උදා අරුණැල්ල සයනය මතට වැටෙද්දීම මිහික අවදි වූයේ තවත් දවසකට මුහුණ දෙන්නටය.
චරිත්‍රා සමග කතාබහ කරායින් පසුව සිත නිවෙනු ඇතැයි සිතුවද හේතුවක් නොදන්නා, නමක් නොදන්නා කුමක්දෝ හේතුවක් සිත අස්සේ පෙරළිකරන බව මිහිකට තේරේ.
ඒ නොසන්සුන්තාවයට හේතුව කුමක්දැයි මිහික නොදන්නා නමුත් එය සිත වෙහෙසට පත් කරයි.
වෙනදාට ඇඳෙන් කඩිනමින් බිමට පණින තරුණයා ඉතාම උනන්දුවෙන් අලුත් දවසකට සූදානම් වන නමුත් කිසිම දිනක නොතිබූ අන්දමේ කම්මැලිකමක් අද සිත ගිලන් කර හිඳී.
චරිත්‍රා එවා තිබූ පණිවිඩයේ තිබූ වචන පෙම්වතෙකුගේ, සැමියෙකුගේ සිත කුල්මත් කරන අන්දමේ වදන් ය.
“මම වදන් ගැටගසමි
ප්‍රේමයෙන් ආතුරව
ඔබ නමින් හදවතේ
හැම තැනම ඔඩු දුවන”
චරිත්‍රා එදවස එවූ කවි පෙළක් මිහිකට අහම්බෙන් මෙන් මතක් වේ.
හදවත පුරා ඔඩු දුවමින් තිබූ ආදර ගංගාවට හදිසියේ එකතු වූ සැකය සහ නොසංසුන් කම දැන් පිළිලයක් වී හමාරය.
“ආදරේට සැකයේ හෙවණැල්ල වැටුණොත් ඒ සම්බන්ධයෙ තව දුරටත් ඉන්නවට වඩා හොඳයි එතනින් මිදෙන එක” ලෙස ලංකාවේ සේවය කළ කාළයේ කාර්යාලයේ සිටි මිතුරෙකු වන අසංක කිව් හැටි මිහිකට මතකය.
ඒ අසංකගේ මිතුරෙකු ප්‍රේම සබඳතාව බිඳ වැටීම නිසා සිය දිවි හානිකරගත් පුවත බෙදා හදා ගනිමිනි.
මිතුරා සිය දිවි හානි කරගෙන තිබෙන්නේ පෙම්වතිය ඔහුගේ තවත් මිතුරෙකු සමග ගෙස්ට් හවුසියකට යන බව ආරංචි වීම නිසා සිත බිඳ ගැනීමෙනි.
සෑම සාර්තක මිනිසෙකු පසුපසම බොහෝ කැපකිරීම කල ආදරණීය ගැහැණියක් හිඳින බව කියමින් මුහුණු පොතේ කෙතරම් නම් ලිපි හුවමාරු වන්නේද?
ඒ දිනවල ඉතාම සුන්දර වචන එකතු කල කවි එවමින් චරිත්‍රා මැවූ ආදරයේ ලෝකයට මිහික ඉත සිතින්ම ආදරය කලේය.
“මට හැමදාමත් උවමනා වුනේ අම්මා වගේ ආදරේ කරන කෙනෙක්?”
විවාහයෙන් අනතුරුව මධුසමයට කණ්ඩලම හෝටලයට ගොස් ඉඳිද්දී, හැන්දෑවේ නාන තටාකය අසල හිඳ බට ලී හඬ පතුරුවන වාදකයා දෙස බලමින් බියර් වීදුරුවක රස බැලූ මිහික චරිත්‍රාට පැවසුවේය.
“ඉතින් මම ඔයාට ආදරේ කරන්නේ අම්ම කෙනෙක් වගේද?”
නා ගැනීමෙන් අනතුරුව පිට මත විසුරුවා ගෙන හිඳි දිගු කෙහෙ රැල්ලක් පපුව ඉස්සරහට ගෙන ඇඟිල්ලෙන් කරකවමින් අඩ සිනහවක් මුව මත රඳවා ගෙන උන් චරිත්‍රා විමසුවේ බැදපු අල පෙත්තක් අනෙක් අතින් ගනිමිනි.
“ඔව් ඒකනේ මම ඔයාව බැන්දේ. ඔයාගේ ආදරේ අපෙ අම්මගේ ආදරේ වගේමයි”
“ඒ කියන්නෙ කවදහරි මම මගෙ හිතේ ඔයා ගැන තියෙන ආදරේ නතර කරොත් ඔයා ඔයාගේ අම්මටත් වෛර කරාවිද?”
“ඇයි ඔයා මට තියෙන ආදරේ නතර කරන්නේ?”
“මම කිව්වෙ හැමදේම වෙනස් වෙන්න පුලුවන් නිසා. ආදරයක් වුණත් වෙනස් වෙන්න පුලුවන්”
“ඔව් ඒත් ආදරයකට නතර වෙන්න බෑ. ආදරේ කියන්නෙ නැවතීමක් නැතුව ගලාගෙන යන දෙයක්”
“ගඟක් වුනත් නොගලන දවසක් එනවා. එදාට කවදාවත් මහ පොළොව අඬන්නෙ නෑනේ ගඟ ගලන එක නතර වුණා කියලා. එයා අනිත් ගංගාවලට වෛර කරන්නෙත් නෑ. ඒ නිසා කිසිම දවසක අම්මට වගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට හරි වයිෆ්ට හරි ආදරේ කරන්න එපා. මොකද කවදහරි එයාලා ඔයාව දාලා ගියොත් ඔයාට අම්මගෙ ආදරෙත් වදයක් වගේ දැනේවි. ඔයා අම්මගේ ආදරේටත් වෛර කරාවි”
“එහෙම කරන්න වෙන්නෙ නෑ”
“ඇයි?”
“එහෙම දවසක් එන්නෙ නැති නිසා”
“ඇයි එහෙම දවසක් එන්නෙ නැත්තෙ?”
“මම කවදාවත් ඔයාට ආදරේ කරන එක නතර කරන්නෙ නෑ. මම මැරෙනකම්ම ඔයාට ආදරේ කරනවා”
අලුත විවාපත් වූ තරුණයා එදා ඒ වචන පැවසුවේ තමන් ගැන සියයට සියයක් විශ්වාසවන්තවය. අදටත් ඒ විශ්වාසයේ බිඳක්වත් වෙනස් වී නැත. ඒත් කුමක් හෝ හේතුවකට හිත නොසංසුන් ය.
චරිත්‍රා විසින් එවනු ලැබූ පණිවිඩය සිත් කුල්මත් කළ යුතු දෙයක් බව සැබෑවක් වුවද අවිශ්වාසයේත්, සැකයේත් අඳූරු සෙවණැළි ආදරයේ මැටි පහන් එළිය ආක්‍රමණය කරමින් හිඳින බව මිහිකට සිතේ.
“ආදරේ හුඟක් ඇති තැන වේදනා නැතී
වේදනා දහක් තිබුණද සැනසුමත් ඇතී
සිනහව කඳුළ ද එක ලෙස කැළතිලා ඇතී
එයයි එක්ව ගෙවනා මේ ජීවිතේ හැටී”
චරිත්‍රා එසේ ලියා එවුවේ විවාහ වන්නට උන් දිනයේ උදෑසන තමා නැකතට නිවසින් පිටත්වන්නට පෙර ය.
උදෑසන හතරකුත් ගාණට, සීතල පිණි බිංදු වැතිරුණ තණ නිල්ල මතින් අප්පච්චී සමග කාරයට ගොඩ වෙන්නට යන ගමන් දුරකතනය බැලූ මොහොතේ මුවඟට ආ සිනහව මිහිකට අමතක නැත.
එකී කවිය සමගින් මේ අරඹන්නට යන අලුත් ජීවිතය ගැන තමන් කෙතරම් සතුටු වෙනවාද යන බව පවසා චරිත්‍රා එවූ ඊමේල් පණිවිඩය මිහික අදටත් තරු සළකුනකින් වෙන් කර ලකුණු කර තිබේ.
එහෙත් එදවස සිතේ තිබූ ප්‍රේමය, එකී ප්‍රේමය නිසා හද අත්පත් කරගත් නිස්කලංක බව අද දවසේ තිබෙනවාදැයි යන්න මිහිකට සැකයකි.
හැඳ පැළඳ අවසානයේ කාමරයේ දොර අගුලු දමා පිටතට ආ මිහික හෙමි හෙමින් පාර දිගේ ඇදෙන්නට වූයේ රැකියාවට යනු පිණිසය.
අද ඇත්තේ උදෑසන වැඩ මුරයකි.
මිනිසුන් උදෑසන මද පවන විඳිමින්, අරුණෝද හිරු කිරණ මැද රැකි රක්ෂා කටයුතු සඳහා පියමන් කරති.
මේ රටවල ඇති වෙනසනම් අපේ රටවල මෙන් පරිසරය වාහනවල කන් බිහිරි කරවන නලා ශබ්ධයෙන් හෝ දුම් වලාවන්ගෙන් පිරී නැති වීමය.
බොහොමයක් දෙනා තම පා පැදිවලින්ම රැකියාවට යන අතර බහුතරය පොදු බස් හෝ දුම් රිය සේවාවන් යොදා ගනී.
සුන්දර ඇඳුම් පැළඳුම් හැඳ රැකියාවලට යන මිනිසුන් දැකීම පවා සතුටකි.
චරිත්‍රා සහ ඇගේ ආදරයේ අවිනිශ්චිතබාවය නිසා නොසංසුන් වූ සිතට මේ උදෑසන සුන්දර කාර්යබහුලත්වය තාවකාලික සැනසුමකි.
ලංකාවේ මෙන් මෙරට එකට කාර්යාලයන්හි සේවය කරන්නන් වුව එහෙමකට හිතවත් නැත.
ලංකාවේදී නම් උදෑසන ආහාරය ගන්නා වේලාව හෝ තේ වේලාව යනු ඊයේ දවසේ වුන දේවල්, රටේ තොටේ වෙන දේවල්, නලු නිලියන් සම්බන්ධ යමක් කියවනා ඕපදූප වේලාවයි.
එහෙත් මෙරට තේ වේලාව යැයි අමුතුවෙන් වෙන් කල කාලයක් නොමැත.
තමාට කැමති නම් තේ හදාගෙන බීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය කාර්යාලයේම තබා තිබේ. එයාට අමතරව බහුතරයකගේ මේස මත ග්‍රීන් ටී පැකට්ස් තිබෙනු දැකීම මෙරට දී නම් අමුත්තක් නොවේ.
එකිනෙකා හා එහෙමකට කියා හිතවත්කම් පවත්වා නොගන්නා මේ කාර්යාලයේ තමන්ට ළඟම සඟයා ප්‍රණව ය.
බැක් පැක් එක එකාතකින් එල්ලාගෙන, අනෙක් අතෙන් කෑම පිරුණු රිදී පැහැ කෑම පෙට්ටියක්ද රැගෙන කාර්යාල දොරෙන් ප්‍රණව එන්නේ සිනා වීගෙනමය.
තමන්ට පිළිතුරු ලෙස සිනාවන් ලැබෙනවාද නැද්ද යන්න ඔහුට වගක්වත් නැත.
මේසය මත ලැප්ටොප්, නෝට් බුක් සහ චාර්ජර් තබමින් ප්‍රණව එන දෙස බලමින් මිහික කල්පනා කලේ ඕවා ය.
“ගුඩ් මෝනින්”
“ගුඩ් මෝනින් මචන්”
“වට්ස් ෆො ලන්ච්?”
“පරෝටා, චෙට්ටිනාඩි චිකන් මසාලා කරි ඇන්ඩ් සාග්”
ප්‍රණව මෙහි වාසය කරන්නේ තමන්ගේ නෑයෙකුගේ නිවසේය. එහි වෙසෙන ඔහුගේ නැන්දනිය හැමදාම උදේට ප්‍රණව අතේ ප්‍රණව සහ මිහික දෙදෙනාටම ඉතාම රසවත් කෑම එවීම දැන් පුරුද්දකට ගොසිනි.
උදෑසන සිට ලැප්ටොප් වලට මුහුණු ඔබාගෙන කෝඩින් කරන මිහික සහ ප්රණවට විවේකයක් ලැබෙන්නේ දවල් ආහාරය වෙලාවටය.
බොහෝ විදේශිකයන් මෙන් කොලයක එතූ සැන්ඩ්විචයක් හෝ මේසය මත තබාගෙන කත හැකි පිට්සා එකක් දිවා ආහාරය ලෙස ගැනීම මේ ආසියාතික කොල්ලන් දෙදෙනාට පුරුදු නැත.
මිහිකටත් එක්කම ප්රණවගේ නැන්දා එවන හොදි සමග චපාති සහ පරෝටා අනාගෙන කමින් ආරම්භ කරන කතාබහ ඉන්දියානු කුලුබඩු සුවඳින් පිරී තිබේ.
චෙට්ටිනාඩි චිකන් කරියෙන් එන්නේ ලංකාවේ ගම්වල අපේ අම්මලා සාදන ආකාරයේ මිරිස් රස නොවේ. එයට හාත්පසින්ම වෙනස් තුනපහ, ගම්මිරිස්, ගරම් මසාලා රසකි. කුඩාවට කැපූ කුකුල් මස් කැබලි වල තැවරුණු ගම්මිරිස්, තුනපහ, ගරම් මසාලා රසයට හාත්පසින්ම වෙනස් සාග් නිවිති සහ තවත් පලා වර්ග එක්කොට සැකසූ රසවත් කරියකි.
“මම නෙක්ස්ට් මන්ත් එන්ඩ් එකේ ඉන්ඩියා යනව මචං”
“හදිසියේ?”
“ශාදි එකක් මචං”
“අඩේ උඹ බඳින්න යනවද?”
“පිස්සුද නෑ නෑ, අක්කගෙ ශාදි එක. නිවාඩු දාන්න පුලුවන් නම් උඹත් වරෙන්”
“ආසයි බං එන්න ඒත් දන්නවනෙ අපි දෙන්නම ගියොත් බැක් එන්ඩ් එකෙ වැඩවලට කෙලවෙනවනෙ”
“ටෲ ටෲ. කමක් නෑ”
“උඹ බඳිද්දි එන්නම්කො මං”
සිනහ වෙමින් මිහික කිව්වේ බඳුනේ අඩියේ තැවරී තිබුණ චෙට්ටිනාඩි චිකන් කරියේ ඉතුරු ටික පරෝටා කෑල්ලක තවරා මුවට රුවා ගනිමිනි.
දවස ගෙවෙන්නේ හිතට රහසිනි.
මහන්සිය සෙමෙන් සෙමෙන් හිතටත් ඇඟටත් ඇතුලු වෙද්දී ඉර හෙමින් සැරේ විවේක ගනු පිණිස අහසින් බැස යන්නේ තම රත්රන් පැහැ වේල් පට මං මාවත් වලට ඉහලින් මේපල් ගස් මත රඳවමිනි.
ඉතින් මහන්සිය සහ කාංසිය නිවාලනු පිණිස රාත්‍රිය මෙහි පැමිණ තිබේ.
උණුසුම් වතුරෙන් දිය නා, කුස පිරෙන්නට යමක් අනුභව කර, චරිත්‍රා අමතා සුව නින්දක් ලබා ගත යුතුය.
“මම දැන් යනවා. අදත් හතට කෝල් එකක් ගන්නද?”