“මේ මෝඩයා ඒ තරම් නාඩගමක් නැටුවට පස්සෙ රදීෂ්ගේ සායම යන්න ඇතිනෙ.”
උමාලි පිරුණු කුස ද ඔසවාගෙන එහෙමෙහෙ ගියේ කෝපයෙනි. ඇයට ඇති ලොකුම ශෝකය රදීෂ්ගේ කාර්ය මණ්ඩලය ඉදිරිපිට මල්ලි නටන්නට යෙදුණු නාඩගම ය. ඇයට අනුව ඒ කළු පැල්ලමකි. ඒ කෝපයෙන් ඇය ඔබමොබ ඇවිද්දා ය. අනතුරුව මල්ලිට අමතන්නට සිතුවා ය.
“ඔයාට පිස්සුද උමී? කෝල් කරලා බැනලා විකුම් මල්ලිව අවුල් කරන්න එපා. ඔයයි මායි දෙන්නා ෆස්ට් ලව් එකම කසාද බැඳගත්තට ලෝකෙ ඉන්න මිනිස්සු වැඩිහරියක් විරහවේ තියන අමාරුකම දන්න අය. මම හිතන්නේ නෑ ඒ වේදනාව දන්න කිසි මිනිහෙක් විකුම්ට දොස් කියයි කියලා.”
උමාලිට ලිලී ෂේඩ් පැත්තෙන් ආරංචි ලැබී තිබේ. ඇයට මහා කෝපයක් දැනෙන්නේ ඒවාට ය. මල්ලී යැවූ සෑම මල් කළඹක්ම නිමේෂා ඩිලිවරිකරු ඉදිරිපිටම කුණු බක්කිවලට දැමූ කතා උමාලිගේ කෝපය අවුළුවාලයි.
“මලක් කියන්නේ හිත සම්පූර්ණයෙන් ම නිවන්න පුලුවන් දේකට. හොඳටම මහන්සි වෙලාවට මම ඒකනෙ ෂොප් එකට දුවන්නේ. ලස්සන සුවඳ මල් බොකේ එකක් ඩස්ට්බින් දාන්න පුලුවන් කියන්නේ ඒ මනුස්සයාගෙ හිත ගැන තේරුම් ගන්න පුලුවන්නෙ.”
එසේ පැවසූ අහස්‍යා ඊළඟට පැවසුවේ වැදගත්ම කාරණාව ය.
“මේ වගේ වෙලාවක මල්ලි ඉන්නේ හිත හොඳින් නෙවෙයි. අපි එයාව බලාගන්න ඕන. ඒ ඇරෙන්න එයාට දොස් කිව්වා කියලා කිසිම දෙයක් හොඳ අතට හැරෙන්නේ නෑ.”
අයියා කෙනෙකුගේ ආදරයට මැදි වූ අහස්‍යාට සිටින එකම මල්ලී විකුම් ය. ඔහුගේ හද රිදවූ යුවතිය ගැන මිසක අහස්‍යාට විකුම් ගැන කෝපයක් ඇත්තේම නැත.
“නිමේෂා වගේ කෙල්ලො ආදරේ සිල්ලරට දකින්නෙ. එහෙම මිනිස්සු එක්ක ජීවිතේ පුදුම තරම් අමාරුයි. මල්ලි ඒක හෙමින් තේරුම් ගනියි.”
අහස්‍යා එසේ පැහැදුවා ය. විකුම් ලිලී ෂේඩ් වෙත පැමිණ වියරුවෙන් හැසිරීම ගැන පවා ඇයට ලැජ්ජාවක් ඇත. එතැන ඉන්නා කෙල්ලන් කොල්ලන් අඩුම තරමේ ඒකපාර්ශ්වික ප්‍රේමයකින් හෝ පරාද වී ඇති බව ඇයට විශ්වාස ය. එහෙම තිබිය දී ඔවුන් ඔහුට හිනැහෙන්නේ නැත. විකුම් වැනි ලස්සන කොල්ලෙකුට කොහොමටවත් හිනැහෙන්නේ නැත. ඇය කෙල්ලන් ගැන හොඳටෝම දන්නී ය.
විකුම් සඳැල්ලට වී අහස දෙස බලා සිටියේ ය.ප්‍රේමයේ නාමයෙන් බැගෑපත් වන්නට සිදුවන අවස්ථා ඇති බව ඇත්තකි.නමුත් මේ ප්‍රමාණවත් බව ඔහුට සිතේ.
මට ටිකක් කතා කරන්න පුලුවන්ද?”
ඔහු නිමේෂාගෙන් එසේ අසා කෙටි පණිවිඩයක් යැවූයේ පැයක් පමණ කල්පනාවට පසුව ය. කාලාන්තරයක් පෙම්වතිය වූ යුවතියට කතා කරන්නට අවශ්‍ය බව පවසා චි පණිවිඩයක් යැවීම දෛවය තමන්ට කළ විශාල සරදමක් නොවේදැයි ඔහු සිතී ය. නමුත් කරන්නට කිසිවක් ම නොවේ. සමහර අවස්ථාවලදී ඉරණම අපට තිළිණ කරන දෑ නොපිළිගෙන ඉන්නට නොහැකි ය.
“ඇයි?”
නිමේෂා කුණාටු සුළඟක් වී පැමිණියා ය.
“එක මිනිහෙක් එක්ක ඉන්න බැරි ගෑනියෙක්. අනේ බං උඹ කොහෙන් නවතීද ඔහොම ගිහින්”
ඒ කාලයේ මිතුරන් පැවසූ අන්දම විකුම් සිහි කළේ ය. ඒ ගිනි කන්ද අසල ජීවිතයේ නිවීම ඇතැයි සිතූ යෞවනයා ගැන විකුම්ට ඇත්තේ අනුකම්පාව මුසු වේදනාවකි.යෞවන කාලයේ දී ප්‍රේමය ගැන කියවා ගැනීම මොනතරම් වැරදි දැයි සිතන දවසක් පවා පැමිණිය හැකි බව ඔහුට වැටහෙන්නේ දැන් ය. ඒ ගැන මහත් වේදනාවකින් කල්පනා කරන්නට දැන් කාලය නොවේ. කළ යුතු වන්නේ වේදනාවෙන් විනිර්මුක්ත වී ජීවිතය දිග ඇවිද යාම බව දැන් ඔහු සිතයි.
“අපි බ්‍රේක් එකක් ගමු. මෙහෙම ලෝක දෙකක ජීවත් වෙන්න ඕනේ නෑ නේද? අපි දෙන්නට අපි දෙන්න නොරුස්සන තරමට අපි ඇත්තටම අපිට අපි ඕනද කියලා කල්පනා කරන්න කාලයක් ගමු.”
විකුම් හැඟීම් විරහිත දෑසින් ඒ පණිව්ඩය ලියා බලා සිටියේ ය. “You’re still my person, even if I’m not yours.” යැයි වාක්‍ය ඛණ්ඩයක් තැනකදි කියවූ අන්දම ඔහුට සිහි වේ. මිදෙන්නට හදන මොහොතක දී පවා එවැනි සංවේදී දෑ සිහි වීමම වේදනාවකි. නමුත් හැඟීම්බර වීම ප්‍රශ්න විසඳන්නේ නැති බව දැන් ඔහු තේරුම් ගනිමින් හිඳී.
“බ්‍රේක් එකක් නෙවෙයි. බ්‍රේකප් එකක්.මට ඔයාව ඕන නෑ.”
නිමේෂා සැහැල්ලුවෙන් ලියා එව්වා ය. විකුම්ට වෙනදා මෙන් ඒ වචන කියවා කඳුළු පිරුණේ නැත. ඔහු අහසට හිනැහිණ.
අපි ටිකක් ඈතට වෙලා කල්පනා කර අපිට අපිව ඇත්තටම ඕනද කියල.”
එක කතාවක් ක්ෂණිකව වෙනස් කරන්නට දන්නා නිමේෂා ඉන් අනතුරුව එසේ කියා එවා තිබිණ. විකුම්ට සිනාවක් ඉපිදිණ. ඉන්නටත් අකමැති යන්නටත් අකමැති කෙල්ලක වෙනුවෙන් තවදුරටත් කාලය නාස්ති කරන්නට ඕනෑම නැත.
“කොහොමහරි දරාගෙන ඉන්න බැරුව පිටවෙලා යන්න හදන ඔයා ඊටපස්සෙ ආපහු එයි කියලා මං විශ්වාස කරන්නෙ කොහොමද?”
එහෙත් ඒ ප්‍රශ්නයෙන් නැවතෙන්නට නිමේෂාට ඕනෑ නැත. ඇය ඔහුව සියළුම මාර්ගවලින් අවහිර කර දැමී ය. “Silent Treatment” කියන්නේ ප්‍රේමවන්තයෙකුට දෙන්නට හොඳම දඬුවම බව ඇය සිතන්නී ය.
විකුම් තවත් බොහෝ වෙලාවක් සඳැල්ලට වී ගෙවා දැම්මේ ය. ඉන් අනතුරුව “නිලුපුලේ නිල දෙන්න” අසන්නට ඔහුට සිතිණ. නිමේෂාගේ ආලේපන ගැල්වූ මුහුණ පරදමින් ඇහිබැමවත් සකසා නැති පොඩි කෙල්ලගේ මුහුණ ඔහුට සිහි වන්නට විය.
(රන් වටින්නේ ඔබේ අදහස් ය. ස්ටිකරයකට ඉමෝජියකට සීමා නොවී අදහස් අකුරෙන් තබා යන්න)