ඇස් නො පෙනෙත්දී වැඩියෙන් පෙනෙනවා කියා ද කන් නෑසෙත්දී වැඩියෙන් ඇහෙනවා කියා ද කතාවක් තිබේ. මුවින් දොඩමළු නොවී සිටින විට වැඩියෙන් දැනෙනවා ය යන්න මම අත්විඳින්නට වීමි. විහාර ප්‍රේමයක් ගැන එකදු වදනකුදු නො දොඩා මගේ ගැහැනු හදවත මත ප්‍රේමය පිළිබඳ දැවැන්ත සිතුවමක් අඳිමින් සිටියේ ය. දැනෙන්නට හැරියා මිස ඔහු කිසිත් කීවේ නැත. නො කියන විට දැනෙනවා වැඩි ය!
“මුලිං මං මොනා කිව්වත් ඒකා ඔයාව සතුටෙන් තියයි. ඇත්තටම ලෙමන් මාර මනුස්සයෙක්. හිතා ගන්නත් බෑ සමහර වෙලාවට. අයිති කරගෙනවත් කෙල්ලෙක්ට දෙන්න ගොඩක් පිරිමි දන්නැති ආදරයක් ඒකා ගාව තියනව”
විශ් යූ හි කැටයම් මේසය දෙපැත්තේ හිඳගෙන ජීවිතය ගැන කතා කරමින් සිටි වෙලාවක නූරි කීවා ය.
“අයිති කර ගෙන දෙන්න කවදාවත් බැරි වෙන නිසාද දන්නෑ”
“මූසල කතා කියන්නෙපා. මං කලින් මේකට අනුබල දුන්නෑ තමයි. ඒත් දැං මට තේරෙනව. ලෙමන් අමරසිංහ ඇත්තටම තවුසෙට ආදරෙයි”
ඒ අප වැඩිපුර ම ජීවිතය ගැන කතා කළ දවස් ටික ය. නූරි ගේ විවාහය අත ළඟට ම ඇවිත් තිබිණ. ඒ සඳහා ඉතිරි ව තිබුණේ දින දෙකක පමණ කාලයකි. එය දුර තිබියදී නො දැනුණ විදිහේ ගැස්මක් ඇයට සේ ම මට ද දැනෙමින් තිබූ බව පිළිගත යුතු ය. මංගල මුදුව ලෝකයෙහි වන කුඩා ම විලංගුව යයි කතාවක් තිබේ. එනයින් විවාහය කියන්නේ ශාරීරිකව කෙසේ වතුදු මිනිසෙකු ආත්මීය ව සිර ගත කළ හැකි බන්ධනයකි. නූරි ගේ විවාහයෙන් පස්සේ අපට මේ විදිහට අපේ ඇසුර පවත්වා ගෙන යා හැකි වෙත්දැයි සැක සහිත ය. අනිත් අතට මිගාර කියන්නේ තේජාන් නොවේ. තේජාන් යනු අප දැන සිටි මිනිසෙකි. මිගාර වූ කලී නො දන්නා මිනිසෙකි. නො දන්නා යකාට වඩා දන්නා යකා හොඳ යයි කියන්නේ නිකන් ම නොවේ. ඉස්සරහාට එන්නට නියමිතව ඇත්තේ කොයි වගේ කාලයක් දැයි කියන්නට අප දන්නේ නැත.
අමේලි ගේ අසනීප තත්වය මේ දින වල උග්‍ර වෙමින් තිබුණා කියා මම සිතමි. විශ් යූ වෙත ආවත් විහාර ගේ ඇස් වල වූ කල්පනා බර බව අනුව මට එහි බරපතල කම අනුමාන කළ හැකි විය. තව දුරටත් ඔහු ඇය වෙත නොයා ඉන්නට හේතුව මා ය. ඔහු නො කියා සිටියත් මට එහෙම සිතිණ. ඇතැම් විට එහි ගියාට පස්සේ යළි පැමිණිය නො හැකි වනු ඇත්ද යන සැකය ඔහු වෙත වන්නට ඇත.
නමුත් මේ ඔහු ඇය ළඟ සිටිය යුතු ම වෙලාව යයි මම සිතුවෙමි. කය ගිලන් වෙත්දී වැඩිපුර ම අසරණ වෙන්නේ මනස ය. ඒ වෙලාවට ඒ හිත වාරු කර ගෙන ඉන්නට කෙනෙකු සිටිත යුතු ය. හිස පිරිමැද හිත සනසන්නට කෙනෙකු සිටිත යුතු ය. ඔවුන් අතරේ කවර නො ගැලපීම් තිබිණි ද විහාර අසල සිටියදී තරම් සුරක්ෂිත හැඟීමක් අමේලිට වෙනත් අය නිසා දැනෙන්නට විදිහක් නැත. අම්මා ගිලන් වූ ඇතැම් දාක ඇගේ ඇස් මත්තේ වූ හිස් හැඟීම මට මතක තිබේ. ලෝකයේ කිසිදු ගැහැනියක තනි කම නිසා ඒ තරම් අසරණ නො විය යුතු ය.
“කියන තරං අසනීප ඇති කියල මට හිතෙන්නෑ. එයා මාව හිර කරන්න අටෝපු උගුලක්ද මේ කියලයි මං හිතන්නෙ”
ඇය වෙත යන්න යයි මා ඉල්ලා සිටි වෙලාවේ විහාර එසේ කීවේ කල්පනා කරමිනි. ඔහු ගේ ඇස් වල බොර පැහැය වැඩි වී තිබිණ. ඒ මුහුණ මත අපිළිවෙලට රැවුල් කොට වැවී තිබිණ. ලෙමන් සුවඳ ළඟ දැවටී නැතිවාට ඔහු හිතෙන් බරපතල තැවීමක හිඳිනා බව මට අනුමාන කළ හැකි විය.
“එහෙම උගුලක් අටවල ඔයාව හිර කර ගන්නවනං…ඒ ආදරේ නිසා වෙන්න ඕන නේද…ලොකු අසනීපයක් වුණත් පොඩි අසනීපයක් වුණත් අසනීපෙකදි අපි ඕන කෙනෙක් හිතෙන් වැටෙනව. මට මතකයි අපේ අම්ම අසනීප වෙලා දවස් ගාණක් හොස්පිට්ල් ඇඩ්මිට් කරං හිටිය සිද්දියක්. කවුරු අපි වටේ හිටියත් තාත්ත හිටියනං දැනෙන්න තිබුණ හයිය එතන තිබුණෙ නෑ. ඒ හයිය අරං ඔයා යන්න ඕන විහාර”
ඒ වෙලාවේ ඔහු ගේ ඇස් වල ලියැවී තිබි කතාව කියවා ගන්නට මා සමත් නොවූවා කියා සිතමි. අනිත් අතට එවැන්නකට මා බිය වූවා හෝ පසු බෑවා වන්නටත් පිළිවන.
කෙත්මින් මට හමු වන්නේ නූරි ගේ විවාහ උත්සවයේ දෙවන මනාලිය වශයෙන් පෙනී හිටින්නට වීම නිසා ය. දෙවන මනාලයා වූ කෙත්මින් මිගාර ගේ බාල සොයුරා වේ. එදා විවාහ උත්සවය දවසේ අළුයම් යාමයේ සිට ම රූපලාවන්‍යාගාරයක් තුළ ප්ලාස්ටික් බෝනික්කෙකු සේ ශිල්පිනියන්ට ඕනෑ දෙයක් කර ගන්නට ඉඩ දී බලා හිඳ මා ඉන් පිටතට ආවේත් සිහිනයකින් සේ ය. අදින් පස්සේ නූරි ගැන මට තිබූ නිල නොවන සියලු අයිතිවාසිකම් අහෝසි වී යනු ඇති බවට වූ හැඟීම මා නො සිතූ පරිදි ඇතුළාන්තයට පීඩා කරමින් තිබිණ.
“ඩමි එකක් නෙවේනෙ…ඇත්ත ගර්ල් කෙනෙක්නෙ ඔයා..නේද…”
කෙත්මින් මා අත මල් කළඹ තැබුවේ එවැනි විහිළුවකිනි. මිගාර වාගේ සන්සුන් නිවුණු මිනිසෙකු නොවී ඔහු දඟකාරයෙකු හෝ විහිළුකාරයෙකු විය හැකි බව ඒ මුල්ම හමුව මට ප්‍රත්‍යක්ෂ කළේ ය. කෙත්මින් මා ගැන දැක්වූ උනන්දුව ආයුධය කර ගෙන මා එතැන අලුත් රංගනයකට පිවිසියේ විහාර ගේ ඇස් කොතැනක තිබුණත් අප වෙත දැල්වී ගෙන තිබෙනා බව දැන දැන ය.
“ඔයා නිසයි විහාරට ඒ ගමන යන්න හිත හදා ගන්න බැරි. කොල්ලෙක් ඇත්තටම කෙල්ලෙක්ට බැඳුනහම ඒක එහෙම තමයි ශික්කා. දවසකට සැරයක් හරි නොදැක ඉන්න බෑ වගේ දැනෙන එකේ…වෙන රටකට යන්න වුණාම…අනිත් එක මොනා වුණත් තාම වචන වලින් එකඟතාවෙකට ඇවිල්ලත් නැති එකේ…මට විහාරව තේරුං ගන්න පුළුවන්”
පෙර දා රාත්‍රියේ නූරි ගේ යහන දෙකට බෙදා ගෙන නිදන්නට සූදානම් වෙත්දී ඇය කී ඒ වචන ටික මගේ මනසේ පිළිරැව් දෙමින් තිබිණ. විහාරට ඒ ගමන පහසු කළ හැකි එක ම මග මේ යයි මට කීවේ මගේ ම හිතේ මා නොදැන උන් කොනක සැඟවී සිටි කෙනෙකි. එක ගැහැනියක තුළ ආත්ම කිහිපයක එකතුවක් තිබෙනවා කියා අසා තිබුණාට මා ඒ හරියට ම දැන හැඳින ගත්තේ ඒ වෙලාවේ විය යුතු ය.
මාව නම්මා ගත්තා යි කෙත්මින් සිතන්නට ඇත. නමුත් ඔහු නො දැන ම ඔහු මා වෙනුවෙන් පාවිච්චි විය. ඊට පෙර කිසි දා ක පිරිමියෙකු ඉදිරියේ මා ඒ විදිහට සෙල්ලක්කාර වී නැති බව කිව යුතු ය. නමුත් මේ වෙලාවේ මා එසේ හැසිරිය යුතුව තිබිණ. කෙත්මින් ට මා ඕනවට වඩා ඇඟෑලුම් පාන එක ගැන මුලින් ම ඉව වැටුණ කෙනා නූරි ය. ඔහු ගේ විහිළු වලට ඕනෑවට වඩා සිනා සුණු අවස්ථා දෙක තුනක දී ම ඇය මට රැව්වා ය. නමුත් මම ඒ ගැන උනන්දුවක් නො දැක්වීමි. අනිත් අතට නූරි ට මා අල්ලා ගෙන ඒ වෙනුවෙන් යොදවන්නට තරම් වෙලාවක් සොයා ගත නො හැකි විය. හැම මොහොතක ම ඇය කාර්ය බහුල වූවා ය. අමුත්තන් වෙනුවෙන් ද ඡායාරූප ශිල්පීන් වෙනුවෙන් ද වෙන් කරන්නට ඒ හෝරා කිහිපය ඇයට මදි වූ තරම ය.
විහාර ගැන කිසිදු උනන්දුවක් නො පෙන්වන්නට මම වග බලා ගතිමි. ඒ පහසුවෙන් නොවන බව දන්නේ මා විතර ය. විටෙක මගේ ළය පැලෙන්නට ආ තරමි. නමුත් මම හිතේ හයිය දියාරු වන්නට කිසි සේත් ඉඩ නො දුන්නෙමි. දිවා ආහාරයෙන් පස්සේ අමුත්තන් සමු ගන්නට පෙර ම විහාර නව යුවලට සුබ පතා සමු ගත්තේ ය.
“විහාර කලින්ම යන්නද…”
මම හිතක් පපුවක් නැති කෙල්ලක වී විමසුවෙමි.
“ඔව් ශික්ෂා. වැඩ ටිකක් තියනව කර ගන්න”
ඔහු හැකි තාක් වෙනසක් නො හඟවමින් කතා කළේ ය. නමුත් ඒ වෙනස වෙන කාට නැතත් මට හොඳින් ම දැනිණ. සියල්ල පුපුරා ගියේ ඔහු නික්ම ගිය අහවර ය. ඇස් දිය වී වාගේ කොහේ සිට දෝ මන්දා කඳුළු ගලා එන්නට විය. මම පිළිගැනීමේ ශාලාවේ ඈත කෙළවරක වන අසුනක් කරා ගොස් මේසයෙහි හිස හොවා ගෙන ඉකි බිඳ හඬන්නට වීමි.
මට කරන්නට තිබුණේ එපමණක් ම ය. මම එය කළෙමි. තවත් ගැහැනියක වෙනුවෙන්, මගේ අම්මා වාගේ බිරිඳක වෙනුවෙන්, මා වාගේ දුවක වෙනුවෙන් මම එය කළෙමි. මා එසේ කළේ පහසුවෙන් නොවේ. හදවත පිච්චෙත්දී ය. දැනුත් මගේ හිත දැවෙමින් අළු වෙමින් යයි. මට ආයේ කිසි දා ක ඔහු හිමි වේ ද තබා හමු වේ ද කියාත් නො දනිමි. මේ අත් භවයේ නොව සංසාරයේ යම් අත් භවයක හෝ යළි ඔහු හමු වේ යයි කොහොම සිතන්න ද? පඬුරක් සේ පාද පාමුලට ම පෙරළී එත්දීත් මට ඔහුට පිටුපාන්නට සිදු විය. ඉතින් දෙවියන් යළිත් ඔහු මගේ දෑස් ඉදිරියට එවනු ඇත්ද?
මී දෙනක සේ මම හැඬුවෙමි. කවුරුත් හිතුවේ නූරි නික්ම යන දුක උහුලා ගත නො හැකි ව මා ඒ විදිහට හඬනා බව ය. ඇය මා වැළඳ ගෙන හැඬුවා ය. මට නාඬා හිඳින්නයි කියමින් හැඬුවා ය.
“විහාර ඔයාට නැති වෙන එකක් නෑ ශික්කා. ඔයා කොහොම එහෙම කළාද කියල මට හිතා ගන්න බෑ. ඔයා කොච්චර හොඳ කෙල්ලෙක්ද කියල මං දන්නව. ඒත් මෙච්චර හොඳයි කියල මං දැනං හිටියෙ නෑ. කමක් නෑ විහාර ගිහිං ආපුදෙන්. එදාට එයා අදටත් වඩා ඔයාට ආදරේ වෙයි”
එය පුදුම දවසකි. එක විදිහකට නූරි ව සේ ම විහාර ව ද මට අහිමි වූ බව සලකුණු කළ දිනය එයයි. මධු සමය සඳහා මිගාර සමග නූරි නික්ම ගිය පසු ද මට හැඬුම නවතා ගත නො හැකි විය.
“ඔයාව මං ගෙදරට ඩ්‍රොප් කරන්නද…”
කෙත්මින් මවෙත විත් ඇසුවේ ය. මම ඔහු ගණනකටවත් නො ගත්තෙමි. මේ කෙල්ල උමතුවෙන් ද කියා ඔහු සිතන්නට ඇත. මීට මඳ වෙලාවකට පෙර ඔහුත් එක්ක කොමල පෑ කෙල්ල මේ තරමට රළු වී සිටිනුයේ කෙසේ ද කියා ඔහු සිතන්නට ඇත. නමුත් මට ඔහු හිතූ දේවල් ගැන වගක් නොවී ය.
අම්මා ත්‍රී රෝද රියක් ගෙන්වා ගෙන මාව එහි නංවා ගත්තා ය. ඇය කිසිත් ම කීවේ නැත. මා මේ තරම් හඬන්නේ ඇයි කියා ඇසුවේ ද නැත. ඒ වෙනුවට මගේ හිස ඇගේ උරහිස මත රැඳුණ පසු ඇගේ අතක් තියා මහිස එහෙ මෙහෙ වැනෙනා එක වළකා ගෙන සිටියා ය. අම්මලා එහෙම ය. සිය සුරැකුම් කලාපය තුළ ඔවුන් අපට හෙලවීමකින් හෝ රිදුමක් වන්නට දෙන්නේ නැත. නමුත් අප රිදවා ගෙන ගෙදර එත්දී වචනයකින් හෝ නොරිස්සුමක් පෙන්වන්නේ ද නැත.
ඒ රාත්‍රියට හෝරා හතළිස් අටක් වත් තියෙන්නට ඇත. එය ඒ තරම් දිගු වූයේ එනිසා කියා මම සිතමි. ඉන් එක විනාඩියක් තරම්වත් මට නින්ද නො ගිය බව ඔබ විශ්වාස කළ යුතු ය. ලෝකය ම නින්දේ සිටියදී මුළු රැයක් ඇහැ පියවෙන්නේ නැති වෙනවාට වඩා මිය යන එක පහසු ය.
අම්මා මගේ ළඟ නිදා සිටියා ය. ඇය සිය පොරෝනාව ද ගෙන නිහඬ ව ම මගේ යහන වෙත විත් වැතිරුණේ මගේ ඇරයුමකින් නොවේ. නමුත් ඇය මා ළඟ සිටිනා එක මට හයියක් විය.
අප කවුරුත් තනි වූ මිනිසුන් ය. බිඳුණු මිනිසුන් ය. ඒ නිසා අපට අපේ බිඳුණු හදවත් වල රිදුම් දැනේ. අනෙකාට ඒ රිදුම් නොදී අප ම රිදවා ගන්නට තරම් බිඳුම් අප සවිමත් කොට තිබේ.
හිරු උදා වූයේ මගේ හිස පුපුරුවා දමනා වේදනාවක් ද එක්ක ය. මම හිස් මුදුණේ ඕඩිකොලෝන් හලා ගෙන ඇඳට ම වී සිටියෙමි. ඇස් පුපුරු ගසමින් තිබිණ. උදරයේ හිස් බවක් දැනිණි ද කෑමට තරම් හිතක් වූයේ ම නැත. දෙතොල් වියළී ගිහින් තිබුණෙන් මම යහනේ සිට ම කුඩා මේසය වෙත නැඹුරු වී වතුර උගුරක් බීවෙමි.
“විහාර පුතා ඇවිත්”
කාමරයේ දොර රෙද්ද මෑත් කර ගෙන එබුණු අම්මා ගේ ඇස් වල ශෝකාන්ත නවකතාවක තරම් කම්පාවක් විය. නමුත් ඒ වචන තුනට වඩා කිසිත් ම ඇය කීවේ නැත. මම කැඩපතට එබී හිස කේ සකසා ගතිමි. ඇස් මත්තට සිනහවක් නගා ගතිමි. ආලින්දය මැද්දේ විහාර වෛශාක්‍ය අමරසිංහ පිළිරුවක් සේ සිට ගෙන සිටියේ ය. මම ඔහු ගේ දෑස් මග හරිමින් කතා කළෙමි.
“රෑ වෙනකල් කට්ටිය පිස්සු කියෝ කියෝ හිටියනෙ. ඉතිං දැං ඔළුව කැක්කුම වගේ”
“මං යන්න කියල ශික්ෂා”
ඔහු මා කී දේ ගැන අවධානයක් නොදී කතා කළේ ය.
“මේ එයාපෝට් යන ගමං”
“සුබ ගමන්…එයා ඉක්මන්ට සනීප වෙයි. සනීප වෙන්න කියල මං විශ් කරනව”
‘ඔයා එනකල් මං බලං ඉන්නව විහාර’ යනුවෙන් හිත කෑ ගැසුවත් මම එය වචන වෙන්නට ඉඩක් නොතැබුවෙමි. මේ ගමන බොහෝ විට ඔවුන් ගේ අනාගතය වෙනස් කරනු ඇතැයි මට සිතේ. ඉතින් ඒ මාවත අවහිර කරමින් මට ඔහු ගේ හිත අද්දර සිට ගත නො හැකි ය.
“වෙඩින් එක මටත් කියන්න ඕනෙ…හරිද…”
ඔහු සිනහවකින් කීවේ ය. නමුත් ඒ අගාධ ඇස් වල අන්තිම පත්ලේ වූ ආලෝක පුංජය පවා බොර පැහැ ගැන්වී තිබේ. මම දෙතොල් දසන් දෙපෙළ අතරේ හිර කර ගෙන ව්‍යාජ සිනහවක් මවා ගතිමි. ඔහු අම්මා ට වැඳ අපේ ගෙන් පිට වූයේ ය. මම ප්‍රධාන උළුවස්සට හේත්තු වී ගෙන ඔහු රිය වෙත යන හැටිත්, එහි නැගෙන හැටිත්, ඔස්ටින් රිය නික්ම යන හැටිත් බලා සිටියෙමි. තවමත් මගේ දෙතොල් දසන් වලට හසු වී තදින් සැපී තිබිණ. කම්මුල් දිගේ හෝ කඳුළු ගලා යන්නට විය. කිසිත් නතර කරන්නට මට කිසිදු ඕන කමක් තිබුණේ නැත. අඩු තරමින් ඔහු මා ගැන තබා ඇති වැරදි අවබෝධය තුරන් කොට ඔහු ට යන්න හරින්න හෝ මට ඕන වුණේ නැත.
ඔහු ගියේ ය. සමහර විට ආයේ අප හමු නොවනු ඇත.
“ඔයා මගෙ දුවනෙ පුතේ…මං බඩෙන් වදාපු දරුවනෙ…අම්ම වගේ නොවී ඔයා වෙන කවුරු වගේ වෙන්නද…”
අම්මා මා සිය උරයට හේත්තු කොට ගත්තා ය. ළය පැළී මා මිය යාවියි මම සිතුවෙමි. එය ඒ තරම් දරුණු රිදුමකි. නමුත් එහෙම වූයේ නැත. මා මිය ගොස් තිබුණේ නැත.