මංමුලාව

චේතියගේ රහස් ගමන් ගැනයි, හිටි හැටියේ ඔෆිස් කැබින් එකට වැදෙන අමුත්තා ගැනයි ඉරුදිනීට ඉස්සරවෙලාම ආරංචිය කිව්වේ චේතියගේ ඔෆිස් එකේම මිතුරියක්. දවස් කිහිපයක් ම ඉරුදිනි චේතියට ඉඟි දිදී ඒ ගැන විස්තර අහන්න උත්සාහ කලා. ඒත් චේතිය ඒ ගැන වගේ වගක් නැතිව වගෙයි ඒ කතාබස් වලින් මඟෑරලා ගියේ. ඒ හින්දාම ඉරුදිනී චේතියට නොකියාම දවසක චේතියගේ ඔෆිස් එකට ගියේ ළඟට ආව බව කියාගෙන. ඒ දවස් දෙකේම චේතිය ඔෆිස් එකේ හිටියේ නෑ. කැබින් එකට වෙලා පැයක් විතර බලාගෙන ඉඳලා ඉරුදිනි ආයෙම ගෙදර ආවා. ඒ එන මඟ දිගටම චේතියට ඇමතුම් ගත්තත් පිළිතුරු ලැබුණෙත් නැහැ.

ඉරුදිනී චේතිය එනකල් හිටියේ පිච්චි පිච්චී. 

“ගෑණියෙක් එක්ක නම් කමක් නෑ. පිරිමියෙක් එක්ක මෙහෙම මොන මඟුලක්ද කරන්නේ හිතහංකෝ ඉරූ.. ඌ වෙලාවකට අඬනවා කියලා තේ අරන් ගිය කිහිප වතාවකම නිලූ දැකලා තිබුණා… සමහරවෙලාවට චේතිය උගේ අත අල්ලන් ඉන්නවලු…”

ආයතන ප්‍රධානියා වෙච්ච චේතියගේ පෞද්ගලික කැබින් එකට එබිලා, ඔහුගේ බිරිඳට වගේ වගක් නැතුව කේලම් කියපු සඳුනි ගේ වචන ඉරුදිනීගේ ඔලුවේ දෝංකාර දෙනවා.  පාසැල් මිතුරිය ඉදිරියේ ආත්මාභිමානය පෑගිලා ගිය වේදනාව දැන් කෝපයක් වෙලා ඉරුදිනී ව පෙලමින් ඉන්නේ. සඳුනි ඔය කතාව එක දෙක කරලා අනෙක් මිතුරියන් එක්කත් කතා කරන බව මතක් වෙනකොට ඉරුදිනී ට ඇඬුම් ආවා.

ඉරුදිනී ආයෙම චේතියට ඇමතුමක් ගත්තා. ඒ ඇමතුම විසන්ධි වුණා. කෙටි පණිවිඩයක් විතරක් ලැබුණා.

“චුට්ටක් පරක්කු වේවි.  ඔයා කාලා නිදාගන්න. මම ඇවිල්ලා කෝල් කරන්නම්. ගේට් එක ලොක් කරගන්න….”

ඉරුදිනී අඬ අඬා සෙටිය උඩට වැටුණා. හිතේ තරහටම ජංගම දුරකතනය විසන්ධි කරලා දැම්මා. ඊට පස්සේ ස්ථාවර දුරකතනය ත් විසන්ධි කලා. 

ඉරුදිනී ඇහැරුණේ පාරේ වාහනයක සද්දේට. එතකොට එලිය වැටිලා. ඊයේ රෑ සිද්දවුණේ මොකක්ද කියලා කල්පනා කරන්න ඉරුදිනී ට තත්පර දෙක තුනක් ගියා. ජංගම  දුරකතනය  ක්‍රියාත්මක කරනකොට මඟ හැරුණු ඇමතුම් නොසෑහෙන්න පිරුණා. ඉරුදිනී දඩි බිඩියේ ගේට්ටුව ඇරියා. පාර අයිනේ චේතියගේ මෝටර් රථය නවත්තලා තිබුණා. ඉරුදිනී අඩියට දෙකට එතැනට ගියා.

චේතිය ලෑස්ති වෙලා එනකල් ඉරුදිනී මොකුත්ම ඇහුවේ නැහැ. ඊයේ රෑ හිතේ තිබුණ තරහට වඩා චේතියව රැයක් වාහනේ ඇතුළේ, ගෙදරින් එලියේ තියන්න හිතුවක්කාර වුණාට පසුතැවීමක් ඉරුදිනී ගේ හිතේ තිබුණා. 

“ඔයා කොහෙද ඊයේ ගියේ..?”

උදේට කාලා ඉවර වෙනකල්ම දෙන්නාම මුකුත් කතා කලේ නැහැ.

“පොඩි වැඩ වගයක් තිබුණා…”

චේතිය ආයෙම එහෙම කිව්වම ඉරුදිනී ගේ ඉවසුම් ඉවර වුණා.

“මොන මළ විකාරයක්ද මේ චේතිය ?ඔයාට ලැජ්ජාවක් නැති වුනාට මට ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනවා … මං කොහොමද මිනිස්සුන්ගේ මූණ බලන්නේ ?”

“දැන් ඔයාට මිනිස්සුන්ගේ මූණ බලන්න බැරි වෙන්න තරම් මම මොකක්ද කලේ ඉරූ ?”

