“මං දිහා බලන්නකෝ අනේ.”
අහස්‍යා චුරුචුරුව පටන් ගත්තේ රදීෂ් ඇයට කිසිම අවධානයක් නොදෙන බව වැටහෙද්දී ය. ඇය එහෙම ය. කුඩා දියණියක තාත්තෙකුගේ අවධානය ඉල්ලා සිටින්නාක් මෙන් රදීෂ්ගේ අවධානය පැය විසි හතරම බලාපොරොත්තු වීම ඇගේ එකම සතුට ය.
“මැණික, මං වැඩක්. නුවරඑළියේ සප්ලයර් කෙනෙක් විකාරයක් කරලා.”
රදීෂ් පවසන්නේ කරුණාවන්ත හඬකිනි. හඬෙහි උස්පහත් වීමක් පවා අහස්‍යාට හඬන්නට කාරණාවක් බව ඔහු දනියි. ඇයට ඇත්තේ ඉතා පටු ලෝකයකි. එහි සිටින වීරයා ඔහු ය.
“දැන් ඔයා මාව නවත්තලා ගිහින් අර ලොකු පාර්සල් එකක් උස්සන් ආවේ. ඔයාගේ කොස්මැටික්ස් ඉවර වෙලා තිබ්බද?”
රදීෂ් එහෙම ඇසුවේ ඒවා අමතක වීම පවා ඔහුට හඬන කෙල්ලක නළවන්නට වෙන කාරණා හන්දා ය. අහස්‍යා යටි තොල සපාගෙන හිස දෙපසට වනන්නී ය. එහෙම මොහොතක යුවතියකට පැමිණිය යුතු වන්නේ අතිශය සරාගී පෙනුමක් වුවත් අහස්‍යාට ඇත්තේ කොරියානු කෙල්ලකට වාගේ හුරතල් පෙනුමකි.
“අර ඔයාගේ අලුත් ඇසිස්ටන්ට් එකවුන්ටන්ට් ඉන්නේ. මං ඒවා ඔක්කොම ගත්තෙ එයාට”
අහස්‍යා එසේ කියද්දී රදීෂ් බිරිඳ දෙස පුදුමයෙන් බැලුවේ ය. නිලුපුලී රැකියාවට පැමිණ අල්ප දිනකි. අහස්‍යා අනිත් සේවිකාවන් සමඟ තරමේ මිතුරුකමක්වත් ඇයට නොදැක්වී ය. ඒ නිසා මේ හදිසියේ එහෙම කරන්නට ආ හැඟීම ගැන දැනගන්නට රදීෂ්ට ඕනෑ විය.
“මිනිස්සු කොච්චර නරකද කියලා මට තේරෙන්නේ නෑ බබා. ඔයා හිතන්නකො තමන් එක්ක එකට වැඩ කරන ළමයෙක් ගඳයි කියලා එහෙම කොහොමද පෝස්ට් දාන්නේ.”
අහස්‍යාගේ මුහුණ ද මැල වේ. ඇය අන් අයගේ දුක් වේවේදනා ඉදිරියෙහි ඇය ඕනෑවටත් වඩා සංවේදි වන බව රදීෂ් දන්නා කාරණාවකි. නමුත් ආයතන ප්‍රධානියා ලෙස ඔහුට අසන්නට තිබුණේ වෙනත් කතාවකි.
“ඔයාට හොඳටම ෂුවර්ද ඒක මේ ඔෆිස් එකේ කෙල්ලො ලියපු එකක් කියලා.”
අහස්‍යා සමූහය මෙහෙයවන්නියන්ගෙන් අදාළ පෝස්ටුවේ අයිතිකාරිය විමසීමට ගත් උත්සාහය සාර්ථක වූයේ නැත. ඔවුන් නිර්නාමික පණිවුඩයක් එවන කෙනකුගේ පෞද්ගලිකත්වය සුරැකීමට ඉතා තදින් බැඳී සිටී. එනිසා නිර්නාමික පණිවිඩ එවීම ගඟේ මුහුදේ දැමූ අන්දමේ දෙයකි.
“එතකොට මේක ඔයාගේ බොරු සැකයක්ද මැණික?”
අහස්‍යා තල් අත්තට බෙලි ගෙඩිය වැටුණු හාවා මෙන් සමහර කටයුතුවල නිරත වන බව රදීෂ් ඇයට පෙම් කරන කාලයේ පටන් දන්නා කාරණාවකි.ඒ නිසා ඔහු එහෙම අහන්නට සිතුවේ ය.
“ඒ වගේ ගෘප් එකක නිර්නාමික පණිවිඩයක් අහන්නේ ඒක අදාල කෙනාට නොතේරෙන්න. එතකොට එතන හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. මම ඇත්තටම දන්නෙ නෑ ඒ පෝස්ට් එක එව්වේ මේ ඔෆිස් එකේම කවුරුහරි ද කියලා.සමහරවිට එහෙම නැති වෙන්න ඇති.ඒත් අලුත් ළමය සම්බන්ධයෙනුත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා.මේ ඔක්කොම අපිටත් එහෙම එකක් තියෙනවා නේද කියලා එක එක්කෙනාව මෙන්ෂන් කර කර දඟලනව. මම බලාගෙන ඔය විදියට හැසිරෙන්න එපා කියලා ඇඩ්මින් අවවාද කරලා තිබුණා. ඒත් තේරුමක් නෑ. එතැන අලුත් ළමයා ඇරුනම අනිත් ඔක්කොම ඉන්නවා. මට පුදුම කේන්තියක් ආවේ.”
අහස්‍යා ඒ කතාව කියද්දී කණ්ඩායම් හැඟීම සහ කෙනෙක් ආ කෙරෙහි ගරුත්වයකින් හැසිරීම සම්බන්ධයෙන් දේශනයක් වහාම ලබා දිය යුතු බව රදීෂ් තීරණය කළේ ය. ඉන්පසු ඔහු බිරිඳට තවත් රහසක් හෙළි කළේ ය.
“ඒ ළමයගෙ ඇඩ්‍රස් එක තියෙන්නේ වේල්ල වත්තෙ. මම සජෙස් කරපු සැලරි එකට ඕකේ වුණු නිසා මම ඒ ළමයා ගන්න තීරණේ කළේ. ඔයා ඔය කියන කතාව ඇහුවට පස්සෙ මට තව කීයක් හරි වැඩි කරන්න හිතෙනවා.”
රදීෂ් එහෙම හොඳ හිතක් ඇති මිනිසෙකි. ලොකුම කාරණාව ඔහු ද ජීවිතය දිග ඇවිද ආවේ පහසු පාරක නොවේ. ඒ නිසා දුප්පත්කම හා ඉන් හටගන්නා වේදනාව ඔහු හොඳින්ම දනී.
” අපිට එහෙම සැලරි එකට වෙනසක් කරන්න බැරි කමක් නෑනේ. ඒවගේ තැනක නම් ඒ ළමයා ගොඩක් දුක් විඳින ළමයෙක් වෙන්න ඇති.”
අහස්‍යා කියන්නේ ළතැවිල්ල පිරුණු හඬකිනි. රදීෂ් ඇය දෙස බලා හිනැහිණ. නිලුපුලී තරමට අවාසනාවන්ත ඉරණමක් අයත් නොවුණ ද ඔහුට ද මේ සියල් සැපසම්පත ලැබුණේ ඈ හන්දා ය. අහස්‍යා ඇගේ තාත්‍තාගේ ධනය ඔහුට රිසි ලෙස භුක්ති විඳින්නට ඉඩ ලබා දේ. ඒ වෙනුවට ඇයට ඕනෑ එක දෙයකි. ආදරය ය. ටොන් ගණනක ආදරය ය.
කාර්යාල කාමරයේ දොර සීනුව වැදිණ. රදීෂ් පැමිණෙන්නට අවසර දුන්නේ ය. නිලුපුලී කාමරයට ආවේ බියෙනි, සැකයෙනි.
“මට මැඩම්ට කතා කරන්න ඕනෑ.”
ඇය කියන්නේ පැටලෙන සුළු කටහඬකිනි. අහස්‍යා ඇගේ අත අල්ලා ගත්තා ය. ඉන් අනතුරුව ඇය සමීපයෙන් අසුන් ගන්වා ගත්තා ය.
“මැඩම්, මැඩම් කිව්ව විදියට මම…”
නිලුපුලී මේ කියන්නට හදන්නේ අහස්‍යා පැවසූ අන්දමට කිසිම ගිණුම් කටයුත්තක් නොකළ වග ය. අහස්‍යා වහා ඇය වැළැක්වූවා ය.
“සමහර දේවල් පේන්න දකින්න සිද්ධ වෙන වෙලාවට අපිට පොඩි බොරුවක් කියන්න වෙනවා දරුවෝ. මම ඊයේ දැකපු දෙයක් නිසා අද ඔයාට පොඩි තෑග්ගක් දෙන්න හිතුවා”
අහස්‍යා කතාව ඇරඹුවා ය. තමන් මෙතැනට වැඩි වග රදීෂ්ට සිතිණ. ඔහු නැගිට ජංගම දුරකථනය අතට ගත්තේ ය.
“මැණික,මං ෆ්ලවර් ස්ටෝ එක පැත්තට යනවා. අද මල් එන දවසක්නෙ. ඔයා ඔය ළමයා එක්ක කතා කරලා පහළට එන්නකො.”
ලා නිල් පැහැති අත් දිග ලිනන් කමිසයකින් සැරසුණු රදීෂ් ලියනාරච්චි ඉතා කඩවසම් මිනිසෙකු වග නිලුපුලීට හදිසියේ සිතිණ.ඔහුට ඇත්තේ කරුණාව උතුරන දෑසකි.
මැණික!
පිරිමියෙකුට එතරම් ආදරයකින් තම සහකාරිය ඇමතිය හැකි ද? ඇයට වත්තේ පිරිමින් තම සහකාරියට මැණික කියන අන්දම කිසිම දිනයක ඇසී නැත..ඒ වෙනුවට වෙනත් අකුරු තුනක වචනයක් නිරන්තරයෙන් ඇසේ. නිලුපුලීට මහත් ලෝබකමක් දැනිණ.
“ඔයා ජොබ් එක හොඳට කරගෙන ඉන්නකො. ඔයාගේ අලුත් රස්සාවට සුබ පතලා මම තෑග්ගක් දුන්නා. එච්චරයි. හොඳට වැඩ කරන්න. හොඳට වැඩ කරන්න ගත්තම මෙතන වැඩ කරන හැමෝම ඔයාට කිට්ටු වෙන්න පටන් ගනී.”
අහස්‍යා තව බොහෝ දේ පැවසුවා ය. නමුත් නිලුපුලීට ඒ කිසිවක්ම නෑසිණ. රදීෂ් යෝධ අඩි තබමින් ඇගේ හදවත මත ඇවිදිමින් සිටියේ ය.
(කොටස් දෙකක් කියවූ බැවින් ඔබේ අදහස් ලියා යන්න.)