එදා නිර්වාණය අසල දී දුල්නෙත් අතේ තිබුණ බත් මුල, විදුර ගේ හිතේ කීරක් සේ ඇනුණේ ය. ඒ වෙලාවේ දුල්නෙත් සමග සෝරත මාවත ළඟට පසු ගමන් ඇවිත් තිබූ අයානා ගේ මුහුණේ වූ අතිශය ස්වභාවික සතුට, කාච ගත කර ගත් පින්තූරයක් සේ ඔහු ගේ පපුවේ තවමත් රැඳී පවතී. එදා ම දුල්නෙත් සමග කතා කරන්නට විදුර ට උවමනා විය. ඔහු වෙඩි වැදුණ ඌරෙකු සේ කැන්ටිම පැත්තට ගිය බව ඇත්ත ය. ඒ වෙලාවේ කොල්ලන් රෑන බත් පත වට කොට ගෙන සිටි අතර දුල්නෙත් අත් දෙක පපුවේ බැඳ ගෙන සිනහ වෙවී කතාවකට වැටී සිටියේ ය. පරාජයේත් ඊර්ෂ්‍යාවේත් කඩු කිනිසි විසින් විදුර ගේ පපුවෙහි කැපුම්, සීරුම් තුවාල ඇති කරනා ලදී. නමුත් ඔහු දුල්නෙත් වෙතට නො ගොස් අඩියක් පස්සට ගත්තේ ය. ඒ ඈතට වුව තරුණයා ගේ ඇස් වල තිබුණ ප්‍රභාව දැක ගත හැකි වූ නිසා ය. ඒ වූ කලී ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයේ නිශ්චිත බවෙහි කාන්තිය ය. දුල්නෙත් එක්ක කතා නො කොට ම පසු බා යන්නට විදුර ට සිදු විය.
එදා සිට ඔහු ට මංජරී ව දැනුණේ වදයක් සේ ය. ඇය මොනවා කළත් කීවත් රිස්සුවේ නැත. එය ඇයව පේන්නට බැරි තත්වයක් වූයේ ය.
මංජරී විටෙක ඉකි බිඳිමින් ද කෑ ගසමින් ද හැඬුවා ය. විටෙක වියරු වැටුණ කොටි දෙනක සේ ඔහු වෙත කඩා පැන්නා ය. කෑ ගැහුවා ය. රණ්ඩු වුණා ය. ඒ සියල්ලෙන් සිදු වූයේ තව තවත් විදුර ට ඇය පිළිකුල් වෙන එකයි.
ඔවුන් අතරේ තව දුරටත් කිසිවක් ඉතිරි නොවෙන තරමට බිඳීමක් ඇති විය. දුරස් වීමක් ඇති විය. අවසන මහත් හිස් කමකින් මංජරී තනිව පීඩා වින්දා ය. විදුර දින දෙකක් ම උඩහමුල්ලේ ඇනෙක්ස් එකට නෑවිත් මිතුරෙකු ගේ නිවසක නවාතැන් ගත්තේ ය. පෙර දා, පෝය දවසේත් ඔහු ඇනෙක්ස් එකට නො පැමිණි අතර මංජරී එහි සිටියේ තට්ට තනිවම ය. අද ඇය විශ්ව විද්‍යාලයට ආවේ ද තනිව ය.
“මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද…”
තමන් ඉදිරියේ හිඳිනා මංජරී ට කුමක් වී ද කියා සිතා ගන්නට අයානා අපොහොසත් වූවා ය. ඇගේ මුහුණ සුදුමැළි වී ය. දෙතොල් වියළී ගිහින් ය. ඇස් වල වන්නේ මළානික බවකි. පෙර දී තිබුණ ජීවී බව ද චණ්ඩි පෙනුම ද අතුරුදන් වී තියේ.
“කියන්න…”
ඒ වචනය අයානා ගේ මුවින් ගිලිහී ගියේ අනියත රිදුමක් එක්ක ය.
“මං ඇතුළට එන්නද…”
“එන්න”
අයානා ඉක්මන් කොට නිර්වාණයෙහි වීදුරු දොර තල්ලු කොට විවර කළා ය. මංජරී එහි ඇතුලු වී පුස්තකාල කොටසේ මේසයක් වෙතට ගාටා ගියා ය. බස්සෙකු ඇප්ලික් කරන ලද ඇගේ රෙදි බෑගය මේසය මත තැබිණි. අයානා ගේ හිත ගැස්සී එදා ඒ දවසට විසි විය. වැස්සත් එක්ක ම දුරාශා නිර්වාණයෙන් පිට ව ගිය දවස! ඒ වැහි පොදය අතරින් සීතල පවන් රැල්ලක් වාගේ දුල්නෙත් නිර්වාණය තුළට විත් මේ මේසයෙහි ම අසුන් ගත් මොහොත! තවත් ටික වෙලාවකින් කුණාටුවක් සේ පැමිණි මංජරී ඔය මේසයේ ඔතැන ම ඔය බෑග් එක හඬ නැගෙන සේ දමා ගසමින් ඔහු ට කෑ ගැසූ නිමේශය!