“කරේද ? කරපු දේ තමයි මිනිහෙක් කැබින් එක අස්සේ දාගත්ත එක්ක.. ඒ මිනිහා එක්ක එක එක ගුබ්බෑයම් වල රිංගන එක…”

චේතියගේ ඇස් ගැස්සෙනවා ඉරුදිනී දැක්කා. ඒත් ඉරුදිනී ට වෙනසක් දැනුනේ නැහැ. උන්න කෝපයේම පුපුර පුපුර උන්නා. 

“ලෑස්ති වෙන්න. ගමනක් ගිහින් එමු…”

බලෙන්ම ඉරුදිනී ව එක්කගෙන චේතිය  මෝටර් පණ ගන්වගත්තා. හුරු නැතිපාරක ගිහින්, අහලා තියෙන තැනක මෝටර් නැවතුණා.

“ආසිරි රෝහල  ..”

ඉරුදිනී ට කිසිම දෙයක් හිතාගන්න පුලුවන් වුණේ නැහැ. කිසිම අදහසක් නැතුව චේතිය පස්සෙන් වැටුණා.

ටික දුරකට පස්සේ චේතිය ඇඳක් ලඟ නැවතුණා. චේතියගේ උරට උඩින් ඉරුදිනී එබිලා බැලුවා. ඇඳේ හිටියේ ඉරුදිනීලගේ වයසේ වගේ තරුණියක්. කෙල්ල චේතිය දැක්කම හිනා වුණා. 

“කෝ නවීන් ?”

“අම්මලා ආවා. බස් එකට දාන්න ගියා අය්යේ…”

“දැන් බය වෙන්න දෙයක් නෑ කියලා අම්මලටත් කිව්වද ?”

“ඔව්..නවීන් ඩොක්ටරස්ලා එක්ක කතා කරන්නම එක්කන් ගියා…”

“දැන් දෙන්නගේ ප්‍රශ්නත් හරිනේ…?”

චේතිය එහෙම කිව්වම ඒ ළමයා ආයෙම හිනා වුණා. 

“තමුසේලා දෙන්නාටම පිස්සු .. කකුලක් නෑ කියන්නේ ජීවත් වෙන්න බෑ කියන එක නෙවෙයි නෙහ්…? අනෙක නවීන් හිතලා හැප්පුවේ නෑනේ ..”

“එයානේ අය්යේ ඕනිවට වඩා වොරි වෙන්න ගත්තේ.. මම නම් හිත හදාගෙන හිටියේ… “

“කොහොමින් කොහොම හරි මගේ කපු ගාස්තු හරියට ගෙවලා ඉන්න …”

ඉරුදිනී ට දැනුණේ අතරමං වෙලා වගේ. ඒ අතරේ චේතිය වගේම තරුණයෙක් අඩියට දෙකට ඇවිල්ලා එතැන නැවතුණා.

“ඉරූ.. මේ නවීන්… මේ කවීෂා.. නවීන් කැම්පස් එකේ ජූනියර් මල්ලි කෙනෙක්… නවීන් අතින් කවීෂාව ඇක්සිඩන්ට් වෙලා. ඒකේ ශොක් එකට මූ ගොන් වැඩක් කරන්න යද්දී මට හම්බුනා යන්තම්… දැන් ඉතින් හරි.. මේං මේ මගේ නෝනා…”

ඉරුදිනී බොඳ වුණ ඇස් වලින් යන්තම් හිනා වුණා.

දෙන්න ගෙදරට එනකල් තිබුණේ නිහැඬියාව.

“නවීන් ගැන ඔයාට කියලා ඉන්න තිබුණා. එහෙම නොකියපු එක මගේ වැරැද්ද. නොකියා හිටියේ ඌ හිටපු සූසයිඩ් මූඩ් එක එක්ක මූව් වෙන එක ඔයාට හොඳ නැති නිසා. ඒකෙන් ඔයාට පරණ නරක දේවල් මතක් වෙන නිසා..”

අවුරුදු දෙකකට කලින් අවාසනාවන්ත තීරණයක් අරගෙන ජීවිතේ ට සමුදුන්න ඉරුදිනී ගේ මල්ලිව මවාගෙන චේතිය එහෙම කියනකොට ඉරුදිනී චේතියව බඳාගෙන ඇඬුවා.

“මම කොහොම මිනිහෙක්ද කියන්න ඔයා දන්නවා. එහෙම එකේ පිට ගෑණුන්ගේ ඇස් වලින් මාව මනින එකයි කැත…”

ඉරුදිනී ගේ ඇඬුම් වැඩි වුණා. 

“ඇත්ත… කොච්චරක් අමාරු වුණත් හැමවෙලේම ඇත්ත කතා කරන්නෝනි.. රැයක් තිස්සේ කාර් එකේ නිදාගන්න බෑ ආයේනම්…”

චේතිය නොතිබුණ සැහැල්ලුවෙන් කිව්වා. ඉරුදිනී ගේ හිතට සැහැල්ලු වෙන්න දුන්නම එයා හැමදේම තේරුම් අරගෙන කතා කරන බව චේතිය දන්නවා. 

යක්කුන්ට රිංගන්න ජීවිත වල හිස් තැන් හදාගන්නේ අපි අපිම නේද කියලා දෙන්නම ඒ වෙලාවේ තනි තනිවම හිතුවා. 

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles