විකුම්ගේ කේක් සංග්‍රහය ලිලී ෂේඩ්හි කොල්ලන්ටත් කෙල්ලන්ටත් ගෙන ආවේ සතුටකි. හවස තුන හතර වෙද්දී රදීෂ් කාර්යාලයේ ඉන්නවානම් පොඩි බඩගිනි දැනෙනබව කියන ඔවුන් ඔහු නැත්නම් කරන්නේ සම්මාදමක් දමා මොනවා හෝ කන්නට රැගෙන ඒම ය. අද ඒ මොනවාවත්ම ඕනෑ නැත. කන්නට නොව නාන්නට තරම් කේක් තිබේ.
“Ae Dil Hai Mushkil ෆිල්ම් එකේ බ්‍රේකප් සෝන්ග් එක දාලා නටමුද අපි”
එකියක එසේ ඇසුවා ය. නැඟුණේ උස් සිනා හඬකි.
“පොඩ්ඩක් හිටපං. ඊටකලින් රෙසිග්නේෂන් එක ලියමු. සීවී එකකුත් හදමු.”
උපේකා උපදෙසක් දුන්නා ය.නයනි හිටියේ බැංකුවට ගොස් ය. ඇය ඉන්නවානම් මේ නාඩගම් නැටීම සිහිනයකි.
“ඇත්තටම බ්‍රේකප් එකක් වුණාම එහෙම උඩ පැන පැන නටන්න බැරිනම් මේ ගාණටවත් සෙලිබ්‍රේට් කරන්නෝන මම නම් කියන්නේ.”
සචිනි කියන්නී ය.
“අනේ මෝඩ සචී අක්කේ, ඒ මනුස්සයා අපි එක්ක බ්‍රේකප් එක සෙලිබ්‍රේට් කරනවා නෙවෙයි. එදා වෙච්ච දේ ලැජ්ජාව වහගන්න ඔය. අපි ඔක්කොම ෂොක් කළාට සමාව ඉල්ලන්න.”
දිනේෂ් සිදුවීම හරිහැටි කියවන්නට උත්සාහ කළේ ය. නිලුපුලී පයිනැපල් ගැටෝ කැබැල්ලක් රැගෙන එය කන්නට බොහෝ වෙලා ගත කළා ය. මේවාට සහභාගී වන උවමනාවක් ඇයට ඇත්තේම නැත. නමුත් ඇයට එක් සැකයක් විය.
විරහව මෙතරම් පහසුවෙන් සැමරිය හැකි දෙයක් ද?
අම්මා විඳින්නේ ද විරහවකි. ඇය ඕනෑවටත් වඩා කෝප ගන්නේ තමන්ගේ තාත්තා නම් මිනිසා හන්දා බව නිලුපුලී දනියි. අම්මා ඇය බිහි කරන්නට ඇත්තේ දූෂණයක ප්‍රතිඵලයක් නිසා ද ප්‍රේමයක ප්‍රතිඵලයක් නිසාදැයි හරියාකාරව නොදන්නා නමුත් ප්‍රේමයක ප්‍රතිඵලයක් නිසා බව සිතෙන තැන් ද ඇයට වේ. අම්මාට අනුව විරහව සදා වේදනාවකි. එය සැමරිය යුතු එකක් නොවේ.
“එයා මේ බ්‍රේකප් එකක් සමරනවා නෙවෙයි මං හිතන්නේ. අපිට තෑන්ක්ස් කරනවා වෙන්නැති.”
නිලුපුලී එසේ සිතුවා ය. එසේ සිතමින් වැඩි වෙලා ගෙවන්නට වූයේ නැත. විකුම්ගේ හිනැහෙන දෑස කාර්යාල කාමරයට එබිණ.
“කොහොමද ළමයි!”
ඔහු අසයි. ඔහු වැනි කඩවසම් කොල්ලෙක් එසේ අසද්දී පිස්සන් මෙන් කේක් කන්නට බැරි කෙල්ලෝ වහ හොස්ස කට පිහදාගන්නට වග බලා ගත් හ. ඔහු අත ලිලී මල් පොකුරක් ඇත්තේ ඇයිදැයි නිලුපුලි කල්පනා කළා ය.
“එයාල ආපහු යාලුවෙන්න් ඇති. ඒ නිසා අපිටත් පාටි එකක් දීලා ඒ ගෑනු ළමයට මල් අරගෙන යන්න එන්න ඇති.”
ඇය සිතුවා ය. ඒත් එසේ සිතන විට ළය මැද රිදුමක් ඇති වන්නේ ඇයි දැයි ඇයට පැහැදිලි නැත. ඒ ප්‍රේමය සාර්ථක එකක් නොවන බව කෙල්ලන් කැට තබා පැවසූ නිසා ඔහු වෙනුවෙන් ඇති වූ වේදනාවට වන්නට ඇතැයි සිතුවා ය. එහෙත් අනුන්ගේ දේවල් වලින් ඇති ඵලක් නොවේ. නිලුපුලි අන්තිමට එසේ සිතන්නට වූවා ය. ඒ කල්පනාවේ වැඩිදුර ගැලී සිටින්නට ඇයට සිදු වූයේ ද නැත.
“කවදාවත් මල් ලැබිල නැහැ කිව්වා නේද? මල් එක්කම හිටියට මල් පොකුරක් ඔයාගේ වෙලා නැතුව ඇති නේ. මේක ඔයාට. කිසිම මන්තරයක් නැතුව යකෙක් දමනය කරාට තමයි තමයි මේක. ඒ වෙලාවේ හිතේ තිබුණු ආවේගෙට ඔයාට මොන වගේ කැත කතා කිව්ව ද කියලවත් මට මතක නෑ. හැබැයි නංගි ඔයා කිව්ව එක කතාවක්නම් මට මතකයි.”
වත්තේ කොලුවන් සමඟ එකට එක කියන අවශ්‍ය නම් ගහ මරා ගන්නටවත් නොපැකිලෙන යුවතිය හේබා ගියා ය.නදීෂ් ලියනාරච්චි නම් රස්තියාදුකාරයාටත් බැන වැදුණු යුවතිය මේ ආචාරශීලී යෞවනයා ළඟ රත් පැහැ වෙමින් සිටියා ය. ඒ අතරේ මිතුරියන්ගේ රහස් කෙඳිරීම් ද ඇසේ. එවිට මෙවන් මොහොතක් කිසිසේත්ම පහසු වන්නේ ද නැත.
“ඔයා කිව්වා නේද ආදරේ නාමෙන් නාස්ති වෙන්න එපා කියලා. ඔයාලගෙ අහස්‍යා මැඩම් ඊට පස්සේ ඒ පාඩම ටිකක් තදට මට කියලා දුන්නා. එයාටයි ඔයාටයි දෙන්නේ මොනවද කියලා හිතනකොට මට හිතුණා පොඩ්ඩක්වත් ආදරේ නැති ගෑනු ළමයෙකුට දිනපතා මල් යැව්වනම් ඔයාලට මල් දුන්නම මොකද කියලා.”
විකුම් පවසන අතර සිනාවක් සමග ම මල් පොකුර ඇය අතට දුන්නේ ය. නිලුපුලී සිටියේ අයිස්ලන්තයේ සිටිනවා මෙන් සීතල වී ගොස් ය. විකුම් සෑහෙන වෙලාවක් කාර්ය මණ්ඩලය සමඟ කියවමින් හිඳ කෝපි ද පානය කර නික්ම ගියේ ය. එහෙත් ඒ මුළු වේලාව ම නිලුපුලී ගලක් මෙන් බලා සිටියා ය.
“ඒකත් ජයසිරි මංගලම්. දැන් අපිට තියෙන්නේ තව යකාට ගියාවේ කියලා මේ ලව් එකට උදව් කරන එක.”
ඔමාලි කෑගසා පැවසුවා ය. නිලුපුලි රැකියාවට මුල්ම කාලයේ මෙහෙම දෙයක් වූවා නම් මෙය වහාම නිමේෂාගේ කන වැකෙන්නට පවා තිබිණ. එහෙත් ඇය අහිංසක පුංචි කෙල්ලක බව දැන් සෑම කෙනෙක්ම සිතන්නට පුරුදු වී ඇත. දැන් ඔවුහු ඇයට ආදරේ කරමින් සිටිති.
“මේක නිමේෂා ගෑනි දැනගෙන ඉන්ස්ටග්‍රෑම් ලයිව් ඇවිල්ලා හෑල්ල පුරන්න ගත්තු දාට…”
සචිනි එසේ කියා උස් හඬින් හිනැහෙන්නට පටන් ගත්තා ය. නමුත් ඒ නිලුපුලීට තරහකට නොවේ. නිමේෂාගේ විකාරසහගත හැසිරීම් සිහි වූ හන්දා ය.
“මගේ සදාදරණීය ක්‍රෂ් පන්සිය දොළහෙන් එකක් හින්ද කියනවා ම නෙමෙයි. විකුම් සර් පුදුමාකාර හොඳ මනුස්සයෙක්. එයා ඒක ඔයාට දුන්නේ ඇත්තටම මොකක් හරි ටොයින් ටොයින් එකකට නම් මාර සතුටුයි මට.”
උපේකා එසේ පැවසුවා ය. එතැනින් නතර නොවී විභාග ප්‍රශ්න පත්‍රයකට මෙන් හේතු පැහැදිලි කරන්නට ද වූවාය.
“ක්‍රෂ් අපිට අයිති කරගන්න පුලුවන් දේවල් නෙමෙයිනේ. එතකොට එයාලට මෙලෝ රහක් නැති පාට්නර්ස්ලා ඉන්නවයි කියන්නේ හිත සෑහෙන්න රිදෙනවා. දැන් බලන්න අපේ සර්. එයා ක්‍රෂ් එකක් තමයි. ඒත් අහස්‍යා මැඩම් කියන්නේ පුදුම තරම් ආදරේ කරන ගෑනියෙක්නෙ. ඉතින් සරුත් සතුටින් අපිත් සතුටින්.”
උපේකාගේ හේතු පැහැදිලි කිරීම සිනා උපදවන්නට ද සමත් කතාවක් බව ඇත්තකි. එහෙත් නිලුපුලීට අසන්නට වෙනත් ප්‍රශ්නයක් තිබිණ.
“ඒ නිමේෂා මැඩම් ඇත්තටම හොඳ නැද්ද?”
කෙල්ලන් උස් හඬින් හිනැහුණා ය.
“අනේ මේ.. අහස්‍යා මැඩම්ට, උමාලි මැඩම්ට මැඩම් කියලා කතා කරාට කමක් නෑ උඹට අක්කා කියන්න පුලුවන් දවස එනකන්. ඒත් අර මල විකාරෙට මැඩම් කියන්නෙ ඇයි. එයා මේ සෝෂල් මීඩියා තරුවක්. උන්‍ට මැඩම් කියන්න ඕන නෑ.”
සචිනි එසේ කියන්නී ය. එහෙත් නිමේෂා කියන්නේ කොහොම කෙනෙක්දැයි නිලුපුලී දැන සිටියේ ම නැත. ඇගේ සමාජ මාධ්‍ය පීරා බලන්නට නිලුපුලීට අදහසක් ඇති විය.අදහස ඇති වන්නට හේතුව පවා පැහැදිලි නැති මුත් ඇයට එය කරන්නටම ඕනෑ වූයේ ය.
“මේක දුන්නේ තෑන්ක් යූ කියන්නනෙ. ඒ නිසා මේක ගැන විකාර කියන්න එපා. රදීෂ් සර් දැන ගත්තොත් අපි හැමෝටම ප්‍රශ්නයක් වෙයි. විකුම් සර්ට එදා අපිට කතා කරපු හැටි මට කෑගහපු එක ගැන ලැජ්ජ හිතෙනවා ඇතිනේ. මේ ඒකට තෑග්ගක්. ඒකට නිමේෂාව අල්ලා ගන්නේ නැතුව අපි මේ කතාව ඉවර කරමු.”
නිලුපුලී බැගෑපත් වූවා ය. හදවත බටර් කුට්ටියක මෙන් වෙමින් තිබෙන බව සත්‍යයකි. කඩවසම් තරුණයෙකුගෙන් මල් පොකුරක් ලැබීමේ ආනන්දයෙන් ඕනෑම යුවතියකගේ හදවත මෙන් ඇගේ හදවත ද ඉපිලෙමින් පැවතියේ ය. නමුත් ඇයට මුහුද හත් ගව්වක් තිබිය දී පවා සිතන්නට දේ තිබේ.
“ඉන්නේ කොහෙද කියන ප්‍රශ්නේ කවදම හරි ආවාම ඇති වෙනකම් අඬන්න වෙනවට වඩා මේ වගේ දේවල් ඔෆීෂියලි ගත්තම ඉවරයි.”
ඇය ඇයටම තරවටු කර ගත්තා ය.
“අනිත් කාරණේ තමයි ඉතිං මිනිස්සු බහුතරයක් කරන්නේ රවට්ටන එක. චාරු ලොකු අම්මා, අපේ අම්මා කවුරුත් රැවටුණා. විකුම් සර් සෑහෙන දුකක් පෙන්නුවට ඇත්තටම රැවටුණේ එයාද එහෙම නැත්තං ඔය කියන නිමේෂා ද කියන්න අපි දන්නේ නෑ.”
ඇය දිගින් දිගටම සිතන්නට වූවා ය. ප්‍රේමය සීමා රහිත දෙයකි. එය නොදන්නා මොහොතක හදිසියේ පිපෙන දෙයක් බව ඇත්තකි. නමුත් මලක් පිපෙන්නට උත්සාහ කරන කුඩා පැළයක් දළු වලින්ම උදුරා දැමීම ආරක්ෂාවට හොඳ බව නිලුපුලී සිතුවා ය.
හදවත කෑගසමින් සිටිය දී ඇය මොළය කියන දෙය පමණක් අසන්නට වූවා ය.
(ඔබේ අදහස ලියා තබන්න. එය මට රන් වටී)