තේජ මේ මොහොතේ වේදනාවෙන් සිටින බව සත්‍යයකි. ඒ වේදනාවෙන් සදාකල් ඔහු මුදවන්නට තමන්ට හැකි වන්නේ නම් එයම සතුටක් බව ලාවන්‍යාට සිතිණ. ඇය තවත් තත්පරයක කාලයක් නිහඬව සිටියා ය. ඊළඟ තත්පරය ඇත්තේ නිහඬතාවය බිඳින්නට ය.
“තේජ!”
ඇගේ ආමන්ත්‍රණය ළයාදර ය. තේජ රථය මහා මාර්ගයේ කලබල නැති තැනකට වන්නට හැර නතර කරන්නට සිතුවේ එනිසා ය.
“මං හිතනවා.. මං ඔයාට ආදරේ කරනවා කියලා. ඒක ක්‍රෂ් එකක්ද තෝරා ගන්න මම සෑහෙන දවසක් නාස්ති කළා. ඒත් ක්‍රෂ් එකකයි ආදරේකයි අහසට පොළොව වගේ දුරක් තියනවා. ඔයාගේ ආදරේ මට ලැබෙයිද දන්නේ නෑ. ඒත් මේ මොහොතෙ මං ඔයාට ආදරෙයි.”
තේජ වේගයෙන් ඇසිපිය සැලී ය. ලාවන්‍යා මේ ගමන් මාර්ගයේ ඇවිදිමින් සිටින බව ඔහුට නොවැටහුණා නොවේ. නමුත් ගමනාන්තය මෙහෙම වේදැයි ඔහු සිතා තිබුණේ නැත. ගමනාන්තය එහෙම එකක් වී තිබේ. මේ ගමනාන්තයෙන් එහා කොහේ යා යුතුදැයි සිතීම හෝ ගමන නිමා කිරීමට කාලය පැමිණ තිබේ.
“ඔයා වගේ ලස්සන දක්ෂ ළමයෙක් මට ආදරේ කරා කියන්නේ ඒක මට සතුටක්. මාව ආදරේ කරන්න තෝරා ගත්තට ඔයාට ස්තූතියි.”
ලාවන්‍යා ඒ වාක්‍යය වචනයක් වචනයක් ගාණේ තෝරන්නට වූවා ය. ඔහු කියන්නේ ආදරය වග නොවේ. ආදරය කළාට ස්තූති බවකි. අනිත් කාරණාව ඔහු යමක් කියන්නට ඇති බවක් පවසා ගත වූයේ මොහොතකි. ඔහු ආදරය ප්‍රකාශ කරන්නට කලින් තමන් ඉක්මන් වූවාදැයි ඇය සිතුවේ ලැජ්ජාවෙනි. වේදනාවෙනි.
“මට මේක කියන්න ඕන වුණා. ලියෝන්ගේ අම්මත් ඇවිල්ලනෙ ඉන්නේ. කවදාවත්ම මේක කියන්න ඉඩක් නොලැබෙන්න කලින් මට මේක කියන්න ඕන වුණා.”
තේජ ඒ වචන අසා සිටියේ මන්දස්මිතයෙන් ය. අනතුරුව ලාවන්‍යාගේ හිස මත අතක් තැබූ ඔහු ඇගේ හිස තත්පරයක් පිරි මැද්දේ ය. “ප්‍රේමයේ දිව්‍යමය හැඟීම” කියන්නේ එය වන්නට ඇතැයි ලාවන්‍යා සිතී ය. කිසිවක්ම නොලැබුණ ද මේ මොහොත ද ඇයට සංසාරයටම ප්‍රමාණවත් ය.
“ඉතිං ඒකට මොකද? ආදරේ හිතුණම ඒක කියන්න තරම් අපේ හිත් විශාල වෙන්න ඕන. අපි කෙනෙක් එක්ක තරහ වුණාම ඕන තරම් හිත රිදෙන කතා කියනවා. සමහර වචන උල්පිහි වගේ. ඒවා හිත හාරලා දාන දැමිල්ලට ආයේ කවදාවත් සනීප වෙන්නේ නෑ. පොඩි වැරැද්දක් අල්ලගෙන බනින එක, හින්ට් ගහන එක, තැන තැන එකතු වෙලා අනිත් මිනිස්සුන්ට හින්ට් ගහන එක අපේ රටෙ සාමාන්‍ය දෙයක්. ඒ වුණාට ලාවන්‍යා අපේ මිනිස්සු ආදරේනම් ආදරේ බව කියන්නෙවත් ස්තූති කරන්න ඕන තැනක ස්තූතියි කියන්නෙවත් නෑනෙ. ඒක හරිම නරක වැඩක්. ඒ නිසා ඔයා ඔයාගේ හැඟීම් කිව්වට ස්තූතියි.”
ඔහු ඒ ආදරය පිළිගත්තේ ඇය අනුත්තරාට දක්වන ආදරයේ පරිමාවෙන්දැයි ලාවන්‍යා සිතුවා ය. ඇයට අවශ්‍ය එහෙම ආදරයක් නොවේ. ඔහු අයත් කරගන්නා ආදරයකි.
“ඔයා ඔය කතාව කියන්න කලින් මං ඔයාට දෙයක් කියන්න හැදුවනෙ. මං ඒක කියන්නද? ඔයා මට ආදරේ කරන නිසාවත් ඒ හැඟීම වෙනස් කරගන්න බැරි වුණාට සමා වෙන්න.”
තේජගේ කටහඬෙහි පසුතැවීමක සේයාවක් තිබිණ. ඔහු මේ කියන්නට යන්නේ ලියෝන්ගේ අම්මා සමඟ නැවත එක් වීමක්දැයි ලාවන්‍යාට සිතේ. ඇයට දෑතින්ම දෙසවන් වසා ගන්නට සිතිණ.
“මං පුලුවන් තරම් ඉක්මනට ලියෝන්වත් අරන් මේ රටින් යනවා. අපේ කම්පැනි එකේ මදර් කම්පැනි එක ඇමරිකාවලට සම්බන්ධ නිසා මං එහෙට ඇප්ලයි කරන්න හිතුවා. පුලුවන් තරම් ඉක්මනින් මං ලියෝන්වත් අරන් යන්න යනවා.”
සිංහයා දරුවන්ව ගල් ගෙයක දා රැක ගත්තේ ය. සිංහබාහු පසු දිනයක ගල් ලෙන හැර නික්මී ගිය ද සිංහයා හැකිතාක් කාලයක් ඔවුන්ව රැක ගත්තේ ය. ලියෝන් මොනතරම් කාලයක් තේජව අත නොහැර සිටීදැයි කියන්නට නොහැකි වුවත් මේ මොහොතේ ඔහුව රැක ගැනීම තේජ ඉස්මුදුනේ තබා සිතයි.
“කවදහරි ලියෝන්ට අම්මා ඕන වුණොත්?”
ඒ හන්දා එහෙම නොකියා ඉන්නට ලාවන්‍යා ප්‍රවේසම් වූවා ය. නමුත් ඔහු යන්නට යන බව ස්ථිර ය.
“ඔයා මට ආදරේ කිව්වට ස්තූතියි කියලා මම කිව්වේ මට ඔයාගේ ආදරේ බාර ගන්න බැරි නිසා ලාවන්‍යා.”
ලාවන්‍යාට මෝටර් රථයේ දොර හැරගෙන දිව යන්නට සිතේ. ජීවිත කාලයම ආදරය අහිමි ගැහැනියක ලෙස ජීවත් වීම පහසු හැඟීමක් නොවේ. ඇය මේ ගිලී යන්නේ ඒ හැඟීමේ ය. භවන්තගෙන් රිදුණු හිත තේජගේ එක් මන්දහාසයකින් සුවපත් වෙමින් තිබිණ.
“ඔයා ලියෝන්ගේ අම්මව බඳිනවද?”
ඇය ඒ හන්දා ඔහුගෙන් ඇසී ය. තේජ බොහෝ වෙලාවකට පසු උස් හඬින් හිනැහිණ.
“මං කෞෂිට අපිව හොයාගන්නවත් බැරි වෙන්නයි ඇමරිකා යන්නේ ලාවන්‍යා. මට ඕනෑ කෞෂිගෙන් ඈතටම වෙලා ඉන්න. හරියට බැලුවම මං මේ වෙලාවේ කෞෂිට පුදුමතරම් වෛර කරනවා. කාලයක් ආදරේ කරලා මිනී මරන්න හිතට හයියක් එන්නෙ කොහොමද කියලා මට දැන් තේරෙනවා.”
තේජගේ සිතේ අප්‍රමාණ ආවේගයක් ඇති බව ලාවන්‍යා තේරුම් ගත්තා ය. ඒ මැදට ආදරයක් ගෙනවිත් තැබූ මෝඩකම ඇගේ ය. දැන් කරන්නට කිසිවක්ම නැත. ඔහු දැඩි ආවේගයකින් ඉන්නා මොහොතක ආදරය කියන්නට යාම ගැන ඇයට පසුතැවීමක් ඇති විය.
“ඔබ යම් කිසි මලකට ඇත්තටම ආදරය කරනවා නම් ඒ මල කඩන්නට උත්සාහ කරන්න එපා. ඔබ ඒ මල කඩන විට ඒ මලේ ලස්සන නැති වෙනවා. ඒ මල මිය යනවා.ඔබ මලකට ඇත්තටම ආදරය කරනවානම් එයට නිදහසේ සුවද විහිදවන්නට ඉඩ දෙන්න. නිදහසේ ජීවත් වෙන්න ඉඩදෙන්න”
වැඩසටහන් වලදී නිතරම සිහිපත් කරන ඒ වාක්‍ය කිහිපය ලාවන්‍යාට සිහි විණ.ඕෂෝ ට එසේ කියන්නට හැකි වූවාට එය යථාවක් කරන්නට හිත හදා ගන්නට මොනතරම් අපහසුදැයි ඇයට සිතෙන්නේ දැන් ය.
“දුරට වී ඇසිපිය නොලා බලා ඉන්නට අවසරයි
සංසාරයේ පතා ආවෙත් එලෙසමයි”
ගීතය අද රාත්‍රී වැඩසටනෙහි වාදනය කරන්නට ඇය ඉටා ගත්තා ය. ඒ තිඹිරි ගෙය තුළදීම මිය ගිය ඇගේ ප්‍රේමය වෙනුවෙනි.
එහෙත් තේජ කතා කර අවසන් වී තිබුණේ ද නැත!
(සමහර ප්‍රේමකතා කළල අවදියේම ගබ්සා වෙනවා. අඩුම තරමේ එක දවසකටවත් හුස්ම ගන්න ඉඩ ලැබෙන්නේ නෑ. ඔබටත් එහෙම කතාවක් තිබුණානම් අපි එක්ක බෙදා ගන්න)