නිම් නැති නිම්නය 14

සඳයුරු නින්දට වැටිණ. ඔහු ව සුව පහසු ලෙස යහනේ සතපවා, සුදු මුදු පුළුන් කොට්ට වලින් වට කොට, ආරාධනා ඒ මොළකැටි මුහුණට එබී ගෙන සිටියා ය. බිළිඳෙකු කියන්නේ සිහින පොදියකි. ඔහු රත් දෙතොල් පොපියමින් සිනහවකට අරඇන්දේ ය. සුරංගනාවක ඔහු ට ආදරේ ගැන කතාවක් කියන්නට ඇත. මේ ළපටි මුහුණු දෙක දෙස ඕනෑ තරම් වෙලාවක් බලා ඉන්නට ආරාධනා ට පුළුවන. ආදරය කියන්නේ ඔවුන්ට ය.

කාශ්‍යප කිසි දා ක ඇයට පෙම් නො කරන්නට ඇති වග ආරාධනා ට හදිසියේ ම සිහි විය. ඇය දැන සිටි කාලයේ ඔහු ට පෙම්වතියක සිටියා ය. අයියලා දෙදෙනෙකු ම සිටිනා කාවින්දි ට ඉස්සර බාලිකාවේ කෙල්ලන්ගෙන් සේ ම විශ්ව විද්‍යාලයේ සිසුවියන් ගෙන් ද තිබුණේ කරදරයකි. අයියලා දෙන්නා ඉල්ලා සිටිමින් ඔවුන් නො දුන් වදයක් නැත. ඒ කාලයේත් කඩවසම් ලොකු අයියා පෙම්වතෙකු වූයේ ය. පොඩි අයියා ගැන බාලිකාවන් අතරේ තිබුණේ ඒ තරම් හොඳ කට කතා නොවේ. ඔහු බොහෝ යුවතියන් ඇසුරු කළේ ය. ලොකු අයියා වැදගත් පෙනුමැති කඩවසමෙකු වූ අතර යුවතියන් ඔහු හැඳින්වූයේ මිස්ටර් හැන්ඩ්සම් නමිනි. කවීශ්වර ඔහු ට වඩා හැඩකාර වී ද දඟකාර සේ ම සෙල්ලක්කාර ද වූයේ ය. ලස්සන බොහෝ යුවතියන් ටික කලකට හෝ ඔහු ගේ පෙම්වතියක වී ඇතැයි රාවයක් ද ගෑනු ළමයින් අතරේ විය. 

කාවින්දි ගේ මිතුරියන් වන අනිත් ගෑනු ළමයින් ට නො ලැබුණු වරයක් ආරාධනා ට වූයේ ය. ඒ ඇගේ හොඳ ම මිතුරිය වශයෙන් පෙර පාසලේ සිට ම කාවින්දි ළඟින් ඇසුරු කිරීමේ හා, වැඩි විය එළඹෙත්දී ඇගේ ගෙදරට පවා යාම ඊම් කිරීමේ අවස්ථාවයි. දෙපස දෙමාපියන් ද මේ මිතුරුකම දැන හැඳින සිටි නිසාවෙන් දෙදෙනාට උනුන් ගේ නිවෙස් ආගන්තුක වූයේ නැත. 

“අනිත් කෙල්ලො එක්ක ඕන මගුලක් නටා ගන්නව. හැබැයි ආරාධනා දිහා එහෙම බැලුවොත් මං තමුසෙගෙ ඇස් දෙක උගුල්ලනව”

ඒ කාලේ කාවින්දි කිහිප වතාවක් ම කවීශ්වර ට කියා තිබේ. එතකොට ඔහු සිය සෙල්ලක්කාර සිනහව පාන්නේ ය. කාවින්දි පොඩි අයියාට රවයි. විහිළුවට ගෙන එහෙම සිනහා වූවාට කවීශ්වර ද කිසි දා නරක ඇසකින් ආරාධනා දෙස බැලුවේ නැත. අඩු තරමින් කොණ්ඩයෙන් අදිනා තරම් විහිළුවක් කළේ නැත. ඇඟිලි තුඩක ස්පර්ශ වන තරම් නොහොබිනා කමක් කළේ නැත. සිය නැගණියට වාගේ ම ඇයට ද ගරු කළේ ය. ආරාධනා කොහොමටත් හැසිරුණේ එවන් ගෞරවයක් නිරායාසයෙන් ඇය වෙත ආකර්ෂණය වෙන පරිද්දෙනි. 

ආරාධනා ට සැනසුම් පායේ කොල්ලන් දෙදෙනා ම වැදගත් වූයේ නැත. 

“ඕනවට වැඩිය කෙල්ලන්ගෙ ඉල්ලුම තියන කොල්ලො මටනං ඕනම නෑ”

ඇය යෙහෙළියන් අතරේ දී කීවා ය. බිග් මැච් කාලේ දී පිස්සු නටා මුළු කොළඹ ම පාසල් වල නරක මතක ඉතිරි කළ කවීශ්වර නම් ඒ කාලේ ආරාධනා ට පේන්නට බැරි ය. කාශ්‍යප ගැන එහෙම නො පහන් හැඟීමක් නොවී ද ඔහු ඒ වෙත්දීත් පෙම්වතෙකු වීම නිසා ඔහු විශේෂ කොට සිතන්නට හේතුවක් ඇයට වූයේ නැත. විශ්ව විද්‍යාලයේ දී ආරාධනා තරුණයෙකු ට හිතෙන් පෙම් කළා ය. කාවින්දි ඒ බව හොඳින් දැන සිටියා ය. නමුත් එම තරුණයා වෙනත් තරුණියක සිය පෙම්වතිය ලෙස තෝරා ගත්තේ ය. එම සිදුවීම මත ආරාධනා සිටියේ දරුණු ප්‍රහාරයකට ලක්ව ය. ඒක පාර්ශ්වික ප්‍රේමයකින් ප්‍රතික්ෂේප වීම වුව කුළුඳුල් පෙම්වතියක ගේ හෘත් පේශි වලට තදින් දැනෙන්නේ ය. විශ්ව විද්‍යාලයේ අවසන් වසරේදිත් ඇය සිටියේ එකී ප්‍රථම ප්‍රේමයේ සුන් බුන් අතරේ හිර වී ගෙන, හුදෙකලා වේදනා කලාපයක ය. ඉස්කෝලේ යන කාලේදී වාගේවත් කාවින්දි ගේ දෙසොහොයුරන් ඇයට වැදගත් වූයේ නැති තරමි.  කාවින්දි සිය ලොකු අයියා ගැන ප්‍රේමාරාධනයක් ගෙන ආවේ එවන් සමයක ය. ආරාධනා තිගැස්සී ගියා ය.

“එයාට ගර්ල් කෙනෙක් ඉන්නව නේද…”

“ඒක දැන් නෑ රාධා. ඒ අෆෙයා එක නැති වෙලා…මං හිතන්නෙ ලොකයිය ලොකු ශොක් එකක හිටියෙ ටික කාලයක්. එයාමයි මට කිව්වෙ…ආරාධනා ට බෝයි කෙනෙක් නැත්තං…ඔයා කැමතිනං…එයා ඔයාව මැරි කරන්න කැමතියි කියල”

එය කොහෙත් ම ප්‍රේමාරාධනයක් නොවන වග ආරාධනා ට තේරෙන්නේ මේ දැන් ය. මුල් වතාවට මේ දැන් ය. එය වූ කලී හුදෙක් විවාහ යෝජනාවක් පමණකි. ප්‍රේමය බිඳ වැටුණාට පස්සේ ඔහු විවාහ වීම සඳහා ඇයට යෝජනාවක් ඉදිරිපත් කළේ ය. එපමණකි.

මුල සිට ම කවීශ්වර ට වඩා ආරාධනා ගේ හිතේ පැහැදීමක් අඳින්නට කාශ්‍යප සමත් ව සිටියේ ය. සැනසුම් පායේදී කවීශ්වර ආරාධනා ව මගහැරියේ ය. ඔහු ව දුටුවොත් ඇය ද වගකට ගත්තේ නැත. නමුත් කාශ්‍යප සම්බන්ධයෙන් එහෙම නොවේ. ඇය ඔහු ට ගෞරව සම්ප්‍රයුක්ත සිනහවක් දුන්නා ය. ඔහු ඇගේ හිත මත ගල්වා තිබූ වර්ණය පැහැදුල් වූයේ ය. එනිසාවෙන්, ඒක පාර්ශ්වික ප්‍රේමයක තුවාල කැළැල් අතරේ අවතැන් ව සිටි ආරාධනා ඒ විවාහ යෝජනාවට එකඟ වූවා ය. 

ඒ සබඳතාවය තුළ ප්‍රේමයක් තිබී දැයි ආරාධනා කිසි දාක සිතන්නට පෙළඹී නැත. ඇය සිය විවාහ දිවිය තුළ දී බිරිඳක වශයෙන් සිය යුතුකම් ඉටු කළා ය. කාශ්‍යප වෙනුවෙන් පමණකුදු නොව සැනසුම් පායේ වැලි කැටයක් ගානේ ම ඇගෙන් විය යුත්ත දැන එය ඉටු කළා ය. විවාහය හා ප්‍රේමය යනු එකක් නොව දෙකක් බව ඇය දැන සිටියා ය. වෛවාහක ප්‍රේමය හෝ විවාහය ඇතුළේ තබා ගන්නට ඇය හැම විට උත්සුක වූවා ය. නමුත් කොතැනක හෝ වැරදී තිබේ!

සුසුමක් හෙළමින් යහනෙන් නැගිට ගත් ආරාධනා දුරකතනය ගෙන මාර්ගගත ක්‍රමයට සිය බැංකු ගිනුමෙන් බිඟුනි ගේ පාසල් ගාස්තු ගෙව්වා ය. ඇගේ වැටුප පසු ගිය කාලය පුරා මුළුමනින් වැය වූවා නොවේ. මූලික වශයෙන් ඇයට මුදලක් වියදම් වූයේ ඇගේ පුද්ගලික දේ වලට ය. පාසලට අඳින්නට සාරියක්, ශැම්පූ එකක්, ක්‍රීම් එකක්, සෙරෙප්පු දෙකක් මතු නොව සනීපාරක්ෂක තුවායට පවා සැමියා ගෙන් මුදල් ඉල්ලන්නට බලා නො සිට දේ දේවල් කර ගන්නට හැම බිරිඳකට ම තමන් ගේ ම වූ ආදායමක් තිබෙනා එක හොඳ ය. ගෙදර වියදම් දැරුවේ මූලික වශයෙන් කාශ්‍යප ය. ගණකාධිකාරීවරයෙකු ලෙස ඔහු ඉහළ තලයේ වැටුප් ලබන්නෙකු වූයේ ය. ගෙදරට අවශ්‍ය කලමණා ගෙන ආවේත් මාසික බිල් පත් ගෙවා දැමුවේත් රාජිකා මැණිකේ ය. ඉඳහිට තමන් වෙනුවෙන් යමක් මිල දී ගත්දී ආරාධනා බිඟුනිට ද සෙල්ලම් බඩුවක් හෝ ඇඳුමක් ගත්තා ය. ඇතැම් විටෙක විශේෂ හේතුවක් නොමැතිව වුව කාශ්‍යප වෙනුවෙන් කමිසයක් මිල දී ගත්තා ය. ඔහු උදේට එය හැඳ යත්දී ඇයට දැනුණේ ආඩම්බරයකි. ඇතැම් දිනෙක ආරාධනා ගෙදර අය වෙනුවෙන් අයිස්ක්‍රීම් එකක්, පළතුරු ටිකක් හෝ වෙනත් අතුරුපසක් ගෙනාවා ය.

“ඔයාගෙ සල්ලි ඕවට වියදං කරන්න ඕන නෑ දුව. ලොකු පුතා වියදං බලනවනෙ. තාත්තගෙ පැන්ශන් එකෙනුත් බිල් ගෙවන්නයි කියල මට සල්ලි දෙන්නෙ. දැන් කවීශ්වරත් කීයක් හරි මගෙ අතට දෙනව”

එවන් විටෙක රාජිකා මැණිකේ කීවා ය. ඒ විදිහට හෝ ඉතිරි වූ මුදලක් බැංකු ගිනුමෙහි තිබීම මේ වෙලාවේ ආරාධනා ගේ හිතේ ඇති කළේ ආත්ම විශ්වාසයකි. පාසල් ගාස්තූ ගෙවීමෙන් පසු සිය ගිනුම වෙත ගොස් එහි ඉතිරිය පරීක්ෂා කරන්නට හිතුණේ නිකමට ය. අනාගතය ගැන සිතත්දී බැංකු ගිණුමෙහි ශේෂය ට විශේෂ වැදගත් කමක් හිමි වේ. ඇය තිගැස්සී ගියේ ඊට මොහොතකට පෙර කාශ්‍යප ගේ ගිනුමෙන් ඇගේ ගිනුමට මාරු වී ඇති මුදල දුටු විට ය. බිඟුනි ගේ පාසල් ගාස්තු ගෙවීමට අමතර ව තවත් වැඩිපුර මුදලක් ද ඔහු ගිනුමට මාරු කොට තිබිණ.

“අම්මේ…”

කියා ගෙන ආරාධනා කාමරයෙන් නික්මුණේ දුරකතනය ද අතින් ගෙන ය. රාජිකා මැණිකේ බරාඳයේ පුටුවක හිඳ එක අතකින් හිස කේ පීරමින් සිටියා ය.

“අනේ ඇයි මේ තනියම පීර ගන්නෙ…මට කතා කරන්න තිබුණනෙ”

ආරාධනා දුරකතනය පුටුවක් මතින් තබා අම්මා අතින් පනාව ගත්තා ය.

“මං හිතුව දරුව නිදි කරන ගමන් දුවට නින්ද ගිහින් කියල. ඇයි ඉතින් දවසෙම නැහිල නැහිල මහන්සිනෙ”

“මං බිඟුගෙ ස්කූල් ෆීස් දාල නිකමට අකවුන්ට් එක චෙක් කළා. මේ දැන් කාශ්‍යප සල්ලි දාල අම්මෙ”

“ඇති යන්තං ඒ යුතුකංවත් මතක් වුණා”

“මං ආයෙ එයාගෙ අකවුන්ට් එකට සල්ලි ට්‍රාන්සර් කරනව අම්මෙ”

“ඒ මොන එකටද….”

තරමක් තදින් එසේ කියමින් රාජිකා මැණිකේ ආරාධනා දෙස හිස හරවා බැලුවා ය. නැන්දම්මා ගේ කෙහෙ රොද එක මිටකට අල්වා ගත් ආරාධනා එය තනි කරලක් වන සේ ගොතන්නට වූවා ය.

“සල්ලි එපා කියන්න ඕන නෑ. එයා දෙන්න ඕන දරුවන්ගෙ වියදං. දරුවන්ගෙ විතරක් නෙවෙයි දුවගෙ ජීවිතේට කරපු අපරාදෙටත් වන්දි ගෙවන්න ඕනෙ. දික්කසාද නඩුවෙන් වුණත් ඒ ලැබෙන්න ඕන දේවල් ඉල්ලන්න ඕනෙ. ඇයි එයා එහෙම නිදහස් වෙන්නෙ…මේ ළමයි එනකොට ඔයා ගෙදරින් ගෙනාව නෙවෙයිනෙ. එයත් එක්ක එකතු වෙලානෙ හැදුවෙ. එයාට එහෙම හිතු හිතු විදිහට අත්ඇරල දාල යන්න බෑ”

කාශ්‍යප දරුවන් වෙනුවෙන් පාසල් ගාස්තු වේවා වෙනත් වියදමක් වේවා ස්ව කැමැත්තෙන් දෙනවා නම් ගන්නවා මිස ආයේ කිසි දාක ඔහු ට ඒ යුතුකම් ගැන මතක් කරන්නට හෝ මුදල් ඉල්ලන්නට යන්නේ නැතැයි ආරාධනා සිතා ගත්තා ය.

මුදල් ගිනුමට මාරු කිරීමෙන් අනතුරුව කාශ්‍යප දුරකතනය දෙස බලා ගෙන කල්පනා කළේ ය. ආරාධනා ට කතා කොට මුදල් දැමූ බව කියන්නට ඔහු ට ඕනා විය. මේ ඇය වෙනදාටත් පාසල් ගාස්තු ගෙවා දමනා දින ය. වෙනදා ට ඇය ඒ ගෙවීම් කරන්නේ ඔහු ගේ ගිනුමේ කාඩ්පත් අංකය භාවිතා කොට ය. කාශ්‍යප තුළ තද වේදනාවක් ඇති විය. ඒ ජීවිතය ඔහු විසින් සදහට ම අහිමි කර ගත්තේ ය යන රිදුම කවර හෝ වේශයකින් හිතේ වදින්නට පටන් ගත්තේ ය. ඇමතුමක් ගත්තාට ආරාධනා පිළිතුරු නොදෙනු ඇතැයි ඔහු අනුමාන කළේ ය. අනිත් අතට ඇයට කතා කරන්නට බැරි ආත්මීය ලැජ්ජාවක් ඉදිරියට පැන තිබේ.

“සල්ලි දැම්ම. ස්කූල් ෆීස් දාන්න”

යනුවෙන් ඔහු වට්සැප් පණිවිඩයක් තැබුවේ ය. ගෙදරින් දොට්ට බසිත්දී, ආරාධනා අතැර එත්දී, එය මෙහෙම වේදනාවක් ව ඔහු දවාවියි කාශ්‍යප සිතා තිබුණේ නැත!

ආරාධනා රාජිකා මැණිකේ ගේ හිස කේ පීරා ගොතා නිම වන විට කළු පැහැති මෝටර් රථයක් විත්  පෝටිකෝව යට නැවතිණ. බවලතුන් දෙදෙනා ගේ ම ඇස් ඒ වෙත යොමු වූයේ තරමක මවිතයකිනි. ඒ පෝටිකෝව වනාහි මීට පෙර මෝටර් රථ නො නැවතුනක් නොවේ. ඉස්සර ගජධීර ගේ පැරණි මොරිස් මයිනර් රිය ද පසුව කාශ්‍යප විසින් කාලයේ තාලයට මාරු කරනා ලද නූතන මෝටර් රථ කිහිපයක් ද එහි නවාතැන් ගෙන තිබේ. නමුත් කාශ්‍යප ගේ අභිනිෂ්ක්‍රමණයත් සමග සැනසුම් පාය ට මෝටර් රථයකින් පැමිණියේ සේනාසිංහ ලා පමණකි. මේ සේනාසිංහ ලා ට අයිති වාහනයක් නොවේ.

රිය දොර හැර ගෙන ඉන් බැස ගත්තේ කවීශ්වර ගජධීර ය. රාජිකා මැණිකේ මුලින් දෙතොල් තද කර ගෙන ඉවත බැලුවා ය. ඊළඟට යළිත් පුත්‍රයා දෙස බැලුවා ය. කවීශ්වර සිනහ වෙමින් බවලතුන් වෙතට එමින් සිටියේ ය. 

“කාගෙ වාහනයක්ද අරං ආවෙ…”

කවීශ්වර ගේ සිනහව පුළුල් විය. ගෙතුළ සිට බිඟුනි දිව ආවේ එතකොට ම ය. දැරිය බාප්පා ගේ කකුල් දෙක බදා ගත්තා ය.

“ඔයා එනකොට මට බඩ්ඩක් ගේනව කියලනෙ ගියේ. කෝ…ගෙනාවද…”

“ගෙනාව”

“කෝ…”

“අර…”

කවීශ්වර බිඟුනි ට පෙන්වූයේ ඒ කාළ වර්ණ මෝටර් රථය ය.

“කා එකක්නෙ”

“ඔව්. ඔයාට ඉස්කෝලෙ යන්න”

“ඔයා ගත්තද…”

“හ්ම්”

“ඇත්තටමද…”

“ඇත්තටම තමයි”

කවීශ්වර බිඟුනි ඔසවා ඇගේ හිස සිප බිමින් තැබුවේ ය. දැරිය මෝටර් රථය වෙත දිව ගියා ය.

“ටික දවසක ඉඳං කා එකක් බල බල හිටියෙ. සෙට් වෙන එකක් හම්බුන්නෑ. දවස් කීපෙකට කලින් මේක හම්බුණෙ. ෆිනෑන්ස් එකකුත් දාල අද ගත්ත”

එවර කවීශ්වර ඒ විස්තරය කළේ අම්මා ට හා ආරාධනා ට ය. රාජිකා මැණිකේ මතක ඇති කාලයක පොඩි පුතා ගැන පහන් හැඟීමකින් කතා කළා ය.

“අනේ කොච්චර දෙයක්ද එහෙම එකක්වත් හිතුණ එක. කාශ්‍යප ගියත් හරි දැං ඉතිං දොස්තර කෙනෙක් ළඟට වුණත් කුළී වාහන අරං තමයි යන්න වෙන්නෙ කියලයි මං හිතං හිටියෙ”

“කෙල්ල බයික් එකේ ඉස්කෝලෙ යවන්න ආරාධනා බයයි කිව්වනෙ”

කවීශ්වර එසේ කීවේ ආරාධනා දෙස නො බලා මෝටර් රථය වෙත නෙතු රඳවමිනි. ආරාධනා මඳහසක් නගා ගත්තා ය.

“අනේ කවීශ්වර අපිනං ඉතිං තව වැඩි දවසක් මෙහෙ ඉන්න එකක් නෑනෙ. ඒත් ඔයා කා එකක් ගත්ත එකනං හොඳයි. මොකද මේ ගෙදරට වාහනයක් නැතුව බෑ”

හැන්දෑවේ කෙටි නින්දෙන් අවදි වී ගජධීර බරාඳයට ආවේ ඒ කතා බහ අසමින් හිඳ ය. ඔහු ගේ බොර පාට ඇස් වල ගැඹුරේ දීප්තියක සේයාවක් විය. මෝටර් රථය දෙසත් ගෙදර සාමාජිකයන් දෙසත් ඔහු මාරුවෙන් මාරුවට බැලුවේ ය. කාශ්‍යප නික්ම ගිය  නිසා සැනසුම් පායට දැනෙන්නට තිබූ අඩුපාඩු, බාල පුත්‍රයා විසින් කිසිවෙකුට නො දැනෙන සේ සපුරා ලමින් හිඳිනා බවට හැඟීමක් දැනුණේ ඔහු ට විතර ය. යමෙකු නිසා ඇති වූ අඩුවක් නො දැනී යත්දී, ඒ තැනැත්තා  මතක් වෙන එක අඩු වී යන එකත් වලකා ලිය නො හැකි ය. එතකොට ඔහු අත්‍යවශ්‍ය නොවන පුද්ගලයෙකු වී යන්නේ නිරායාසයෙනි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles