“මේ වැඩේ තව කෙනෙකුට කරන්න හොඳ වැඩක් නෙවෙයි. ඒත් මට නොකර බැරි වුණා.”
පටිගත කළ හඬපටය වාදනය වෙන්නට ඉඩ හැරීමෙන් පසු විකුම් පැවසුවේ පසුතැවීමක ස්වරයකිනි. රදීෂ් හුන්නේ ගල් ගැසී ය. ඔහු වේදනාවෙන් සිටින ඕනෑම මොහොතක ඔහු අසල රැඳෙන්නට කැමති අහස්‍යා රදීෂ්ගේ හිස පිරිමදිමින් සිටියා ය.
“බබා, ඔන්න ඕකයි මං ඔයාට ඔය ගැන හොයන්න එපා කිව්වේ බබා. ඔය වගේ දේවල් හොයන්න ගියාම නවතින්නේ මේ වගේ වගේ ශොක් එකකින් වෙන්න පුළුවන්.”
හිස අතගාන අතරම අහස්‍යා කියන්නේ සිතිවිල්ලේ ය. නිලුපුලී සහ තමන් ඥාති සහෝදරයන් වන්නට ඇති බව රදීෂ් අනුමාන කළේ ය. ඔහු ඒ ගැන සොයන්නට පටන් ගත්තේ ය. විකුම් ඒ කතාවේ උපාය දූතයෙකු වූයේ ද එහෙම ය. නමුත් මේ පුදුමය ඕනෑවට වඩා වැඩි ය.
“මිනිස්සුන්ගෙ සම්බන්ධතා කියන දේවල් අපට කවදාවත් තේරුම් ගන්න අමාරුයි. ඔය කතාවෙදි වැරදි කවුද හරි කවුද කියලා දැන් අපි හිතන්නවත් ඕන නෑ. මොකද ඔයාගේ අම්මට පණ එන්නේ නෑනෙ. “
අහස්‍යා කියන්නේ රදීෂ් සන්සුන් කරන්නට ය. පුංචි අම්මා ජීවතුන් අතර ය.ඇගේ දියණිය ඔවුන්ගේ සේවිකාවකි. ඇයට සපයමින් තිබෙන සියලුම දේ නවතා දමා නිලුපුලීව ලිලී ෂේඩ් වලින් පිටමං කරන්නට රදීෂ් ක්‍රියාකරන්නට ඉඩ තිබේ. අහස්‍යා එයට අකමැති ය. නිලුපුලී කියන්නේ හිත හොඳ කෙල්ලකි. ඇගේ උපත සහ ඇගේ අම්මා රදීෂ් මව අහිමි දරුවෙකු බවට පත් කළද මෙතැන වැඩි අසාධාරණයක් වී ඇත්තේ නිලුපුලීට බව අහස්‍යාට සිතේ.
“මේ ගැන නිලුපුලීට දැන ගන්න තියන්න එපා. එයාට ඕනෑ මේක රහසක් කරගන්නනම් අපි ජීවිතේ තියනකම් එහෙම රඟපාමු.”
අහස්‍යා පැවසුවේ හදිසි සිතුවිල්ලකින් පසුව ය. රදීෂ් හිස වැනී ය.
“ඔයයි ඔයාගේ පවුලේ අයයි ඇරෙන්න මට කිසිම නෑදෑයෙක් නෑ. දේවල් උපයා ගත්තා ට මගේ ජීවිතේ මගේ කියන අය නැතුව මට මහ තනිකමක් දැනුණු තැන් කොච්චරක්ද මැණික. මට එහෙම හිටියා ඇති කියලා හිතෙනවා. මේ කතාවේ වැරදි පාලිත ලියනාරච්චි කියන මනුස්සයා මිසක වෙන කවුරුත් නෙවෙයි. “
රදීෂ්ට ඕනෑ ඔහුගේ නැගණියත් පුංචි අම්මාත් පිළි ගන්නටනම් මේ නිවසේ ඔවුන්ට ඉඩ දෙන්නට පවා අහස්‍යා කැමති ය. ඇගේ හදවත එතරමට විසල් ය.ඒ හන්දා ඇයට නිලුපුලී නැගණියක කර ගැනීම ඉතාම ස්වල්ප කටයුත්තකි.
“නිලුපුලී ගැන උඹේ හිතේ තියෙන්නෙ මොන වගේ අයිඩියා එකක්ද?”
රදීෂ් ඇසුවේ සෘජුව ය. විකුම් ඔබමොබ බැලී ය. ඔහු ඇයට ආදරය කරමින් සිටියි. ඇයට නොකියා සිටියාට ඔහු මේ මොහොතේ ද ඈට ආදරය කරයි.
