මල්වර මල් සර – 37

“යකූ මුං ලිවිං ටුගෙදර් කියන කන්සෙප්ට් එකේ තේරුමවත් දන්නැතුවද මේ එකට ජීවත් වෙලා තියෙන්නෙ…”

දුරාශා, මේසය මත තිබූ අයානා බිව් වතුර වීදුරුවේ ඉතිරි වී තිබූ වතුර ටික උගුරට හලා ගත්තා ය. තවමත් අයානා සිටින්නේ ලොකු කර ගත් දෑසිනි. මංජරී ගේ ජීවිතය කොතැනක නතර වෙන්නට නියමිත ද කියා සිතෙත්දීත් ඇගේ හිත කීරි ගැසී යයි.

“ළමයි හදා ගන්න ඔච්චර හදිස්සියක් තිබුණනං ඉස්සෙල්ලම කසාද බැඳල ඉන්න තිබුණනෙ”

“අනේ දුශ්…මිනිස්සුන්ට වැරදෙන වෙලාවල් තියෙනව. වරද්දගන්න වෙලාවලුත් තියනව. ඒ කොහොම වැරදුණත්…වැරදිලා ඉන්න මිනිහෙක්ට වරද්දගත්තා කියල බැණ බැණ ඉඳල වැඩක් නෑනෙ. අපි දැං හිතන්න ඕනෙ මංජරීගෙ ජීවිතේ නාස්ති වෙලා යන්න නොදී පරිස්සං කරල දෙන්න ඕනෙ කොහොමද කියල නේද…”

“ම..ගු..ලක් කතා කරනව”

එවර දුරාශා මඳ කේන්තියකින් හිස ගැස්සුවා ය.  

“හිතනවද අර නූල් සූස්තර කාරයව අල්ලල මේ මෝඩිගෙ අනාගතේට තියල ගැට ගහන්න පුළුවන් වෙයි කියල..බඩකුත් උස්සගෙන ඉන්න එකියක්ව කර ගහන්න තරං මෝඩ වෙන එකෙක් වෙන කොහේ හරි ඉඳී කියල හිතනවද…ලොකුවට උඩ පැන්නෙ ඕක කර ගන්නනෙ. මිනිහෙක් මැරේජ් එකකට නොයා ලිවින් ටුගෙදර් වගේ දෙයක් තෝර ගන්නෙ එපානං කුදලගෙන යන්න බලාගෙනනෙ. විදුර ඒක නොදැන මේ හරක් පැටියත් එක්ක ඇනෙක්ස් එකක් අරං හිටිය නෙවේනෙ. දැන් ඒකා ලස්සනට මාරු වෙයි. මෙයාට ෆයිනල් එග්සෑම් වලට පාඩං කරන්න වෙන්නෙ දොයි දොයි දොයිය බබා කිය කිය ළමයවත් උකුලෙ තියං”

“අපිට මොනාත් කරන්න බැරිද දුශ්..”

“අපි මොනා කරන්නද…යකූ ළමයෙක් හැදෙන්න ඕන නෑ කියල හිතන්න තරංවත් මේ එළදෙනට මොළේ කළඳක් තිබුණෙ නැද්ද…”

“දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරනෙ දුශ්”

“කුම්බලා මාළු කෑවනං විඳෝගන්න තමයි ඉතිං වෙන්නෙ”

අයානා දිගු සුසුමකින් මිදුණා ය. නමුත් හිතේ බර හෙළවුණා හෝ නොවේ.

ඇය හිතූ තරම් කිසිවක් සරල නො වෙන බව මංජරී ට දැනෙන්නේ දැන් ය. කෙටි කාලීන වුව විවාහ ජීවිතයකත්, නිල නොවන ශාරීරික සම්බන්ධතා රැසකත් අතීතයක් ඇති විදුර නිතර මේ ගැන ඇයට අනතුරු ඇඟවූයේ ය. නමුත් මංජරී ඇගේ ආරක්ෂාව පිළිබඳව අවශ්‍ය තරමට සැලකිලිමත් වූ බවක් පිළි ගත නො හැකි ය. ඇතැම් විට ඇය හිතා මතා සැලකිලිමත් නොවී හිටියා ය. ඒ, දරුවෙකු ඇති වුව හොත් විදුර ව සදහට ඇය ළඟ නතර කර ගත හැකි ය යන මායාමය සිතිවිල්ලේ පිහිටා ය. විදුර යළිත් අයානා මත්තේ හැපෙන්නට ගත් පසු ගිය දින වල මංජරී ට සියල්ල අමතක වී වියවුල් වී තිබිණි. ඒ ඇය කබලෙන් ළිපට වැටෙන්නට යන බව  කල්පනා වෙත්දී කුමන උපක්‍රමයක් යොදා හෝ විදුර ව රඳවා ගන්නට බලනවා මිස ඇයට ඇය අමතක ව ගොස් තිබිණ. ඒ දින වල මංජරී සිටියේ සැබවින් ම අවුල් ජාලයක් වූ මානසික තත්වයක ය.

“තමුසෙට මං ඕක මුලින්ම කිව්ව. දැං මට අනං මනං කියාගෙන එන්න එපා. මං කවදාවත් පොරොන්දු වෙලා නෑ තමුසෙව කසාද බඳිනව කියල”

මංජරී හිත එකඟ කර ගෙන ඇය අම්මා කෙනෙකු වෙන්නට යන පුවත විදුර ඉදිරියේ දැනුම් දෙත්දී ඔහු සිහින කුඩු පට්ටම් කොට දැමුවේ එසේ ය. මංජරී මුළුමනින් බිඳී විසිරී ගියා ය. කුමක් කරන්න ද කියා ඇයට වැටහුණේ නැත. දරුවෙකු ගැන හීනයක්වත් බලාපොරොත්තුවක්වත් ආශාවක්වත් ඇයට වූවා නොවේ. නමුත් විදුර ව නීතියෙන් ම ඇය ගේ කර ගන්නට මේ කළලය ඉත්තා කර ගත යුතු බව පමණක් ඇය දැන සිටියා ය. ඒ නිසා ම ඔහු ත් එක්ක රණ්ඩු වෙන්නට නො ගොස් ඉවසීමෙන් ප්‍රශ්නය විසඳා ගන්නට ඈ සිතුවා ය.

තමන් උගුලක පැටලෙන්නට යන බවක් විදුර ට නො දැනුණා නොවේ. ඔහු දෙදිනක් ම ඇනෙක්ස් එකට නෑවිත් එහෙ මෙහෙ වෙමින් සිටියේ ය. මංජරී සමගින් විවාහ දිවියකට එළඹෙන්නට කිසිදු අදහසක් ඔහු ට තිබුණේ නැත. දැන් ඇත්තේ ද නැත. දැන් දැන් ඔහු ට ඇය ගැන වන්නේ කෝපයකි. ඔහු මුල සිට ම කී ප්‍රවේසම ගැන ඇය සැලකිලිමත් නොවීම පිළිබඳ නො රිස්සුමකි. 

අයානා ගේ හිත හැදීම පහසු නැති බව විදුර දැන සිටියේ ය. ඇතැම් විට ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වනු ඇත. එතෙක් මේ ජීවන ක්‍රමය ඔයාකාරයෙන් සරල ලෙස ගෙන යාම ඔහු ගේ අභිප්‍රාය වූයේ ය. මංජරී ගේ නො සැලකිලිමත් බව ඒ සියල් බලාපොරොත්තු විනාශ කොට දමයි.

මේ ගැටළුව විසඳා ගන්නේ කෙසේ දැයි ඔහු කල්පනා කරමින් සිටියේ ය.

අයානා ගේ වචන මංජරී ගේ ආත්මයෙහි දෝංකාර දෙන්නට විය. ඇය පැවසුවේ මොන තරම් සත්‍යය දැයි ඇයට පැහැදිලි ය. අයානා වාගේ හිතන ගෑනු ළමයෙකු වීමේ හදිසි ආශාවක් මංජරී තුළ ඇති විය. ඒ වාගේ නිදහස්, ඒ වාගේ ඍජු, ඒ වාගේ එඩිතර ගෑනු ළමයෙක්!

තව වසරකින් රැකියාවකට යන තරුණියක අයානා මංජරී ගේ හිතේ අඳින්නට සමත් වූවා ය. ඇය හොඳ වේතනයක් ලබන්නී ය. කාමරයක් කුළියට ගෙන, අවශ්‍ය කලමනා සපුරා ගෙන ගෙවනා නිදහස් ජීවිතයක් ගැන ආශාවක් ඇය තුළ දැල්විණ. 

නිර්වාණයට අවශ්‍ය කලමනා ගෙන එන්නට සාමාන්‍යයෙන් අයානා පිටකොටුවට යන්නේ රෝහණ සමග ය.

“දුල්නෙත් එක්ක ගිහින් එන්න ඉතිං”

කියා මේ වතාවේ රෝහණ කීවේ පෙම් යුවළක් ලෙස නිදහස් ව තනිව හමු වී කතා කිරීමේ අවස්ථාවක් හෝ ඔවුන් ට හිමි වන්නේ නැති බැවිනි. අයානා ඒ අවස්ථාව කැමැත්තෙන් ම පිළි ගත්තේ මංජරී ගේ ප්‍රශ්නය ඇගේ හිතට බරක් වී තිබි නිසා ම ය. දුල්නෙත් සමග ටික වෙලාවක් නිදහස් ව හැසිරෙන්නට ඇය කැමති වූවා ය.

“කෙල්ලව පරිස්සං කරං එක්කං එන්න ඕනෙ හොඳද…”

රෝහණ දුල්නෙත් අතට මෝටර් රථයේ යතුර දුන්නේ ඔහු ගේ උරහිසට තට්ටුවක් දමමිනි. දුල්නෙත් බිම බලා ගෙන සිනහ වූයේ ය. ඒ සිනහව තුළ හැංගී තිබූ විශ්වාසය හැඳින ගන්නට රෝහණ පමා වූයේ නැත.

“මං විදුර එක්ක කතා කරන්නං. අපි දෙන්නම එයාව හම්බ වෙමුද…අනේ බෑ කියන්න එපා දුල්නෙත්”

සුක්කානම මත වූ දුල්නෙත් ගේ අතක් මත සිය මෘදු මොළොක් අතක් තබමින් අයානා මුදු භාෂිතයකින් දෙඩුවා ය. දුල්නෙත් ගේ ඇස් කල්පනා බර ව ඉදිරි මග දෙසට දැල්වී ගෙන තිබිණ.

“හම්බ වෙන්න බැරි කමක් නෑ. ඒත් ඔයා හිතනවද ඔය මිනිහ වැරැද්ද පිළි ගන්නවත් ඒක හදා ගන්නවත් කැමති වෙයි කියල…”

“ඉතිං අනේ එයාගෙ දරුවනෙ. තාත්ත විදිහට…”

“අයානා…”

අයානා කියන්නට ගිය දේ දුල්නෙත් අතර මගදී නතර කළේ ඒ වාගේ මානුශීය හැඟීමක් විදුර වෙත ඇතැයි කිසි සේත් විශ්වාස නො කළ නිසා ය.

“මට වැඩිය හොඳට ඔයා ඒ යකා ගැන දන්නවනෙ. මං ඔය කීප සැරයක් දැකල තියන විදිහටනං විදුර කියන්නෙ මංජරී එක්ක සෙට්ල් වෙන්න කැමති වෙන ජාතියෙ මිනිහෙක් නෙවේ”

“ඉතිං ඒගොල්ලො එකට ජීවත් වුණේ…”

“ලිවිං ටුගෙදර් කියන කන්සෙප්ට් එකෙන් සමහර රට වල මිනිස්සු බලාපොරොත්තු වෙන විදිහෙ දෙයක් අපේ රටේ එවුං දන්නවවත් කියල හිතනවද…එහෙම ඉන්න කෙල්ලෙක් ගැන ඒ ඉන්න මිනිහගෙම වුණත් හිතේ කිසිම ගෞරවයක් ඇති කියල මං හිතන්නෑ. මං කියන්නෙ මේ අපේ රට වල විදුරල වගේ මිනිස්සු ගැන. උං ඒ විදිහට ගෑනු ළමයි තියං ඉන්නෙ තමුංගෙ උවමනාවල් ඉවර වුණාට පස්සෙ මාරු වෙන්න ලේසි නිසා. කෙල්ලො දැන ගන්න ඕනෙ තමංගෙ වටිනකම තියාගෙන ජීවත් වෙන්න”

දුල්නෙත් ඒ අන්තිම වාක්‍යය කීවේ තරමක ආවේගයකිනි. අයානා අසුනේ මඳක් හැරී ඔහු ගේ මූණ දෙස ම බලා සිටියා ය. ඒ දිග ඇස් පිහාටු කිහිප වරක් ළඟ ළඟ සැලී ගියේ ය.

“ඔයාට දුකයි නේද මංජරී ගැන…”

අයානා සන්සුන් මන්ද්‍ර ස්වරයකින් විචාලා ය. ඇදෙස නො බලා ම මඳ වෙලාවක් නිහඬ ව රිය පැදවූ දුල්නෙත්, එකඟ වීම පිණිස හිස සැළුවේ ය.

“මට තේරෙනව දුල්නෙත්..”

ඒ වචන ටික පිට වූයේ සුසුමක් එක්ක ය. දුල්නෙත් රියෙහි වේගය මඳක් අඩු කළේ ය.

“ඔයා හිතනවද මං තාම මංජරීට ආදරෙයි කියල…”

“නෑ. ඒත් මං දන්නව ඔයා එයාට ආදරේ කළේ ඇත්තටම කියල”

“තෑන්ක් යූ..”

“මං ඔයාව තේරුං ගත්තටද…”

“නෑ. මට මෙහෙම විවෘතව කතා කරන්න පුළුවන් ගෑනු ළමේක් වුණාට”

ඔවුන් කතිකා කර ගත්තේ ඉක්මනින් ම විදුර හමු වී මංජරී ගැන කතා කරන්නට ය. අයානා විදුර ඇයට දිනක් කතා කළ අංකය ගබඩා කොට තබා ගත්තේ ආයේ ඒ අංකයෙන් ඇමතුමක් ආවොත් කතා නොකර සිටින්නට ය. ඇය කිහිප වර ක් ඒ අංකය සම්බන්ධ කර ගන්නට උත්සාහ කළ ද විදුර පිළිතුරු දීම මගහැරියේ ය.

ඊට නිශ්චිත හේතුවක් නොවිණ. ඒ දින කිහිපයේ ම ඇනෙක්ස් එකට නො ගිය ඔහු එදා හවස එහි ගියේ ය.

“අයානා දන්නවද ඕක…”

හැකි තාක් පාලනයෙන් යුතුව විදුර මංජරී ගෙන් විමසුවේ ඇගේ උදරය දෑසින් දක්වමිනි. ඇය ඔව් කියන්නට හිස සැළුවා ය.

“මට වෙන කියන්න කෙනෙක් හිටියෙ නෑ”

විදුර කට කොනකින් සමච්චල් සිනහවක් පෑවේ ය. ඔහු ගේ සමස්ත ඉරියව් කියා පාන්නේ ලැබෙන ප්‍රථම අවස්ථාවේ දී ම ඇය අතැර පලා යන බව යි මංජරී ට ඉවෙන් මෙන් දැනිණ. තව දුරටත් ඔහු රඳවා ගන්නට හෝ නවතා ගන්නට උත්සාහ නො ගන්නා තරමට මංජරී ගේ සිත මුරණ්ඩු කොට තිබුණේ අයානා ගේ වචන ය. ඔහු යන්නට ගියත් මොකද කියා සිතන්නට ඇය උත්සාහ කළා ය. කොහොමටත් විදුර ඇය කෙරෙහි ආදරයක් නැති බව දැන් ප්‍රත්‍යක්ෂ ය. ඔහු ට ඕනෑ වූයේ විශ්ව විද්‍යාලය කිට්ටුව නවාතැන් ගන්නට තැනක් නම්, ඇය ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී ඔහු ගේ යහන සැරසුවා ය. ඔහු ගේ කිළිටි රෙදි හේදුවා ය. ඔහු වෙනුවෙන් උයා පිහා දුන්නා ය. ඇය ඔහු ට කුළී බිරියක් වූවා ය. එපමණකි.

දැන් මංජරී ට හැඬෙන්නේ නැත. අයානා එක්ක කළ කතා බහෙන් පස්සේ ඇගේ හිත පුදුම විදිහට සවිමත් වී තිබේ. දිරිමත් වී තිබේ.

යහනට වැටී සිය කුසයට අත තියාගෙන මංජරී දරුවා ගැන හිතන්නට පටන් ගත්තා ය. ඒ දුවක වේවි ද…නැතහොත් පුතෙකු වේවි ද? දුවක වූවොත් තමා වාගේ ම මෝඩ කෙල්ලක වේවියි සිතෙත්දී ඇගේ දෙතොල් සිනහවකට විවර විය.

“අයානා වගේ වෙන්න ඕනෙ කෙල්ලෙක්නං”

ඇය හෙමිහිට මිමිණුවා ය. පසෙක වැතිර දුරකතනයෙහි මූණ ඔබා ගෙන උන් විදුර ‘ආ’ ගෑවේ ඇය යමක් කියනු ඇසුණ නිසා ය. මංජරී කිසිත් නොකී බව හඟවන්නට හිස දෙපසට සැළුවා ය. නමුත් ඒ දෙතොල් මත සිනහවක් වන බව දැක විදුර ඇතුළාන්තයෙන් කැළඹිණි. මේ තරම් බරක් හිත දරා ගෙන හිනා වෙන්නට ගැහැනුන්ට පිළිවන් ද?

ඔහු ට හමු වූ එක එක ගැහැනු එක එක විදිහ බව හදිසියේ ම මේ මොහොතේ විදුර ට සිහි විය. ඒ විවිධ මුහුණු ගණනාවක් ම ඔහු ගේ හිතේ ඇඳෙමින් මැකෙන්නට විය.

“කොල්ලෙක් වුණොත් එයාගෙ තාත්ත වගේ නොවී වෙන කවුරු වගේ වෙන්නද…කෙල්ලො රවට්ට රවට්ට යයි…”

මංජරී තදින් ඇස් දෙක පියා ගත්තා ය. ජංගම දුරකතනයට පණිවිඩයක් එන හඬ ඇසී ඇය ඒ අතට ගෙන බැලුවා ය. පණිවිඩය අයානා ගෙනි.

“උදේට නිර්වාණෙට ඇවිත් යන්න. මං කෙසෙල් කොළේක ඔතල බත් මුලක් හදල තියන්නං. උදේම කන්න”

ඇයිදෝ මන්දා මංජරී ගේ හිතේ රිදුමක් ඇති විය. ඇස් දෙක ලාවට තෙත් වූයේ ය. ඇය සුසුමක් හෝ නො හෙළා සියල්ල ඇය තුළ හිර කර ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles