Vintage Eyes – 27

වැස්ස මුළුමනින් නතර වී බෝ ගස් හන්දියට අමුතු එළියක් වැටී තිබිණි. කුණු දුහුවිලි සේදී ගොස් ගහ කොළෙහි දීප්තිමත් හරිත වර්ණය ඉස්මතු විය. හිරු පෑයූ බවක් නො පෙනී ද ඒ එළිය නො කියා කීවේ හිරු ළඟ පාතක  සිට කොකම් පානා බවකි. සැලකිය යුතු වෙලාවක්  වැස්සේ නැහැවෙමින් සිටි නිසා වායු ගෝලය වඩා සිහිලැල් හා සෞම්‍ය වූයේ ය. යන්තමින් හැමු පවන පවා අමුතු කෝල බවක් දැරී ය. ඒ සියල්ල අතරින් ඔස්ටින් රිය නික්ම යන දෙස මම විශ් යූ හි උළුවස්සට හේත්තු වී බලා සිටියෙමි.

“මහන්සියි. නින්දක් දාල හෙට එන්නං”

විහාර අත් දෙක කලිසම් සාක්කු වල ඔබා ගෙන මා ඉදිරියෙහි හිඳ කියත්දී ඔහු ගේ දෑස් වල වූ බැල්ම මා ගොළු කරවන්නට සමත් විය. ඒ වෙලාවේ ඒ ඇස් වල වූයේ එපමණට ම ප්‍රේමයට ආසන්න බවකි. එහෙම වෙලාවක අප ගොළු ගැහෙනා එක, එක අතකට හොඳ ය. නො එසේ වී නම් හිතේ තියෙනා දේවල් කියන්නට ම සිත් වනු ඇත. 

“අනේ තව ටිකක් ඉඳල යන්න විහාර”

අඩු තරමින් එහෙම හෝ කියන්නට මට ඕනෑ වනු ඇත.

“ඔබ ආයෙමත් ඇවිදින්…හිත හදා ගත්තා විතරමයි…ඔබ ආයෙමත් ඇවිදින්…”

නූරි මට ඇසෙන සේ මිමිණුවා ය. සිනහව තද කර ගත් දෙතොල් ඇතිව මම ඇදෙස හැරී බැලීමි. මගේ ඇස් පවා සිනහ වෙන්නට ඇත. නමුත් මම බොරු නෝක්කාඩවක් පෙන්වමින් ඇතුළට විත් අපේ කුඩා මේසය අස හිඳ ගතිමි. 

“උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්…නින්ද මට නැති දවස් තිබිණිද කොයි තරම්..”

නූරි මා ඉදිරියේ අසුන් ගත වූයේ තව දුරටත් ගී පද මුමුණමිනි.

“පිස්සුද මන්දා…”

මගේ සිනහව ලොකුවට පිට පැන්නේ ය.

“නුඹ නො දැක සිටි දිගු කාලයේ..හිත හදා ගත්තා විතරමයි…ඔබ ආයෙමත් ඇවිදින්…”

“හිත හදා ගත්තනං ඒ එයා නැතුව එයත් එක්කම ඉන්න මිසක්…එයා නැතුව වෙන කෙනෙක් එක්ක ඉන්න නෙවෙයි”

මට ඔහු හිමි නොවෙනා බව ප්‍රත්‍යක්ෂ වී තිබියදීත් එහෙම සතුටක් යටි හිත අත් වින්දේ කොහොමද කියා මම නො දනිමි. එය වූ කලී පරමානන්දයකි. අත්‍යන්ත වූ සැනසුම් සුවයකි. ප්‍රේමය වූ කලී ඒ තරම් හදවත සුව කරනා ඔසුවකි.

“ඔයාට කෙත්මින් ගැන තීරණයක් ගන්න ඕනනං ඒකට කාලෙයි මානසික නිදහසයි දෙන්න තමයි මුලින්ම විහාර හිතා ගන්න ඇත්තෙ. පස්සෙ සිද්ද වෙච්ච දේවල් එක්ක…ඔයාට සාධාරණයක් කරන්න එයාට බෑ කියල හිතෙන්න ගද්දි…කොහොමත් එහෙම නිශ්ශබ්ද වෙන එක හොඳයි කියල හිතෙන්න ඇති. ඒත් ඒකා කොච්චර තමුසෙට ආදරේද කියනවනං ගෙදර ආවට පස්සෙ පැයක්වත් ඉන්න බැරි වුණා මෙහෙට දුවං එන්නෙ නැතුව. ආදරේ කියන්නෙ හරි පුදුම දෙයක් ශික්කා. ආදරේ මිනිස්සු සනසනව. මිනිස්සු රිද්දනව. හිත් පිරිමදිනව. හිත් ගිනි තියනව. අපි කාටවත් ඒ කිසි දේකින් බේරිල ඉන්න බෑ. ආදරේ දුක් ගින්දර වලින් බේරිල හැංගෙන්න තැනක් මේ අහස පොළොව අතරෙ නෑ”

නූරි වෙනදා නැති සංයමයකින් ප්‍රේමය ගැන බොහෝ දේ කියවූවා ය. තව දුරටත් සියල්ල විහිළුවක් කර ගන්නට බැරි තරමට අපේ හිත් පෑරී තිබූ බව ඇත්තකි. නමුත් මෙතැනින් අපට නැවතිය හැකි නොවේ. මෙතෙක් පැමිණි මාවතේ බැරි නම් හැරී වෙනත් පාරක හෝ අප ද ගමන් කළ යුතු ය. 

අම්මා ට ඇගේ ප්‍රේමය මගහැරිණි. නමුත් ඕ තොමෝ හිත හයිය කර ගෙන ජීවිතයෙහි එල්ලී සිටියා ය. මට ද නූරි ට ද විහාර ට සේ ම නංගී ඔසඳි ට ද අප පැතූ ජීවිත කතා හෝ ප්‍රේම කතා හිමි කර ගන්නට බැරි වී තිබේ. නමුත් අප කෙසේ හෝ ජීවිතය ඇහිඳ ගත යුතු ය. හඬ හඬා තැවි තැවී නොව සිනහ වෙන්නට උත්සාහ කරමින් හෝ අප අපේ ගමන යා යුතු ය.

බෝ ගස් හන්දියේ පළතුරු කඩෙන් අලුත් පළතුරු ද රස කැවිලි ද මල්ලක් ගෙන එදා මම ගෙදර ගියෙමි. නූරි කේක් කෑලි දෙකක් ද නංගී ට දෙන්නැයි ඔතා දුන්නා ය. මා යන විට අම්මා ගජරාමෙට රෑ කෑම පිළියෙල කරමින් සිටියා ය. යාබද ගෙදරකින් ඉල්ලා ගත් පොළොස් ගෙඩියක් කෝපි පැහැයෙන් ළිප මත මඳ ගින්නේ පැසෙමින් තිබිණ. අහම්බෙන් ගිය වැව් මාළු වෙළෙන්දෙකු ගෙන් වැව් මාළු මිල දී ගත් අම්මා ඒවාට ලුණු ඇඹුල් තවරා බදින්නට සූදානම් කොට තිබිණ. නංගී කළවම් පළා මැල්ලමක් ලියමින් සිටියා ය.

“දරුවෙක් හම්බ වෙන්න ඉන්නකොට වස විස නැති කෑම ටිකක් හොඳට කන්න ඕනෙ”

මා වළං මුට්ටි හැර බලත්දී අම්මා කීවා ය. පපුව දෙබෑ කර ගෙන ඉහළට මතුව ආ හැඟීම කුමක් දැයි මට තේරුණේ නැත.

“අනේ අම්මට මං කිව්ව අක්කෙ…කරදර වෙන්න ඕන නෑ කියල…”

මැල්ලම් මිට අතට හිර කර ගෙන ම නංගී මදෙස බලා එහෙම කීවේ බැගෑපත් ස්වරයකිනි. ඒ ඇස් මත වරදකාර හැඟීමක් ලියැවී තිබිණ.

“කරදර නෙවෙයි. මොනා කොහොම වුණත් දැං බඩේ ඉන්නෙ බබෙක්නෙ…නේද අම්මෙ…සමහර විට අපි වගේම කෙල්ලෙක් වෙයි…සමහර විට කොල්ලෙක් වෙයි. ඒ කවුරු වුණත් එයාව හොඳට හදා ගන්න ඕනෙ. හොඳට බලා ගන්න ඕනෙ. මාව බලා ගන්න එක වයසකට පස්සෙ හිටියෙ අම්ම විතරයි. අම්මට මං විතරයි. නංගිට මේ වෙලාවෙ අම්ම තාත්ත දෙන්නම නෑ. මේ ලෝකෙ අපිට තනියම ඉන්න හරි අමාරුයි කියන එක අපි ඕනවටත් වඩා විඳල තියනවනෙ. ඒක නිසා මේ ඉපදුනෙ නැති පොඩි එකාට එහෙම හැඟීමක් කවදාවත් ඇති නොවෙන විදිහට අපි එයාව බලා ගමු. කොල්ලෙක් වෙනෝනං මං ආසයි. අපිට පිරිමි පුළුටක් නෑනෙ. කෙල්ලෙක් වුණත් මොකෝ…අපි පිරිමි දහ දෙනෙක්ගෙ හයිය හිතේ තියෙන ගෑනුනෙ…නේ අම්මෙ…මං මේ පළතුරුත් ගෙනාව. නංගි හොඳට කාල බීල ඉන්න ඕනෙ”

නංගි ගේ ඇස් වලින් කඳුළු කඩා වැටෙන්නට විය. ඇය දකුණු අතේ වූ පිහිය පසෙක තබා ගවුම් උරහිසෙන් කම්මුල් හා ඇස් වල තෙත මාත්තු කළා ය.

“මං ආවෙ අක්කව බලල යන්න විතරයි. මෙහෙ නතර වෙන්න නෙවේ. හෙට උදේට මං යනව අක්කෙ”

ක්ෂණික ව මට වචන නැති විය. ඇය ගැන තීන්දු තීරණ ගැනීමේ අයිතියක් මට නොවන බව සිහි වූයේ ඉනික්බිති ය. අපට අහිමි වී ගිය දේවල් තිබේ. තාත්තා සේ ම සහෝදර සෙනෙහෙසක් ද මට නො ලැබ ගියේ ය. ප්‍රේමය කෙසේ වී ද දරුවෙකු කියන්නේ ද දිනෙක මට හිමි නැති වස්තුවක් විය හැක. හදිසියේ ම නංගී වෙතින් මා ඒ සියල්ල සපුරා ගන්නට සිතුවා විය හැක. නමුත් අනුන් ගේ ජීවිත මත්තේ අපට අපේ හීන සපුරා ගත නො හැකි ය.

“මං හිතුව නංගි අපිත් එක්ක ඉන්න කැමති වෙයි කියල”

යළිත් මා එහෙම කීවේ රෑට කෑම කන ගමන් ය. අම්මා නංගි ගේ බත් පතට තවත් මාළු පිණි බෙදුවා ය.

“අනේ අකමැත්තක් නෙවේ අක්කෙ. ඒත් එහෙම මං කරදර කරන්නෙ කොහොමද…එහෙම අයිතියක් මට නෑනෙ. දුරින් හරි මට ඔයාල ඉන්නව කියන මේ සැනසීම දුන්න එක ඇති. ඒකට ඕගොල්ලොන්ට ගොඩක් පිං”

“අපිට කරදරයක් නෙවෙයි ඔයා ඉන්න එක. නේද අම්මෙ…”

“මොන කරදරයක්ද…මං සුජානිගෙන් එදා ඇහුව…ළමයව නතර කරල යන්නෙ ආරක්ෂාව තියන තැනකද කියල”

“අපේ අම්මට එහෙම දේවල් ගැන තේරුමක් නෑ අම්මෙ. එක අතකට තේරුමක් නෑ නෙවෙයි ගාණක් නෑ වෙන්න ඇති. ඕගොල්ලොංව මෙහෙම දකිනකොට මට වාවන්නැති තරං. අපේ අම්ම එක්ක මං කවදාවත් මෙහෙම ජීවිතයක් ගත කරල නෑ නේද කියල හිතෙනව. හැදුණට මාව එළියට දාන්න ඇති. හිතුණොත් ඉව්ව…වැඩිපුර කඩචෝරු කෑව…කනවනං කාපං ඔන්න තියනව වගේ එකක් තමයි හැමදාම අපේ ගෙදර තිබුණෙ. අම්ම තාත්ත වෙනුවෙංවත් මං වෙනුවෙංවත් කවදාවත් වද වුණේ නෑ. දැනෙන්න ආදරයක් ඒ කොතනකවත් තිබුන්නෑ. ඒව පුදුම ජීවිත. තාත්ත ඔයිට කලින් මැරිල නොගියා පුදුමයි එයා විඳවපු විඳවිල්ලෙ හැටියට. ආදරේ කියන්නෙ මං හැදුණ ලෝකෙ තිබුණෙ නැති දෙයක් අක්කෙ. යන්තං එදා වේල කාල කොහෙ හරි වැටිල නිදියන්න විතරයි අපේ අම්මලට ඕන වුණේ. කන එක වුණත් උයාගෙන කනව කියල දෙයක් වුණේ ඉඳහිට. බඩගිනි දැනෙන වෙලාවට කඩෙං මොනාහරි කනව තමයි. හෙට දවසක්…අනාගතයක්…ලස්සන ජීවිතයක් කියල හීන නොතිබුණ මනුස්ස ජීවිත…ඒක ජීවිතයක් නෙවේ අපායක්…”

“කමක් නෑ. නංගි තව ටික දවසක් හරි මෙහෙ ඉඳල යන්න. ආයෙ ඕන වෙලාවක එන්න. ඔයාට කවරුත් නෑ කියල හිතන්නෙපා. අපි ඉන්නව. මං ඔයාගෙ අක්කනෙ…”

නංගී ට නිදන්නට මම මගේ යහනේ ම බිත්තිය පැත්ත වෙන් කළෙමි. බොහෝ රෑ බෝ වන තුරු අපි කතා කරමින් සිටියෙමු. මුලින් සිය ජීවිතය ගැන කියමින් හැඬුවා වී ද පසුව ඇය නො හඬා දරා ගෙන කතා කළා ය. සිය මව ගේ කීම මත දරුවා බිහි වූ පසු ඔහු ව කාට හෝ දෙන්නට හෝ මග අතැර යන්නට හෝ ඇය මුලදී සිතා ඉන්නට ඇත.  අන්තිමට ඒ සිතිවිල්ල වෙනස් කර ගත්තේ මා නිසා ම ය.

“අක්ක ඔහොම කියනකොට මටත් ආස හිතෙනව බබාව හදා ගන්න. ඒත් ළමයෙක් හදනව කියන එක සෙල්ලමක්ද අක්කෙ…ඊට වඩා එතකොට රට තියා ලංකාවෙවත් මං රස්සාවකට යන්නෙ කොහොමද…කවුද බබාව බලා ගන්නෙ…අනිත් අතට බබා බලා ගෙන ගෙදර ඉඳල කවුද අපිට කන්න අඳින්න දෙන්නෙ…අම්ම වුණත් හැමදාම එහෙම කරයිද…මේව හිතනකොට පිස්සු හැදෙනව අකකෙ…”

දරුවෙකු බලා ගන්නට නම් අපි කී දෙනෙක් සිටිමු ද?  ජීවිතයක් කියන්නේ ඒ අතිරේක ප්‍රශ්න වලට වඩා කෙතරම් අගනා වස්තුවක් ද? මාහැඟි සම්පතක් ද?  අසෙලියා කෙරේ විහාර ගේ වන ස්නේහය මම ඔහු ගේ දෑසින් දකිමි. අම්මා සමගින් තට්ට තනිව ගෙවෙනා රැයක දී අපට ම කියා තව කවුරුන් හෝ හිටියා නම් කියා කොතෙකුත් මට සිතී තිබේ. ඉතින් අප සොයා ගෙන ආ බිළිඳෙකු ප්‍රතික්ශේප කරන්නේ මොන හිතකින් ද?

“අක්කටයි අම්මටයි කරදරයක් නෙවෙයි කියල කියන නිසා මං ටික කාලයක් හරි මෙහෙ ඉන්න හිතුව”

උදේ කිරි එක බොන ගමන් නංගී දීප්තිමත් දෑසකින් යුතුව කීවා ය.

“අපිට මොන කරදරයක්ද පොඩි දුව…”

මට පෙර එහෙම කීවේ අම්මා ය. මගේ ඇස් තෙත් වූයේ නිමේශයකිනි. පොඩි දුව! ඒ කොහොම නෑ කමක් ද? ඒ කියන්නේ ඇයට දූවරු දෙදෙනෙකු හිඳිනා බව පිළිගන්නට අම්මා සූදානම් ය. ඇය තාත්තා ගේ දියණිය නිසාවෙන් මගේ නංගී වෙතැයි මෙතෙක් සිතා උන් මට අම්මා ගේ විසල් හදවත සිප ගන්නට තරම් සිත් විය.

“අනේ අම්මෙ…”

නංගී වහා තේ කෝප්පය තබා අම්මා වෙත ගොස් ඇය වැළඳ ගත්තා ය. ඔවුන් දෙදෙනා ගේ ම ඇස් වලින් කඳුළක් වැටුණායි මම සිතමි. මා පමණකුදු නොව වචනයෙන් නො කීවාට අම්මා පවා හදවතට දැනුණා වූ කාංසියකින් දිවි ගෙවන්නට ඇත. ඇය එම්බ්‍රොයිඩර් මැෂිම සිය ලෝකය ම කර ගෙන සිටියා ය. මා උදයට විශ් යූ වෙත ගිය කල ඇය තනිව ය. දවස ම මහන මැෂිමත් එක්ක ය. එක අතකට තනිකම කියනා දේ මටත් වඩා අම්මා ට දැනී ඇතිවා විය යුතු ය.

“දරුවෙක් හම්බ වෙන්න ඉන්නකොට දුවෙක් අම්ම ළඟ ඉන්නවනං තමයි හොඳ. ඔයාගෙ අම්ම ළඟ පාතක නැති එකේ…මට පුළුවන්නෙ ඒ වැඩ ටික කරන්න…”

“ටික කාලයක් නෙවේ. නංගි හැමදාම අපිත් එක්ක ඉන්න…තාත්තගෙ ආත්මෙට හරි ඒක සැනසීමක් වෙයි”

මගේ හඬ බිඳී ගියේ ය. එය වූ කලී වේදනාවක් අතරින් ඉස්මතු වූ සතුටකි. කළල් දියක් දෙබෑ කරගෙන අහසට පැන පිපී හිනැහුණ පංකජයකි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles