උදේ පාන්දර මා නූරි සමගින් රෝහලට යන විටත් නංගී දරුවා ප්‍රසූත කොට සිටියා ය. යහන අද්දර තොටිලි යහන තුළ බිළිඳා සතපවා සිටි අතර නංගී යහන මත පැත්තට හැරී වැතිර සිටියා ය. ඇගේ මුහුණ මත වූයේ දැඩි වෙහෙසක් දැරූ බවට නිහඬව කියා පානා සාක්ෂි ය. මම මෘදු ලෙස ඇගේ අවුල් වූ හිසකේ හා නළල් තලාව අතරේ මගේ අතක් තබමින් ඇගේ මුහුණ වෙත පහත් වීමි.
“නංගී…”
ඒ තරම් දයා කරුණාවකින් ඊට පෙර කිසිදු මනුෂ්‍යයෙකුට කතා කොට ඇතැයි සිතිය නො හැකි තරමට මගේ ස්වරය දයාර්ද්‍ර වූ බවක් මට ම හැඟිණි. නංගී ඉතා හෙමිහිට නෙතු විවර කළා ය. වියළී ගිය ඇගේ දෙතොල් පෙති අතරින් සිනහවක් නගා ගන්නට පවා අපහසු තරම් වෙහෙසක් ඒ මුහුණ මත විය.
“අක්…කෙ…බ..බා…”
නංගී ගේ ඇස් යහන පාමුල එල්ලා ඇති තොටිලි යහන වෙත යොමු විය.
“ඔය දෙන්නම හොඳින් නේද…අනේ දෙයියනේ ඒ ඇති…”
මාත් නූරිත් දෙන්නා ම නිල් පාට මදුරු දැල මෑත් කරමින් අලුත උපන් බිළිඳුන් නිදන තොටිල්ලට එබුණේ එකට ම ය. තදින් නෙතු පියාන, චූටි අතැඟිලි ගුලි කර ගෙන ඔහු නිදා උන්නේ ය. අප දෙදෙනා ගේ ම දෙතොල් අතරින් එක ම මොහොතක සිනහ මලක් පිපී හිනැහෙන්නට ඇත. දෙවියන් ගෙන් ලැබුණ පඬුරක් වාගේ සුව සිහින දකිමින් පුතා සුවෙන් නිදමින් සිටී! මමත් නූරිත් යළි නංගී වෙතට ලං වීමු.
“ඔයාට කොහොමද නංගි දැං…අමාරු වුණාද…බයික් එකේ ආව නිසා අම්ම ආවෙ නෑ. අම්ම දවල්ට එයි”
“මට හිතාගන්න බෑ අක්කෙ…මං මැරෙන්නැතුව ඉතුරු වුණේ කොහොමද…ඒ තරං අමාරුවක ගිලිල ඉඳල…ආපහු මං ජීවත් වෙන්නෙ කොහොමද…”
“දැං ඉතිං ඒ ඔක්කෝම හරිනෙ. ඔය දෙන්නම සනීපෙන්නෙ…”
“හැම අම්ම කෙනෙක්ම දරුවෙක් ලෝකෙට බිහි කරන්න ඔය දුක උහුල ගන්නව නංගි. ගෑනියෙක් විදිහට ඔයා සම්පූර්ණ ගෑනියෙක් දැන්…”
මම නූරි ගේ අතකට හෙමිහිට තට්ටු කළෙමි. දෙවියන් ඇගෙන් ඒ ස්ත්‍රීත්වයේ පූර්ණ බව උදුරා නො ගන්නා ලෙස එක මොහොතකට මා හදින් කන්නලව් කළා විය යුතු ය.
හෙදියක ඇවිත් මව් කිරි දෙන්නය කියමින් බිළිඳාව ගෙන නංගී ට දුන්නා ය. හෙදිය උපදෙස් දුන් පරිදි උත්සාහ කළත් චූටි මැණික කිරි බුරුල අල්වා ගෙන සිටියේ නැත. යළි යළිත් ඔහු ගේ කුඩා මුවට ට තනපුඬුව ලං කළ ද නංගී අසාර්ථක වූවා ය. බිළිඳා හැඬීමෙන් වෙහෙස වූයේ ය.
“ඔහොමනං බෑ. බබාට තාම කිරි අවුන්සයක් පෙව්වෙ නෑ ඔයා. බබා දැං හොඳටම බඩගින්නෙ. මෙච්චර අඬන්නෙ ඒකයි”
හෙදියක කෑගෑවා ය. නංගී ඇස් ලොකු කර ගෙන බලා සිටියේ අසරණව ය.
“බබා බොන්නෑනෙ…”
“එහෙම කියල බෑ. දරුවට කිරි ටික හරියට පොවා ගන්න අම්ම දැන ගන්න ඕනෙ. පිටිකිරි දෙන්නනං ලෑස්ති වෙන්නෙපා. කොහොම හරි කිරි ටික දෙන්න”
දරුවාට නංගී ගේ මව් කිරි ටිකක් පොවා ගන්නට අප දෙදෙනා ද හැකි තරම් උත්සාහ කළෙමු. නමුත් එය පහසු නො විණි. කෙසේවත් ඔහු කිරි ඉරුවේ නැත. නංගි ගේ ඇස් කඳුළින් පෙඟී ගොස් තිබිණ. “බඩගිනි වුණාම බොයි” කියා ඇගේ හිත සනසා අපි ගෙදර ආවෙමු. නමුත් යළි දවාලේ අම්මා එක්ක රෝහලට යත්දීත් තත්වය යහපත් වී තිබුණේ නැත.
“මේගොල්ලො බබාල වෙන්න හදනවනෙ…ඔක්කොම දේවල් කර ගන්න තේරෙනව ළමයට කිරි ටික දීගන්න තේරෙන්නෙ නෑනෙ”
නපුරු සෞඛ්‍ය සේවිකාවක කෑ ගෑවා ය. බිළිඳා ද හැඬීමෙන් හෙම්බත් ව සිටියේ ය. ඔහු කිරි නො බොන නිසා නංගී ද හඬා දොඩා වෙහෙසට පත් ව සිටියා ය. එක් වෛද්‍යවරියක පැමිණ කිරි පෙවීම සඳහා දරුවා අල්ලා ගත යුතු ආකාරය ගැන කාරුණිකව පහදා දී ගිය ද ඒ ආකාරයෙන් හෝ ඔහු කිරි බීවේ නැත. අම්මා පවා මේ ගැන කලබල වී සිටියා ය.
“බබාව අරං ගිහිං බේබි රූම් එකේ තියා ගන්න වෙයි කිව්ව. මට තනියම වෝඩ් එකේ ඉන්න වෙයි කිව්ව. මෙහෙම ගියොත් බබා කහ වෙයිලු. අනේ මං මොකද්ද අම්මෙ කරන්නෙ…මං එයාට කිරි දෙනවනෙ…එයා බොන්නැත්තෙ ඇයි…බබාට කරදරයක් වෙයිද අක්කෙ…අනේ දෙයියනේ මං මොනාද කරන්න ඕනෙ…මට තේරෙන්නෑ…”
නංගී ඉකි ගසා හැඬුවා ය. ඇගේ හිස මගේ ඇකයේ තියාගෙන පිරිමදිමින් මම ඈ සැනසීමි. ඉක්මනින් සියල්ල යථාවත් වනු ඇතැයි සිතී ද හැන්දෑවේත් තත්වය එය ම විය. පසු දා උදයේ අප යන විට දරුවාව ළදරු කාමරයට ගෙන ගොස් තිබිණ. නංගී හඬමින් සිටියා ය.
“මං මහ නරක අම්ම කෙනෙක් අක්කෙ. මගෙ බබාට කිරි ටික දීගන්න බැරි අම්ම කෙනෙක්. එයාට වෙන අම්මලගෙ කිරි දෙනවලු. බබාව මගෙං උදුරගෙන ගියා අක්කෙ…”
නංගී ගේ හැඬුම මට බලා සිටිය නො හැකි විය. ඇය තුරුළු කර ගෙන මම ද හදවතින් හැඬුවෙමි.
බිළිඳා ට අවශ්‍ය පරිදි පෝෂණය නො ලැබී ඇති නිසා ඔහු කහ වීමකට හා බර අඩු වීමකට ලක් ව තිබිණ. ළදරු කාමරයෙහි තබා ගෙන අවශ්‍ය පෝෂණ හා ඉන්කියුබේටර තත්ව යටතේ සත්කාර සිදු කෙරිණ. මව් කිරෙන් බබා පෝෂණය කළ යුතු වෙලාවේ දී නංගී ළදරු කාමරය වෙත ගියා ය. නමුත් කුස පිරෙන තරමට දරුවා කිරි උරා බී තිබුණේ නැත. නංගීට ඒ තුළ දී දරුවා ව පෝෂණය කිරීම ගැන යම් පුහුණුවක් ලැබෙන්නට ඇත.
“මං මැරෙනව අක්කෙ. ඇත්තමයි මේ බිල්ඩින් එකෙන් පැනල මං මැරෙනව. වෙන මං මොනාද කරන්නෙ…මං මොකටද ඉඳල…”
ඇය නන් දෙඩවූවා ය. නංගී ගේ තත්වය ගැන මම වඩ වඩා බිය වීමි. දරුවෙකු ප්‍රසූත කළ අලුත ඇතැම් මව්වරුන් විශාධයට ගොදුරු විය හැකි බව මා අසා තිබිණි. එකවර ජීවිතය තුළ සිදු වන්නා වූ පූර්ණ විපර්යාසයට ඔරොත්තු දිය නො හැකි වීම ඊට හේතුවයි. ඒ අතරේ දරුවාව මව් කිරෙන් පෝෂණය කර ගත නො හැකි වීම ගැන නංගී තව තවත් මානසික ව බිඳ වැටුණා ය. ඇය රෝහලේ තනි කොට පැමිණීම ගැන ද මා තුළ වූයේ දෙගිඩියාවකි.
“එහෙම හිතෙන් වැටිල ඉන්න කෙනෙක්ට උදව් කරන එක නේද ඒගොල්ලො කරන්න ඕනෙ…කිරි ටික දීගන්න බැරි අම්ම කිය කිය හැම තිස්සෙම දොස් කියනකොට ඒ ළමය තව අසරණ වෙනවනෙ. එයා කරදරයක් කර ගත්තොත් ඒගොල්ලො වග කියනවද…ඇයි මේ මිනිස්සු අලුත් අම්ම කෙනෙක්ගෙ මෙන්ටැලිටි එක ගැන කෙයා කරන්නැත්තෙ…මං නංගිවයි බබාවයි ඩිස්චාජ් කර ගන්නව විහාර”
මා විහාර ට එසේ කීවේ සිද්ධ වෙන දේවල් තව දුරටත් බලා සිටිය නො හැකි ව ය. නංගී එක්ක ම දරු ප්‍රසූතිය සිදු කළ මව්වරු බිළිඳුන් ද ගෙන රෝහලෙන් නික්ම ගොස් සිටියහ. ඉතිරි වී සිටියේ නංගී පමණකි. එද ඇය ළඟ බිළිඳු පුතුන් නැත. අනිත් අම්මලා දරුවන් ඇකයේ තියා ගෙන ඔවුන් කිරෙන් පෝෂණය කරති. සුරතල් බස් මුමුණති. නැලවිලි ගී ගයති. නංගී ට ඒ කිසිත් නැත. ඇය අමුතු ග්‍රහ ලෝකයකින් ගොඩ බට අසරණියක සේ විපිළිසර ව සිටියා ය. හැඬුවා ය. දුක කියවූවා ය. ජීවිතය නැති කර ගන්නා බවට යළි යළිත් සපථ කොට කීවා ය.
“ඩිස්චාජ් කරගන්න ඉක්මන් වෙන්න එපා ශික්ෂා. බබෙක්ගෙ ජීවිතේ එක්ක අපිට සෙල්ලං කරන්න බෑනෙ. අපි තව දවසක් දෙකක් බලමු. ඔය කියන විදිහට බබා ඉන්නෙ ඉන්කියුබේටර් එකකනං…අපිට එයාව හිතුවක්කාර විදිහට එළියට ගන්න බෑ”
විහාර කල්පනාකාරී ව කීවේ ය. මම වඩාත් හැඬුම්බර වීමි.
“එතකොට නංගිට මොකද වෙන්නෙ…බබා ගැන විතරක් නෙවෙයි නංගි ගැනත් බලන්න ඕනනෙ”
“ඒක තමයි ඉතිං…ඔයා ඔහොම කඩං වැටුණහම කොහොමද නංගිව ගොඩ දාගන්නෙ…මේ වෙලාවෙ එයාගෙ හිත හදන්න බලන්න. ඔයා හයියට ඉන්න. ඔයා ඕන මනුස්සයෙක් දුර්වල වෙද්දි හිත හදන්න දන්න ගෑනු ළමේක්නෙ. ම්..ඉතිං ඇයි මේ වෙලාවෙ වීක් වෙන්නෙ…”
විහාර හැකි තාක් මගේ හිත හැදීමට උත්සාහ කළේ ය. ඒ වෙත්දී මා සිටියේ බෙහෙවින් මනසින් කඩා වැටී වී ද යළිත් බලාපොරොත්තු දල්වා ගන්නට ඔහු ගේ වචන මා පොළඹන්නට ඇත.
“දරුවෙක්ගෙ ජීවිතේ මුල් මාස දෙක තුන කියන්නෙ අම්ම කෙනෙක්ට හිතා ගන්නවත් බැරි කාලයක් බබා. ඒක කොහොම හරි ඇදගෙන යමු. මේ බබා හරියට නිපල් එක අල්ලගෙන ටිකක් වැඩිපුර කිරි උරන්නැති ප්‍රශ්නෙනෙ තියෙන්නෙ. අපි කොහොම හරි තව දවසක් දෙකක් මේ විදිහට වෙන්න ඇරල බලමු”
අම්මා කීවේ ද එහෙම ය. ඔවුන් බලාපොරොත්තු වූවා සේ ම ඊළඟ දිනයේ නංගී ළඟට බබා ගෙන දී තිබිණ. එදින ඔවුන් ගේ ටිකට් කපා තිබූ අතර දරුවාව පෝෂණය කිරීම පිළිබඳව නංගී ව දැනුවත් කොට තිබිණ. හිතට දැනුණේ පුදුම සතුටකි. අපේ පවුලට අලුතෙන් එක් වූ මැණික් කැටය සිය දීප්තිමත් ඇස් කරකවමින් අප දෙස බැලුවේ ය. මම බිළිඳු පුතු මගේ දෝතින් ගෙන ඇකයෙහි හොවා ගෙන ඒ ඇස් වලට එබී සිටියෙමි. ඔහු ට තිබුණේ මුහුදු නිල් පැහැති දෑසකි. ඒ ඇස් තුළින් අනන්ත වූ විශ්වයක් දැකිය හැක. චමත්කාර ලෝකයක ඕනෑ තරම් වෙලාවක් සැරිසැරිය හැක. එහෙම හීනයක සැරිසරමින් සිටියදී මල් කළඹක් ද ගෙන වාට්ටුව දිග එමින් සිටි රුවක් මොහොතකට මගේ නෙත ගැටිණ. ඒ මල් කළඹ මගහැර නැවත පුතු වෙත නෙතු යොමත්දී ය ඒ හුරු පුරුදු රුවක් යයි සිහිපත් වූයේ. මම නැවත ද දෑස් ඔසවා බැලුවෙමි. එතකොට අප වෙත සමීප වෙමින් සිටියේ විහාර ය. මම මොහොතකට ඒ සිනහව ඇතුළේ අතරමං වීමි.
“අනේ…කියන්නෙවත් නැතුව ඇවිත්”
සතුට උතුරනා හඬකින් මට එහෙම කියැවී තිබිණ. ඔහු නංගී අතට මල් කළඹ දෙමින් අම්මා ව වැළඳ ගත්තේ ය.
“මුලින්ම තිබුණ ෆ්ලයිට් එක දාං ආව ඉතිං…”
මගේ පපුවට තුරුලු ව දෝතෙහි හිඳින බිළිඳු පුතු වෙත එබෙනා අතරේ දී විහාර ගේ ඇස් නැවත ද මට හමු විය.
“නැත්තං මෙතන මොනා කර ගනීද කියන්න බෑනෙ” වැනි බැල්මක් ඔහු ගේ ඇස් වල තිබී මට හමු විය.
නංගී ව රෝහලෙන් පිටත් කොට හැරීමේ කටයුතු සිදු වූවාට පස්සේ විහාර ගේ මිතුරෙකු ගුවන් තොටුපළට ගෙන ගොස් තිබූ ඔහු ගේ ඔස්ටින් රියෙහි අලුත් බිළිඳා සහ අලුත් අම්මාවත්, අපේ අම්මාවත් නැංවිණි. ස්කූටරය තිබි නිසා මට ඔවුන් සමග රියෙහි යා නො හැකි ය.
“කමන්නෑ ඉතිං…මං ස්කූටි එකේ එන්නං. ඕගොල්ලො යන්න”
මඳ වෙලාවක් මදෙස බලා සිටි විහාර මිතුරාට කුමක් හෝ පවසා රිය දොර වසා දැමුවේ ය. එය හෙමිහිට ඉදිරියට ගැනිණ. විහාර මවෙත විත් අත පා, මා අත වූ ස්කූටියේ යතුර ඉල්ලා සිටියේ ය. මා එය ඔහු වෙත පෑවේ කොහොම ප්‍රීතිමත් ගෑනු ළමයෙකු වී ද කියා කිව නො හැකි ය. මගේ ඇස් හෝ ගා සිනහ වෙමින් තියෙන්නට ඇත.
ඔහු ස්කූටරය පණ ගන්වා ගත් විට මම මගේ කම්මුලක් ඒ පිට මත ගෑවෙන සේ තබා ගතිමි. සුළං රැලි මා කිති කවමින් මුහුණ මත දඟ කළේ ය. බෝ දුරක් එන තුරු අප අතරේ කතා බහක් සිදු වූයේ නැත. නමුත් සිනහ රැලි සරැලි නගමින් තිබිණ. එක වචනයක් හෝ හුවමාරු නොවී ද හැඟුමන් කෝටි ගණනක් අප අතරේ සංසරණය වෙමින් තිබුණාට සැක නැත. නො කියා ම දැනෙනා දේ වල තීව්‍රතාවය ප්‍රබල ය!
“දැං මට කියන්න මගෙන් අහන්න මොනාත්ම නැද්ද මේ ගෑල්ළමයට…”
කියා අසමින් විහාර තැඹිලි වෙළෙන්දෙකු අසල අයිනකට කොට ස්කූටරය නතර කළේ ය. තැඹිලි ගෙඩි දෙකක් කපා අපේ අත් වලට ලැබෙනා තුරුත් මඳහසක් මිස මා ඒ පැනයට පිළිතුරක් දී තිබුණේ නැත. ඔහු ස්කූටරය මත පැත්තට යන්තම් හිඳ කකුලක් පිට කකුලක් දමා ගත්තේ ය. මගේ ඇස් ඒ මූණ මත දුවන්නට විය. ඒ වින්ටේජමය ඇස් අගාධයේ කලකට පෙර මා දුටු ගැඹුරු ශෝකය සොයා ගන්නට සෙයින් මා එහි මඳ දුරක් කිමිද ගොස් තිබිණ.
“ම්…”
මට යළි ඉන් ගොඩ එන්නට සිදු වූයේ විහාර ඇස් වලින් ම කතා කරත්දී ය.
“මොනාත් කියන්නැතුව…මොනාත් ම අහන්නැතුව වුණත් මෙහෙම ඔයා ළඟට වෙලා ඉන්න පුළුවන්. ඇත්තමයි..ඒක මොන පිස්සුවක්ද කියල මං දන්නෑ”
විහාර තරමක් හඬ නගා සිනහ වෙමින් ම එක අතකින් මා සිය සිරුර වෙතට සමීප කර ගත්තේ ය. දෙනෝදහක් ගැවසෙන මහ මග ඒ තරම් අයිතිවාසිකමකින් ඔහු අස රැඳෙන්නට හැකි වීම හිත සියුම් ආඩම්බරයකින් පුරවා ලමින් තිබිණ. තැඹිලි උගුරක පවා තිබුණේ අමෘත රසයකි.
“මේ පිස්සුව කවදාවත් සනීප කර ගන්නැතුව මට ඉන්න දෙන්න…මෙහෙම…මේ වගේම…”
කවුරුන් දුටුව ද ඔහු ඉක්මන් හාදුවක් මගේ හිස් මුදුණේ තැබුවේ ය. විහාර ගේ කමිසයේ නො පියවූ බොත්තම් අතරින් නග්න වූ පපුතුර සිප ගැන්මට මා තුළ උපන් ආශාවේ සිතිවිල්ල ග්ලැසියරයක ගිලී ගියේ ය.