හේවගේ නිර්මලා!
ඔහුගේ උප්පැන්නයට අනුව ඔහුගේ අම්මාගේ නම හේවගේ චාරුලතා ය. එකම වාසගම කියන්නේ සිතා බලන්නට දෙයකි. රදීෂ් මොහොතක් කල්පනාවේ නිරත විණ. ඉන් අනතුරුව ඔහු ඊළඟ පියවර ක්‍රියාත්මක කරන ආකාරය සිතා බැලී ය. මේ වතාවේ කතන්දරය ගගනට හෝ අහස්‍යාට කියන්නට උවමනා නැත. ඔහු ඒ වෙනුවට මේ දිනවල අවධානය වෙනස් කළ යුතු ම පුද්ගලයාගේ අවධානය මේ වෙත ලබා දෙන්නට තීරණය කළේ ය.විකුම් කතාව අසා සිටියේ සීරුවෙනි. කොහොමටත් ඔහු මේ කතාව ගැන හොඳින් දැන සිටියේ ය. ඔහු සිතා සිටියේ රදීශ් දැන් අම්මා ගැන සෙවීම නවතා ඇති බවකි.
“වත්තක් වගේ තැනක හැමෝටම එකම සර්නේම් එකක් එන එක සාමාන්‍ය දෙයක් නේද? මට හිතෙන්නේ වේල්ල වත්තේ ඇවිදලා බැලුවොත් ඔතන ඉන්න සීයට අනූවක්ම හේවගේලා වෙයි.”
වඩාත් හොඳ අනුමානයක් විකුම්ට තිබිණ. නමුත් එය ඒ ආකාරයටම පිළි ගන්නටත් රදීෂ් අකමැති ය. ඔහුට මේ ගැන තව සොයා බලන්නට සිතිණ.
අම්මාට සියදිවි නසා ගන්නට හේතුවක් තිබිය යුතුම ය!
කළ්‍යානි පුංචි අම්මා කියන්නේ අම්මාට අනියම් සැමියෙකු සිටි වගකි. ඒ සම්බන්ධය තාත්තා දැන ගැනීමෙන් පසුව අම්මාට ඉතිරි වූ එකම විකල්පය සියදිවි නසා ගැනීම වග පුංචි අම්මා ඉතාම පහත් පෙළේ වචන සමඟ කියන්නී ය. වැඩුණු තරුණයෙකු වෙද්දි ඒවාට අනුකම්පා කළ ද ඒ කතන්දර සිතේ ඇතිකළ කම්පනය පහව ගොස් නැතැයි රදීෂ්ට දැනේ.ඕනෑ දෙයක් වන්නට සිතා මේ ගැන සොයා බැලිය යුතුම බව ඔහු සිතුවේ ය.
නිලුපුලී කාර්යාල කාමරයට ආවේ රදීෂ්ගේ කැඳවීමට ය. ඇය ගිණුම් සැකසීමේ මොනවා හෝ විකාරයක් කර ඇති බව නයනි කට කරකවමින් පැවසූ හන්දා නිලුපුලීට ඇත්තේ බියකි. අනිත් කාරණාව දැන් ඇය විකුම්ව මිතුරෙකු සේ ඇසුරු කරන්නී ය. ඇය ඊයේ විකුම්ට පණ්ඩිත කතා කීවේ රදීෂ් ද ඉදිරියේ ය. මේවා ඒ තරම් හොඳ වැඩ නොවන බව නිලුපුලීට සිතේ.
“ඒ ලෙවල් රිසල්ට්ස් එන දවසක් තියනවද නිලුපුලී?”
රදීෂ් ඉතා සැහැල්ලුවෙන් ඇසුවේ එහෙම ප්‍රශ්නයකි. පොතේ හැටියට නම් මේ මාසයේ අග ප්‍රතිඵල පැමිණෙන්නට ඕනෑ බව නිලුපුලී පැවසුවා ය.
“මේ වතාවෙ යුනිවර්සිටි යන්න ඔයාට පුලුවන් වෙයි. එහෙම බැරි උනොත් දුක් වෙන්න එපා. අපි චාටඩ් හරි ප්‍රයිවෙට් යුනිවර්සිටි එකක කෝස් එකක් හරි කරමු. කොහොමටත් ඔයා දැන් අහස්‍යා මැඩම්ගේ පර්සනල් එකවුන්ටන්ට් වෙලා ඉන්න නිසා එයා ඔයාව අත් අරින්නේ නෑ.”
නිලුපුලී ඇසිපිය නොහෙළා රදීෂ් දෙස බලා හුන්නා ය. විකුම් දකිද්දී ඇති වෙන බඩේ සමනළුන් පියාඹන හැඟීම ඔහු වෙනුවෙන් ඇති නොවේ. නමුත් රදීෂ් ලියනාරච්චිගේ පෞරුෂයත් ඔහු කතා කරන ආකාරයත් ඔහුගේ කරුණාවත් තමන්ව මහා ආදරයකින් පුරවන බව ඇයට දැනේ. ඒ ආදරයට නමක් සොයන්නට ඇයට උවමනා ය. විකුම් වෙනුවෙන් ඇති වී ඇති හැඟීමට නමක් තිබුණ ද මේ හැඟීමට නමක් නොවේ.
“නිලුපුලීගේ අම්මා අසනීපෙන්ද ඉන්නේ?”
ඊටත් පසු ඔහු ඇසුවේ වචන තෝරා බේරාගෙන ය. ඔහු මේ අසන්නේ ඊයෙ අම්මා ගැන පැවසූ කතාවෙ ඉතිරි අඩ බව නිලුපුලීට පැහැදිලි ය.
“අම්මා අසනීපෙකින් නෑ සර්. හොඳට රස්සාවල් කරගෙන ඉන්නවා. මම ඊයේ අර වගේ කතාවක් කිව්වේ වෙන හේතුවකට.”
අම්මා කාලයක් තිස්සේ ජීවත් වූ මානසික තත්ත්වය ගැන නිලුපුලී රදීෂ්ට හෙළි කළා ය. අම්මා සිටියේ හොඳම මානසිකත්වයකින් නොවේ. ඉතා මෑතක් වනතුරුම ඇයට ලෝකයේ සිටින ලොකුම හතුරිය තමන් වූ බව නිලුපුලී පැවසුවේ බිඳී ගිය හඬකිනි.
“ඒක ගැන ලොකුවට හිතන්න එපා. අම්මා ඔයාව මේ ලෝකෙට ගේන්න ඇත්තේ කැමැත්තෙන් නෙමේ.”
අකමැත්තෙන් ඉපදීම ඇගේ තෝරා ගැනීමක් නොවේ. ඇය ආවේ අනාරාධිතව වුවත් අම්මා සහ නොදන්නා තාත්තා ඇයට වෛර කිරීම කමකට නැති වැඩකි.
“ආදරේ ඉස්සරහ රැවටෙන එක මිනිස්සුන්ට වෙන්න ඕනේ ම නැති දෙයක්. එහෙම රැවටෙන්නේ ගෑණු අය විතරක් නෙමෙයි. පේනවනෙ විකුම්. විකුම් ඒ වේදනාව නැති කරගන්න කොච්චර නම් විකාර කරනවද?”
නිලුපුලීගේ අම්මා නිලුපුලීට හිංසා පීඩා කිරීම පිළි ගත නොහැකි වුවත් ඒවා අතීතයට එකතු කළ යුතු කාරණා බව රදීෂ් පැහැදිලි කළේ ය. ඔහු ඊළඟ ප්‍රශ්නය ඇසුවේ ඉතාම සීරුවෙනි.
“නිලුපුලී, අම්මට ඔයාව බලා ගන්න උදව් වෙන්න කවුරුත් ඉඳලා නැද්ද? මං අහන්නේ පවුලේ අනිත් අය?”
මිනීමැරුම් නඩුවකට හිරේ ගිය ලොකු මාමා ඉන්නේ වැලිකඩ ය. සීයා මිය ගොස් ඇත්තේ අම්මා කුඩා කාලයේම ය. ආච්චි නම් අම්මාට බනිමින් වුවත් ළඟ රැඳුණු බව නිලුපුලී පැවසුවා ය. මේවා මොනතරමේ අප්‍රසන්න කතන්දර වුවත් ඇයට ඒවා ප්‍රධානියාගෙන් හංගන්නට සිතෙන්නේ ද නැත.
රදීෂ් උඩ ගොස් බිම වැටුණේ ඒ කතාවට නොවේ. නිලුපුලී පැවසූ ඊළඟ කතාවට ය.
“අම්මට අක්කෙකුත් හිටියලු. එයා සූසයිඩ් කරගෙන.”
ඒ අක්කාගේ නම චාරුලතාදැයි අසමින් පුටුව පෙරළාගෙන නැඟී සිටින්නට සිතුණත් රදීෂ් ඉවසන්නට තීරණය කළේ ය. එසේ නම් මේ කුඩා කෙල්ල තමන්ගේ ඥාති සහෝදරියකි.ඇගේ තාත්තා පාලිත ලියනාරච්චි වග නොදන්නා හෙයින් රදීෂ් එසේ සිතී ය. විදූෂාට වඩා ආදරයක් ඇය වෙනුවෙන් හදවතෙහි එක් රැස් වෙමින් පවතී.
“එයා නැති වෙනකොට නිලුපුලී ඉන්නවද?”
ඔහු ඒ වෙනුවට නිලුපුලීගෙන් ප්‍රශ්න කළේ ය.නිලුපුලී නැතැයි කියන්නට හිස වැනුවා ය.
“ලොකු අම්මා නැති වෙලා තියෙන්නෙ මම ඉපදෙන්න කලින්. එයා සල්ලිකාරයෙක් බැඳලා බොරැල්ලට ජීවත් වුණා කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒවත් ඔය ඕපදූප කතා කරන අයගෙන් මිසක් අම්මාගෙන් නම් නෙමෙයි. අම්මා ලොකු අම්මා ගැන කතා කරන්න වැඩි කැමැත්තක් නෑ.”
එසේ පැවසූ ඇය මන්දහාසයක් නඟා මොහොතක් බලා හුන්නා ය. කතා කරන්නට උවමනා නොවන දේවල් වුවත් රදීශ් සමඟ සමග කියන්නට දැන් ඇයට ශක්තියක් ඇත.
“ලොකු අම්ම රස්සාවකට කියලා කඩේක වැඩට ගිහින් එතන කෙනෙක් එක්ක යාලු වෙලා තමයි කසාද බැඳලා තිබ්බෙ. මං ජොබ් එකක් හොයනකොටත් ලොකු අම්මා ගැන කිය කියා අම්මා මට හරියට බැන්නා”
රදීෂ්ට සිහිව ආවේ කළ්‍යානිගේ කතන්දර ය. ඇය ඒවා කියන්නේ ඉතාම නිර්දය ලෙස ය.
“කඩේ බිල් ලියන්න ඇවිල්ලා මේ මිනිහා අල්ලා ගත්තු වත්තේ සුන්දරීනෙ. හොර මිනිහා ගැන අහු වෙලා මිනිහගෙන් ගුටි කනකොට තමයි වහ කන්න මතක් වුණේ. ඕකිගෙ නගෙක් ඉන්නවා අප්පා නැති ළමයෙක් හදන. අන්න එහෙමයි ඕකුන්ගෙ විස්තර.”
රදීෂ්ගේ අම්මා එවැනි නිහීන පවුලක ගැහැනියක බව තුන්තිස් පැයේ කියන්නට කල්‍යානිට ඕනෑ වූවා ය. රදීෂ් අහස්‍යා විවාහ කරගෙන ලියනාරච්චි පවුලේ ස්ථරයකට වඩා ඉහළ ස්ථරයකට යද්දී නම් කල්‍යානිට තමන් රදීෂ්ගේ පුංචි අම්මා වග සිහිව තිබේ. නමුත් දැන් ඇය ගැන මායිම් කරන්නට ඔහුට ඕනෑ නැත.
“ඔය කියන විදියට නිලුපුලීගේ අම්මාට රසට උයන්න පුලුවන් නේද?”
රදීෂ් ඇසුවේ බලාපොරොත්තුවක සලකුණක් හිත කොණක තබාගෙන ය. නිලුපුලී හිස වැනුවේ හිනැහෙමිනි.
“අර එදා කට්ලට්ස් හැදුවෙත් අපේ අම්මා සර්.”
නිවසේ වෙසෙන සේවිකාවට බදුල්ලේ පිහිටි ඇගේ නිවසට යාමට උවමනා වී ඇති බවත් ස්ථිර සේවිකාවක සොයාගන්නා තුරු ඉවුම්පිහුම් වැඩ වලට නිලුපුලීගේ අම්මාගේ සහය ලබාගන්නට සතුටු බවත් රදීෂ් පැවසී ය.
“අහස්‍යා ගැන නිලුපුලී දන්නවනෙ. එයා අපි ළඟ වැඩ කරන කිසිම කෙනෙකුට කරදර කරන කෙනෙක් නෙමෙයි. පොඩ්ඩක් ඉවුම් පිහුම් වලට එයාට උදව් කරානම් ඇති. අම්මා එහෙම කරන බව ඔෆිස් එකේ කිසිම කෙනෙක් දැනගන්න ඕනෙත් නැහැ”
අම්මාට ඒ ගැන කතා කරන්නට නිලුපුලී පොරොන්දු වූවා ය. නිලුපුලීගේ අම්මා තමන් ගැන කිසිවක්ම නොදන්නා බව ඇයට සහතික ය. දන්නවානම් ඇය නිලුපුලී මෙතැනට එවන්නට ඉඩක් නොවේ.