මා හද මට නැති විට -24

“අපි ප්‍රශ්නෙක ඉන්නවනම් ඒ ප්‍රශ්නෙ ඇත්ත ගැන නොකියා අපිට ඒකට විසඳුමක් හොයන්න බෑ.ගොඩක් වෙලාවට අපි කරන්නෙ යාලුවෙක්ට වුණත් ඒ ප්‍රශ්නෙ කෑලි කඩලා අපි කැමති කොටස් කියන එක.එතකොට වෙන්නේ තියෙන දේවල් තවත් අලුත් වෙන එක.මේ වෙලා තියෙන්නෙත් එහෙම දෙයක්.”

රමාලි එසේ කියන්නේ ලොකු මස්සිනාට සිනාවක් තිළිණ කරමිනි. ඔහුට යුවතියක ප්‍රේමයෙන් බව තේජ කියද්දී රමාලිට කිසිම සතුටක් නොදැනිණ. ඔහු මේ ප්‍රශ්නයේ ලිහා ගත යුතු තැන් තිබේ. ඉන්පසු ලියෝන්ට අලුත් අම්මා කෙනෙකුගේ සිහිනය දකින්නට ඉඩ තිබේ.

සමහර වෙලාවට අපි තමන්ට අවංක නොවුනොත් ප්‍රශ්නයක් විසඳන්න පුදුම තරම් අමාරුයි ලොකු අයියේ”

තේ පිළියෙල කරන අතර රමාලි පැවසී ය. නවීන් කිසිවක්ම නොකියා අයියා දෙස බලා හිඳියි. ලියෝන් මේලි නංගී සමඟ සෙල්ලම් වාහනයක් පදවමිනි. නෑනන්ඩිය අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නට සිත එකඟ කරගෙන තේජ ඇය දෙසම බලා හුන්නේ ය. රමාලි ලියෝන්ගේ අම්මා තරමට සංවේදි හා ලඳ බොළඳ කෙල්ලක නොවන වග ඔහු ඒ අතර සිතන්නට විය. ලියෝන්ගේ අම්මා සංවේදී ද නැතිනම් අවස්ථාවාදී ද යන්න තවමත් ඔහුට තෝරා ගන්නට නොහැකි කාරණාවකි.

අහම්බෙන් ජීවිතේට එන මිනිස්සු ආපු වේගෙන්ම ආයේ යන්න යනව.ජීවිතේ කියන්නේ ඒකට. මං ඒ අහම්බෙ ඇතුළට මේ පුංචි එකාවත් ගෙනත් අතෑර ගත්තා.

තේජ එසේ කියන්නේ වේදනාත්මක හඬකිනි. කෙටි කාලයක් තුළ සමීප වූ යුවතියක සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කර ගැනීමෙන් නොසෑහි ඇය සමඟ සම්බන්ධයක් ඇති කර ගන්නට තරම් අනුවණ වීම ගැන ඔහු තමන්ටම දොස් නගන්නට වූයේ ය.සන්තෝසය පිණිස කිසිම හේතුවක් නොවූ නිසා අහඹු හේතු සොයමින් සතුටු වන්නට ගිය තමන්ගේ හිත ගැන දැන් ඔහුට ඇත්තේ කෝපයකි. 

“තනිකම මට දැනෙන්නෙ නෑ කියලා මම මාවම රවට්ටගත්තට මං මොන තරම් රැවටිලාද කියලා මට තේරෙන්නේ මේ වගේ වෙලාවකදි.ලාවන්‍යාට කැමති නෑ වගේ මං අනුත්තරාට පෙන්නන්න උත්සාහ කරේ ඒ හන්දා කියලා මට හිතෙනවා.”

ඇත්ත දන්නා මල්ලීටත් නෑනාටත් සත්‍ය වසන් කර කතා කිරීම තේරුමක් නැත. තේජ මේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ ද ඉඳහිට ය. එවැනි මොහොතක කතාව මඟ හැරීමට රමාලිට ඕනෑ වූයේ නැත.

“කෞෂි ආයේ එයි කියලා අයියට විශ්වාසද? ලියෝන් වෙනුවෙන් නෙවෙයි. ඔයා වෙනුවෙන්?”

සැබෑවටම කෞෂි ගැන එවැනි පිළිණ දීම අපහසු බව දන්නේ තේජ ය. ඔහු කිසිවක්ම නොකියා ඉන්නට තීරණය කළේ ය. ඊයේ මැදියම් රැය වනතුරුම ඔහු ඇය ගැන කල්පනා කළේ ය. අද මෙතරමටවත් මල්ලී සහ රමාලි ගැන මේ කතන්දර කියන්නට ඔහුට සිතුණේ ඉන්පසුව ය.

“කෞෂි යන්න ගියේ ඔයාගේ වරදකින් කියලා ඔයා හිතනවා අයියා.ඒ හැඟීමෙන් මිදෙනකම් කොහොමත් ඔයාට  සැනසීමක් හොයා ගන්න අමාරුයි. එයා ගියේ ඔයාගේ වරදකින් නෙවෙයි. ඔයාගේ වරදකින් වුණත් කමක් නෑ.වැරැද්ද හදා ගන්න ඔයාට අයිතියක් තියනවනෙ.මේ කතාවේ ඔයාගේ වරදකුත් නැතුව ඔයා දඬුවම් විඳින්න ඕනද? ඔයා විතරක් නෙවෙයි, අහිංසක දරුවා වුණත්?”

නවීන් අසයි.  තේජට කියන්නට දෙයක් නැති හන්දාම ඔහු ඔහේ අසා සිටියේ ය.

“මං එකපාරක් මට ආදරේ නොකරන කෙනෙකුට ආදරේ කළා.ඒකෙන් මාව හදන්න බැරි තරමට බිඳුණා.මට ඕනෑ නෑ ආයේ සැරයක් මං ආදරේ නොකරන කෙනෙකුට ආදරේ කරන්න.”

ලාවන්‍යාට අයියා ආදරය නොකිරීමේ කිසිම ගැටළුවක් නැති බව නවීන් කියන්නේ සැහැල්ලුවෙනි. ලෝකයේ වෙසෙන්නේ කෞෂිත් ලාවන්‍යාත් පමණක් නොවේ.  කෞෂි විසින් තේජව අතහැර දමා තිබේ. ලාවන්‍යාව ප්‍රතික්ෂේප කරන්නට තේජ සූදානම් ය. කමක් නැත. නමුත් ලාවන්‍යා ප්‍රතික්ෂේප වන්නේ අතීත වේදනාවකට බියෙන් වීම අපරාධයකි.

“මං දැන් ආදරේ ගැන හිතන්නේ ඉස්සර හිතුවටත් වඩා බරට මල්ලි. මම ආයේ කවදා ආදරේ කරයිද කියන්න බෑ.හැබැයි ආයේ ආදරේ කරන්නේ ජීවිත කාලෙම මං ළඟ තියා ගන්න මම කැමති කෙනෙකුට.ලාවන්‍යාට ආදරේ කරන්න හිත හදා ගත්තත් මට වෙන්නේ ටික කාලෙකින් අදහස් නොගැළපෙන හින්දා අයින් වෙන්න.මම වින්ද වේදනාව වෙන කෙනෙකුට දෙන්න මම හරිම අකමැති. මට ලාවන්‍යගෙයි මගෙයි මොකක්දෝ නොගැළපීමක් පේනවා.”

මේ සියල්ලම හරසුන් කතා බව රමාලි නම් සිතුවා ය. ප්‍රේමය කියන්නේ කුමක්ද කියාවත් මස්සිනා දන්නේ නැත. ප්‍රේමයකට සූදානම් නැතිනම් එය අමතක කර දැමීම කළ යුතුම දෙයකි. නමුත් ඔහු කියන්නේ අගමුල ඇති කතානම් නොවේ

“කෞෂි ඉඳලා හිටලා කතා කරනවා තමයි..ඒත් එයාට මා එක්ක කිසිම සම්බන්දයක් නෑ කියන එක මට ටිකක් දරාගන්න අමාරු දෙයක්.”

තේජ හදිසියේ සත්‍යය පැවසී ය.නවීන් සහෝදරයා දෙස බලා සිටියේ පුදුමයෙනි. අවබෝධයෙන් දෙපසට වන බවට පාරම් බෑ අයියාගේ අතීතය ඔහු සිහි කළේ ය.

“මොකක්ද බං අයියේ ඒ ඉරිසියාව?”

ඔහු ඇසුවේ සැබෑ පුදුමයකිනි.ඒ ප්‍රශ්නයට දෙන්නට පිළිතුරක් නොමැතිව තේජ ළතැවිණ. කෞෂි වෙනකෙකුට අයත් වීම තමන්ට මෙතරම් පීඩාකාරී වන්නේ ප්‍රේමය නිසා ද ආත්මාර්ථකාමී බව නිසාදැයි ඔහුට සිතන්නට අසීරු ය.ඒ ගැන වැඩිදුර නොසිතන්නට ඔහු සිතද්දී රමාලි විශාල බෝම්බයක් මේසය මත අත හැරියා ය.

“ඔයාට තියෙන්නේ හිත හදා ගන්න විතරයි අයියේ. ලාවන්‍යා කියන ගර්ල්ට එහෙම ඩිවෝස් වෙන්න උසාවි ගානේ යන්න වුණා. ඔයාට එහෙම ප්‍රශ්නත් නෑනෙ”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles