විදෙස් රැකියාවට ගොස් අනියම් පෙමක පැටලුණු සැමියෙක්

“ගඟේ මුහුදේ දැම්මත් ඔය කසාදෙ නම් කරගන්න හිතන්න එපා සරලා.”

සරලාගේ අම්මා සරලාට එහෙම දොස් නැඟුවේ මීට වසර දහයකට ඉහත දවසක. ඒ සරලා ප්‍රේම සම්බන්ධතාවයක පැටලුණු පසුවයි.  එය කිසිම විදියකින් නොගැලපෙන බව සරලාගේ අම්මා වූ චාන්දනී තීරණය කර තිබුණා.

“මම දහදුක් විඳලා ඔයාට ඉගැන්නුවෙ ඔයාව නිකම්ම නිකං ත්‍රීවීල් කාරයෙකුට දෙන්න නෙමෙයි. මට ඕනේ ඔයා කැම්පස් යනවා බලන්න. ලොකු නෝනෙක් වෙනවා බලන්න.”

චාන්දනී එහෙම කියමින් පරසක්වල ගැසුවා. නමුත් ප්‍රේමය ඉතාම අන්ධයි. නමුත් සරලාට අම්මට ඇහුම්කන් දෙන්නට උවමනාවක් තිබුනේ නැති තරම්. ඇය ඒ තරමට ආදරෙන් උමතු වී සිටියා.

“ඔයාලගේ අම්මා කවමදාවත් අපිට කැමති වෙන්නේ නෑ.ඒ නිසා අපි දෙන්න පැනල යමු”

ඊළඟට ගන්නට ඕනේ සුදුසුම තීරණය රැගෙන ආවේ දුමාල්. සරලාගේ පෙම්වතා.  ඔහුට සරලා ඉගෙන ගැනීම බලාගෙන සිටින්නට අසීරු වුණා. ඇය සරසවි අධ්‍යාපනය ලැබීම නිසා තමන්ට ඇය අහිමි වී යන බව ඔහු හොඳින්ම දැන සිටියා. ඒ නිසා ඔහු කළේ සියල්ල ම නවතා දමා විවාහ වන්නට ඇයට බල කිරීමයි.

“මෙඩිකල් ෆැකල්ටි යයි කියලා හැමෝම බලාපොරොත්තු තියපු කෙල්ල. ඒ මොකක්ද ඒ කරගත්තු විනාසේ.”

ගමේ හැම කෙනෙකු ම කම්පාවට පත් වුණා.ඇත්තටම සරලා කරගත්තේ නොකළ යුතු දෙයක්. ඒ පීඩනය හැම කෙනෙකුටම පුදුම තරමේ වේදනාවක් වුණා.

“කැම්පස් යයි කියලා බලාගෙන හිටපු කෙල්ල අන්තිමට ක්ලිනික් යනවා බලාගෙන ඉන්න වුණානේ”

චාන්දනී එහෙම කියමින් දුකට පත් වුණා. සරලා ඉගෙනගැනීමේ සියලු හීන අත්හැර දමා මවක වන්නට සැරසුණා.ඇය අඩු වයසකින් මවක් වීම ගැන හිටියේ සතුටින්. සියල්ලටම වඩා දුමාල්ගේ වීමට හැකි වීම ඇයට එකම සතුට වුණා.

“ඔය ත්‍රීවිල් එකෙන් පුළුවන්ද තුන් දෙනෙක්ට කන්ඩ හම්බ කරන්න?”

චාන්දනී දිනෙක එහෙම ඇසූයේ බලාපොරොත්තුවක් හිතේ තබාගෙනයි. ඒ ගැන සරලා සහ දුමාල් සමඟ කතා කරන්නට ඇය තීරණය කළා.

“මම ළඟ ඉතුරු කර ගත්තු සල්ලි ටිකක් තියෙනවා.මට පුළුවන් ඒ සල්ලි ඔය ළමයට දෙන්න. පිටරට රස්සාවක් හොයාගන්න. ගිහින් දියුණුවක් වෙන්න බලන්න.”

දුමාල් කිසිම විරුද්ධත්වයකින් තොරව එය පිළිගත්තා. ඉන්පසු ඔහු ඒ වෙනුවෙන් කැප වී ක්‍රියා කළා. මැද පෙරදිග රටක රැකියාවක් සොයා ගැනීමට අපහසු වුණේ නැහැ. 

කරදර කාලය පහව ගියේ බලා සිටියදී.අතිශය අගහිඟකම් සහිතව ගෙවූ ජීවිතය සරලා අවසන් කළා. නැතිවී ගිය අනාගතය යළිත් ලැබීම ගැන ඇයට සතුටක් ද ඇති වූ තරම්.

“මට ඉගෙන ගන්න බැරි වුණු එකේ පුතාට වත් හොඳට උගන්වනවා”

සරලා නිතරම එසේ පැවසුවා. ගමේ පාසලේ පුස්තලකාලාධිපතිනිය ලෙස ඇයට රැකියාවක් ලැබෙන්නේ දන්නා හඳුනන අයගේ යම් මැදිහත් වීමක් ද සහිතවයි. සරලා හැකිතරම් මුදල් ඉතිරි කරා. ඇගේ වැටුප නිවසේ වියදමට තබා ගෙන දුමාල් එවන සෑම සතයක්ම ඇය ඉතිරි කිරීමේ ගිණුම්වල තැන්පත් කළා.

“දැන් අපිට හොඳ ආදායමක් තියෙනවා. ගේ හදන්න පටන් ගමුද?”

දුමාල් පළමුවැනි නිවාඩුවට ලංකාවට පැමිණි මොහොතේ සරලා ඔහුගෙන් එසේ විමසුවා. ඇත්තටම දුමාල්ටත් තමන්ගේ බිරිඳ ගැන තිබුණේ ලොකු විශ්වාසයක්.

“ඔයා හරි දක්ෂ කෙනෙක්.එහෙම දෙයක් පටන් ගන්න පුළුවන් නම් ඔයා වැඩේ පටන් ගන්න මම මහන්සි වෙලා සල්ලි එවන්නම්”

දුමාල් එහෙම කිව්වේ ආදරයෙන්. මාස තුනක නිවාඩුවකට ලංකාවේ රැඳී සිටිද්දී ඒ කටයුත්ත ආරම්භ කිරීමටත් දුමාල් කටයුතු කළා. ඇත්තටම ඔහු කළ කිසිම දෙයක් නැති තරම්. දුවපැන ඇවිදිමින් සෑම දෙයක්ම සොයා බලමින් නිවසේ කටයුතු ආරම්භ කළේ සරලා විසින්.

“දුමාල් ඔයා ආයේම තාත්තා කෙනෙක් වෙලා.”

දුමාල් මවුබිමෙන් පිටවී යන්නට දවස් දෙක තුනක් තිබියදී  සරලා එහෙම අපූරු ආරංචියක් ද ඔහුට ලබා දුන්නා. ඔහු සිටියේ පුදුමාකාර සතුටකින්.

කාලය ඉතා සතුටින් ගෙවී ගියා. දුමාල් නැවත ලංකාවට එන කාලය පවා උදා වෙමින් පැවතියා.

“අවුරුදු දෙකකට පස්සේ ඔයා ලංකාවට එන්නේ දැකලම නැති චූටි දුව දකින්න වගේම අපේ අලුත් ගෙදර පදිංචියට යන්න කියලා හිතනකොට මට දරාගන්න බැරි තරම් සතුටක් ඇති වෙනවා.”

සරලා එහෙම කිව්වේ සන්තෝසයෙන්. නමුත් සතුට සෑම මොහොතකම රැඳෙන්නේ නෑ. සරලාගේ ලෝකයට උඩු හුළඟක් හැමුවේ හිතන්නටවත් නොහැකි ආකාරයටයි.සරලාගේ ලැප්ටොප් පරිගණකය දුමාල් රැගෙන දුන් එකක්. ඔහු මව්බිමේ සිටි කාලයේ දී ඒ ලැප්ටොප් පරිගණකය ඔහු ද පාවිච්චියට ගත් එකක්.  දිනක් එය පාවිච්චි කරමින් සිටියදී සරලා මහත් කැළඹීමට පත් වුණා. 

එහි දුමාල්ගේ ෆේස්බුක් ගිණුමට ලොග් වී තිබුණා. සරලාගේ මානසිකත්වය බින්දුවටම ඇද වැටුණේ දුමාල් ගැහැණු ළමයෙකු සමග ඔන්ලයින් ලෙස ආදරේ කරමින් සිටිය නිසා. කාංචනා හා දුමල් අතර ආදරය ඉතා දුරදිග ගිය එකක් වී තිබුණා. ඔවුන් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ පවා හුවමාරු කරගෙන ඇති අන්දම සරලා බලා සිටියේ ගැහෙන හදවතකින්. කරන්නේ කුමක්දැයි හිතන්නටවත් නොහැකිව ඇය හඬන්නට පටන් ගත්තා. අනතුරුව දුමාල් ලංකාවට පැමිණි පසු මේ ගැන කතා කරන්නට ඇය සිතා ගත්තා.

වඩා නරක තත්ත්වය උද්ගත වුණේ ඉන්පසුවයි. දුමාල් ලංකාවට ආ විට ඔහුට කරන්නට වෙන කිසිම රාජකාරියක් තිබුණේ නැහැ. ඔහු කළේ තමන් ජීවත්වන ප්‍රදේශයෙන් කිලෝමීටර් ගණනාවක් දුරින් සිටින කාංචනාව නිතරම දකින්නට යාමයි.

“මොකක්ද දුමාල් මේ වැඩේ.ඔයා මේ එහෙමෙහෙ යනවා කියලා යන්නේ   ගෑනියෙක් මුනගැහෙන්න කියල මම හොඳටම දන්නවා. දුරදිග යවන්නේ නැතුව ඒ සම්බන්දෙ වහාම නවත්වනව”

සරලා තර්ජනය කළා.එහෙත් දුමාල් එය අත් අරින්නට සූදානම් නෑ.

“ඇයි දුමාල් මට මෙහෙම කරන්නේ. මට තාම විසි පහයි. මම ඔයා එක්ක ආවේ ඉස්කෝලේ ගමන පවා නවත්තලා. එහෙම ඇවිල්ලා ඔයාවත් ගොඩ නගා ගෙන මාත් ගොඩ නැඟුණෙ. එහෙම මටද ඔයා මෙහෙම කරන්නේ”

සරලා හඬමින් කියද්දී දුමාල්ට කියන්නට තිබුණේ වෙනත් කතාවක්.

“මට තමුසෙව අප්පිරියයි.මට ඕනෑ කාංචනාව. මං කාංචනාව කසාද බැඳගන්නවා තමුසෙ ඩිවෝස් කරලා”

මෙතැන වින්දිතයා තමන් බව සරලා හඳුනා ගන්නේ ඉන්පසුවයි. ඇය අප වෙත පැමිණෙන්නට තීරණය කළේ ඒ නිසා.

දුමාල්ගේ අනාචාරය ඇස පනාපිට ඔප්පු කළ හැකි නිසා සහ ඔහුට විරුද්ධ සාක්ෂි ඉතා හොඳින් එක් රැස් කර ගත හැකි නිසා දුමාල්ට විරුද්ධව නඩු පැවරුණා. ඒ කාංචනා ද සමවිත්තිය කර ගනිමින්. දරු දෙදෙනා සඳහා නඩත්තු නඩුවක් ද පැවරුණා. දුමාල්ගේ මුදලින් ඉදි කළ ගෙය ඇත්තේ සරලාගේ ඉඩමකයි. එහි කිසිම අයිතියක් දුමාල්ට ලැබුණේ ද නැහැ. දුමාල් එවූ මුදල් සරලා දරු දෙදෙනාගේ ගිණුම් වල තැන්පත් තිබුණු නිසා දරුවන්ට ගැටළුවක් වූයේ ද නෑ.

සරලා දරුවන් සමඟ සාමකාමී ජීවිතයක් ගෙන යනවා. කාංචනා පළමු විවාහයෙන් දික්කසාද වී නැති නිසා දුමාල්ට ඇය විවාහ කරගන්නට ලැබුණේ ද නෑ.

හැඟීම්වලට වහල් වූ දුමාල් අදටද මානසික වේදනා විඳිනවා වෙන්නට ඇති

Related Articles

Don't Miss


Latest Articles