක. පිරිමියෙකු කෙසේ වී ද ප්‍රේමය යනු ජීවත් වීමට අනිවාර්යයයෙන් ගැහැනියකට අවශ්‍ය සාධකය යයි මම විශ්වාස කරමි. පිරිමියෙකු නැතිව ජීවත් වෙන්නට පුළුවන. නමුත්, හදවත තුළ ප්‍රේමය නිසා වැටුණ සෙවනැලි තුරුලු කර ගෙන මිස එසේ කළ නො හැකි ය!

සමහර මිනිසුන් දේවතා එළි සේ ය. පෙර මග සුබ ලකුණක් සේ දිස් වෙමින් ජීවිතය චමත්කාරයෙන් පුරවා ලති. එවන් මිනිසුන් සමග ප්‍රේමය ද ජීවිතය ද බෙදා හදා ගැනීම වූ කලී දිව්‍යමය ගනු දෙනුවකි. දැන් මා සිටින්නේ ඒ දිව්‍යමය ගනු දෙනුව ඉදිරියේ ය.

“ධාරා ට්‍රිප් එක යන්න එන එකට මොකද කරන්නෙ…අම්…මට මේ ගමන පුරා පනිශ්මන්ට් කකා ඉන්නනං බෑ”

ගමනට පෙර දා මුණිවර මා සිය මේසය ඉදිරියේ හිඳුවා ගෙන පොඩි කොලුවෙකු සේ ගතු කීවේ ය. මට සිනහ නැගිණ. ඒ සිනහව වියැකී යන්නට ඉඩ හරිමින් මම බිම බලා ගතිමි. මුණිවර ගේ දෑස් හිරු මඬලක් සේ මා මත පායා තිබුණේ ය.

“ම්…මොකද කරන්නෙ…එන්න එපා කියල මං කෙලින් ම කියන්නද…”

“එපා නේද..එයා හුඟක් ආසාවෙන් ඉන්නෙ යන්න. අනික එයා සෑහෙන කාලෙකින් ලංකාවට ආව නිසා ඇවිදින්න යන්න ආසත් ඇති. අනිත් එක මනුස්සයෙක්ගෙ මූණට එහෙම එයා ආසාවෙන් ඉන්න දෙයක් කරන්න එපා කියන එකෙන් වෙන්නෙ හිත රිදෙන එක. ඒ සමහර රිදීමක් කාලයක්ම ජීවිතේට බලපාන්න වුණත් පුළුවන්. ඒ නිසා එයා ආවදෙන්”

මම ලොකු හුස්මකින් පෙනහලු පුරවා ගනිමින් කීවෙමි. සමහර විට මගේ නිදහසට යම් සීමාවක් ඇගේ පැමිණීම නිසා පැනවෙනු ඇත. නමුත් ප්‍රේමයේ ආත්මාර්ථකාමීත්වය වෙනුවට මම මනුශ්‍යත්වයේ පරිත්‍යාගය තෝරා ගන්නට වඩා කැමති වීමි.

ඒ අළුයම මිස්ට් ෆීල්ඩ් ඉදිරියේ ලොකු බස් රථ කිහිපයක් නැවතී තිබුණේ ය. සේවක පවුල් වල උදවිය සිය ඇඳුම් කැඩුම් සහිත පොදි තුරුලු කර ගෙන එහි තැන් තැන් වල රොක් වී සිටියේ ඇස් වල ආශාවේ කැල්ම වෑහෙන්නට ඉඩ හැර ය. බස් රථ වල දොරවල් හැරුණු ගමන් ඔවුහු තෙරපීගෙන, එකෙක් පරයා නැගෙන්නට උත්සාහ කරමින් බසයට රිංගන්නට තැත් කළහ. මා පහළ සිට බලා සිටියේ තුනී රිදුමක් පෑරෙමින් තිබි හදිනි. ඒ විදිහට පොර කන විට බසයට ගොඩ වීම වඩාත් අසීරු වන බව හෝ එකා පසු පස එකා ගොඩ වීම ඊට වඩා පහසු බව හෝ හිතන්නට ඉසිඹුවක් ඔවුන්ට වූයේ නැත. කෙසේ හෝ ඇතුළට වන් පසු ඔවුහු බසයේ ඒ මේ අත දිව ගියේ හිඳ ගන්නට වඩාත් ම සුදුසු අසුන තෝරමිනි. ඇතැම් විට එසේ තෝරමින් සිටියදී වෙනත් අය අසුන් වල හිඳ ගෙන ඉවර ය. ලෝකාරම්භයේ පටන් ම මිනිස්සු අතෘප්තිමත් ය. ඔවුන් නිතර ම ලැබෙන දේට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙති. තෘෂ්ණාව සංසාරය දිගු කරවනා බව වටහා ගන්නට ඕනෑ නැති තරමට ඔවුහු දරිද්‍රතාවයේත් නූගත්කමේත් නොසැලකිල්ලේත් ගොදුරු බවට පත්ව සිටිති. 

බස් රථ තුන සේවක පිරිස වෙනුවෙනි. මුණිවර ගේ රියෙහි ඔහුත් ලොකු තාත්තාත් මා හා ධාරාත් ගමන යන්නට නියමිත විය. රිය ගමන් අරඹත්දීත් මගේ හිතේ මැවෙමින් තිබුණේ සමහර කුඩා දරුවෙකු ගේ මුහුණේ තිබුණ දීප්තිමත් බව ය. වැඩිහිටි ගැහැනියක ගේ හෝ පිරිමියෙකු ගේ මුහුණේ තිබූ සතුටේ රේඛාවන් ය. 

මිනිසුන් ට ජීවත් වීමට සතුට සහ ප්‍රේමය අනිවාර්ය සාධකයන් වේ!

ධාරා ප්‍රීතිමත් ව සිටියා ය. ඇය සිය කාන්තිමත් දෑස් වලින් නිතර ම සිනහ වුණා ය. ඇගේ ඇස් දෙස කෙලින් බලන්නට බැරි වරදකාර හැඟීමක් ඇතැම් විට මට දැනුණේ ය. මා මුණිවර සමග පෙම් පටලැවිල්ලක් ඇති කර ගෙන බව දැන ගත හොත් ඇගේ ප්‍රතිචාරය කෙසේ වනු ඇත් ද? මම හැකි තාක් ඒ ගැන නො සිතා ඉන්නට උත්සාහ කළෙමි. නමුත් අසීරුවෙන් වැලකී ඉන්නට තැත් කරනා දේවල් වැඩිපුර අපේ අතින් සිදු වීම ස්වභාවයයි.

ගමන විනෝදජනක වූයේ ය. ලොකු තාත්තා ට පරණ රස කතා මල්ලක් ම තිබිණ. මුණිවර ගේ කුඩා කාලය හා සම්බන්ධ ඒ මතකයන් දිග හරිත්දී මා අසා සිටියේ ආශාවෙනි. ධාරා ට ද පැරීසිය හා බැඳුණු කතා තිබිණි. ඇය පැරීසියට ගිය අලුත වූ ඇතැම් සිදුවීම් හාස්‍යජනක ය. 

අපේ ගමන් මාර්ගය වැටී තිබුණේ බණ්ඩාරවෙල, ඇල්ල, වැල්ලවාය, තණමල්විල හරහා මත්තලට ගොස් එතැනින් අධිවේගී මාර්ගයට පිවිසී ගාල්ලට ළඟා වන ලෙස ය. උදේ ආහාර සඳහා බස් රථ නතර කොට, මග අයිනේ සිට පිරිස කිරිබත් බෙදා ගෙන කෑහ. කිරිබත පිස ගෙන ආවේ මිස්ට් ෆීල්ඩ් වලිනි. පාර අයිනේ හිඳ පේපර් ප්ලේට් එක අතේ තබා ගෙන ලුණුමිරිස් සමග කෑ ඒ කිරිබත් තරම් රස කිරිබතක් ඊට පෙර කොතැනකදීවත් කෑ බවක් මට සිහි කර ගත හැකි වූයේ නැත. ජීවිතය එහෙම ය. මිනිසුන් අතරේ ජීවිතය වඩා රසවත් ය. ධාරා ද ඕනෑ ම දේකට එකඟ වන විදිහේ කෙල්ලකි. ඇය මිස්ට් ෆීල්ඩ් සේවකයන් ගේ කැමැත්ත ද දිනා ගනිමින් සිටියා ය. මුණිවර විවාහ වන්නට යන්නේ ධාරා සමගින් බවට කසුකුසුව පිරිත් දින වල මිස්ට් ෆීල්ඩ් පුරා පැතිර යන්නට වූයේ ය. ධාරා මුණිවර කෙරේ හැසිරුණ ආකාරය ඊට බෙහෙවින් හේතු වන්නට ඇත. 

කිරිබත් කා තේ බීමෙන් පසු අපි යළි ගමන් ආරම්භ කළෙමු. ඒ වෙලාවේ ලොකු තාත්තා රියදුරු අසුනට නැගුණේ ය.

“එහෙනං අපි සින්දු කියමු. මං අහලම නෑ අභිෂේක් සිං කරනව”

ධාරා බලයෙන් ම ගිටාරය මුණිවර ගේ ඇඟේ ගැසුවා ය. මම හෙමිහිට අත්පොඩි ගැසුවෙමි. මුණිවර පසු පස හැරී මදෙස බැලුවේ ය. මම බැගෑපත් බැල්මක් දෙමින් හිස මඳක් ඇල කළෙමි. ඔහු ගිටාරය ගෙන තත් සුසර කර ගත්තේ ය.

