අලුත් තැන විශ් යූ ආරම්භ කළාට පස්සේ මුළු ජීවිතය ම හරි හදිස්සියෙන් අලුත් වූවා වාගේ දැනෙන්නට ගති. අපි උදේට විශ් යූ වෙත යන්නෙමු. ඒ යන්නේ අපේ ගෙදරින් අම්මා නංගී හා සියපත් ව ද නූරි ව ද ඔස්ටින් රියෙහි නංවා ගෙන ය. විහාර වෙනුවෙන් ද නූරි හා මා වෙනුවෙන් ද වෙන් කොට කාර්යාල කාමර දෙකක් එහි සැකසී තිබිණ. විහාර එය ඔහු ගේ කාර්යාල කාමරය ලෙස භාවිතා කරන්නට පයන් ගත්තේ ය. නිකං ඉන්නා වෙලාවට ඔහු ගේ පොල්, අන්නාසි, ගම්මිරිස් යනාදී ව්‍යාපාර වල ගිනුම් කටයුතු වලට මම ද උදව්වක් කළෙමි. පෙත් මගෙහි පොල් වත්තට යා ව ඇති කුඹුරු යාය ඔහු ගේ බව මා දැන ගත්තේ විවාහ වූවාටත් පස්සේ ය. කුඹුරු වැඩ කරන්නට අඳ ගොවියෙකුට පවරා තිබිණ. කන්නයේ අස්වනු නෙලීමෙන් පසු නියමිත කොටස වින්ටේජ් මැදුර වෙත ආවේ ය.
අම්මා හා නංගී බොහෝ විට අප සියලු දෙනා වෙනුවෙන් දිවා ආහාර සකස් කර ගෙන පැමිණියහ. මම උදේ ආහාරය සකසා ගෙන ගියෙමි. ඉඳහිට නූරි ද උදේ කෑම වෙනුවෙන් අලුත් යමක් හදා ගෙන ආවා ය. හවස් වී අප යන විට අප්පු රෑ කෑම පිළියෙල කොට තබයි. අම්මලා ගෙදර යන්නේ ඒවායින් ඔවුන් ගේ කොටස අරගෙන ය. මෙය අතිශය පහසු හා සහයෝගී ක්‍රමයක් වූ අතර අපේ කෑම වේල් වල විවිධත්වයක් ද ඇති විය.
අම්මා හා නංගී යන දෙදෙනා ම එම්බ්‍රොයිඩර් වැඩ කරන්නට පටන් ගත් නිසා සියපත් වැඩිපුර හිටියේ අප සමගින් පහළ මහලේ ය. මල් වට්ටියක් වාගේ ඔහු මගේත් නූරිගේත් විහාර ගේත් අතින් අතට මාරු වෙයි. එම්බ්‍රොයිඩර් වැඩ කෙරෙනා දෙවන මහලේ කුඩා ඇඳක් දමා වෙන් කරනා ලද කාමරයක් සකසා ගත්තේ සියපත් නිසා ම ය. නිදිමත වූ විට අම්මා ගේ කිරි බී ඔහු එහි නිදා ගත්තේ ය. සියපත් නිදනා ඇතැම් වෙලාවට අසෙලියා ට ද නිදිමත හැදෙන්නට පටන් ගත්තේ ය. මා සියපත් ව උකුලේ දමා නිදි කරවා යහනේ සතපත්දී “මටත් එහෙම නිදියන්න ඕනෙ” කියා දිනක් ඇය කීවා ය. කොට්ටයක් කකුලට දමා මම මහත් වූ ස්නේහයකින් අසෙලියා ව උකුලට ගතිමි. ඇයට නැලවිලි ගීයක් ද අවශ්‍ය වූයේ ය. ඒ පුරුද්දට රාත්‍රියේ දී ද ඇය මගේ උකුලේ නිදන්නට පටන් ගත්තා ය.
“මේ මොකද මේ ලොකු බබෙක් උකුලෙ නිදියන්නෙ…මල්ලි බබාව එහෙම නිදි කරන්නෙ එයා චූටි නිසානෙ”
අසෙලියා මගේ උකුලේ නැලැවෙනු දුටු වෙලාවක විහාර එසේ කීවේ ය. එතකොට අසෙලියා හොඳට ම නින්ද ගොස් ඇති බවක් හඟවා තද කොට ඇස් පියා ගනී.
“මට හීනයක් වගෙයි විහාර. සති දෙකක් යනකොට අසෙලියා මේ තරමට මට ලං වෙයි කියල මුලදි මං හීනෙංවත් හිතුවෙ නෑ. මට මේ ඇති. හොඳටම ඇති…”
මගේ ඇස් වල කඳුළක තෙතමනය වේ. ගැහැනියක නිතර ම සැනසීම හොයන්නේ සිය පවුල ඇතුළේ ය. එහෙව් ගැහැනියකට පති කුළයෙන් ඒ සා සැනසීමක් යනු හැබෑ වූ සුන්දර හීනයක් ම ය. අසෙලියා උකුලේ තබා ගෙන විහාර ගේ උරහිසකට හේත්තු වී කල්පනා ලෝකයේ සැරිසරමින් සිටිනාතර ඇතැම් විට මාත් නො දැන මගේ නෙතු පියවෙමින් යයි.
“දූව ඇඳෙන් තියන්න දැන්. ඔයාටත් මහන්සියිනෙ”
විහාර මගේ හිස පිරිමැද එතකොට එහෙම කියයි. විවාහයට පෙර දැනී නො තිබි යම් කිසි විඩාපත් බවක් දැන් දැන් කායික වශයෙන් දැනෙනා බව ඇත්තකි. ඉස්සර වාගේ අම්මා තේ එක සාදා අවදි කරන තුරු නිදා නො ගෙන, අළුයම පිබිදී උදෑසන ආහාර පිළියෙල කොට, විශ් යූ එකේ ද වැඩ කොට, සියපත් ව බලා කියා ගෙන, අසෙලියා වෙනුවෙන් ද යම් කිසි ශ්‍රමයක් වැය කොට, විහාර ගේ වැඩකට ද උදව් වී හැන්දෑවේ ගෙදර විත් යහනට වැටෙත්දී ඒ විඩාව ඉසියුම් ලෙස දැනී නො දැනී යයි. ඉස්සර ට වඩා හිස මත පැටවී ඇති වගකීම් වල බර එසේ හිතට දැනෙනවා විය හැක. නමුත් විවාහක ගැහැනියකට ඒ දවසේ විඩාව ප්‍රීතියේ ම යම් මාත්‍රාවකි. අසෙලියා ට රෙදි පොරවා කාමරයේ දොර වසා ගෙන විත් විහාර ළඟින් යහනේ සැතපෙත්දී දෙතොල් අතරේ නලියන මඳහස අනිවාර්ය වූවකි. ඔහු ගේ අත් බාහුව මත හිස තියා පපුතුරට කම්මුල තද කොට ගත්දී මුළු දවසේ ම වෙහෙස අමතක වී යයි.
“ඔයාට මහන්සිනං අපි තව සර්වන්ට් කෙනෙක් ගමු”
යයි එහැම විටෙක ම වගේ ඔහු කියයි.
“අනේ මොකටද…අංකල් ඉන්නෙ…මේ ගෙදර වැඩ ටික මට කර ගන්න බැරිද…විශ් යූ කියන්නෙ මගෙ හොබි එක. හැම දේ ම කරල ඇඳට වැටුණහම දැනෙන සැටිස්ෆැක්ශන් එක…ඒක අමුතු දෙයක්. ඉස්සර මං හිතනව අම්මට මහන්සි නැද්ද දවස පුරාම එහෙම වැඩ කරන්න කියල. ඇත්තටම ගෑනු ළමයෙක් සම්පූර්ණ වෙන්නෙ බැන්දහම විහාර. මං මේ ජීවිතේට ආසයි…”
ඒ වචන එන්නේ මගේ හදවත පත්ලෙනි. කෙසේ වෙතත් ඉස්සර වාගේ නොව දැන් අප විශ් යූ විවර කරන්නේ සතියේ දින පහ පමණකි. සති අන්තයේ ඇණවුමක් තිබුණොත් පමණක් ඒ වෙනුවෙන් කටයුතු කරමු. සති අන්තය නිවාඩු ය. ගිමන් නිවා ගෙන අලුත් සතිය වෙනුවෙන් නැවුම් වීමට එතකොට හැකි වේ. අසෙලියා ගේ නිවාඩුව නිමා වෙමින් තිබි නිසා කොහේ හෝ ඇවිදින්නට යන්න ද විහාර ට ඕන වුණේ ය.
“අපිව කැන්දං යන්න හදන්නෙපා. ඔය තුන් දෙනා ගිහින් එන්න”
කියා අම්මා කල් ඇතිව ම කීවා ය. අසෙලියා මා සමග මිතුරු වන තෙක් මධුසමය සඳහා කොහේ හෝ යාමත් ප්‍රතික්ෂේප කළ නිසාවෙන්, මෙවර විහාර ගේ ඉල්ලීම නො සලකා හළ නො හැකි වූයේ ය.
මගේ කැමැත්ත මත අපේ ගමනාන්තය ලෙස කඳුකරය තෝරා ගැනිණ. පළමු දින අපි දළදා වැඳ පේරාදෙණිය උද්‍යානයේ සැන්දෑ වන තුරු කාලය ගත කළෙමු. අසෙලියා ඉතා සතුටෙන් දුව පැන නැටුවා ය. එදා නවාතැන ලෙස තෝරා ගැනුණේ දළදා මාළිගාව පේන මානයේ වන සුන්දර වූ ගිමන් හලක කාමරයකි. රෑ වන තුරු මා වැව රවුමේ ඇවිදින්නට ආසයි කියූ නිසා විහාර අප කැටිව වැව අසලට ආවේ ය. මසුන් ට පොරි දමමින් අසෙලියා ප්‍රීති වූවා ය. රාත්‍රී සීතල සුළං වැදෙමින් අයිස් ක්‍රීම් කෑවා ය. අප දෙදෙනා ගේ අත් දෙකේ එල්ලී ගෙන වැව වටේ ඇවිද ගියා ය. ගිරවියක සේ කියවූවා ය.
“බොරුද මං කිව්වෙ…ඊළඟ වැකේශන් එකට එන්න ඕන්නෑ. මේ සැරේ යන්න කලින්ම මෙයා යන්නෙ ඔයත් එක්ක හොඳට යාළු වෙලා”
විහාර ආඩම්බරයෙන් කීවේ ය.
“තාත්ත වගේ ම තමයි දුවත්. මුලදි ලොකූවට ආඩම්බර පෙන්නගෙන ඉන්නව. හැබැයි බලනකොට රඟපාල විතරයි”
විහාර මගේ කනක් අල්වා මිරිකී ය. මම හඬ නගා සිනහ වීමි. වැව් දියට එබී ගෙන උන් අසෙලියා හැරී බැලුවා ය.
“දැං යන්ද පුතා රූම් එකට…”
“තව චූට්ටක් ඉඳල යං…”
ඇය මූණ මඳක් ඇල කොට ගෙන කීවේ සුරතලයට ය. මම ඇය වැළඳ තදින් සිප ගතිමි. දැරිය කිති ගැන්වී හයියෙන් සිනහ වූවා ය. අප යළි කාමරයට ආවේ බෝ රෑ බෝ වූ පසුව ය.
අප තිදෙනා එක කාමරයක එක යහනක නිදා ගත් ප්‍රථම රාත්‍රිය එයයි. ගෙදර දී අසෙලියාට ඇගේ ම වූ කාමරයක් වූ බැවිනි. ඇගේ මව සමග සිටියදී ද ඇය පුරුදු වූ තිබෙන්නේ තනිව කාමරයක නිදන්නට ය. මේ අලුත් අත්දැකීමෙන් දැරිය සතුටට පත් වූවා ය. අප දෙදෙනා ගේ මැද්දට වී ඇමෙරිකාවේ පාසල හා එහි මිතුරු මිතුරියන් ගැන තොරතෝංචියක් නැතිව කියවූවා ය.
“මට බැරිද මෙහේ ස්කූල් එකකට යන්න…”
ඇය එසේ ඇසුවේ ඒ කතා අතරේ හරි හදිසියෙන්, අහම්බයෙන් වාගේ ය. ඒ ප්‍රශ්නයෙන් පසු ඇති වූ නිහැඬියාව තත්පර ගණනක එකක් විය යුතු යයි සිතමි. විහාරත් මමත් උනුන් වෙත හැරී ඒ තත්පර විනාඩි වෙන්නට හැර අප දෙස බලා ගෙන සිටියේ විශ්මයෙනි. සැබවින් එහෙම පැනයක් ඇය කවදා හෝ අප වෙත යොමු කරාවියි බලාපොරොත්තුවක් අපේ සිහිනයක හෝ නොවූ වග දිව්රා කිව හැක. එහෙම වෙලාවක එහෙම ප්‍රශ්නයක්! මා සේ ම විහාර ද ගොළු වී ගියාට සැකයක් නැත්තේ ය. මුණිවත බිඳිය යුතු වූයේ මා නොව විහාර ය. මම ඔහු ට කතා කරන්නයි ඇස් වලින් කීවෙමි.
“පුළුවන්”
කන් වලට රිදුමක් වී තිබි නිහඬ බව කුඩු පට්ටම් කරමින් විහාර ඒ තනි වචනය උගුරෙන් පිට කර ගත්තේ ය.
“ඒත් පුතේ…එතකොට ඔයාගෙ ස්කූල් එකෙන් අයින් වෙලා මෙහේ නතර වෙලා දිගටම මෙහෙ ස්කූල් එකකට යන්න වෙනව”
“මං ඇහුවෙ එහෙම තමයි. ඔයා කැමති නැද්ද එහෙම කරන්න…”
ඇය වැතිර උන් ඉරියව්වෙන් නැගිට යහනේ හිඳ විහාර ගෙන් කෙළින් ම ප්‍රශ්න කළා ය. මම ද යහනේ කෙළින් වීමි. විහාර නැගිට එහි හිඳ ගත්තේ ය.
“ඔයා එහෙම කරන්න කැමතිනං මං ඒකට කොච්චර කැමතිද වස්තුව…එතකොට වැකේශන් එකේදි විතරක් නෙවෙයි හැමදාම මට ඔයා එක්ක ඉන්න පුළුවන්නෙ. ඕන්නං අපිට මෙහෙ වැකේශන් අල්ලල එහෙ ගිහිං මමාව බලල එන්නත් පුළුවන්. ඒත් ඔයා කැමතිද මමා නැතුව තාත්ති එක්ක මෙහෙ ඉන්න…ටික දවසක් යනකොට ඔයා මමා ඕනෙ කිව්වොත්…අපිට එතකොට ආයෙත් ස්කූල් එක චේන්ජ් කරන්න බෑනෙ”
අසෙලියා සිය බෝල ඇස් කරකවා මදෙස බැලුවා ය. යළිත් විහාර දෙස බැලුවා ය. ඇය තමා සමග ම යම් කිසි දොඩමළුවක හිඳිනා බවක් පෙනෙන්නට තිබිණ. මා සිටියේ තදින් යටි තොල් පට සපා ගෙන ය. මේ වාගේ දරා ගත නො හැකි අසීරු නිමේශයන් ඇතැම් විට අපේ ජීවිත වලට සම්මුඛ වේ. මා සිටියේ එහෙව් දෙදරීමක් අස්සේ ය.
“නෑ මං එහෙම කියන්නෑ”
ස්වයං දොඩමළුවට පස්සේ ඇය තීන්දුව දුන්නා ය.
“පුතා හොඳට හිතලද ඔය කියන්නෙ…මමාගෙ අකමැත්තක් නෑ ඔයා මාත් එක්ක හිටියට. ඒත් මට බයයි එයා නැතුව ඉඳල ඔයා දුක් වෙයි කියල”
“තාත්ති මං ඔයා එක්ක නතර වෙන්නං…මං ආසයි ඕගොල්ලො එක්ක ඉන්න. මං කරදර කරන්නෑ මමා ළඟට යන්න ඕනෙ කියල”
විහාර දැරිය ව තුරුලු කොට ගත්තේ ය. ඇය ඔහු ගේ ගෙල වැළඳ ටික වෙලාවක් හිඳ අනතුරුව මගේ පැත්තට හැරුණා ය. මගෙන් යමක් විමසිය යුතු බව ඒ බැල්මේ පැහැදිලි ලෙස සටහන් ව තිබිණ.
“කියන්න පැටියො…ඔයාට මොනාද මගෙන් දැනගන්න ඕනෙ…මුලින්ම කියන්න ඕනෙ…ඔයා අපිත් එක්ක නතර වෙනව කිව්වහම මට මාර සතුටුයි පුතේ…දරා ගන්න බැරි තරං සතුටුයි…”
අසෙලියා මගේ උරහිස අල්ලා ගෙන දණ මඬලෙන් එසවී, පුංචි සුසිනිඳු අත්තල මගේ කොපුල් මත තබා බලාපොරොත්තුවේ හඬකින් මෙසේ විචාලා ය.
“මං ඔයාට අම්මි කියන්නද…”
මට දැනුණේ මගේ කන් අඩි පුපුරන්නට එනවා වාගේ ය. එය ඒ තරම් විදාරණයකි. ඇස් වලින් වක්කඩ කැඩු කලෙක සේ කඳුළු දහරා ගලා යන්නට ගති. ඇස් නිලංකාර වී සියල්ල බොඳ වී වාගේ පෙනෙන්නට විය. මුළුමනින් මා පාෂාණිභූත වී යයි සිතුණ තත්පර ගණනාවකට පස්සේ මම මගේ දෑතින් අසෙලියා ව මගේ ළමැදට තුරුලු කොට ගතිමි. අම්මා කෙනෙකු වන්නට දස මසක් කුස දරා හිඳ දරුවෙකු බිහි කළ යුතු ම නැත. ඇඟ ලේ කිරි කොට පොවා ඔහු පෝෂණය කළ යුතු ම නැත. මගේ සියොළඟ පුරා ඉතිර පැතිර යමින් තිබුණේ මව්වත් කමේ අප්‍රමාණ දයාර්ද්‍ර වූ හැඟීම ය. ඒ හැඟීමෙන් මගේ සියොළඟ උණුසුම් වී තිබිණ. මේ වන තුරුත් අසෙලියා මා හා දෙඩුවේ ආමන්ත්‍රණයක් ඇතිව නොවේ. නිකං ම ඇයට කියන්නට ඇති දෙයක් කීවා ය. අසන්නට ඇති යමක් ඇසුවා ය. මා ඇගේ කවුරුන් හෝ වී සිටියේ නැත. එහෙම වෙලාවක හදිසියේ ම ඇය මට ‘අම්මා’ කියන්න ද අසයි. අම්මා! දශක තුනකට ආසන්න කාලයක් මා වැඩිපුර ම කියා ඇති වචනය ඒ ය. නමුත් අම්මා කියන්නේ මේ තරම් ලොකු හැඟීමකට ය කියා මේ වන තුරුත් මා දැන සිටියේ නැත.
“අනේ හා මගෙ මැණික”
මා එසේ කියා ගත්තේ බිඳුණු හඬකිනි. සැබවින් මට ඊට වඩා යමක් කතා කර ගත හැකි වූයේ නැත. කතා කරන්නට ඕන වුණේ ද නැත. විහාර ගේ අතක් මා වටා වෙළෙනු දැනිණ. ඔහු අනිත් අතින් අසෙලියා අල්වා ගත්තේ ය. ඒ අතරේ ඕ සිය සියුමැලි දෑතින් මගේ කඳුළු වැල් පිස දැමීමේ උත්සාහයක නිරත වූවා ය.
“ඩෝන්ට් ක්‍රයි ෆො ලයිස්..මං ඔයාට බ්ලේම් කළේ නෑනෙ”
කඳුළු අතරේ ම මගේ සිනහා ද දැවටී තිබිණ.
“පුතේ…”
විහාර මුදු ලෙස අපේ දූ ඇමතුවේ ය.
“ඒත් දූගෙ මමා…”
“හරි තාත්ති ඉතිං..එහෙ ඉන්නෙ මමානෙ. ඒත් මට අම්මි කෙනෙක් නෑනෙ. මට ඕනෙ අම්මි කෙනෙක්. බේබි සියපත් ට වගේ. ආදරේ කරන්න…උම්ම දෙන්න…මෙහෙම මැද්දට වෙලා දොයියන්න…මට හිතුනාම ඔක්කෙ දාල දොයි කරන්න…හබුං කවන්න…කුක්කු පොවන්න…මටත් අම්මි කෙනෙක් ඕනෙ. ඉතිං මෙයා මට ඒව කරනවනෙ…අම්මි කිව්වට කමක් නෑනෙ…”
“හරි පුතේ හරි. අපි එහෙනං මමාට කතා කරල…ඔයාව මෙහෙ ඉන්ටර්නැශනල් ස්කූල් එකකට දාන්නං. ම්…”
“හ්ම්…”
අසෙලියා මගේ කකුල් දෙක මත කොට්ටයක් දමා ඒ මතට පැන වැතිර ගත්තා ය. තවමත් මගේ නෙතින් නො නැවතී කඳුළු ගලයි. මම විහාර ගේ උර මඬලට වාරු වීමි.
“තෑන්ක් යූ ශිකී…මට පවුලක් දුන්නට…ආයෙම මට මගෙ දුව ගෙනත් දුන්නට…”
ඔහු හැඬුම් බර ව සිටියේ ය. මම විහාර ගේ අතක් තද කොට අල්වා ගතිමි.