Vintage Eyes – 38

විවාහය සිදු වී අදට හරියට ම සතියක් සපිරේ. මම හිමිදිරි පාන්දර අවදි වී කිරි බතක් ළිප තබා පොල් ගාන්නට පටන් ගතිමි.

විවාහ ජීවිතයක වගකීම් තවමත් ලොකුවට මගේ හිස මත පැටවී නැති බව මම දනිමි. අඩු තරමින් ගෙදර උයන පිහන වැඩක් හෝ මා කළේ බලයෙන් වාගේ ය. මා කුස්සියට පැමිණිය හොත් අප්පු මාව පිටත් කොට හරියි.

“අපේ චූටි මිස්ට කුස්සියෙ ඇති වැඩක් නෑ. මේව මේ අවුරුදු බර ගාණක් තිස්සෙ මං කරන වැඩ. ගෑනු පරාණයක් නැතුව පාළු වෙලා ගිහිං තිබුණ මේ මාළිගාවට එළිය පොදක් වැටුණෙ චූටි මිස් ආවට පස්සෙ. හිනා හඬක් කතා බහක් මේ ගෙදර ඇහෙන්න ගත්තෙ චූටි මිස් ආවට පස්සෙ. ආං ඒක විතරක් හිතේ හැටියට සිද්ද වුණාම ඇති. ගෙදර වැඩ කර ගන්න තාම මං නාකි වැඩි නෑ”

“අනේ ඒ වුණාට අංකල් ට කියල උයෝගෙන කන්න මට පුළුවන්ද…ගෑනියෙක් වෙලා ඉපදිල…”

එතකොට මම කණිපින්දම් කියමි. සැබවින් ඒ මුසාවක් නොවේ. අප්පු උයා මේසයට යවනා දෙයක් එහි හිඳගෙන කන්නට මට සිත් දෙන්නේ ම නැත.

“ආ…එතකොට ඔය ලොකු ලොකු හෝටල් වලත් වැඩිපුර ඉන්නෙ පිරිමි චෙෆ්ල නෙවෙයිද…”

අප්පු මගේ මතය බිඳ හෙලනු වස් තර්ක ගෙන එයි. ඒ කතා බහ අසා ගෙන කුස්සියේ උළුවස්සට අතක් ගසා ගෙන විහාර සිනහ වූයේ ය. ඒ සිනහව තවමත් මා උමතු කරවන්නට සමත් ය.

“අපි බලමුකො මේ සැරේ අප්පුගෙන් චූටි මිස් පාඩමක් ඉගෙන ගනීද නැත්තං චූටි මිස්ගෙන් අප්පු පාඩමක් ඉගෙන ගනීද කියල…”

“පොඩි මහත්තය මගෙ ඇස් පියවිලා යන්න කලින් මේ වගේ සීදේවි කෙලි පැංචියෙක් මේ ගෙදරට කැන්දං ආව එක මට ඇති. චූටි මිස් ඔහොම හිනා වෙවී ඉද්දි අපේ පොඩි මහත්තයගෙ ජීවිතේ පහණක්  පත්තු කළා වගේ එළිය වෙනව කියල මං සහසුද්දෙන් දන්නව. ගෑනියෙක් කියන්නෙ නිකංම නිකං ගෑනු සරීර කූඩුවක් නෙවෙයි චූටි මිස්…”

ආදරය කියන්නේ කාලයත් සමග අඩු වී බෙදී යන දෙයක් නොව එකතු වී වැඩි වෙන දෙයක් බව ඉගෙන ගන්නට මේ සතියක කාලය මට ප්‍රමාණවත් විය.

තවමත් අසෙලියා සිය පියාට සම නොව ආසන්න තැනක්වත් මට ලබා දී නැත. නමුත් මා ඇයට ආදරය කරන්නට දරනා උත්සාහයෙහි අඩුවක් සිදු කොට ද නැත. මේ සතිය පුරා ම හැම හැන්දෑවක ම අපි අම්මා, නංගී හා සියපත් බලන්නට ගෙදර ගියෙමු. අසෙලියා ද අප සමග ඒ ගමනට එක් වූවා ය. ඇය එහි ගියේ සියපත් එහි සිටින නිසාවෙන් බව මම ඉඳුරා දනිමි. අපේ ගෙදර දී ඇගේ ඇස් නිරන්තර යොමු වී තිබෙන්නේ සියපත් වෙතට ය.

දැන් ඔහු හුරතල් බිළිඳෙකි. හඬ තලමින් සිනහ වෙන විට ඔහු ගැන මහත් ස්නේහයකින් මගේ පපුව පිරී යයි. එතකොට මම තව තවත් ඔහු සිනහ ගැන්විය හැකි දෑ කරමි. අසෙලියා බලා ඉන්නේ මට තේරුම් ගත නො හැකි බැල්මකිනි. ඇය සියපත් ගේ සුරතලයට ආශාවෙන් පසු වෙතැයි මම සිතමි. නමුත් එවැන්නක් ඍජුව ප්‍රකාශ කරන්නට ඇය කිසිදු සූදානමක් නැත.

“ඔයාට සෙල්ලං කරන්න අපි සියපත් මල්ලිව ගෙදර ගෙනියමුද පැටියො…ආ…මේ ටූටි මල්ලිය අක්කි බබාට ආදෙයි නේද…ම්…අක්කිට දෙන්නද මල්ලි බබාව චුට්ටක් වඩා ගන්න…”

මුලදී සියපත් සමගින් කතා කිරීම ප්‍රතික්ශේප කළත් පසුව අසෙලියා ඔහු ගේ අතැඟිලි වලින් අල්වා ගෙන මුදු භාෂිතයෙන් කතා කළා ය.

“බේබි…ආ යූ හංග්‍රි…යූ වෝන්ට් ටු ස්ලීප්…බේබි වෝන්ට්ස් ටු කම් ටු මී…”

යනාදී වශයෙන් සුරතල් වදන් තෙපලා ය. දිනක් සියපත් ව ද ගෙන අපි පොල් වත්තේ ඇවිදින්නට ගියෙමු. අසෙලියා එදා බෝ සතුටෙන් හිටියා ය. විහාර ඇයට කුරුම්බැට්ටි මැෂිමක් තනා දුන්නෙන් එය කරකවමින් ප්‍රීති වූවා ය. අවට ඇස් කරකවමින් සියපත් සියල්ල නිරීක්ෂණය කරමින් ද අපේ ආදරයට ලාලන කූජන වලින් ප්‍රතිචාර දක්වමින් ද සිටියේ ය.

“මට හිතෙනව අනේ මේ චූටි වස්තුව අපේ ගෙදර එක්කගෙන යන්න”

එක්තරා අවස්ථාවක මා එසේ කීවේ සියපත් ගේ හුරතල් කිරි සිනහව නිසා ඇති වූ ආදරය දරා ගත නො හැකි ව ඔහු තදින් සිප ගනිමිනි. විහාර අඩ සිනහවක් තැවරී ගත් බැල්මක් මදෙසට හෙළුවේ ය. 

“අපි ඉක්මන්ට බබෙක් හදමු”

සියපත් නිසා ඉපිද තිබූ සිනහව මගේ මුහුණ මත ක්ෂය වෙමින් යන බවක් මට දැනෙන්නට ගති. විහාර ගේ බැල්ම තවමත් නො වෙනස් ව මා මත නතර වී ගෙන ම තිබිණ. මම ඔහු දෙස නො බලා සියපත් දෙස බලා ගෙන කතා කළෙමි.

“මං බබෙක් හදන්නෑ විහාර”

මගේ ස්වරය මට ම හැඳින ගත නො හැකි තරමට වෙනස් වී ඇසුණේ කෙසේ දැයි මම නො දනිමි. විහාර මගේ අතින් සියපත් ව ගත්තේ ය. ඒ වෙලාවේ ඔහු එහෙම කළ එක හොඳ ය. මගේ දෑත් වෙව්ලන බවක් මට දැනුණ බැවිනි.

“ශික්ෂා”

මහිස් මුදුණේ අතක් තබා ඔහු මගේ ඇස් සිය මුහුණ වෙත යොමු කොට ගත්තේ ය. තොල් කොනක් ගැහී ගියා මට දැනිණ. විහාර ගේ ඇස් වල විසඳා ගත නො හැකි ගැටළුවක සේයා දැකිය හැකි විය.

“මට බබෙක් හැදුණොත්…මං අසෙලියාට වඩා එයාට ආදරේ කරනව කියල සමහර විට ඔයාට වුණත් දැනෙයි. ඔයාට නොදැනුණා වුණත්…අසෙලියා එතකොට තවත් මගෙන් ඈත් වෙයි. මට ඕනෙ ඔය දෙන්නත් එක්ක ආදරේ පිරිච්ච ජීවිතයක් විහාර. මට ඔය දෙන්න හොඳටම ඇති. අසෙලියා මට ආදරේ වුණොත්…දැන් මට මේ ජීවිතෙන් ඉල්ලන්න තියෙන්නෙ එච්චරයි…”

“අනේ රත්තරං…අපි වෙනුවෙන් ඔයාගෙ හැම දෙයක්ම කැප කරන්න හදන්නෙපා මැණික. දවසක ඔයාට පසුතැවෙන්න වෙයි. මට ඕනෙ ඔයා සතුටෙන් මාත් එක්ක ජීවත් වෙනව දකින්න. එහෙම නැතුව ඔයාගෙ හැම ආසාවක් ම බලාපොරොත්තුවක් ම අපි වෙනුවෙන් කැප කරල විඳවනව දකින්න නෙවෙයි”

“ඔයත් එක්ක මං හරිම සතුටෙන් විහාර. කවදාවත් බඳින්නෑ කියල හිතං හිටිය කෙල්ලෙක්ව ෆැමිලි ලයිෆ් එක ඇතුළෙ මේ තරං සතුටකින් තියනවට ඔයාට කොහොම මොනා කියන්නද කියල මං දන්නෑ. ඒත් අපිට අසෙලියා ඇති. අලුතෙන් බබෙක් ගැන හිතනවට වඩා…එයාගෙ ආදරේ දිනා ගන්න විදිහක් හිතන එකයි දැන් මට කරන්න ඕනෙ…”

“ඊළඟ පාර වැකේශන් එනකොට එයා ඔයාට ලං වෙලා ඉඳී. මට ශුවර් ඒක…”

“එහෙම වුණොත් මං වාසනාවන්තයි”

පොල් ගා නිම කොට මම ඒවා බ්ලෙන්ඩරයට දමා එය ක්‍රියාත්මක කළෙමි. අද විහාර ගේ තෙමහල් ගොඩනැගිල්ලෙහි විශ් යූ අලුතෙන් ඇරඹෙයි. ආට් ඇන්ඩ් ස්ටිච් යනුවෙන් අම්මා ගේ එම්බ්‍රොයිඩර් සාප්පුව ද එතැන ඇරඹෙනු ඇත. ඉතින් මේ වගේ උදයක කිරි බත් කැබැල්ලක් කා ගෙදරින් පිට වෙන එක හොඳ ය.

“මං බැලුව මේබසද්දෙ මොකද්ද කියල”

අප්පු අවදි වී කුස්සියට දිව ආවේ බ්ලෙන්ඩරයේ හඬට ය. ඔහු කිරි බත් මුට්ටිය විවර කොට ද, පොල් කිරි බඳුන් දෙස ද බැලුවේ ය.

“මට කිව්වනං උදේම නැගිටල කිරි බතක් උයනවනෙ චූටි මිස්. මහත්තය කිව්වනෙ කේටරින් එකකට කිරිබත් කැවිලි බාර දුන්නයි කියල”

“ඒ එතනට ගේන්නනෙ අංකල්. එතකොට ටිකක් දවල් වෙනවනෙ. එච්චර වෙලා බබාව බඩගින්නෙ තියාගන්නත් බෑනෙ. අනිත් එක අදට මං මෙහෙට ඇවිත් සතියයි. ඒක මතක් වෙලයි කිරිබත් ටිකක් ඉව්වෙ”

“කෝ කෝ චූටි මිස් එහාට වෙන්න මං ඕක හදල ගන්න”

“නෑ නෑ ඕන නෑ. අංකල් අනිත් වැඩ ටික කරන්නකො”

කෑම මේසය සූදානම් කොට මා තේ ගෙන ඉස්සරහාට යන විටත් අසෙලියා සේ ම විහාර ද සිටියේ නින්දේ ය. අසෙලියා  අවදි කොට නාන කාමරයට යවා මම විහාර වෙත පැමිණියෙමි. ජීවිතය කොයි තරම් වෙනස් වී ඇත් ද? විවාහයක් කියන්නේ එහෙම වෙනසකට ය. එය වගකීම් සහගත තැනකි. යුතුකම් ඉටු කළ යුතු තැනකි. ආදරය වගා කළ යුතු තැනකි. ඒ එකක් හෝ අසමබර වී අනුපාතය ගිලිහී ගිය විට පවුල් ජීවිතයක් තුළ ගැටළු හා අර්බුධ මතු විය හැකි ය. 

“නැගිටින්නකො ඉතිං. දැන් හොඳට ම දවල් වෙලානෙ”

කියමින් මම යහනේ විහාර අසලින් වැතිරී ඔහු ගේ හිස කේ අතරින් අතැඟිලි යවා ඒ හිස පිරිමදින්නට වීමි. යන්තම් ඇස් හැර බැලූ ඔහු මගේ බඳ වටා අතක් යවමින් මා සිය සිරුරට තද කර ගත්තේ ය.

“ඔය ඉතිං..දැං දුවත් එයි රූම් එකට..”

“ඉතිං මොකෝ…එයා දැනගන්න ඕනෙ මං ඔයාට ආදරෙයි කියල. එයාගෙ තාත්ති දැං ආදරෙං සතුටෙන් ඉන්නව කියල”

“නැගිටල වොශ් දාං එන්න. මං කිරිබත් ඉව්ව”

“ඔහොම තව ටිකක් ඉන්නකො”

මම ඒ නග්න පපුව මැද මුහුණ හොවා ගතිමි. විහාර දෑතින් ම මා වැළඳ ගත්තේ ය. ඒ උණුහුමෙහි සදෙව් සුවයක් දැනෙන්නේ ය. 

කෑම මේසයේ දී අසෙලියා කිරිබත් දීසිය ට එබුණේ ඇස් හකුළා ගෙන ය.

“මේ මොනාද…අයි හැවන්ට් සීන් දිස් ටයිප් ඔෆ් අ ෆූඩ්”

“ඒ කිරිබත්. කිරි දාල උයන බත්. ඒව හරිම රසයි. අපි වැඩිපුරම කිරිබත් හදන්නෙ සුබ දවසකට. ඒ කියන්නෙ අලුත් අවුරුද්ද…බර්ත් ඩේ එකක්…වගේ සතුටු වෙලාවකදි…”

මම ඇයට තේරෙන සරල භාෂාවෙන් පැහැදුවෙමි.

“සෝ…අද මොකද්ද සතුට…”

“අදද…අද සතුටු ඉතිං..මං ඕගොල්ලංගෙ වෙලා අදට හරියටම වීක් එකක්. මට සතුටුයි ඒ ගැන. ඔයා ආස නැද්ද මං ඕගොල්ලංගෙ වුණාට…”

අසෙලියා ඒ ප්‍රශ්නයට පිළිතුරක් දුන්නේ නැත. මම ඇගේ පිඟානට කිරිබත් කැබැල්ලක් දමා ලුණු මිරිස් බිඳක් ද දා ගතිමි.

“ඕහ්! දැට් චිලී ලුක්ස් සෝ හොට්. අයි ඩෝන්ට් වෝන්ට් ටු ඊට් ඉට්”

“ජස්ට් ට්‍රයි ඉට් විල් යූ…මං ඒක දැවිල්ල නැති වෙන්නයි හැදුවෙ මගෙ චූටි කුරුලු පැටියට කන්න පුළුවන් විදිහට. අපි එක කටක් කාල බලමු ම්…පුතාට එපානං ආයෙ අපි කන්නෑ”

අසෙලියා මුව විවර කළේ සැකයෙන් සේ ය. නමුත් ඇය ඒ පරීක්ෂණයට එඩිතර ව මුහුණ දුන්නා යි මම සිතමි. විහාර වුව මදෙස බලා සිටියේ බියෙන් සේ ය.

“ඕ..ඒක රසයි තමයි”

කිරිබත් කට ගිලීමෙන් පස්සේ දැරිය කීවා ය. මගේ මුව සිනහවකට විවර විය.

“ඒකනෙ මං කිව්වෙ. ඔයා ආස වෙයි කියල. එහෙනං ලුණු මිරිස් දාල කවන්නද…”

“හා”

අසෙලියා එදා සතුටෙන් මට කියා කිරි බත් කවා ගත්තා ය. වෙනදාට වඩා සිනහ වෙවී මා සමග කතා කළා ය. ඇගේ පාසලේ විස්තර පවා කීවා ය. නිවාඩුව නිම වී යන්නට පෙර සිංහල කතන්දර පොත් ටිකක් ගෙන ඇයට කතා කියවන්නයි ඉල්ලා සිටියා ය.

“සතියට ඔය මදැයි…මටනං වැඩිත් එක්ක”

විහාර කාමරයේ දී සතුටු සිනහවකින් කීවේ ය. මම ජයග්‍රාහී බැල්මක් ඔහු වෙතට හෙළුවෙමි.

අප  විශ් යූ අසලට යන විටත් බඩු ගෙන යන්නට බාර දුන් පිරිස ලොරියකට මල් පැළ පටවා ගනිමින් සිටියහ. ඊට කලින් ඔවුන් අම්මා ගේ මහන මැෂින් හා ඊට අදාල උපකරණ ගෙනැවිත් තිබිණ. අපි නූරි හා අම්මාවත් නංගී හා සියපත්වත් ඔස්ටින් රියෙහි නංවා ගෙන අලුත් තැනට ගියෙමු. 

“විශ් යූ පටන් ගන්න තැනක් හොයද්දි අපිට ඕන වුණේ මෙහෙම තැනක්. මතකද ශික්කා…සතේ අතේ නැතුව එහෙම තැනක් ගන්න බැරි නිසා අපි අර කඩ කාමරේ අස් කරල ගත්ත”

අලුත් ගොඩනැගිල්ල ළඟ දී රියෙන් බහිනා ගමන් නූරි අතීතය සිහිපත් කළා ය.

“දවසක හීන හැබෑ වෙනව ඒ කියන්නෙ…”

“එදා පුළුවං හැටියට ඒක පටන් ගත්ත නිසා අපිට ලැබුණ දේවල් කොච්චරද…කොතනිං හරි පටන් ගන්නයි ඕනෙ..”

“ලැබුණ වටිනම දේ ලෙමන් අමරසිංහ”

“ලෙමන් අමරසිංහ…ඒ කවුද…”

විහාර ට අපේ ඒ කතාවේ අන්තිම කොන හෝ ඇසී තිබිණ. මා හා නූරි සිනහ වෙන්නට ගත්තේ එකට ම ය. අප දෙදෙනා ම ඔහු ට ඒ කවුද කියා කීවේ නැත. ඒ වගේ පුංචි රහස්, රහස් විදිහට ම තියෙනා එක හොඳ ය. අඩ සිනහවකින් ඉවතට යොමු වූවා මිස විහාර ඒ ගැන හාරා අවුස්සන්නට ආවේ ද නැත. ඇතැම් විට අද රාත්‍රියේ ම ඔහු මගෙන් ඒ ගැන විමසා දැන ගන්නට ඉඩ තිබේ. 

විහාර කීවේ ඇත්තකි. ජීවිතය වූ කලී ජීවත් වෙන්නට ආශා හිතෙනා මොහොතවල් කෝටි ගණනක් විය යුතු ය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles