නිවසේ දොර සීනුව නාද වෙද්දී උමාලි හැරී බැලුවා ය. කොහොමටත් නිවසේ දොරකඩින් මතු වන්නේ තමන්ගේ අය ය. එහෙම නැති අයට ගෙතුළට එන්නට මැණිකාගෙන් අවසර ගැනීම අසීරු ය.
“අහස්.. එනවා කියලා මැසේජ් එකක්වත් නෑ.”
ඇය අහස්‍යාගේ අත අල්ලාගෙන ඇයව තෙන්නකෝන් මැදුර තුළට ගත්තේ ආදරයෙනි. උමාලිට මේ ලෝකයේ සිටින හොඳම මිතුරිය අහස්‍යා ය. ඇගේ එකම නෑනන්ඩිය ය.
“දැන් එන්නේ ඔයාව බලන්න නෙවෙයිනෙ.”
අහස්‍යා එසේ කියන අතර උමාලිගේ පිරුණු කුස පිරි මැද්දේ ය. මිතුරන් සරි නැන්දම්මා කෙනෙකු සහ නෑනා කෙනෙකු ලැබීම ගැහැනු ළමයින්ගේ ඉටු නොවන සිහින අතර පවතින දේවල් ය. නමුත් උමාලිට ඒ සිහිනය ලැබී තිබේ.
“කෝ අපේ ලොකු සර්”
අහස්‍යා මේ අසන්නේ ගගන ගැන ය. ඇගේ එකම අයියා වූ ගගන තමන්ට තරමක් වැඩියෙන් අහස්‍යාට ආදරය කරන වග උමාලි දනියි.නමුත් ඇයට එහි වගක් නැත. කොහොමටත් අහස්‍යා කියන්නේ කාගේත් ආදරයට පාත්‍ර වන කෙල්ලකි.
“දැන් මෙතනින් වාඩි වෙලා මට කියන්න ඔයාගේ කොන්සර්ට් එකකට අපි ලෑස්ති වෙනවා නේද?”
අහස්‍යා ජනප්‍රිය ගායිකාවකි. ඇය ඇගේම කියා ප්‍රසංග එකක්වත් තවම නොපැවැත්වීම ගැන උමාලි නම් පෞද්ගලිකවම බොහෝ කෝප ගත්තා ය. අහස්‍යා රාත්‍රී එළිමහන් ප්‍රසංග වලට සහභාගී නොවන තත්ත්වයක් පවත්වාගෙන යන ගායිකාවක වගට මත පළ වෙයි.නමුත් සත්‍යය එය නොවේ.
“රෑ වෙලා ගිහින් එච්චර සෙනඟ ගොඩක සින්ග් කරන්න මට බයයි.”
අහස්‍යා කියන්නේ එහෙම කතාවකි. චාරුනී තෙන්නකෝන් මහත්මිය අහස්‍යා තනා ඇත්තේ මල් පොහොට්ටුවක් රකින්නාක් මෙන් ප්‍රවේසමෙන් ය. එනිසාම ඇය ඔවැනි ගමන්වලට බයක් දක්වන්නී ය. අහස්‍යා අවුරුදු විසි අටක තරමට වැඩී නැතැයි උමාලිට සිතෙන්නේ එවැනි කාරණා හන්දා ය.
“කොන්සර්ට් එකක් කියන්නේ ලොකු වැඩක්නෙ උමා.”
අහස්‍යා කියන්නේ සසැලෙමිනි. උමාලි ඇය දෙස බැලුවේ නෝක්කාඩුවක ස්වරූපයෙනි. අහස්‍යා ප්‍රමාද වෙනවා හොඳටෝම වැඩි ය. ඇය රදීෂ්ට අනාගතයක් හදන්නට වෙහෙසෙනවා මිසක ඇගේ අරමුණු වෙත යන්නේ ඉතා සෙමිනි.
“ලොකු වැඩක් උනාට ඔයාගේ තාත්තටයි අයියටයි සල්ලි තියෙනවනේ පැටියෝ. ඔයා බය නැතුව වැඩේට අත ගහන්න.”
ගගන මතු වූයේ එහෙම කියාගෙන ය. අහස්‍යා අයියා දෙස බැලුවේ නොරුස්නා බැල්මකින් ය. ඔහු මේ නොකියා පහර ගසන්නේ රදීශ් ට බව ඇය දන්නී ය. එය වටහාගත් උමාලි සැමියාට සිහින් රැවුමක් පා කළා ය.
“කාගේ සල්ලි වලින් හරි වැඩේ කෙරෙන්නනේ ඕනේ. මෙයා එහෙම දෙයක් නොකර බලන් ඉන්න එකට මටනම් පුදුම තරම් තරහයි. “
උමාලි එසේ පැවසුවේ වරද අහස්‍යා පිටම තබමිනි. ගගන සෑම දිනක ම පවසන ම පවසන කතාව මෙතනට ඇදගන්නට උමාලි අකමැති ය.
“ඔයාගේ සින්දුවලට මිලියන ගානක් විව්ස් එනවා.ඒ සල්ලි ඔක්කොම ගන්නෙ ඔයාගේ ස්වාමි පුරුෂ රත්නයනෙ. මිනිහා ගාව මේ වෙනකොට තියෙන්න ඕනේ එක කොන්සර්ට් එකක් නෙවෙයි ලංකාව පුරාම concert කරන්න පුළුවන් තරමක් සල්ලි.”
රදීෂ් පාවිච්චි කරන සෑම මුදලක්ම පාහේ තමන්ගේ පවුලේ මුදල් බව ගගන දනියි. ඒවා දෑවැද්දට දුන් බව පවසා හෝ සිත හදා ගන්නට හැකි ය. නමුත් නංගිගේ දක්ෂතාවයෙන් උපයා ගන්නා මුදල් ද ඔහුගේ විවිධ කටයුතුවලට යොදා ගැනීම සමාව දෙන්නට නොහැකි වරදක් බව ගගනට සිතෙයි.
“අපි අතර භේද නෑ.එයා හම්බ කළත් මං හම්බ කළත් ඒවා අපේ සල්ලි. එහෙම භේද තියාගෙන පවුලක් වගේ ජීවත් වෙන්න පුලුවන්ද? අනිත් වැදගත්ම දේ එයා මට ආදරෙයි.”
අහස්‍යා පැවසුවේ අකමැත්තෙනි. ඒ අකමැත්තෙන් පිරුණු මුහුණ දෙස බැලූ ගගනට සිනා පහළ විය. උමාලිත් නංගිත් එකම වයසේ යුවතියන් ය. නමුත් උමාලිට සාපේක්ෂව නංගී වයසට නොයන්නේ ඇයි දැයි ඔහුට ද සිතා ගන්නට නොහැකි කාරණාවකි.දෙදෙනාම පියකරු යුවතියන් ය. නමුත් නංගිගේ හැසිරීම් වල සහ කරන කටයුතු වල ඇත්තේ උමාලිට වඩා වසර ගණනක බාල දැරියකගේ ස්වරූපයක් බව ගගන සිතුවේ ය.
“එයාට අපි හැමදාම කිව්වේ බබා කියලා. අම්මයි තාත්තයි මමයි. එයාට ඕනැවට වඩා ආදරේ කරන්න ගියා. ඒක තමයි වැරැද්ද කියලා දැන් මට හිතෙනවා. නංගිට ඔයාලට වගේ වෙන කිසිම අරමුණක් නෑ. එයා ලොකු වෙන්නෙත් නෑ. එයාට ජීවිතය ඕන එකම දේ ආදරේ විතරයි. ආදරේ මත්තෙ නැහෙන්නේ නැතුව ජීවත් වුණා නම් එයාට ඔයිට වඩා මොනතරම් හොඳ කසාදයක් අපිට කරලා දෙන්න පුළුවන් උනාද”
ගගන එසේ කියද්දී උමාලි නිහඬව මොහොතක් සිටියා ය. ඇය ද ඒ කතාවේ අර්ධයක් පිළි ගනියි. නමුත් ඉතිරි අර්ධය ප්‍රතික්ෂේප කරන්නට ඇයට සිතිණ
“නෑ ගගන. මං හිතන්නේ අහස්‍යාට ඕන ජීවිතේ ඕක. එයාට ඔය සල්ලි තියන තරම ඇති. රදීෂ්ට ඔයාට වගේ ඔයාලගෙ තාත්තට වගේ ලොකු බිස්නස් ඕන නැත්නම් එයා ෆ්ලෝරා එක කරගෙන හිටපුවාවේ. අපි මිනිස්සුන්ව බලහත්කාරෙන් අරමුණු පස්සෙ දුවවන්න ඕන නෑනෙ.”
රදීෂ්ට දියුණු වෙන්නට ඕනෑ නැතැයි කියන මන්තරය ගගන නිරන්තරයෙන්ම මැතිරීම ගැන උමාලිගේ මනාපයක් නැත. කිසියම් මොහොතක එය වඩාත් නරකට අහස්‍යාගේ සිතට ඇතුළු වන්නට ද ඉඩ තිබේ.
(හෙට දිග කොටසකින් හමු වෙමු)