“මං දන්නව මං සමා වෙන්න කියල කිව්වට වැඩක් නෑ. ඒත්…”
අයානා පුටුවක් ඇද මංජරී ට යාබද ව හිඳ ගත්තා ය. මංජරී ගේ ඇස් කඳුළු පොකුණු වෙන්නට ඒ හැටි වෙලා ගියේ නැත. අයානා ගේ පපුව හා උදරය අතර දැවිල්ලක් ඇති විය.
“ඔයා…කාලද ඉන්නෙ…”
ඇගෙන් විද්‍යමාන වූ මළානික බව නිසා ම අයානා ට එසේ නො අසා බැරි විය. මංජරී නැතැයි හඟවන්නට හිස සැළුවා ය.
“ඒත් මට කන්න බෑ”
“එහෙනං කොෆී එකක්…”
“හා”
අයානා විගස නැගිට ගොස් කෝපි මැෂිමෙන් කෝපි එකක් දැමුවා ය. දුරාශා නිර්වාණයට ඇතුළු වූයේ අයානා කෝපි කෝප්පය ගෙන මංජරී වෙත යත්දී ය.
“ඇයි…”
දුරාශා හෙමිහිට මුත් තදින් විමසුවා ය. අයානා සිය දබර ඇඟිල්ලක් දෙතොල් මත තබා නිහඬ වන ලෙස යෙහෙළියට ඉඟි කළා ය.
“ඔයා චුට්ටක් බලන්න හොඳේ”
කියා ගෙන අයානා මංජරී වෙත ආවේ ඇයට කියන්නට ලොකු කතාවක් තියෙනා බව පේන්නට තිබූ නිසා ය.
“බොන්න”
“සයුරංග මට හරියට වෙනස්කං කරන්න අරං අයානා”
එහෙම කියත්දී උගුර අස්සේ ඉකියක් හිර විය. අත වූ කුඩා ලේන්සුවෙන් මංජරී ඇස් තද කොට ගත්තා ය.
“ඒ කිව්වෙ…”
“මාව ගණං ගන්නෑ…ගෙදර එන්නෑ..ආවත් මාව පේන්න බෑ…දැන් දවස් දෙකකින් ගෙදර ආවෙ නෑ. මට මහ බයක් දැනෙනව. ආයෙ එයා එන එකක්ම නැති වුණොත්…මං මොකද දෙයියනේ කරන්නෙ…”
අයානා මංජරී ගේ අතක් පිරිමැද්දා ය. ඇය ව සැනසිය යුත්තේ කොහොමද කියා සිතා ගන්නට එක් වර ම පහසු වූයේ නැත. මංජරී හා විදුර එකට ජීවත් වීම කියනා අත්දැකීම ලැබූ අය ය. එකට ජීවත් වීමක් තුළ උනුන් කෙරේ වන වගකීම් නැත්තේ ය. නීතිමය බැඳීමක් ද නොමැති ය. එය හුදෙක් එකිනෙකා ගේ කැමැත්ත මත එකිනෙකා සමග රැඳීමකි. අකමැති වෙලාවක දෙදෙනාගෙන් ඕනෑ ම කෙනෙකුට නික්ම යා හැකි ය. එසේ වත්දී අනෙකා ට බලපෑම් කිරීම, එකට ජීවත් වීම තුළ සදාචාරාත්මක නොවේ.
අයානා ගෙන් ලොකු සුසුමක් ගිළිහිණ.
“විදුර ඔයාව අත්ඇරලම ගියා වුණත්…ඔයාට මුකුත් කරන්න පුළුවන් වෙයි කියල මං හිතන්නෑ මංජරී…මට අහන්න තියෙන්නෙ එයත් එක්ක ඇයි සම්බන්දයක් ඇති කර ගත්තෙ කියල නෙවෙයි…ඔය විදිහට එයත් එක්ක ජීවත් වෙන්න තරං ඉක්මන් තීරණයක් ගත්තෙ ඇයි කියලයි. එහෙම අහන්න වුණත් මට අයිතියක් නෑ කියල මං දන්නව. ඒක තම තමන්ගෙ කැමැත්ත. තමන් කැමති සෙක්ස් ලයිෆ් එක තෝර ගන්න ඕනම වැඩිහිටියෙක්ට අයිතිය තියෙනව. ඒත් ඔයා තෝර ගත්ත ක්‍රමය ඇතුළෙ අයිතිවාසිකං කියන්නවත් දාල ගියා කියල නඩු දාන්නවත් පුළුවන්කමක් ඇති කියල මං හිතන්නෑ”
“අනේ අයානා…මං හිතුවෙ ඒ විදිහට ඉන්න එක මට ආරක්ෂාවක් කියල. මං ආස වුණා ලස්සන ජීවිතයක් ගෙවන්න. දුල්නෙත් එක්ක මං ආස ජීවිතේ තව අවුරුදු ගාණකටවත් ගෙවන්න වෙන එකක් නෑ කියල තේරුණ නිසයි මං එයාව අත්ඇරල සයුරංග ළඟට ගියේ”
“මෝඩ ළමය”
අයානා එසේ කීවේ තරමක් තදිනි. මංජරී වූ කලී නිර්වාණය ඇතුළට ම විත් ඇයට කම්මුල් පහරක් ගසා තර්ජනය කොට ගිය ගෑනු ළමයා ය. ඇයට මෙසේ වැරදී තිබියදී ‘හොඳ වැඩේ’ කියා ඉවත බලා ගන්නට ඕනේ නම් පුළුවන. නමුත් එහෙම කරන්නට බැරි විදිහේ තමන්ගේ කමක් අයානා ගේ පපුවට දැනිණ. ඒ තමන්ගේ කම වූ කලී තවත් ගැහැනියක වෙනුවෙන් ගැහැනු හදක ඉපදිය හැකි හැඟීමකි.
“මංජරී. මං මේ කියන දේ හොඳට අහ ගන්න. ඔයා තව අවුරුද්දකින් දෙකකින් මේ කැම්පස් එකෙන් එළියට යන්නෙ ඩිග්‍රි එකක් එක්ක. ඒ කියන්නෙ ඔයාට කොහෙන් කොහොම හරි ජොබ් එකක් ලැබෙයි. ඔයා කොලිෆයිඩ් ගෑනු ළමයෙක්. ඔයා ආස ජීවිතේ…ඔයාට ඕන ජීවිතේ…ඔයාගෙ කර ගන්න එදාට පුළුවන් නේද…ඇයි මේ ඉතුරු වෙලා තියෙන පොඩි කාලෙ ඉවසන්න බැරි…මංජරී…අපි අපේ ටාගට් වලට යන්න ඕනෙ අපේ මහන්සියෙන්. අපේ හීන හැබෑ කර ගන්න ඕනෙ අපේ ගමනකින්. නැතුව වෙන කෙනෙකුගෙ සල්ලි වලින්වත් වෙන කෙනෙකුගෙ කර පිටින් ගිහින්වත් නෙවෙයි. ඔයා හීන හැබෑ කර ගන්න ඔන්න මෙන්න ඉන්න ළමයෙක්. තව ටික කලකින් මේ රටේ නැත්තං ස්කොල් එකක් දාගෙන වෙන රටකට ගිහින් හරි ඔයාට ඔයාගෙ හීන හැබෑ කර ගන්න පුළුවන් ළමයො. ඒක නිසා මන්නං කියන්නෙ…ජීවිතේ ඉල්ල ඉල්ල අඬාගෙන පිරිමියෙක් පස්සෙං යන්න එපා. ඔයා ගෑනු ළමයෙක්. ඔයාට කියලත් අභිමානයක් කියල දෙයක් තියනව. ආදරේට වඩා ඒක හරි වටිනව. දැනුත් ඔයා පරක්කු වැඩි නෑ. මං මේ ඊරිසියාවට කියනව නෙවෙයි. යන්නනං විදුරට ඕනෙ…යන්න අරින්න. අපිට දෙයක් අහිමි වෙන්නෙ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න කියල හිතන්න. ඔයාගෙ ජීවිතේ ලස්සන කාලෙ උදා වෙන්න ඇත්තෙ තව ඉස්සරහට. ඒ ඔයා ඔයාගෙ කකුල් දෙකෙන්ම නැගිටපු දාක. ඒ වෙනකල් ඉතුරු ටික දවසත් අමාරුවෙන් හරි ඇදගන්න. කවුරුවත් හදල දීපු ජීවිතේක කුළියට ජීවත් වෙනව වෙනුවට ඔයා ඔයාගෙම ජීවිතයක්…ඔයාටම අයිති ජීවිතයක් හදා ගන්න. එදාට ඔයාට මෙහෙම අඬ අඬ කාගෙවත් පස්සෙං යන්න ඕන වෙන එකක් නෑ”
මංජරී මේසය මත මුහුණ ඔබා ගෙන ඉකි ලන්නට පටන් ගත්තා ය. අයානා හෙමි හෙමිහිට ඇගේ හිස පිරිමැද්දා ය. ගැහැනු හිතක් වීදුරු බඳුනක් වාගේ බව ඇය නො දන්නවා නොවේ. වතාවක් ඇයත් ඒ හිත බිඳ ගත්තා ය. මංජරී ද අමාරුවෙන් හෝ ඒ හිත හදා ගත යුතු ය. ශක්තිමත් ව හදා ගත යුතු ය.
“අද අඬල දොඩල එයාව ගෙන්න ගත්තත්…ඔයා හිතනවද එයා දිගටම ඉඳී කියල…යන මිනිහ කොහොමත් යනව. ඔයා මාව හම්බ වෙන්න ඇවිත් බලාපොරොත්තු වුණේ මං විදුර එක්ක මේ ගැන කතා කරයි කියලනං…මං ඒක කරන්නං මංජරී. ඒ ගෑනු ළමයෙක් වෙනුවෙන් නිසා. එහෙම නැත්තං ඔය විදුරගෙ මූණ බලන්නවත් ඇත්තටම මං කැමති නෑ. ඔයා කල්පනා කරල බලන්න. මං කතා කරන්න ඕනද…නැත්තං ඔයා හිත හදා ගන්නවද කියල. විදුරත් එක්ක එකට ජීවත් වුණ නිසා ආයෙ කොහොමද ලෝකෙට මූණ දෙන්නෙ කියලනං හිතන්න එපා. ඔහොම දේවල්ද මිනිස්සුන්ට වෙන්නෙ…වෙන කාටවත් ඔයාව වටින්නෙ නෑ. හැබැයි ඔයාට ඔයාව වටිනව. ඔයාගෙ දෙමව්පියන්ට ඔයාව වටිනව. ඒක නිසා හොඳ තීරණයක් ගන්න. දුර්වල නැති තීරණයක්…”
මංජරී හෙමි හෙමිහිට හිස එසවූවා ය. නිර්වාණයට ගොඩ වැදෙත්දී ඇගේ ඇස් වල මලානික බවක් හා හිස් කමක් වූවාට මේ මොහොතේ ඒ ඇස් වලට බලාපොරොත්තුවක දීප්තියක් වැටී ඇති බව අයානා දුටුවා ය.
“අනේ තෑන්ක් යූ අයානා. ඕනෙනං ඔයාට තිබුණා බැල්ලියෙක්ට වගේ පයින් ගහල මාව එළියට ඇදල දාන්න. එහෙම කළේ නැත්තෙ මනුස්සකම පිරිච්ච හිතක් ඔයාට තියන නිසා. සයුරංග වගේම දුල්නෙතුත් ඔයාට පිස්සුවෙං වගේ ආදරේ කරන්න ඇත්තෙ ඒ නිසා”
“ඔයා තාමත් හිතන්නෙ මං සයුරංග එක්ක කතා කරන්න ඕන කියලද..”
“එහෙම කරන්න හේතුවක් තියනව අයානා”
“ඒ කිව්වෙ…”
“ඔයා කතා කරපු කියපු දේවල් අහං ඉද්දි ඇත්තටම මට ආස හිතුණා. මටත් එහෙම ඔළුව කෙළින් තියං ඉන්න ඇත්තං කියල හිතුණා. දැන් වුණත් සයුරංගට බම්බු ගහ ගන්න කියල මගෙ පාඩුවෙ මේ අවුරුද්දත් අමාරුවෙන් ඇද ගන්න බැරි කමක් නෑ…”
“කොච්චර හොඳද ඔයා එහෙම හිතපු එක…මට හරි සතුටුයි. පුළුවන් උදව්වක් මාත් කරන්නං. දුල්නෙත් වුණත් ඔයා එක්ක කිසිම තරහක් නෑ”
“ඒත් මට දැං සයුරංගව එහෙම අත් ඇරල දාන්න බෑ අයානා. ඔයාටයි මං මේක මුලින් ම කියන්නෙ…මං ප්‍රෙග්නන්ට් අයානා. සයුරංග නිසා මං අම්ම කෙනෙක් වෙන්නයි යන්නෙ…”
අයානා හිසෙහි අත ගසා ගත්තා ය. ඇය කේන්ද්‍ර කොට ගෙන ලෝකය භ්‍රමණය වන්නා සේ ඇයට දැනිණ. මොහොතකින් උගුර කට වියළී ගියේ ය.
“දුශ් මට වතුර එකක්”
කවුන්ටරය දෙසට හැරී ඇය අසීරුවෙන් කියා ගත්තා ය.