“මං එයාට කැමතියි”
විකුම් පැවසුවේ පාසල් යන කොලුවෙකුගේ කෝල බවකිනි. රදීෂ්ට සිනා පහළ විය.
“නිලුපුලී මේ ගැන දන්නවද?”
නැත! ඇය ඒ කිසිවක්ම දන්නේ නැත.නමුත් කියන්නට ඕනෑ වග ඔහුට සිතේ.
“උඹ නිලුපුලීට ළං වෙයං. ඒ මගේ නංගි. උඹට කසාද බඳින්න සිද්ධ වෙන්නේ මේ ගෙදර ජීවත් වෙන අහස්‍යා බලා ගන්න මගේ නංගියෙක් මිසක්කා වේල්ල වත්තේ ජීවත් වෙන ළමයෙක් නෙවෙයි. නිමේෂා වගේ ඒ කෙල්ල උඹව කඩලා බිඳලා දාන්නේ නෑ. හැබැයි උඹත් ඒ දරුවට වචනෙකින්වත් වැරැද්දක් කරන්න බෑ.”
විකුම් කිසිවක්ම පැවසුවේ නැත. ඒ වෙනුවට ඔහු කළේ ඉතා තදින් මස්සිනාව වැලඳ ගැනීම ය.අහස්‍යා ඇයට පුරුදු මන්දහාසයෙන්ම බලා හුන්නා ය.
“වාහනේකින් මහත්තයෙන් ඇවිල්ලා උඹව හොයනවා.”
ඉරිදාවේ නිලුපුලී හුන්නේ නිස්කාංසුවේ ය. රුකීගේ කුඩා පුතු මතු වූයේ එසේ කියමිනි. අම්මාගේ වයසේ උදවියට උඹ බං බොලං කීම සුදුසු නැති බව කොලුවාට කොපමණ කියා දුන්නත් පලක් නොවේ. ඔහු කතා කරන්නේම එහෙම ය.
“මොකක් හරි කේස් එකක් වගේ.”
කොලුවා වයසට නොතරම් කතන්දර ද පවසයි. මේ එන්නට ඇත්තේ රදීෂ් බව නිලුපුලීට සිතිණ.ඔහු පුංචි අම්මා සොයා එන්නට ඇත. නමුත් ඔහුට සඟවන්නට රහසක් ඇති බව ඇයට අමතක කරන්නට නොහැකි ය. ඇයත් ඔහුත් එකම තාත්තාගේ දරුවන් බව සදාකල් වසන් කළ යුතු වේ.
“ඔයා!”
විකුම් දෑසින් සිනා වෙමින් ඇය දෙස බලා සිටියා ය. නිලුපුලී ඔහුව සිප ගත්තේ දෑසිනි. වත්තේ පාරවල් හොයාගෙන ඔහු පැමිණ තිබේ. ඒ ගමන සංසාරික එකක්දැයි ඇය කල්පනා කළා ය.
“අපි එළියට ගිහින් කතා කරමු.”
ඇය එහෙම කියද්දී විකුම් කළේ සිනා වීම ය.
“මේ ලංකාවේ එක තැනක්.ලස්සන තැන් කැත තැන් කියලා දෙයක් නෑ. ජීවිතේ අපිට පහසුම මනුස්සය ළඟ ඉන්නකොට ඕනෙම තැනක් ලස්සන තැනක්. මට මෙතන හොඳයි.”
විකුම් එහෙම කියමින් එළිපත්තේ බංකුවෙන් අසුන් ගත්තේ ය. චාරුලතාගේ පරිච්ඡේදය අලුතෙන් ලියවෙන බව කියමින් ගැහැනුන් ඇහැ ලන බව නිලුපුලීට පෙනෙයි. ඔහු පැවසුවේ ඇය ඔහුට පහසුම පුද්ගලයා වගකි. රතු රෝස මල් පොකුරක් පොළොවේ ගසා වියරුවෙන් හැසිරුණු තරුණයෙකු ඇයට සිහියට ආයේ ය. ඔහු දැන් ඕනෑවටත් වඩා නිවී තිබේ.
“සින්ඩරෙල්ලා හොයාගෙන රාජ කුමාරයත් ගෙදරට ආවා.”
එහෙම කියන්නට හිතුණේ ඇයි දැයි නිලුපුලී දන්නේ නැත. නමුත් ඇයට මහත් ලැජ්ජාවක් උපන්නේ ය. විකුම් උස් හඬින් හිනැහිණ.
“අපරාදේ මටත් සපත්තු දෙකක් ගේන්න තිබ්බේ.”
ඔහු පැමිණ ඇත්තේ ඇයව කැන්දාගෙන යන්නට ද? ආදරේ වග කියන්නටත් ප්‍රථම ඔහු සැරසෙන්නේ කැන්දාගෙන යන්නටදැයි ඇයට සිතිණ.
“ඔයා සින්ඩරෙල්ලා කෙනෙක් නෙවෙයි.මං රජ කුමාරයෙකුත් නෙවෙයි. හැබැයි ඔයාට මේ වත්තෙ කොල්ලෙක් හිටියත් දැන් කරන්න දෙයක් නෑ. මං ඔයාගේ අයියගෙන් ඔයාව ඉල්ලා ගත්තා.”
ඔහු ආදරේ බව පැවසුවේ එහෙම ය. අමුතුම ආකාරයකට ය. නිලුපුලීගේ දෑසට කඳුළක් ඉපදිණ.ඔහු එක් පොරොන්දුවක් කඩා පොරොන්දුවක් දෙන්නට පැමිණ තිබේ. ඇයට වත්තෙන් යන්නට දවස පැමිණ ඇති කියන්නට ඕනෑ නැති බව විකුම් සිතී ය. ඒවා අයියලා නංගිලාගේ කතන්දර ය. ඒවා බේරා ගැනීම ඔවුන්ට බාර ය.
“මං ඔයාට ආදරේ ඔයා රදීෂ්ගේ නංගි හන්දා නෙවෙයි.”
විකුම් එසේ කියන්නේ නිලුපුලීගේ නිලුපුල් දෑසින් නෙත් ඉවතට නොගෙන ය. නිලුපුලී කිසිවක්ම නොකියා බලා හුන්නා ය.
“ලිලී ෂේඩ් වල තිබ්බ එක එක ජාතියේ මල් අතරේ ඔයා වෙනම විදියේ මලක්. ඒ මල මට අයිති කරගන්නේ නැතුව ඉන්න බැරි වුණා”
නිලුපුලීට ඇත්තටම ඕනෑ ඔහුව වැළඳ ගන්නට ය.නමුත් මේ වත්තේ ඒවා කිරීම පහසු නොවේ.
“අම්මා කෝ?”
අම්මා ශාන්ති නැන්දාගේ ගෙදර ය. එක ඇමතුමකින් ඇය ගෙන්වා ගන්නට හැකියාව තිබේ.
“අම්මට එන්න කියන්න නිලුපුලී. අම්මගේ නිල් මානෙල් මල වත්තට අයිති නෑ කියලා මට අම්මාට කියන්න ඕනෑ.”
තවත් ඉවසන්නට නොහැකි ය. නිලුපුලී විකුම්ව තරයේ වැළඳ ගත්තා ය. මේ සින්ඩරෙල්ලා කතාවක් නොවන බව කියන්නටත් අසීරු ය. ඔහු ඇය සොයා පැමිණ තිබේ. ලොකු අම්මාට මෙන් අනාගතයක් හිමි කර නොගැනීම තමන්ගේ වගකීම වග ඇය සිතුවා ය. ප්‍රේමය සදාකල් දැයි කියන්නට අසීරු ය. නමුත් ළඟ රැඳෙන තුරු ප්‍රේමය රැක ගන්නට ඇය සිතා ගත්තා ය.
ඇය ඔහු කියන අන්දමට වෙනම මලකි. නිලුපුලකට ප්‍රේමණීයම දෑතක රැඳෙන්නට ලැබීම මොනතරම් මිහිරක් දැයි සිතමින් ඇය විකුම්ගේ දෑතට මැදිව හුන්නා ය. කම්මුලක සීතලට දැනෙන්නට ඇත්තේ ප්‍රේමය ය.
නිලුපුලක නිල තැවරුණේ විකුම්ගේ දෙතොලෙහි ය.
සමාප්තයි!
“පිනි සේල” අමෝද සහ පිනිදිගෙන් ඇරඹී නවකතා බොහොමයකින් ඔබ හා බැඳෙන්නට ලැබුණේ SmartLady.lk.හන්දා ය. මේ වෙද්දී ඔබ නවකතා බොහෝ ප්‍රමාණයක් කියවමින් ඒවාට ආදරය කිරීම මට ඇති ලොකුම සතුට ය. පෞද්ගලික කාරණා කිහිපයක් නිසා ලිවීමට තිතක් නොව කොමාවක් තබන්නට සිදු වී තිබේ. තවත් මාස කිහිපයකින් හමු වෙන තුරු ඔබට මා අමතක නොවන බව විශ්වාස කරමි. අපි ඉක්මනින් ආදරයෙන් හමු වෙමු.