“අම්..එහෙනං ෆී මේල් පාට් එක සිං කරන්න හරිද..”

“අනේ මන්නං සින්දු කියන්න දන්නෑ. මන්දි කියයි”

“මං..”

“අහසින් එහා තරු මං දිගේ පියඹන්න දැං විහඟෙකු ලෙසින්”

මුණිවර හැරී බලමින් මට ගයන්නයි ඇසින් ද හිසින් ද ඉඟි කළේ ය. ගීයේ වචන සියල්ල මතක නැති වී ද ඒ මිහිර ඉහිර යා දිය නො හැකි නිසාවෙන් මම දන්නා අයුරින් ගයන්නට පටන් ගතිමි.

“අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතිං..”

“හිත කළඹමින් හැඟුමන් එබී ඔච්චම් කළේ කවදාක හෝ නොදැනුණ ලෙසින්..හද ගී පොතේ…”

“සත්සර නැගේ…”

“ඒ ආදරේ..”

මම ඉක්මනින් අන්තර්ජාලයෙන් ගීතයේ වචන පෙරලා ගතිමි.

“සිතිවිලි කුසුම් විකසිත වෙමින් මකරන්ද සුවඳින් පිරී..ඔබගේ හඬින් විවරණ අරන් ජීවිතය ගීයක් වුණේ..”

“දවසක උතුම් කිරුලක් දරන් ඔබ එන්න රැජිණක් ලෙසින්”

“හිත කළඹමින් හැඟුමන් එබී ඔච්චම් කළේ කවදාක හෝ නො දැනුණ ලෙසින්”

“අහසින් එහා තරු මං දිගේ පියඹන්න දැන් විහඟෙකු ලෙසින්”

“අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතින්”

“හිත කළඹමින් හැඟුමන් එබී ඔච්චම් කළේ කවදාක හෝ නො දැනුණ ලෙසින්…හද ගී පොතේ..”

“සත්සර නැගේ”

“ඒ ආදරේ..”

මුණිවර ගේ ගිටාර වාදනය නිම වූයේ ද ධාරා අත්පුඩි ගසන්නට ගත්තේ ද එකට ම ය. මගේ කම්මුල් පුපුරු ගසනවා මට දැනිණ. ඉඳහිට ගෙතුළ දී ආශා කරන ගීතයක කොටසක් මුමුණා ඇතිවා විනා, සාමාන්‍ය පෙළට සංගීතය විෂය ඉගෙන ගත්දී මිස මම ගීයක් ගයා නොමැත්තෙමි. මේ වෙලාවේ මේ වාගේ ගීයක් ගයන්නට මට ශක්තිය ලැබුණේ කොහොමද කියා සත්තකට මම නො දනිමි. ගීය ගයා නිම වී ඇතිවා වී ද යළි යළි අපේ හඬවල් මා තුළ පිළිරැව් නැගෙන්නට වූයේ ය.

“වාව් වාව්. නියමයි අනේ”

ධාරා අවංක ව සතුට ප්‍රකට කළා ය. ලොකු තාත්තා ද සිනහ වෙවී මා ඇගයුවේ ය.

“නියමයි නේන්නං. අපි තව එකක් කියමු නේද..”

මුණිවර ආදරයෙන් පිරී සිනහ වෙමින් බලා සිටියේ ය. 

“අනේ මටනං බෑ”

මම දෝතෙහි මුහුණ සඟවා ගතිමි. නමුත් චමත්කාරය මා තුළ ද මා වටා ද සැරිසරමින් තිබිණ.

තණමල්විල හා මත්තල අතර තුර වැවක් ආසනනයේ අපේ රිය ද බස් රථ ද නැවතිණ. එය පුංචි අප්පු ජඳුර නමින් හැඳින්වෙනා කුඩා වැවකි. දිවා භෝජනය එහි දී ලබා දෙන්නට කටයුතු යෙදිණ.  මත්තලින් දක්ෂිණ අධිවේගී මාර්ගයට වැටී ගාල්ලට පිවිසෙන තෙක් යළි රිය පැදවූයේ මුණිවර ය. ධාරා ළඟ සිටියා කියා මගේ හිතේ සමාධියට කිසිදු බලපෑමක් සිදු වෙනා හේතුවක් වූයේ නැත. මුණිවර විසින් වෙන් කොට ගෙන තිබි සමුද්‍රාසන්න හෝටලයේ කාමර වලට සැලසුම් කොට තිබි පරිදි පිරිස යොමු කිරීමෙන් පසු අපි අපේ කාමර වලට ගියෙමු. මුණිවර අපට වෙන් වෙන් ව කාමර ලබා ගෙන තිබුණේ ය.

“සර් අදි මදි කළා මන්දාකිණීව එවන්න.. ගෙදරින් පිට සර්ල නැතුව රැයක් ඉඳල නෑ කියල. ඒක නිසා තනියම රූම් එකක ආරක්ෂිතව තියන එක හොඳයිනෙ”

මට හා ධාරා ට එක් කාමරයක් තිබුණා නම් ප්‍රමාණවත් යයි මා කියත්දී මුණිවර සිනහ වී කීවේ එසේ ය. මම දිය නා ගෙන ඇඳුම් මාරු කොට ගතිමි. ගමන් වෙහෙසක් නො දැනෙන තරමට හිත ප්‍රබෝධවත් ව තිබුණේ ය. මිස්ට් ෆීල්ඩ් සේවක පිරිස ඒ වෙලාවේ ම මුහුදු වෙරලට ගොස් විනෝද වන්නට වූහ. නමුත් අපි දසුන් ව බලාපොරොත්තුවෙන් සිටියෙමු. ඔහු ආවාට පස්සේ විනෝදය ඉවුරු තලා යන්නට විය. හෝටලයේ ලොබියේ හිඳ තේ පානය කිරීමෙන් පස්සේ අපි උණවටුණ වෙරළෙහි ඇවිදින්නට ගියෙමු. ඒ වෙලාවේත් පිරිස සිටියේ මුහුදෙහි ය. 

“අපිට ලොකු ට්‍රීට් එකක් ඕන හරිද”

ධාරා එහෙ මෙහෙ වූ නිමේශයක දසුන් සිනහ වෙවී මට කීවේ ය. මම මුණිවර පිටුපස සැඟවී ගතිමි. ඒ වගේ දවසක් ජීවිතයකට ඕනේ ම ය. ඒ වගේ මිතුරු ඇසුරක මතකයක් හදවත මතක ගබඩාවේ තිබිය යුතු ම ය. හවස් යාමය අපි සින්දු කියමින් ද කතා කරමින් ද විනෝද වූයෙමු. මා හැරෙන්නට අනිත් සිව් දෙන ම බීර බීවෝ ය. ධාරා බලයෙන් ම මගේ අතේ ද ශීත බීර කෑන් එකක් තබන්නට හැදුවා ය.

“එපා”

මුණිවර ඉතා තදින් ඇගේ ඇඟට කඩන් පැන්නේ ය.

“ආ යූ ක්‍රේසි…දිසීස් අ බියර්..”

ධාරා ඔහු ට රැව්වා ය.

“ලීව් හර් අලෝන්…මන්දාකිණී එයා විදිහට හිටපුදෙන්”

ධාරා තුළ යම් වෙනසක් සිදු වෙනවා මට දැනිණ. නමුත් ඕ නිහඬ වූවා ය. හෝටලයෙන් රාත්‍රී ආහාර ගැනීමෙන් පසු ද අපි බෝ වෙලාවක් පිළිසඳරේ යෙදී සිටියෙමු. මුලින් ම කාමරයට ගියේ ලොකු තාත්තා ය. දසුන්ට ද නිදි මතයි කීවාට පසු අපි කාමර වෙත එන්නට ආවෙමු. ධාරා ගේ කාමරයට පසු දසුන් ගේ ද ලොකු තාත්තා ගේ ද කාමර විය. මගේ කාමරයට මුණිවර ගේ කාමරයද පසු කොට යා යුතු වූයේ ය. ඔහු ගේ දොර ඉදිරියේ දී රාත්‍රියට සුභ පතා මා අඩියක් පෙරට තැබුවා විතර ය. මුණිවර මගේ අතින් ඇද ඔහු ගේ කාමරය තුළට ගෙන ක්ෂණික ව දොර වැසුවේ ය. මා තුළ ගැස්මක් ඇති වූ බව පිළිගත යුතු ය. 

“මොකද්ද මේ කරන්නෙ…”

ඇස් හකුළා මම ඔහු ගේ ඇඟට කඩන් පැන්නෙමි.

“අම්..බයද..හරි එහෙනං යන්නකො”

මුණිවර දොරගුල කරකවා ඒ ඇරියේ ය. 

“මං කාටවත් බය නෑ”

තදින් එසේ කියා ගෙන මුහුද ට මුහුණ ලා ඇති පස දොර වෙත ගිය මම උළුවස්සට හේත්තු වී අත් දෙක පපුව මැද බැඳ මුහුද දෙස බලා ගතිමි. වෙරලත හැපී සුදු පෙණ කැටි වන් රළ බිඳී ගියේ ය.  මුණිවර දොරගුලු ලන හඬ ඇසුණි. මම හැකි තාක් හිත සන්සුන් කර ගනිමින් සිටියෙමි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content