Vintage Eyes 15

මධ්‍යාහ්නයේත් අඩ අඳුරක ගිලෙන වනස්පති බිංගෙය තුළ, රෑ හත වන විට තියෙන්නේ තිත්ත කළුවරකි. විහාර ගේ රියෙහි පාකින් ලයිට් නිසා ඒ අඳුර යන්තමට සමහන් වෙමින් තිබිණ. පාර දෙපැත්තේ අක්කර ගණනක් පුරා පැතිරුණ වතු දෙකට අරක් ගත් රෑහියෝ නො නවත්වා එක සීරුවට ඔවුන් ගේ ගායනය කර ගෙන යමින් සිටියහ. කෙනෙකු එය අශුභ හඬක් සේ සැලකූව ද මට නම් එහි වූයේ ගුප්ත මිහිරකි. කණාමැදිරියෝ දෙතුන් දෙනෙක් අපට එළියක් වන්නට සෙයින් අප වට කැරකෙන්නට වූහ. මගේ ඇඟේ ගෑවෙන නො ගෑවෙන ගාණට රියට හේත්තු වී හිඳින මා උමතු කළ පිරිමි පෞරුෂය දෙස මම යන්තම් ඇස් උස්සා බැලුවෙමි. පපුව මත දෑත් බැඳ ගෙන ඇස් වලින් අඳුරේ කිමිදෙමින් හිඳිනා විහාර වෛශාක්‍ය ගේ දෙතොල් මත ඉසිහින් වූ මන්දස්මිතයක් මට සොයා ගත හැකි විය. අඳුරට දෑස් හුරු වූ විට අඳුර තුළ කැළතී ඇති ආලෝක පුංජයන් ද දැක ගත හැක. එච්චර කළුවරක විහාර ගේ මුහුණේ පාර්ශ්වික රූපය මට ඉතා පැහැදිලිව දැකිය හැකි වූයේ එනිසාවෙන් යයි සිතමි.

“මේක පුදුම ලස්සනක් නේද…මං කියන්නෙ මේ කළුවර…ඒ කළුවර එළිය කරන කණාමැදිරි තිත්…ඒ කළුවරේ පාළුව මකන අර රෑහි සද්ද..”

අප දෙදෙනා අතරේ පැවති නිහඬතාවය බිඳිමින් මා කතා කරන්නට ගත්තේ ඒ මොහොතේ වූ ප්‍රේමණීය බව තවත් උහුලා ගත නො හැකිව ය. විහාර අඩක් හිස හරවා මදෙස බැලුවේ ය. මම ඒ ඇස් වල එල්ලී ගතිමි. විහාර වෛශාක්‍ය නමින් මා දැන සිටි ලෝකයේ විශ්මිත ම ප්‍රේමණීය මිනිසා ගෙන් ලද හැකි එවන් බැල්මක අංශු මාත්‍රයක් හෝ අපතේ නො යවා මා තුළට උරා ගන්නට අනිච්ඡානුගව ම මට ඕනෑ වෙන්නට ඇත.

“මං කවදාවත් මේ වගේ මොහොතක් විඳල නෑ. මේ වගේ වෙලාවක අහම්බෙන් හරි තනියම ආවනං මේ වතු දෙක දිහා ඇස් කොනෙන්වත් බලන්නැතුව හයි ස්පීඩ් යනව මිසක්…මේක මං අදම දකින ලස්සනක්…අදම…”

එය එක්තරා වශීයකි. ශික්ෂා කියන්නේ සොබා දහමේ හැම පුංචි අපූර්වත්වයකට ම වසඟ වන කෙල්ලක බව ඇත්ත ය. නමුත් මේ ගුප්ත මොහොත ඒ සියල්ල අභිබවා යන වසඟයකි.

“මෙතන මෙහෙමනං පොල් වත්ත ඇතුළෙ තත්වෙ කොහොම ඇද්ද…මට ආසයි රෑක ඇතුළට ගිහිං සද්…ද නැතුව අහං ඉන්න…”

මා තුල ඉන්නා පුංචි ළමයා බය නැතුව නිදහසේ එළියට ඇවිත් සිටියා ය. ඒ නිමේශයේ විහාර මට දුන්නේ තාත්තා කෙනෙකු ගේ බැල්මකි.

“දවසක එක්කං යන්නං…හැබැයි ඉතිං අම්ම එවයිද…”

එය මන්මත් කරවන පිරිමි සිනහවකි. මේ අඳුරු ගුප්ත රාත්‍රිය සේ ම ඔහු ද මා වසඟ කරමින් සිටියේ ය.

“අම්මත් එක්කම එන්නං”

ඔහු සිනහවෙන් ඉවත බලමින් අත් දෙක තවත් පපුවට ගුලි කර ගත්තේ සීතලෙන් බේරීමට සේ ය. මම මොහොතකට ඇස් දෙක පියා ගතිමි. ඇස් ඇරගෙන සිටියදීට වඩා ඇස් වහගෙන සිටියදී වඩා හොඳින් පෙනෙන අවස්ථා තිබේ. මේ රාත්‍රිය එවන් මොහොතකි. තුරු පත් හා මල් වල සුවඳ උකහා ගත් සුළඟක් මා වැළඳ සිප ගනිමින් හමා ගියේ ය. සීතල, කම්මුල් වල කටු තුඩු සේ ඇනුණේ ය.

“ශික්ෂා…”

ඒ තරම් ආදරයකින් කිසිවෙකු මට නමින් කතා කොට නැති බව මුලින් ම කිව යුතු ය. ඒ තරම් සවනට ළඟින් හිඳ පිරිමියෙකු එහෙම කතා කරත්දී ගැහැනු හදවතක් ප්‍රේමයේ උච්චස්ථානය අත්විඳී. මම හෙමිහිට ඔහු ගේ ඇස් මත තබා නෙත් පියන් විවර කළෙමි.

“ම්…”

“මේ දවස මට මගෙ ජීවිතේ අන්තිම මොහොතෙත් මතක් වෙයි”

“අනේ ඉතිං…ඕන්නැති කතා කියන්නෙපා”

ඔහු අර ක්ෂණික ලස්සන ම සිනහව පෑවේ ය. ඒ අතක මගේ දෑතින් ම එල්ලී ඔහු ගේ උරහිසට යන්තම් හිස තියා ගැනීමේ තෘෂ්ණාවක් මා තුළ පහළ විය.

“මං මේ හැන්දෑවට හරි ආදරෙයි”

‘මාත්’ කියා කීවේ මගේ හිත ය.

“ඒ වෙලාවෙ නූරි හිටියෙ නැත්තං ඇත්තමයි මං අඬයි”

ඔහු පපුවේ බැඳ උන් අත් දෙක පහළ හෙළුවේ ය. ඒ වමත රිය මත තියන්නට යත්දී, ඒ ආසන්නයේ ම වූ මගේ සුරතේ සුළැඟිල්ලෙහි යන්තම් ඔහු ගේ සුළැඟිල්ල ස්පර්ශ විය. විදුලියක් එතැනින් සිරුරට ඇතුළු වූවත් අත ඇද ගන්නට තරම් දිරි වඩා ගන්නට මට හැකි වූයේ නැත. ග්ලැසියරයක් ව මා මිදී අනිත් සියල් සංවේදනා නො දැනී යත්දීත් සුළැඟිල්ලේ සංස්පර්ශීය විදුලි සැර මට දැනිණ.

“ජීවිතේ කියන්නෙ ජීවත් වෙන්න ආස මොහොතවල් කෝටි ගාණක් වෙන්නයි ඕනෙ”

ජීවිතය ගැන ඒ තරම් ලස්සන නිර්වචනයක් ඊට පෙර මා කොතැනකදීවත් අසා නැත. මා මේ මොහොත තුළ ජීවත් වන්නට ආශා බව හදිසියේ ම මට සිහිපත් විය. ඊළඟ නිමේශයේ මට මේ මොහොත අහිමි වී යන්නට පුළුවන. නමුත් මේ මොහොත තුළ හැබැහින් ජීවත් වූ බවට සජීවී මතකයක් හදවතින් තුරුලු කර ගෙන ඉන්නට දිනෙක මට හැකි නම්!

මම විහාර දෙසට යන්තම් හිස ඇල කළෙමි. මගේ කම්මුලක් ඔහු ගේ වමත් බාහුවෙහි ස්පර්ශ විය. මම එහෙම ම හිටියෙමි. එහෙම ම ඇස් පියවී ගියේ ය. සදෙව් සුවයක් මට දැනිණ.

“මං ඊයෙ අමේලිට කතා කළා”

“කවුද අමේලි…”

මා එසේ ඇසුවේත් ඇස් අරින්නේ නැතිව ම ය.

“දුවගෙ අම්ම”

තිගැස්සී ගිහින් මා ඔහු ගේ බාහුවෙන් මගේ හිස ඇද ගත්තේ ඒ වෙලාවේ ය. වැරදිකාර හැඟීමක් මට නො දැනුණා ම නොවේ.

“මං එයාගෙන් දුවව ඉල්ලුව. වෙන මොනාත් නෙවේ දූව විතරක්”

“හ්ම්..”

“ඒත් එයා දෙන්නෑ”

ඒ අන්තිම වාක්‍ය ඛණ්ඩයේ ආරම්භයේත් අවසානයේත් සුසුමක බර විය. මගේ ග්ලැසියර ආත්මය අයිස් වී තිබිණ. ඔහු වෙනුවෙන් කවරක් පවසන්න ද කියා නිනව්වක් වූයේ ම නැත. මා වෙනුවෙන් හෝ එක සැනසිලි වදනක් කියා ගන්නට හයියක් හිතේ වූයේ නැත. ඔහු උදක් ම කියන්නට උත්සාහ කළේ අප කිසි දා එක මගක යා හැකි දෙදෙනෙකු නොවේ කියා වන්නට පිළිවන. ඔහු ගේ ඇඟිල්ලක ස්පර්ශ වෙමින් තිබි මගේ අත අල්ලා ගෙන ඔහු එය සිය පපුව මත තබා තද කර ගනීවියි මම බලාපොරොත්තු වීමි. මේ වනස්පති බිංගෙය අඳුරේ නැහැවී හිඳී. අප ආවාට පස්සේ කිසිවෙකු පාරේ ඇවිද ගියේ නැත. යතුරු පැදියක් පමණක් වේගයෙන් ඇදී ගියේ ය. ඒ කවුරුන්ද ඒ අය මා හැඳිනුවාද කියා වද වීමේ උවමනාවක් මට නොවී ය. විහාර සුසුමක් හෙළනු ඇසිණ.

“එහෙනං අපි යමුද නංගි…”

මම යන්තම් හිස සැළුවෙමි. නමුත් ඔහු ගෙන් මිදී යන්නට බෑ කියා හදවත කෑ ගැසුවේ ය. ජීවිතය කියන්නේ එහෙම දෙයකි. නිතර ම අපට කරන්නට සිදු වන්නේ අපට කරන්නට ඕනෑ නැති දෑ ය. අප අකමැති දෑ ය. ඒ ජීවිතය කියා බිම බලා ගෙන නිහඬ වෙන්නට අපි පුරුදු වී සිටිමු. නමුත් තව දුරටත් එය එසේ විය යුතු ද? ජීවත් වෙන්නට ආසා හිතෙනා කෝටියක් මොහොතවල් අතරින් මේ මට හොඳ ම එක ය. ඒ ලැයිස්තුවේ මුලින් ම තිබෙනා එක ය. ඉතින් මේ මොහොත මේ තරම් ඉක්මනින් නිමා වී යා යුතු ද?

හදිසි තීරණයක් ගෙන මම ඉක්මනින් ස්කූටරය වෙත ඇවිද ගියෙමි. හෙල්මට් එක අතට ගන්නට හදනකොට ම විහාර ගේ අතක ස්පර්ශය මගේ බඳට දැනිණ. මා ඔහු වෙතට නැඹුරු වූයේ ලතාවක් සේ ය. ඊළඟ මොහොතේ ඒ දෑත් මගේ උරහිස් දෙපසින් ගොස් තද කොට කම්මුලක් සිප ගත්තේ ය. එය තත්පර කිහිපයක් දිගු වූ තද සිප ගැනීමකි. ග්ලැසියරය දිය වෙන්නට ගත් බවක් මට දැනිණ. අයිස් තට්ටු පලා ගෙන ටියුලිප් මලක් මතු වෙනවා සේ ඒ මොහොත හදිසියේ ම මගේ මතක ඉතිහාසයේ සදානුස්මණීය මොහොත ලෙස නැගී හිටියේ ය.

අප උනුන් ගෙන් වෙන් වූයේ කතා බහකින් තොරව ය. ඔහු හෙමිහිට ඔස්ටින් රිය පැදවූයේ ය. මම ඊටත් වඩා හෙමින් පිටුපසින් ස්කූටිය පැදවීමි. තරුවක් නෙතක් වසා ඉඟි මැරුවේ ය. මම අඳුරටත් රහසින් දෙතොල් තද කොට මඳහස පෑවෙමි.

ගේට්ටුව ඇරගෙන මා ස්කූටිය ගෙමිදුල වෙත පැදවූයේ ඇස් බැල්මකින් විතරක් ඔහු ගෙන් සමු ගෙන ය. අම්මා දොර අරිනා තුරු ම ඔහු නික්ම ගොස් තිබුණේ නැත.

“කවුද ඒ…”

අම්මා අඳුර තුළ දෑස් පා කරමින් විමසුවා ය.

“විහාර …එදා ෆියුනරල් එකටත් ආවෙ. එයාගෙ පොඩි ෆන්ක්ශන් එකක් තමයි විශ් යූ එකේ තිබුණෙ. මං තනියෙං එන නිසා ආව”

විහාර රිය හරවා ගෙන හදිසි වේගයකින් නික්ම ගියේ ය. අම්මා යමක් කියාවියි මා බලාපොරොත්තු වූවත් එවැන්නක් සිදු වූයේ නැත. දිය බුං ගසනා රසවත්කමක් හදවත තුළ විය. බත් කටක් දෙකටක් කා මා කාමරයට වැදුණේ කතා බහකින් පවා ඒ රසවත් කම තුනී වී යාවියි බියෙන් මෙනි. පොරෝනාව තළට ගුලි වී මම ඇස් පියවා ගතිමි. නමුත් දෙතොල් මත්තේ තුනී සිනහව නො වියැකී තිබිණ. ඔහු හිමි නො වෙන බව කොහොමත් මම දැන සිටියෙමි. අද ඔහු ඒ බව ස්ථිර කොට ම කියා සිටියේ ය. ඉතින් තවමත් මා සිනහ වෙන්නේ කොහොමද?

අහිමි වීම් දස දහසක් අතරේත් සදා සැමරිය හැකි හිමි වීම් මිනිස් ආත්ම තුළ මතක ගුහා අස්සේ හැංගී තිබේ. සමහර විට ඒවා වෙනත් කිසිවෙකු නො දන්නා හා කිසි දාක දැන නො ගන්නා ඒවා ය. ඒ වගේ ආත්මීය හිමි වීම් එකක් දෙකක් හෝ තිබෙනා විට ජීවත් වෙන්නට ඒ ප්‍රමාණවත් විය හැක. දැන් මටත් එහෙව් හිමි වීමක් තියේ. හිස කේ සුදු වී සම රැලි වැටී අත පය වාරු නැති වී ගිය දාකත් දෙතොල් මත මඳහසකින් ද හදවත තුළ ස්නේහයකින් ද සිහිපත් කළ හැකි එක මොහොතක හිමි වීමක් ගැන කතාවක් මටත් තියේ.

ජංගම දුරකතනය හැඬවුණේ විහාර ගේ ගී ඛණ්ඩයකිනි.

“සිඟමන් යදින්නට ආදරේ…පොහොසත් වැඩියි ඔබෙ මන්දිරේ…බිම බලා ගන්නෙමි ජීවිතේ…ඉරණම මෙයයි සංසාරයේ…”

හිසේ සිට ම පොරෝනාවට ගුලි වී උන් මා දුරකතනය වෙත අත දිගු කළේ ඒ නූරි බව අනුමාන කරමිනි. නමුත් ඒ විහාර ය.

“හෙලෝ…”

මගේ හඬ මට ම හැඳින ගත නො හැකි තරම් අමුතු විය.

“අම්ම බැන්නද…”

ඒ හඬේ පීතෘ ගුණයක් විණි. තාත්තා හිතේ ඇඳී මැකී ගියේ ය.

“නෑ”

මම උගුර යටින් කියා ගතිමි.

“තරහයිද…ම්…”

ගිනි කන්දක උණුහුම ද ග්ලැසියරයක සිසිල ද එක වර මට අත්විඳිත හැකි විය.

“ම්හු”

“මං එහෙනං තියන්නද…ගුඩ් නයිට්”

“ගුඩ් නයිට්”

“ආ මේ මේ…අර මල් පැළේ කොහෙද තියන්න ඕනෙ…මිදුලෙද…මං ඒක මගෙ රූම් එකේ ජනේලෙ උඩ තිබ්බ”

“එහෙම තිබුණදෙං…ඔයා එළියට යද්දි ටිකක් එළියෙං තියල යන්න. ආයෙ එනකොට රූම් එකට අරං එන්න”

මගේ හිත රිදෙන්නට වූයේ ඇයි? මගේ ඇස් වලින් කඳුළක් රූරා යන්නට වූයේ ඇයි? මොනවා කොයි විදිහට හිතා ගෙන උන්නත් මට ඔහු අහිමි වෙන බවට අත්‍යන්ත වූ වේදනාවක් නිසා නො විය හැකි ද?

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles