හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා.

” පයින් ද ආවේ ?”

” නෑ අම්මෙ සුරේෂ් මාව පාර ගාවින් දාගෙන ගියේ “

මිල මුදල් යහමින් ඇති බෑනා ගැන කල්‍යාණි ආයෙ ආයෙත් ආඩම්බර උනා.

” කෝ නංගි නැද්ද ? “

” යාළුවෙක්ගෙ වෙඩින් එකකට සාරි තෝරන්න තියෙනවා කියලා ගියා උදෙන්ම “

” හහ්. යාළුවෙක්ගෙ වෙඩින් එකට ද එයාගේ එකටද දන්නෙ නෑ සාරි තෝරන්න ගියේ “

අශානි කතා කළේ සමච්චලයෙන් වගේ.

” සුරේෂ්ට අර ළමයා ගැන විස්තර හම්බ වෙලාද ලොක්කී ? “

” ඔව්.මම මේ ආවෙ අම්මට ඒ ගැන කියන්නත් එක්ක තමයි “

කල්‍යාණි තේ හදන අතරේ අශානි මුලපිරුවේ ලොකු කතාවකට

” කොල්ලා නම් ලස්සනට පෙනුමට ඉන්නවා. ඒ උනාට අඩුම තරමේ එයාට බයිසිකලයක්වත් නැහැ අම්මේ “

” ඒව නං පස්සෙ කාලෙක හරි ගන්න බැරියැ ළමයෝ. ඒ කොල්ල මොන වගේ කෙනෙක්ද ?”

” එයා ඔය රස්තියාදු ගගහා ඉදලා ඊයේ පෙරේදා ජොබ් එකකට ගිය කොල්ලෙක්. ඒකත් රුපියල් තිස්දාහක විතර පඩියකට “

අශානි එහෙම කිව්වේ තමන්ගේ සැමියාගේ වැටුප ඊට වඩා හතර පස් ගුණයක් වැඩි බවත් මතක් කරමින්

” අනිත් එක , අපේ නංගිගෙ පඩියත් ඊට වඩා වැඩියි නේ අම්මේ ? “

” අනේ මන්දා ලොක්කී.දුරදිග හිතලා බලන්න නැතුව පටන් ගත්ත සම්බන්ධයක් වෙන්න ඇති එහෙනම් ඕක “

” රුපියල් 30, 000 කින් අද කාලේ මොනවද අම්මෙ කරන්න පුළුවන් ? රෙන්ට් එකට ගෙයක් හොයාගන්නවත් පුළුවන් ද ? “

” අපි දැන් මේකට මොකක්ද කරන්නේ ලොක්කි ?”

කල්‍යාණි අශානි දිහා බැලුවේ අසරණ වූ දෑසකින්. ධනවත් තරුණයෙක් එක්ක විවාහ වුණාට පස්සේ පවුලේ තමන්ට තිබුණු තැන සහ ගෞරවය තවත් වැඩිවුණා කියලයි අශානි ට දැනුනේ.හෙට ඇතිවන ප්‍රශ්න වලදී පවා අම්මා තමන්ගේ සහාය පැතීම අශානිගේ හිතේ ආඩම්බරය වැඩි වෙන්න තවත් හේතුවක් වුණා

” වෙන මොනවා කරන්නද ? ඔය සම්බන්ධ නවත්තන්න කියලා අම්මා නංගිට තදින්ම කියන්න “

සැමියා මිය ගිය දවසේ ඉඳලා ඇඟලුම් කම්හලක සේවයට ගිහින් දියණියන් දෙදෙනා ව රැකබලා ගත්ත කළ්‍යාණිට කවදාවත් දරුවන්ගේ හිත රිදවලා පුරුද්දක් තිබුනේ නැහැ.ඒත් නොගැළපෙන සම්බන්ධයක් නම් එය වහාම නතර කළ යුතුයි කියලා කල්‍යාණි හිතුවා

” මට ඕක කියන්න කියලා අම්මට ඉගැන්නුවේ අක්කා ද ?”

හවස ගෙදර ආව නිශානි කතා කළේ කෝපයෙන්

” කවුරුවත් කියන්න ඕන නෑ පොඩ්ඩි. ඕක ඔයාට ගැළපෙන සම්බන්ධයක් නෙමෙයි “

” අම්මා කොහොමද කියන්නේ කසුන්ව මට ගැලපෙන්නේ නෑ කියලා ? “

” ඒ ළමයට තාම හරිහමන් පඩියක් වත් නැහැලු නේද ? රුපියල් තිස්දාහකින් දෙන්නෙකුට කාලා ඇඳලා ඉන්න පුළුවන් ද ? හිතුවක්කාරකම් නොකර වැඩිය දුර දිග යන්න කලින් ඕව නතර කරලා දාන්න “

” කවුද අම්මට කිව්වේ කසුන්ගෙ පඩිය තිස් දාහයි කියලා ? එයාට තිස්දාහක් හම්බුනේ ජොබ් එකට යනකොට. දැන් එයාගෙ පඩිය හැට දාහකටත් වැඩියි “

” සුරේෂ් ඒ ළමයා ගැන විස්තර ගොඩක් හොයලා තිබුණා. එයත් අක්කට කියලා තිබුණා ඔයාට ඔය සම්බන්ධය නතර කරන්න කියන්න කියලා “

” මගේ ජීවිතේ ගැන තීරණ ගන්න එයා කවුද අම්මේ ? “

” එහෙම කියන්න එපා පොඩ්ඩී.පිරිමියෙක් නැති අපේ ගෙදර හයියට ඉන්නෙ සුරේෂ් නේ “

” එහෙමයි කියලා එයාට කියන්න මගේ ජීවිතේට ඇඟිලි ගහන්න එන්න එපා කියලා “

කවදාවත් මුරණ්ඩු ගති නොපෙන්නපු නිශානි මුරණ්ඩු වුණේ තමන්ගේ ආදරය වෙනුවෙන්. මිල මුදල් බලයට ආදරය යට කළ නොහැකි බව නිශානි තදින්ම විශ්වාස කළා.

” මටත් උඹත් එක්කම බඳින්න හිතෙනව මේඛලා “

නිශානි කිව්වේ විවාහයට සූදානම් වෙන තමන්ගේ මිතුරියව කාර්යාලයේ දී මුණ ගැහුණු වෙලාවෙදි

” අක්කා ලා දැන් ඔය බර බරේ දැම්මට මටනම් හිතෙන්නේ පස්සේ කැමති වෙයි කියලා “

” මොන පිස්සුද ? මම දන්නවනේ සුරේෂ් කියන මනුස්සයාව බැන්දට පස්සේ අක්කගෙ ඔළුවට ලොකුකම ගහපු හැටි “

නිශානි කතා කළේ කලකිරීමෙන් වගේ.තමන්ගේ අක්කා විවාහ වෙන්න මිල මුදල් තියන යාන වාහන තියන සහකාරයෙක් හොයනකොට සතුටින් සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන්න පුළුවන් සහකාරයෙක්ව නිශානි හැමදාම හෙව්වා.ඇයට කසුන්ව මුණගැහෙන්නේ ඒ අතරෙදි.ඉතා කැපවීමෙන් ඉගෙනගෙන රැකියාවේ ඉහළට යමින් ඉන්න කසුන් ගැන නිශානිට පුංචිමවත් අවිශ්වාසයක් තිබුණෙ නැහැ

” රෙන්ට් එකට ගෙයක් අරගෙන හරි ගිහිල්ලා , කසුන්ව කසාද බඳින්නයි මට හිතෙන්නේ “

සෑහෙන වෙලාවක් නිහඬව හිටපු නිශානි එහෙම කිව්වා

” ඒ කියන්නේ උඹ හදන්නේ පැනලා යන්න ද නිශානි “

” පැනලා යන්නේ බඳින්න වයස නැති පොඩි එවුන් නේ මේඛලා .මම යන්නේ බැඳලා “

පුපුරා ගිය හිනාවක් අතරින් නිෂානි එහෙම කියලා මේඛලාගේ පිටට තට්ටුවක් දැම්මා.

තමන්ගේ ජීවිතය ගැන තීරණ ගත යුත්තේ තමන්ම බව හිතපු නිශානි අනාගතය වෙනුවෙන් හීන දකිමින් ඒවා වෙනුවෙන් පෙරටත් වඩා කැප වෙන්න පටන් ගත්තා.ඉතුරු කරගත්ත මුදල්වලින් නිවසකට අත්‍යවශ්‍යම ගෘහ භාණ්ඩ සහ මුළුතැන්ගෙයි උපකරණ වලට නිශානි සහ කසුන් මුදල් ආයෝජනය කළා

” මහා ලොකු wedding ගන්න අපි දෙන්නම කැමති නැති නිසා , ලස්සනට ඇඳලා කරලා පස්සේ ඕනේ නම් ෆොටෝ ටිකක් විතරක් ගමු නේද කසුන් ? “

නිශානිගේ යෝජනාවට කසුන් එකහෙලාම කැමති වුනේ ඔහු ජීවත් වෙන්න පහසු සහකාරයෙක් බව ආයෙ ආයෙත් නිශානිට මතක් කරලා දෙමින්

” ටිකක් අඩු ගානකට රෙන්ට් එකට ගන්න ගෙයක් හම්බුනා නිශානි.ඇඩ්වාන්ස් එකක් එයාලට ඕනෙ නැහැ කිව්වා “

දවසක් හවස නිශානිට කසුන්ගෙන් ලැබුණේ ඒ වගේ ආරංචියක්.ඒ ආරංචියෙන් පස්සෙ නිශානි කසුන් එක්ක එක වහලක් යටට යන හීනෙට දින ගැන්නා

” අම්මා අපිට අකමැති අක්කයි එයාගෙ හස්බනුයි නිසා මිසක් අපේ වැරැද්දකට නෙමෙයි කසුන්.මම දන්නවා අම්මා අපි ගැන අහිතක් හිතන්නේ නැහැ කියලා “

සති අන්තයේ දවසක කල්‍යාණි අශානිලගේ ගෙදර ගියා. ගෙදර හිටපු නිශානි තමන්ට අත්‍යවශ්‍යමයි කියල හිතුන දේවල් අරගෙන ගෙදරින් එළියට බැස්සේ ඊට පස්සේ.

හවස ගෙදර ආව කල්‍යාණි තමන්ගෙ බාල දියණිය තියලා ගිය කෙටි ලිපිය කියවලා ලොකු සුසුමක් මුදාහැරියා.ඊට පැයකට විතර පස්සේ අශානිලාගේ වාහනය ඇවිත් ගෙදර මිදුලේ නතර කරා.

” මම අම්මට කිව්වා නේද ඔය ටික වෙයි කියලා ? නංගිව හුරතල් කරා මිසක් අම්මා කරන්න ඕන දේවල් කලේ නැහැනේ “

අශානි ගෙට ගොඩ වුණේම කල්‍යාණිට චෝදනා කරන ගමන්.

” මට ඕනේ නම් පුළුවන් කොල්ලෝ කීප දෙනෙක් දාලා දෙන්නව හොයාගන්න “

වැඩිය කතා බහ නොකරන සුරේෂ් එහෙම කිව්වේ උජාරුවෙන් වගේ.තමන්ගේ ධනයට ඕනෑම දෙයක් කළ හැකි බව ඔහු හිතාගෙන හිටියා

” හිත ගිය තැන් වල හදන මාලිගා කඩන්න හොඳ නෑ ළමයිනේ “

ඇහෙන නෑහෙන ගානට එහෙම කියපු කල්‍යාණි ,නිශානි කියලා ගිය ලිපිය අතේ ගුලි කර ගත්තා.

More Stories

Don't Miss


Latest Articles