කළුවර අහසක රිදී රේඛා හෝ දේදුනු වර්ණ සේ විහාර වෛශාක්‍ය අමරසිංහ මසිත් අහසේ වරින් වර ආලෝක සංඥා දල්වා ලූයේ ය. මරණයෙන් යළි මිනිසුන් නැගිටින්නේ නැති වග, වළ දැමීමෙන් පස්සේ කෙනෙකු ගේ අභ්‍යන්තරයේ අවබෝධයක් ඇති වේ. එයින් පසු ක්‍රම ක්‍රමයෙන් යථාවත් විය යුතු වන්නේ ය. යථාවත් වන්නෙමු. මට ද එහෙම වන්නට සිදු විය.
තාත්තා ගේ මිය යාම මා කම්පනය කළේ සාමාන්‍ය දුවක ගේ තත්වයෙන් ම නොවේ. එය වෙනස් තත්වයකි. අපට අයිති වී නො සිටි තාත්තා කෙනෙකු අපට අහිමි විය. ඒ සමග අප අවට සිටි අය අමුතු විදිහකට අප දෙස බලන්නට ගත් බව ද පෙනිණ. අප අමුතු ම ජීවීන් කොට්ඨාශයක් සේ ඔවුන් ට පෙනෙන්නට ඇත. “හොර ගෑනිට මිණියවත් නෑ” කියා කෙනෙකු කියනු මගේ කනට ම ඇසුණේ ය. “වටේ යන උන්ට හොඳ පාඩං. කොහේ ගියත් අන්තිමට කසාද ගෑනි තමයි මිණිය වළ දාන්න හරි ඉන්නෙ” යනුවෙන් ද, “මං වගේනං මිණිය බාර ගන්නෙත් නෑ” යනුවෙන් ද කෙනෙකු කීහ. ඒවා කවර අරුත් වලින් දෙඩී ද තුවාල ඇත්තන්ගේ තුවාල පෑරේ. හිත් රිදේ. ඒ දින කිහිපයෙහි හදවත මත ප්ලාස්ටර සිය ගණනක් අලවා ගන්නට සිදු විය. කාලය විසින් ඒ තුවාල සුවපත් කරනු ඇතැයි සිතන්නට මම කැමති වීමි.
හත් දවසේ දානයෙන් පසු පිරිස විසිර ගිය අතර අතිශය සාමාන්‍යකරණය වන්නට අපට සිදු විය. දානය වෙනුවෙන් තාත්තා ගේ අනිත් පවුලේ කිසිවෙකු සහභාගී වූයේ නැත. ඇතැම් විට ඔවුන් වෙනම ම දානයක් දෙන්නට ඇතැයි අම්මා කීවා ය.
සතියකට පස්සේ යළි විශ් යූ වෙත යන්නට මට තිබූ බරපතල ම ගැටළුව අම්මා ය. තාත්තා ගේ මිණිය තබා තිබූ ගෙයි උණුහුම යන්නටත් පෙර ඇය තනි කර යන්නට බැරි කමක් මට වද දිණි. නමුත් අම්මා එවැන්නක් හැඟවූයේ හෝ නැත.
“අනේ මං මොකටද බබා ගෙදර ඉන්න බය වෙන්නෙ..අනික මං මොකටද ඔයාගෙ තාත්තට බය වෙන්නෙ…ඔයා ගිහිං වැඩ ටික කර ගන්න…”
“එහෙනං අම්මත් ගිහිං ශොප් එකට වෙලා ඉමු…දවසක් දෙකක්වත්…”
“දවසකට දෙකකට පස්සෙ වුණත් අපි සාමාන්‍ය ජීවිතේට ආයෙ එන්න ඕනනෙ බබා. අනික පහු ගිය ටිකේ කරගන්න බැරි වුණ එම්බ්‍රොයිඩර් වැඩ ගොඩක් එකතු වෙලා තියනව. ඒ මිනිස්සුන්ට ඒව ඉවර කරල දෙන්නත් ඕනනෙ…ඔයා මං ගැන වද වෙන්න එපා”
මා විශ් යූ වෙත ගියේ අම්මා ගේ පෙරැත්තය නිසා ය. නමුත් වෙනදා දිවා ආහාරය වෙනුවෙන් එන වෙලාවට කලින් මම ගෙදර ආවෙමි. ඒ ටිකක් වැඩිපුර වෙලා අම්මා එක්ක රැඳෙන්නට බලා ගෙන ය. මා එත්දී ඇය අසල්වාසී දරුවෙකු ගෙන්වා ගෙන ඔහුත් එක්ක කතා බහේ යෙදෙමින් ම එම්බ්‍රොයිඩර් වැඩක සිටියා ය.
“මොනා වුණත් හිතට හරි නෑ වගේ. තනියම ඉන්නකොට හරියට තාත්තව මතක් වෙන්න ගත්ත. ඒක නිසා මං මේ පොඩි එකාව ගෙන්න ගත්ත..කතා කරන්න කෙනෙක් ඉන්නකොට ඒව මේව හිතෙන්නෙ නෑනෙ”
අම්මා සිනහවකින් එසේ කීවා ය.
එදා උදේ පෙත් මග දිග යන ගමන්, වනස්පති බිංගෙය තුළ දී මම ස්කූටරය නතර කොට ඉන් බැස ගතිමි. ඒ වැට අයිනේ තද තැඹිලි පාටින් වල් ලූණු මල් දෙකක් සිනහ වෙවී සිටි හින්දා ය. රාත්‍රියේ වට මඳ වැස්ස නිසා රැඳුණු වැහි දිය බින්දු තවමත් තුරු ගොමු මත රැඳී තිබී ඉඳ හිට ටික් ගාමින් වැටී පොළොව සිප ගත්තේ ය. වල් ලූණු ගසට මඳක් එපිටින් දිරා ගිය රොඩු ගොඩක් මත්තේ ලා දුඹුරු පාටින් විශාල බිම් මලක් පිපී තිබුණේ ය. ඔය බිම් මලක් අහල පහලක තිබී දුටුවා නම් අම්මා නිසැකව ම කඩා ගෙන විත් රතු ලූණු, උම්බලකඩ හා මිරිස් කෑලි දමා බැදුමක් තනන්නී ය. ඒ බිම් මල් බැදුම ගෑවුණ තැනක බත් කන්නට පුළුවන. වගා කොට කඩවල් වලට දමනා බිම් මල් වල නැති ප්‍රණීත රසයක් ඒවායේ වේ.
වල් ලූණු මල අතේ තිබියදී බිම් මල දෙස බලා සිටි මා හදිසි ගැස්මකට ලක් වූයේ ස්කූටියට ළඟින් ම නැවතුණ තද කොළ පාට ඔස්ටින් රිය නිසා ය. මේ වාගේ උදයක මේ වාගේ තැනක මේ වාගේ අහඹු ලෙස විහාර වෛශාක්‍ය දැකීමේ බලාපොරොත්තුවක් මගේ හීනයක හෝ වූයේ නැත. මුලින් විශ්මයෙන් තිගැස්සී ගිය ඇස් පිය මත්තට, තුරු හිසක රැඳී උන් වැහි පිනි බින්දුවක් පතිත වූයේ ය. රතදර අතරට මන්දස්මිතයක් ආවේ ඒ මොහොත සමරන්නට ඊට වැඩිය හොඳ විදිහක් තිබුණේ නැති හින්දා විය හැක. කඩවසම් පිරිමියෙකු සේ විහාර රියෙන් බිමට බසිත්දී මඳහස් පොහොට්ටුව සිනහ කුසුමක් ව පිපිණි. ඒ තරම් ලස්සනට ඊට පෙර මා සිනහ වී ඇත්දැයි සැක සහිත ය.
“ගුඩ් මෝනිං මැඩම්”
“ගුඩ් මෝනිං…කොහෙද මේ…”
වල් ලූණු මලෙන් පවා මට සුවඳක් දැනිණ. ඔහු රියට පිට දී අත් දෙක පපුව මත බැඳ ගත්තේ ය. මම ඇස් දෙක පිරෙන්නට ඔහු දැක ගතිමි. වැලමිට සන්ධි තෙක් නැවූ සුදු, අළු, කළු වර්ණ වල කොටු කමිසයක් හා ජෙට් බ්ලැක් ඩෙනිම් කලිසමක් හැඳ ලෙදර් සපත්තු පැළඳ සිටි ඔහු වෙතින් අසීමිත කඩවසම් බවක් දිස් විය. මඳක් රැලි සහිත තරමක් දිග හිටින්නට කැපූ කොණ්ඩය, තෙල් ද ජෙල් ද මන්දා නිසාවෙන් දිළිසිණ. ඔහු ළඟින් මට මුල් ම වතාවට නැවුම් විලවුන් සුවඳක් පවා දැනුණේ ය. ඇස් දෙක පත්ලේ මිහිදන් වූ සන්තාපය අමුතු ආඩම්බරයකින් වැසී යමින් තිබිණ.
“කොහෙද යන්නෙ අහන්නෙ…අපේ ඒරියා එකනෙ මේ”
ඔහු ආඩම්බර ස්වරයකින් ම කීවේ ය. මම සිනහව අලුත් කර ගතිමි.
“එහෙමද…මං හිතුවෙ මේ අපේ ඒරියා එක කියල”
ඔහු ඇස් දෙක තරමක් කුඩා කොට බැලුවා යි සිතමි. ඒ බැල්ම හිතේ ගැස්මක් දැනවූ නිසා මම වල් ලූණු මල දෙස බලා ගතිමි.
“මෙතන ලස්සනයි නේ…”
මා හදිසි පිබිදීමකින් එසේ විචාලේ පෙත් මගට ඉහළින් වියනක් තනනා තුරු හිස් දෙස බලා ගෙන ය. තුරු පත් වල හිදැස් අතරින් සූර්ය කිරණ කිහිපයක් පෙරී එමින් ද ඒවා පොළොව මත ආලෝක ලප අඳිමින් ද තිබිණ.
“හ්ම්…මං ආසම තැනක්. මිනිස්සු මොනා කිව්වත් මං මේ අතු කපන්නැත්තෙ ඒකයි”
ඔහු කී දේ මගේ හිතේ ඇනී මා ඇහැරවූයේ විහාර එහෙම කියා තත්පර දෙක තුනක් ගෙවුණ තැන ය.
“ආ…”
උඩ බලා ගෙන උන් මගේ දෑස් වහා ඔහු වෙත හැරවිණ.
“හිතට පාළු දැනෙන වෙලාවට මං ඇවිත් මෙතනට වෙලා ටික වෙලාවක් බලං ඉන්නව. එතකොට හිතට මාර සැනසීමයි”
“අතු කපන්නෑ කිව්වෙ…ඔයා වැඩ කරන්නෙ ප්‍රාදේශීය සභාවෙද…”
ඔහු ට සිනහ ගියේ ය. එය ලස්සන ක්ෂණික සිනහවකි.
“මේ දෙපැත්තෙ වතු දෙක අපේ. අපේ කිව්වෙ අපේ තාත්තගෙ. තාත්ත නැති වුණේ මට ඒව පවරල”
“දෙයියනේ…කොච්චර කාලයක් තිස්සෙ මං හෙව්වද…මේ වතු දෙක අයිති කාටද කියල”
“ඇයි…අතු කපන්න කියන්නද…”
පිරිමියෙකුට ඒ තරම් ලස්සන සිනහවක් හිමි කොට දීම අසාධාරණ යයි ඒ අව් අස්සේත් මට සිතිණ.
“නෑ..දන්නෑ…අනේ මන්ද…නිකං…බලන්න…”
මා දුන් එක ම පිළිතුරක් ගැන හෝ මා තුළ ම සෑහීමක් ඇති නො වන්නට ඇත. අප්‍රමාණවත් බවක් දැනෙන්නට ඇත. ඔහු සිනහ වෙවී මා ළඟට ම ආවේ ය. ඒ සුසුවඳ මට හොඳට ම දැනෙන තරම් විය. උණුහුමක් පවා නො දැනුණා නොවේ. එහෙම මොහොතක ගැහැනු හදවතක ගැස්ම ගැන කතා නොකර ඉන්නා එක හොඳ ය. ඒ විසල් ආත්මය ඉදිරියේ කුරු කුහුඹු බවක් මට දැනිණ.
“දැං ඉතිං දැක්කනෙ…”
විහාර ඇස් වලිනුත් කතා කළේ ය. දරා ගන්නට අමාරු ඒ ඇස් කතන්දර ය. කියන කතාවට වඩා දැවැන්ත නො කියූ කතාවක් අර නිදන්ගත දුක අස්සේ තිබී මට හමු විය.
“කියන්න තියන දේකුත් කියන්න”
කියන්නට දේවල් දස දහස් ගණනින් මගේ හිත ළඟ පෙළ ගැහී තිබිණ. ඔයා අද වෙනදටත් වඩා හැන්ඩ්සම් කියා කියන්නට මට ඕන වුණේ ය. ඔහොම බලන්න එපා දෙයියනේ කියා බැගෑපත් වෙන්නට ඕන වුණේ ය. ඔයා ළඟ දැනෙන ඔය සුවඳට මට ආසයි කියන්නට වුණත් පුළුවන් කමක් තිබුණේ වී නම් හොඳ ය. නමුත් මා කීවේ වෙන ම දෙයකි.
“මගෙ පුංචි ලෝකෙ මං ආසම තැනක් මේ…මෙතනදි පුදුම සනීපයක්, සැනසීමක්, තනි වෙලා නෑ වගේ හැඟීමක් දැනෙනව. හරියට කවුරු හරි ළඟටම අරං ඔළුව අතගානව වගේ. ඉස්කෝලෙ යන දවස් වලත්…ඉස්කෝලෙ ඇරිල ගෙදර යන ගමං මං මෙතන ටිකක් නතර වෙලා යනව. තාත්ත අපි ළඟ නැති දුකට ඇහෙන් කඳුළක් වැටෙනකොට හුළඟක් හරි ඒ කඳුළ පිහිදල තියනව. ඊට පස්සෙ කාලෙ වුණත්…කාටවත් ම කියාගන්න තේරෙන්නෙ නැති තනිකමක් හිත රිද්දන වෙලාවට…මං මෙතන ස්කූටි එක නතර කරං ඉන්නව. ඇස් පියවෙද්දි යන්තං නළල ඉඹිනව වගේ මට දැනිල තියෙනව. තදට තුරුල් කරං හිත හදනව වගේ මට දැනිල තියනව. මේ අතු කපල දායි කියල මං අඬල තියනව. ඒක හරි අමුතු දෙයක්. හරි පුදුම දෙයක්. ඒත් එහෙම දේවල් තියනව. මං ගැන හුඟක් දන්න තැනක් වගේ මට මෙතන දැනෙනව…”
කම්මුල් දිග කඳුළක් රූරා යන බව මට දැනුණේ ටික වෙලාවකට පස්සේ ය. ඉක්මන් කොට අතැඟිලි වලින් මම ඒ කඳුළ අකා මකා දැමුවෙමි.
“මේ මං ගැනත් හොඳට දන්න තැනක්”
විහාර එසේ කීවේ මට ද නැත්නම් ඔහුට ම ද කියා සිතා ගත නො හැකි ස්වරයකිනි. අනතුරුව ඔහු බරැති සුසුමක් අත් හැරියේ ය. මම ටික වෙලාවක් හිතෙන් ඒ බර දරා ගෙන සිටියෙමි.
“පිස්සු මට”
යළිත් කම්මුල් පිසිමින් මම සිනාසුණෙමි. හිතට දැනෙමින් තිබුණේ මා මේ තුරු වියන මත්තේ පා වෙන බවකි. පුංචි කාලේ පටන් විසඳා ගන්නට බලා උන් රහසක් හෙළි වීම මා චමත්කාරයට පත් කොට තිබිණ. නත්තල් සීයා ගෙනැවිත් තැබුවා වාගේ පුංචි සා වියේ දී මගේ කොට්ටය යටින් බැලුන් බෝල හා ටොෆි දෙක තුනක් ද චොක්ලට් පෙත්තක් ද ගෙනැවිත් තබන්නේ තාත්තා කියා දැන ගත් දවසක දැනුණ නොතේරුණ දුක මට මතක් විය. ඒ දුකත් මේ සතුටත් හරියට ම එක වාගේ ය.
“මේ වැටේ පේන තැං වලින් දකින පාට පාට වයිරන් තියන හබරල ජාති..එතකොට දම් පාට මල් පිපෙන බෝවිටියා..තව එක එක මීවන ජාති එහෙම මාව පිස්සු වට්ටල තියන තරං ඔයා දන්නෑ. පොඩි කාලෙ මං ඔය වැටෙං රිංගල හබරල පැල ගලෝගන්නත් හදල තියනව. එතකොට අපේ අම්ම වත්තෙ ඉන්න මුරකාරයෙක් වෙඩි තියයි කියල තමයි මාව බය කළේ”
විහාර නිදහස් ලෙස උස් හඬින් සිනහ වූයේ ය. මම රහසෙන් ඒ සිනහව මගේ පපුව තුළ හංගා ගතිමි.
“ඇත්ත. දැනුත් මෙතනින් යන සමහර වෙලාවක දිග තුවක්කුවක් අතිං අරගත්ත බඩ තඩි මුඑකාරයෙක් ඉන්නව ඉන්නව වගේ මට දැනෙනව”
“හරියට මං වගේ”
සිනා සපිරි ඒ වත මගේ පපුවේ රුවා සිප ගන්නට උපන් හිතුවක්කාර සිතිවිල්ල මා හිත යට ම ඔබා ගත්තේ කලබලයෙනි.
“ඔයා ළඟ ලස්සන සුරංගනා කතා මල්ලක් තියනව නේ…”
“කෝච්චියට අහු වුණා වගේ දැනුණද…නූරි බලං ඇති…එහෙනං මං යන්නද…”
“අද වත්තෙ පොල් කඩනව. ඒකයි මං උදෙං ආවෙ”
“ඒ කියන්නෙ යන ගමං විශ් යූ එකට එනවනෙ…”
මා එහෙම ඇහුවේ ස්කූටිය පණ ගන්වන අතරේ ය. එහි ආරාධනයක් වූයේ නැත. ඉල්ලා සිටීමක් වූයේත් නැත. නමුත් නියත විශ්වාසයක් තියෙන්නට ඇත. අත් දෙක පපුව මත බැඳ ගෙන ඔහු සිනා නැති මුහුණකින් බලා සිටියේ ය. මම මඳ වේගයෙන් ස්කූටිය පැද යන්නට ගතිමි. සුළඟ වෙනදාටත් වඩා හුරතලයෙන් මට හාදු දුන්නේ ය.