(අ)හිමි සිහින -102

මම පවුලේ එකම දියණිය!

තනි දරුවෙකු වී ජීවත් වීම පහසු නෑ.තනිකම ද පාළුව ද ජීවිත ගමනේ හමුවෙන තැන් ඕනෑතරමට තිබෙනවා.තනි ඇතින්නක මෙන් ජීවිත ගමන තනිව ආ මට විශාල පවුලක ආදරය විඳින්නට ආශාවක් දැනුණු තැන් බොහොමයි.නමුත් චමල්ගේ ඥාතීන් සමඟ මගේ ලොකු සබඳතාවයක් වූයේ නෑ.ඒ නිසාම මට අර විස්තෘත පවුලේ සිහිනය සිහිනයක්ම වෙමින් තිබුණා.

නමුත් ඒ සුන්දර සිහිනය ඉටු වන්නට මගේ සුධාරක හේතුවක් වූවා.ඒ ඔහු දිල්හානි අත්හැර දමා මහ ගෙදර පදිංචියට යන්නට ගිය නිසා.

සැබෑවටම ඒ මගේ ජීවිතේ සුන්දරම කාලයක්!

මම හැම සෙනසුරාදාවකම කොළඹින් පිටතට යන්නට ඇති බව කියමින් ගෙදරින් පිටත් වී ආවා.බොහෝ අවස්ථාවල මගේ දෝණි ද රැගෙන යන්නට මම වග බලා ගත්තා.ඇත්තටම මම යන්නේ කොහේ වෙන්නට ඇතිදැයි සිතද්දී මගේ අම්මා මට රැවූ ගෙරවූ තැන් තිබුණු බව ඇත්ත.නමුත් මා නවතන්නට ඇයට හැකියාවක් තිබුණේම නැති තරම්.මම එසේ පිටවී ආවේ සුධාරකගේ මහ ගෙදරටයි.

සුධාරක සේවා ස්ථානයේ සිට මහ ගෙදරට පැමිණ තද නින්දේ සිටියදී මම ඔහුගේ මහ ගෙදරට පැමිණෙනවා.ඔහු නින්දේ නිසා සමහර වෙලාවට අපව රැගෙන යන්නට පැමිණෙන්නේ ඔහුගේ රියදුරා.මම ඒ ගමන යන්නේ මහත් සැනසීමකින්.ඒ සුධාරක හමු වෙන නිසාම නොවේ.

“මට පවුලක ඇති සතුට හොඳින්ම දැනුණු දවස් තමයි ඒ!!”

මට අහිමි වී ගිය පවුලක් නැවත මුණ ගැසුණා වැනි සතුටක් මට දැනෙන්නට පටන් ගෙන තිබුණා.ඔවුන් මා පිළි ගත්තේ ඉතා ආදරයෙන්.දිල්හානි සහ ඔවුන් අතර සම්බන්ධය තිබී ඇත්තේ සෘණ මට්ටමක.ඇය සුධාරකව ඔහුගේ පවුලෙන් බොහෝ ඈත් වී තිබුණා.සුධාරක වසර හතරක් තිස්සේ මහ ගෙදරට ගොඩ වැදී තිබුණේවත් නැහැ.එතරමට දිල්හානි ඔහුට මහ ගෙදර උදවිය එපා කර තිබුණා.

එයටත් හේතුවක් තිබුණා.ඇය සුධාරකගේ ඥාතීන්ගෙන් විවිධ අවස්ථාවලදී ණය රැගෙන තිබුණා.විවිධාකාර හේතුවලට ලබා ගත් ඒ ණය නිසා වෙන්න ඇති දිල්හානි සුධාරකව හැකිතාක් ඈත් කරන්නට උත්සාහ ගත්තේ.ඇගේ පිළිවෙලක් නැති රහස් ඇති ජීවිතය තුළ සුධාරක හිර කරගන්නට සිතමින් දිල්හානි සුධාරකගේ පරම්පරාවම ඔහුගෙන් ඈත් කර තිබුණා.

ඉතින් මම බඩුමුට්ටු රැගෙන සති අන්තයේ මහ ගෙදරට එන ගමන ඒ මුළු පවුලටම මහත් ආනන්දයක් වී තිබුණා.මම වෘත්තීය සූපවේදිනියක්.ඒ නිසාම සති අන්තයේ මහ ගෙදර මුළුතැන්ගෙය අයිති වෙන්නේ මට.අගනුවරට කිලෝමීටර ගණනක් එපිටින් පිහිටි ඒ ගෙදරට යන මම ඉන්පසු පොළට යනවා. සුධාරක කැමතිම ගමේ කෑම වලට.ඉතින් මම එළවළු මාළුපිණි මිලට ගන්නේ බොහොම සතුටින්.ගෙදරට අවශ්‍ය හැම වියලි ආහාර ද්‍රව්‍යයක්ම මිලට ගෙන මම ආපහු ගෙදර එන්නේ උයමනේ යෙදෙන්නට බලාගෙන.ඇතැම් වෙලාවට මා එක්ක මේ ගමනට සුධාරකගේ නංගිත් මා එක්ක එකතු වෙනවා.ඇය ඒ කාලයේ ආර්ථික අපහසුතාවලින් ද සිටි නිසා මම උයමනේ යෙදෙන්නේ ඇගේ ගෙදර අයටත් ඇති වෙන්නට.මම සුධාරකගේ බිරිඳ බවට මුළු පවුලම සලකන්නට පටන් ගත්තා.ඔවුන්ගේ හැම උත්සව අවස්ථාවකටම,චාරිකාවකටම,දානේ ගෙවල්,බණ ගෙවල්වලට මම නැතුවම බැරි වුණා.මට මගේම කියා පවුලක් නිර්මාණය වුණේ ඒ ආකාරයටයි.

මට තුවාල වෙන්නට පහර දුන් පසු චමල් සමඟ සම්බන්ධතාවය මම අවසන් කළා.ඔහුට සමාව දෙන්නට මට නොහැකි වූයේ ඔහු ඒ අනතුරෙන් පසු ද මට හානි කරන්නට නොයෙක් උත්සාහ දැරූ නිසාමයි එක්වතාවක ඔහු පිහියක්ද රැගෙන මට තර්ජනය කළ අවස්ථාවකදී මම පොලිසියට ගොස් ඔහුට විරුද්ධව පැමිණිල්ලක් දැමුවා.

“ඇයි ඔයා මෙහෙම බරපතල විදියට තුවාල කරලත් ඒ වතාවේ පැම්ණිලි නොකළෙ?”

පොලිස් නිලධාරීන් මගෙන් එහෙම අහනකොට මට දෙන්නට සෘජු පිළිතුරක් තිබුණා.

“ඒ මගේ දරුවගෙ තාත්තා නිසා.”

මරණීය තුවාලයක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පැමිණිලි කරන්නට මට ඒ මොහොතේ අවශ්‍ය වුණේ නැහැ.මම දිනක් පැවසූ අන්දමට මමත් ඔහුට වරදක් කළ නිසා මට වරදකාරී හැඟීමක් දැනුණු බව ඇත්ත.නමුත් මට දිගින් දිගටම ඔහුගෙන් පහර කන්නට හෝ ජීවිත හානි ඇති කර ගන්නට ඕනෑ වුණේ නැහැ.

“සුධාරක දිල්හානිගෙන් දික්කසාදය ලබා ගත්තොත් මම චමල්ගෙන් දික්කසාද වෙනවා.ඊටපස්සෙ පුලුවන් මට සුධාරකව බඳින්න.”

මට ඒ මොහොතේ තිබුණේ එහෙම සිතිවිල්ලක්.මගේ දුවට ඇගේ තාත්තා අහිමි කරන්නට මට තිබුණේ අකමැත්තක්.ඒ ඇගේ නීත්‍යානුකූල හිමිකම ඇති පුද්ගලයා.ඔහු සමඟ ඇති හැම නීත්‍යානුකූල බැඳීමම බිඳ ගන්නට මට බියක් දැනුණා.ඒ මගේ ආත්මාර්ථකාමී බව හෝ මෝඩකම බව ඔබට තීරණය කරන්නට පුලුවන්.මේ මම කිසිම් වෙනස් කිරීමකින් තොරව කියන මගේ සත්‍ය කතාව.ඔබට ඕනෑම අයුරකින් මා විනිශ්චය කරන්නට මම ඉඩ දෙන්නේ ඒ නිසාමයි.

නමුත් මට නොකියාම බැරි කතාවක් තියෙනවා.මේ පුද්ගලයන් ගණනාවකගේ ජීවිත ගැන විවිධ හෙළිදරව් වීම් සිදුවන කතාවක්.ඒ නිසා අපි කිසිවෙක්ම සුදු චරිත නෙවෙයි.අපි හැම කෙනෙකුම අපිට වඩාත් අවශ්‍ය දේ කරන්නට පෙළඹුණා.ඒත් මගේ දුව මගේ පිටුපසින් මගේ තීරණ සමඟ ආවා.මා තෝරාගත් මාවතේ ඇවිද ආවා.ඒ ඇගේ තෝරාගැනීමක් නොවේ.ඇගේ අප්පච්චි ඇගේ තෝරා ගැනීමක් නොවේ.ඇයට ඇගේ අප්පච්චි මුණ ගැස්වූයේ මා විසින්.

මගේ පුංචි දූ සහ ඇගේ අප්පච්චි සමඟ සුන්දර බැඳීමක් ඇති වෙන්නට ගත්තේ ඒ කාලයේදී.ඒ හරිම සුන්දර කතාවක්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles