Vintage eyes – 14

මම මා සනසවා ගතිමි. මගේ හිස පිරිමැද, මගේ කොපුල් පිරිමැද, මගේ සිත පිරිමැද…මම මා සනසවා ගතිමි. මම සිනහ වුණෙමි. කඳුළු තද කර ගනිමින් ද, කඳුළු මිරිකා හරිමින් ද, කඳුළු අතරින් ද මම සිනහ වුණෙමි. අන්තිමට හිත ශක්තිමත් වී තිබිණ. මට අහිමි වූ ආදරය අමතක කොට දමා හෝ මට අහිමි වූ ආදරයට වෛර කොට හෝ නොව, මට අහිමි වූ ආදරයට ආදරය කරමින් ම සිනහ වී ඉන්නට හිත හයිය වී තිබිණ.

ආදරය කියන්නේ හිමි කර ගත යුතු ම වූ දෙයක් නොවේ යයි මම හිතට තේරුම් කොට දුන්නෙමි. ආදරය අනේකාකාර වලින් පවතින්නට පුළුවන. සන්තකයේ සේ ම අසන්තක ව ද පවතින්නට පුළුවන. අසන්තක දේකට ආදරය කරන්නට හිත හදා ගැනීම පහසු නැත. එය අභියෝගයකි. මට ඒ අභියෝගය ජය ගන්නට ඕනෑ විය. 

ප්‍රේමය වූ කලී හැඟීමකි. එය හදවත ඇතුළේ ඇති නැති වන්නකි. විහාර වෛශාක්‍ය අමරසිංහ නමින් මගේ හදවත තුළ ඇති වූ ප්‍රේමය දිවිතුරා හදවතේ ජීවත් කරන්නට මම සැදී පැහැදී ගතිමි. ප්‍රේමය ට පවතින්නට දෙදෙනෙකු එක වහලක් යට හැසිරිය යුතු නැත. එක වහලක් යටට වූවත් විහාර ට ඔහු ගේ බිරිඳ සමගින් ප්‍රේමයෙහි පවතින්නට හැකි වී නැත!

ඇට්ටේරියා මල් සුවඳින් මිදුල පිරී තිබිණ. මම හුඟක් වෙලා මිදුලට වී සිටියෙමි. 

“සුජානිල දානෙට ආවෙත් නෑ. වෙලාවක ගිහිං බලල එන්න ඕනෙ. මොනා වුණත්…එතන ආනන්දගෙ දරුවෙක් ඉන්නවනෙ”

අම්මා මල් සුවඳක් සේ විත් කීවා ය. මම දෙනෙත් පුරා ඇය දෙස බැලුවෙමි. මගේ උගුර රිදී ඇස් වලට දැවිල්ලක් දැනුණේ ය. මඳ වෙලාවක් මම දෑස් පියා ගෙන සිටියෙමි. අඳුර නිසා අම්මා ඒ දකින්නට විදිහක් නැත.

“යං…මටත් නංගිව බලන්න ඕන”

තත්පර වීමකින් පසු මම උගුර යටින් කියා ගතිමි. ප්‍රේම කරන්නටත් වෛර කරන්නටත් අපට තියෙන්නේ එක හිතකි. කෙටි ජීවිතයකි. එය කෙතරම් කෙටි වේවිද හෙටින් නිමා වේවිද කියා හෝ අප දන්නේ නැත. තාත්තා වාගේ හදිසියේ ම යන්නට වුණෝතින් පසුතැවීමක් ඉතිරි නොවී ඒ ගමන යා හැකි විය යුතු ය. ඒ එක හිත හදා ගැනීම දුෂ්කර ක්‍රියාවකි. ඒ හිත හදා ගත් විට කිසිවක් ම බලාපොරොත්තු නොවී ප්‍රේමය ම වපුරන්නට පුළුවන.

මා ගෙතුලට ගියේ විහාර ගැන මතකය හිත දරා ගෙන ය. මේ වෙලාවට ඔහු කොහොම පාළුවක් දරා ගෙන ඒ දැවැන්ත නිවසේ තනිව හිඳිනු ඇත්ද? යහනට වැටෙමින් ජංගම දුරකතනය අතට ගත්දී එහි මගහැරුනු ඇමතුමක සලකුණක් තිබිණ. ඒ විහාර ගෙන් බව දකිත්දී හදවත් කුටීර හතර ම එක වර හිස් වූවා සේ දැනිණ. මම එහෙම ම ඔහු ඇමතුවෙමි.

“මං හිතුව නිදි කියල”

ඔහු සිනහ සරකින් කීවේ ය. 

“මිදුලෙ හිටියෙ. දැං නිදාගන්න රූම් එකට ආවෙ”

“හරි එහෙනං…නිදියන්න…”

“නිදිමතක් නෑ ඉතිං…”

විහාර හඬ නගා සිනහ වූයේ ය. ඒ සිනහව හඬ නගා කීවේ ලෙමන් සුවඳක් ගැන කතාවකි.

“බීලද ඔයා…”

“නැහ්”

නැවත ද ඔහු සිනහ වූයේ ය.

“නැහ් නෙවෙයි ඔව්. සිහිය අඩු වුණා කියල ප්‍රශ්න විසඳෙනවද…එහෙනං මායි අම්මයි අවුරුදු කීයක් තිස්සෙ බොන්න ඕනද…එක අතකට පිරිමින්ට විතරක් දෙවියො එහෙම අවස්ථාවකුත් දීල තියෙනව”

“මං බිව්වෙ නෑ ළමයො”

“දවසක සිරෝසීස් හදාගන්නව කියන්නෙ ප්‍රශ්න වලට උත්තරයක් නෙවේ නේද”

එවර ඔහු කිසිත් කීවේ නැත. ඒ නිහඬතාව ඔහු දුර්වල වී මා ප්‍රබල වීමක් සේ මට දැනිණ. 

“ජීවිතේ කියන්නෙ හැම දේම ලැබෙන තැනක් නෙවෙයි වෙන්නැති. නොලැබුණා කියල මැරෙන්නද…දුක අමතක කරන්න මහන්සි වෙනවට වැඩිය ලේසියි දුකත් එක්ක ජීවත් වෙන එක. අපිට ලැබිල තියෙන්නෙ ලැබෙන්න උරුම දේවල් කියල හිතුවාම පහසුයි. ඊට වැඩිය දෙයක් ලැබෙන්න තියනවනං දවසක ලැබෙයි.  ඔයා ඔයාගෙන් දුරස් වෙච්ච දුව ගැන දුක් වෙනව. මං මට නැති වෙච්ච තාත්ත ගැන දුක් වෙනව. අපි කාගෙත් ජීවිත වල අහිමි වීම් තියනව. එක අතකට ඔයාට දුව අහිමි වෙලා කියන්න බෑ. දවසක එයා ඔයාටම ලැබෙන්න පුළුවන්. ඒත් එදාට ඔයා ලෙඩෙක් වෙලා හිටියොත් මොකද වෙන්නෙ…”

“අනේ ආච්චි අම්මෙ…”

ඔහු එහෙම කීවේ ආදරයෙනි. මට ඇස් පියවෙන සුවයක් දැනිණ. සියුම් හඬක් හෝ නෑසෙන සේ මම දිගු හුස්මක් ගතිමි. ආදරය දැනෙනවා නම් දැනෙන එක නවතා ලිය නො හැකි ය. ආදරය දැනෙනවා නම් දැනෙන තැනකින් පලා යා නො හැකි ය. 

පහුවදා ඔහු විශ් යූ වෙත ආවේ පොත් වගයක් ද අරගෙන ය. මිදුලේ පුංචි මේසය ළඟ වාඩි වී ගොඩක් වෙලා ඔහු ගණන් හිලව් වගයක් ලීවේ ය. විශ් යූ එකට වී ඉන්නට ඔහු හේතු හොයනවායි නූරි මගේ කනට කොඳුරා කීවා ය. එදා ඔහු ළඟ ලෙමන් සුවඳ වූයේ නැත. ඊට පස්සේ දවසකට වරක්වත් විහාර වෛශාක්‍ය අමරසිංහ විශ් යූ හි දැකිය හැකි විය. වත්තට යන ගමන් යයි ඔහු කීවේ ය. ඒ එක වතාවකදී හෝ ඉන් පසු ඒ ලෙමන් සුවඳ ඔහුත් එක්ක විශ් යූ වෙත ආවේ නැත. 

ඉරිදා නූරි බලන්නට මනාලයා ආවේ ය. ඒ කිසි සේත් ඈ කැමති විදිහේ බාහිර පෙනුමක් ඇති පුද්ගලයෙකු නොවේ. නමුත් ඇය කිසිදු අකමැත්තක් නො පෙන්වා හිටියා ය.

“මොනාද එයා ඇහුවෙ…”

මනාල පාර්ශවය නික්ම ගිය පසු මම ඇය තනි කර ගෙන විමසීමි.

“ගෙදර කර්ට්න් මැහුවෙ මංද ඇහුව..කේක් හදන්න විතරද දන්නෙ…රහට උයන්නත් පුළුවන් ද ඇහුව. බැන්දට පස්සෙත් අපේ බිස්නස් එක කරං යනවට එයාගෙ අකමැත්තක් නෑ කිව්ව. දැං කාලෙ එක්කෙනෙක් විතරක් හම්බ කරල පවුලක් නඩත්තු කරන්න බෑනෙ කියල කිව්ව…”

“ඉතිං ඔයා දැන් එයාව බඳිනවද…”

මා ඇසුවේ කුතුහලයත් නො රිස්සුමත්, කේන්තියත් යන සියල්ල මිශ්‍ර වූ හැඟීමකිනි.

“ගෙදරින් කැමතිනං බඳිනව”

එය කිසිදු හැඟීමකින් තොර නිකං ම ප්‍රකාශයක් පමණක් විය. මම නූරි ගේ දෙඋරහිස් වලින් අල්ලා ඇය සෙලවීමි.

“ඔහොම මැටි පිළිමයක් වගේ ඉන්න එපා. මේ ඔයාගෙ ජීවිතේ. සදහටම පසු තැවෙන්න වෙන දෙයක් කරන්නෙපා නූරි. එදා විහාර කිව්ව මට මතකයි…හදවතේ බැඳීමක් ඇති නොවුණ කෙනෙක් එක්ක කවදාවත් නීතියෙන් බැඳෙන්න හොඳ නෑ කියල. ඔයා ඔය කරන්න යන්නෙ ඒක. දවසක විහාරලට වගේ ඔයාටත් එපා වෙයි ඕක. ඔයා කැමති ඒ වගේ කෙනෙක්ට නෙවේ”

ලොකු හුස්මක් ගත් නූරි පුංචි සිනහවකින් මුව සරසා ගත්තා ය. එය ව්‍යාජ සිනහවක් නොවන වග, ඇය ගැන දන්නා නිසා මම දන්නෙමි.

“ඇත්ත. ඒ මං කැමති විදිහෙ මනුස්සයෙක් නෙවේ. ඒත් ඒ මනුස්සය සරල අවංක  කෙනෙක් කියල හිතෙනව ශිකී. . ආදරෙයි මැරේජ් එකකුයි කියන්නෙ එකක් නෙවේ දෙකක්. ඒ දෙක එකට එක තැනක තියනවනං ඒක වාසනාව. ඒක කරන්න බැරිනං මොකද කරන්නෙ…මේ මනුස්සය බැන්දොත් මට මේ කේක් බිස්නස් එකවත් කරගෙන නිදහසේ ඉන්න දෙයි. ඒකටවත් ඉඩ නොදෙන මිනිහෙක් එක්ක යනවට වඩා ඒක හොඳයිනෙ”

ඇය සන්සුන් බවකින් සිටියා ය. මට ඒ සංකීර්ණ මානසික තත්වය වටහා ගත හැකි වූයේ නැත.

“ඔයා එයාට බලපෑම් කරන්න එපා.  එක එක අය තමන්ගෙ ජීවිතේ වැඩිය හොඳ වෙයි කියල හිතන විදිහකටයි දේවල් තීරණේ කරන්නෙ. හරියන්න හරි වරදින්න හරි ඒක කරන්න ඕනෙ”

නූරි ගේ තීරණය ගැන මා විහාර එක්ක කන් කෙඳිරි ගෑ වෙලාවේ ඔහු එහෙම කීවේ ය. ඒ නිසා මම ඒ ගැන කර බා ගන්නට හිතා ගතිමි.

විහාර විශ් යූ වෙත එන හවස් වරු මගේ ජීවිතේ ලස්සන ම හෝරාවන් බවට පත් වන්නට විය. සමහර විටෙක ඔහු දින තුන හතර එක දිගට නෑවිත් හිටියේ ය. අඩු තරමින් ඔහු ගෙන් දුරකතන ඇමතුමක් හෝ එතැයි මම බලාපොරොත්තු දල්වා ගෙන බලා සිටියෙමි. බොරු හේතු හදා ගෙන ඔහු අමතන්නට නොයනා බවට  හිත මට තරවටු කොට සිටියේ ය. නමුත් සමහර විටෙක මම පැරදුණෙමි. “ඔයා හොඳින් නේද..” කියා කෙටි පණිවිඩයක් හෝ තබන්නට පෙළඹුණේ පරාජිත මා ය. එතකොට ඔහු තව ටික වෙලාවකින් සිනහ වෙවී විශ් යූ වෙත ගොඩ වෙයි. ඔහු දින කිහිපයක් නෑවිත් සිටි බවත් මට අමතක වී යයි. 

හිත දියාරු කර ගන්නේ නැතිව මා ඔහු අමතක වුණා සේ සිටියා වුණත් දින කිහිපයක ඇවෑමෙන් විහාර විශ් යූ වෙත ආවේ ය. එතකොටත් මම වෙනසක් නැතිව ම ඔහු පිළිගෙන සිනා වතින් කතා බහ කරමි. නමුත් ඔහු සිනහවක් නගා ගන්නේ හොඳට ම වෙලාව ගෙන ය. එතකොට අර ආඩම්බර ලෙමන් අමරසිංහ මට සිහි වේ.

ඔහු එහෙම විශ් යූ වෙත නෑවිත් හිටියේ එය පුරුද්දක් වෙනවාට බියෙන් යයි මම අනුමාන කරමි. ඇත්ත ම කතාව නම් අප අප වෙත දැඩි ලෙස බැඳෙමින් සිටි බවයි. ඒ බැඳීමේ අවසානය කෙසේ වුණත් කම් නැතැයි මම හිත හදා ගෙන සිටියෙමි. වෙන්නට තියෙන ලොකු ම දෙය ආයේ කවදාවත් ම ඔහු නෑවිත් ඉන්නා එකයි!

අප අතර ඇති වෙමින් තිබුණේ වාචික එකඟතාවයකින් තොර බැඳීමකි. ඒ අසීමිත නිදහස් කලාපයක් තුළ ඇති විය හැකි බැඳීමකි. යන්නට ඕනෑ ඕනෑ ම වෙලාවක නික්ම යා හැකි බැඳීමකි. නමුත් ප්‍රේමය නො නැවතී උල්පතක් ව උනනා බැඳීමකි. 

 ඕනෑ ම මොහොතක ඔහු විශ් යූ වෙත එන ගමන සදහට නතර කළ හැකි බව මම දැන සිටියෙමි. ඔහු එන ඕනෑ ම දවසක්, ඔහු පැමිණි අවසාන වතාව විය හැකි බව මම දැන සිටියෙමි. ඒ නිසා හැම හමු වීමක් ම මිහිරි මතකයක් කරන්නට මම උත්සාහ ගතිමි. හැම සිදුවීමක් ම සමරන්නට මම ඉඩක් හෙව්වෙමි. 

විහාර ලියූ අලුත් ම ගීතයක් ගැඹුරු හඬක් ඇති ගායකයෙකු ගේ මුවින් ගීයක් ව හද බැඳ ගන්නා රූප රචනාවකින් සමන්විත ව නිකුත් වූයේ ඒ අතර වාරයේ ය. නූරිට ඇවිටිලි කොට මම ඔහු වෙනුවෙන් චෙරි මිශ්‍ර ඉතා කුඩා චොක්ලට් කේක් එකක් තනවා ගතිමි.

“මතක ගොඩ ගහන්න එපා ඕයි. දවසක විහාර විශ් යූ එකට එන්නෙම නැතුව හිටියොත්…ඔයාව නලවන්න ඉතුරු වෙන්නෙ මං විතරයි. මාත් ඒ වෙද්දි මොන තත්වෙක ඉඳීද කියල මංවත් දන්නෑ”

දැන් නූරි මට බල කොට සිටින්නේ නැත. නමුත් ඉඳ හිට හෝ රතු එළි දල්වන්නට අමතක කරන්නේ ද නැත.

මා ඒ කුඩා විශ්මය සැලසුම් කළේ දෝරෙ ගලනා සතුටෙනි. පැල තවාන් ගානේ ගිහින් ඔහු ට තිලිණ කරන්නට දම් පාට මල් පිරුණු ඇන්තූරියන් පැලයක් තෝරා, බඳුන රිදී පාට දවටනයකින් ඔතා, දම් පාට රිබන් පටියකින් බෝ එකක් ගැට ගසා මල් කළඹක් සේ එය පිළියෙල කළෙමි. “අද පොඩ්ඩක් ඇවිත් යන්න පුළුවන්ද” කියා ඔහු ට දවල් වෙත්දී පණිවිඩයක් තැබුවේ, එදා ම නෑවිත් හිඳී ද යන බියත් නිසා ය. කිසි දා ක කිසිවෙකුගෙන් මලක් තිලිණ ලබා නැති බව කියා උපන් දිනයට ඔහු ම අපෙන් පීස් ලිලී මල් බඳුනක් ඇනවුම් කළේ ය. අම්මා මිය ගිය දවසේ ඔහු එදා කිසිවෙකු කිසි දා සැමරුවේ නැති උපන් දිනය තනිව සමරන්නට ඇත්තේ මොන තරම් දුකක් හිත යට හංගා ගෙන ද? එදා ඔහු ළඟින් දැනුණු ලෙමන් මුසු ඇල්කොහොල් සුවඳ දැනුත් මට දැනේ.

 ඔස්ටින් රිය විශ් යූ ඉදිරියේ නතර වන විට ඇඳිරි වැටී එමින් තිබිණ. මම කෝපි හදන්නට වතුර කේතලයේ පේනුව ගැසුවෙමි. විහාර විශ් යූ ඇතුළට ආවේ සැහැල්ලු කලිසමේ සාක්කු වල අත් දෙක ඔබා ගෙන ය. මම කේක් එක අපේ පරණ මේසය මතින් තබා මල් බඳුන ඔහු අතට දී සිනහ වීමි. 

“ඇයි මේ…”

ඔහු විශ්මිත ව ද ඇස් වල සිනහවක් ඇතිව ද සිටියේ ය.

“ඒක සමරන්න ඕන සින්දුවක්”

එදා ඔහු වැඩිපුර කතා නො කළ මුත් සතුටෙන් සිටි බවක් පෙනිණ. කේක් කා කෝපි බී කතා කරමින් සිට අප නික්ම යන්නට සූදානම් වන විට ඇඳිරි වැටී තිබිණ. 

“මං ඔයාව ගේ ළඟට දාන්නං. කළුවර වෙලානෙ. තනියම යන්න එපා”

සමු ගන්නට සූදානම් වෙත්දී ඔහු කීවේ ය. නූරි මදෙස බලනා බව මට දැනිණ.

“ගානක් නෑ. මං රෑ වෙලා යනව”

“මගෙ පිටිපස්සෙං ඔයා ස්කූටි එකේ එන්නකො”

ඔහු රියට නැගුණේ එසේ කියමිනි. නූරි ගේ හිතට සහනයක් ලද බව පෙනිණ. 

පෙත් මගෙහි වනස්පති බිංගෙය තුළ ඔස්ටින් රිය නැවතිණ. මම ද කුහුලින් යුතුව ඒ අසලට කොට ස්කූටරය නතර කළෙමි. විහාර රියෙන් බැස ඊට හේත්තු වී මා දකින්නට ආසා විදිහට අත් දෙක පපුව මත බැඳ ගත්තේ ය. මම ඔහු අසලින් ම රියට හේත්තු වූයෙමි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles