පෙඟුණු මල්පෙති 30

“ආදරය කියන්නෙ භාවනාවක්,

හුස්ම ඉහළ පහළ හෙලීම ගැන පවා විමසිලිමත්, සහනයක් සලසන්න උපකාර වන භාවනාවක් ,

ඒත් අපි බොහෝමයක් අයගෙ හිතට දුකක් ගේන්න හේතුවක් වෙලා තියෙන්නෙත් ඒ දුක,තනිකම නැතිකරගන්න අපි වඩන ආදරය කියන භාවනාවම තමයි

දුක කියන්නෙත් ආගමක් ඉපදුන  දා සිට මරණය දක්වාම අදහන්න සිදුවුන.

දුකෙන් අත්මිදෙන එකට වඩා අමාරුයි,දුක මහාභිනිශ්ක්‍රමණය කරන මාර්ගය තෝරගන්න එක සහ ඒ මාර්ගයේ ගමන් කරන එක”

චරිත්‍රා මුහුණු පොතේ යමක් පලකරන්නට පෙර එයා ලියා තබන්නේ ගූගල් කීප් යෙදවුමේය. ඊමේල් ලිපිනය සහ මුර පදය ලබා දුන් පසුව ඕනෑම උපකරණයකින් ඕනෑම මොහොතක ඕනැම තැනක හිඳ ගූගල් කීප් වෙත පිවිසෙන්නට හැක. ඉතින් දුරකතනයෙන් ලියා ගූගල් කීප් වෙත එකතු කර තිබෙන ලිපියක් පරිගණකයෙන් පිවිසී මුහුණු පොතට එකතු කිරීමේ හැකියාවක් ඇත.

එහෙත් කුමක් හෝ හේතුවක් නිසාවෙන් දුරකතනය ඔස්සේ මුහුණු පොතට එකතු වීමේ නොහැකියාවක් මතුව තිබේ. 

අලුතෙන්ම ඊමේල් ලිපිනය සහ මුරපදය යොදා ලොග් වන්නට උත්සාහ කරද එය කල නොහැකි බවට දුරකතන මුහුණත මත පණිවිඩයක් පොප් අප් වී තිබේ.

තවත් වරක් උත්සාහ කිරීමට නොහැකි දුරකතනයේ බැටරි අඩු වී ඇති බැවිනි. ඊයේ රැයේ මිහිකට ලං වන්නට කල උත්සාහය අසාර්තක වූ තැන චරිත්‍රා නින්දට ගියේ දුරකතනය මිහිකගේ මේසය මත තිබෙන්නට හැර ය. සුපුරුදු ලෙස එය චාජරයට යොදන්නට අමතක වීම නිසා උදෑසන වෙද්දී ඉතින් බැටරි බැස තිබීම සාදාරණය.

නුවර නිවස පිහිටා ඇත්තේ කඳු සහ ගස් කොලං මැද්දෑවේ වීම නිසා දුරකතන සිග්නල් නැති වීම මුහුණු පොතට ලොග් වන්නට නොහැකි වන්නට හේතුවක් බව සිතමින් චරිත්‍රා යලි කාමරයට ගියේ දුරකතන චාජරයට ගසනු පිණිසය.

නැවත පහලට එද්දී මිහික උන්නේ මිතුන සමග කුමක් හෝ දෙයක් ගැන දොඩමිනි.

තමාගේ නිවාඩු හෙටින් අවසන් වන බැවින් අද සැඳෑවේ දානමය කටයුතුවලින් පසුව නැවත කොළඹ යන්නට චරිත්‍රා සිතුවාය. මිහික ඉතින් තමා සමග කොළඹ යන්නට එතැයි සිතීම තේරුමක් නැත.අනෙක් අතට මිහික ආවත් ඔහුට නතර වන්නට තැනක් නැත. තම බෝඩිමේ ඔහුව නවතාගැනීම ගැටලු රැසකට හේතුවක් වනු ඇතැයි නොසිතිය හැකිද?

දානය සඳහා ආහාර සැකසීමට ගමේ ගැහැණුන් කිහිප දෙනෙක්ම එකතු වී හුන් බැවින් චරිත්‍රාට කුස්සියේ හෝ කිසිම තැනක කරන්නට යම් රාජකාරියක් සොයා ගන්නට නොහැකි විය. කාමරයට ගොසින් දුරකතනය ගෙන මුහුණුපොත පිරික්සන්නට උවමනා වුවද මිහිකගේ මවගේ හත් දවසේ දානය දිනයේ ඇයගේ එකම පුතුගේ බිරින්දෑ ලෙස එසේ හැසිරීම හොඳ නැති බව චරිත්‍රා දනී.

මිහික තමාව ගණන් නොගන්නා මොහොතක, කතා බස් කරන්නට කවුරුවත්ම නොසිටිය තැනක චරිත්‍රාට දැනුනේ පුදුමාකාර අන්දමේ පාලුවකි. 

සිතට දැනෙන අපහසුව පුදුම තරම් බරකි. පුලුන් රොදක් මෙන් සැහැල්ලුවෙන් එහේ මෙහේ පියාඹමින් තිබුන හිතකට වේදනාවේත් නොසලකා හැරීමේත් කඳුලු බිඳු වැගිරී ඒ පුලුන් වැනි සිතුවිලි පෙඟී බරවී තිබේ. තමාගේ සිත තමාටම දරාගන්නට අපහසු බව චරිත්‍රාට සිතේ.

දානයේ කටයුතු අහවර වී හාමුදුරුවන් ආයේම පන්සලට වැඩම කලාට පසුවත් කා බී අහවර කරායින් පසුව චරිත්‍රා කොළඹ එන්නට පිටත් වූයේ හවස තුනට පමණය. ඒ වෙද්දී වලව්වේ නැවතී හුන්නේ මිහිකගේ මව් පිය පාර්ශ්ව වලින් නෑ වෙන අය පමණකි.

කාමරයට පැමිණ චරිත්‍රා ගෙනයන්නට අවැසි දේ සූදනම් කරගද්දී මිහික කාමරයට පැමිණියේය.

“මම වාහනයක් කතා කරලා දෙන්නම් යන්න. ලෑස්ති වුණාම කියන්න”

ඒ සැමියෙකුගේ හෝ පෙම්වතෙකුගේ මුවින් තම ආදරවන්තිය, බිරිඳ නිවසින්  නික්මෙන්නට හදද්දී පිටවිය යුතු ආකාරයේ වදන් නොවේ.

ඉතාම දුරස්ත ඇමතුමකි. කිව යුතු නිසා මුවින් පිටකල වදන් පෙළකි.

මිහික හා තමා අතර ඇති වී තිබෙන මේ දුරස්ත බාවයට මුල් ගල් තැබුවේත් අත්තිවාරම් දැමුවේත් තමා බව සැබෑවකි. එහෙත් තමා සැබෑවටම ඉතාම ශක්තිවන්ත යැයි සිතා හුන් කෙල්ලකට ජීවිතයේ පලමු වරට තනිකමක, නොසලකා හැරීමක වේදනාවක් දැනෙන්නට විය.

ඒ වූ කලී ළහිරුට සනසාලිය නොහැකි වේදනාවක් බව චරිත්‍රාට දැනුනේ අහම්බයකිනි.

“ඔයාට එන්න වෙන්නෙ නැද්ද?”

ඒ වූ කලී පිළිතුර දැනගෙනම අසන ලද පැනයක් වුවත් බලාපොරොත්තු සියල්ල ගිලුහුණු තැනක කුඩාම බලාපොරොත්තුවක හෝ එල්ලී මහා පරිමාණයේ සිහින දැකීමට මිනිසුන් කැමතිය. චරිත්‍රාට උවමනා වූයේ අහම්බෙන් හෝ මිහික ඔව් කියා පිළිතුරු දෙන්නටයි.

තමාගේ සිතුවිලි තමාට මෙල්ල කල නොහැකි ලෙස ඉබාගාතේ යන බවක් චරිත්‍රාට තේරේ. ඒ සිතුවිලි එක මිටකට ගෙන රැහැනකින් බැඳ තමාට අවශ්‍ය ලෙස හසුරවන්නට හැකි නම් කොපමණ අපූරුද?

“මට එන්න වෙන්නෙ නෑ. තව වැඩත් ඉතුරුවෙලා තියෙනවනෙ. අප්පච්චිත් තනියමනෙ”

“දැන් මේ ඉන්න අය ගියාම උයාගන්නෙ හෙම කොහොමද?”

“සුරංගි නැන්ද ඉන්නව කිව්ව බදාදා වගේ වෙනකම්. ඒ නිසා කමක් නෑ”

“ඉන් පස්සෙ?”

ඒ නිහඬතාවයට පෙරවදනකි.

ඉන්පසුව කරන්නේ කුමක්ද යන්නට පිලිතුරක් මිහික ළඟ තබා ප්‍රශ්නය ඇසූ චරිත්‍රා ළඟ තබා තිබුණාද යන්න සැකයකි. 

“ඉන්පස්සෙත් අපි ජිවත් වෙන්න ඕනනෙ චරිත්‍රා”

ඒ වදන් පිටවුනේ තමා දැන හුන් මිහිකගෙන් නොවේ. මහා මේරුව තරම් බරැති සුසුමක් පිටකල මිහික බැල්කනයට ගොස් එහි සිමෙන්ති තාප්පය මත අත තබා අව්ව වැටී තිබුන කොල පැහැ තුරු මුදුන් දෙස බලා උන්නේ එබඳුම බරැතිම සිතකිනි.

පිටව යන්නට උවමනා වුණත් චරිත්‍රා මදක් බැල්කනිය වෙත පියමැන්නේ මිහික වෙනුවෙනි. නොඑසේනම් තමා වෙනුවෙනි. එසේත් නැතිනම් දෙදෙනාම වෙනුවෙනි.

“අම්මා කෙනෙක් නැති වෙන එක ගෙදරක පාන නිවෙනව වගේ කියල අහල තිබුනට මට ඒක ඇත්ත කියල තේරුණේ ඔයාලගෙ අම්මා නැතිවුනාම”

“මට දුක අවසාන මොහොතෙ අම්මා ලඟ ඉන්න බැරිවුන එක ගැන. දරුවෙක්ට ඉන්නෙත් මම  විතරයි. ඒත් අම්මට මාව නොදැක මැරෙන්න වුනා කියන්නෙ?”

“ජීවිතේ එහෙම තමයි. අපි හිතන පතන විදියටම හැමදේම වෙන්නෙ නෑනෙ. අපි වැඩිපුරම ආදරේ කරන දේවල් තමයි අපිට ඉස්සෙල්ලම අතාරින්න වෙන්නෙ”

චරිත්‍රා මිහිකව කොතෙකුත් රවටා ඇත.

එහෙත් මේ මොහොතේ දෙදෙනා අතර හුවමාරු ඒ වදන් වල තිබුනේ එකිනෙකා වෙනුවෙන් හදෙහි උපන් ආත්මානුකම්පාවම පමණි.

තමා මිහිකව හැරදමා ළහිරු හා බැඳෙන්නට තීරණය කල බව ඇත්තකි. ඒ සියල්ල මිහික හා කතාකරන්නට තීරණය කරගෙන හුන් බව ඇත්තකි. එහෙත් ඒ සියල්ල පරදමින් මව අහිමිව මෙලොව තනිවුණ, තමාට කිසිත් වරදක් නොකල අහිංසක මිනිසෙකු තනිකරන්නට තරම් තමා දුර්ජනද යන පැනය චරිත්‍රා සිතෙන් අසමින් උන්නාය.

ගස් කොලන් පිස හමා ආ මද සුලඟට ගතේ හෝ සිතේ වූ වේදනාවන් පිසදමාලන්නට නොහැක. ඒ වූ කලී සිත ඇතුලෙන්ම ඉපිද ගත පුරා දිව යන ගින්දරකි. 

ඒ ගින්න අවසානයේ නිවී යන්නේ ගින්න ඇවිලූ පුද්ගලයන්ද පුච්චා දමමිනි. 

“අපි ජීවත් වෙන කාලෙ ඇතුලත අපිට මොන තරම් දේවල් අතාරින්න වෙනවද කියල මට හොඳටම තේරුම් ගියේ පහුගිය ටිකේ චරිත්‍රා”

මිහික ඒ  කීවේ අම්මා මිය යෑම පිලිබඳ වූ වේදනාව නිසාත් නැතිනම් වෙනත් යමක් ව්‍යංග්‍යාර්තයෙන් හඟවනු පිණිසද යන්න චරිත්‍රාට තේරුණේ නැත. එහෙත් ඇය නිහඬව අසා ඉන්නට සිතුවාය.

ජීවිතයේ කිසිම දිනක තමා මිහිකට කතා කරන්නට ඉඩක් නොදුන් බවත්, ඔහුගේ හඬ පරයමින් තමාගේ හඬ උස්ව පතුරුවාලමින් තමා උත්සාහ කරේ ඔහුව තමා අණසක තබාගන්නටය. 

තමා විසින් ඔහුට දිය යුතු ආදරයවත්, කරුණාවවත්, ගෞරවයවත් කිසි දිනක නොදුන් බව චරිත්‍රාට මතක් විය.

ඒ තනිවම නොවේ.

දුකත්, වේදනාවත්, ලැජ්ජාවත් මුසු වුණ හැඟුම් කැලතීමක් සමගිනි.

“සමහර වෙලාවට අපිට අතාරින්න වෙන්නෙ අපිට අතාරින්න අමාරුයිම කියල අපි හිතාගෙන ඉඳපු දේවල්”

“ජීවිතේ එහෙම තමයි”

චරිත්‍රා ඒ කතාබහට අඩුවැඩිය එකතු කලේ ඔහු තනිවම නැති බව හඟවන්නට මෙනි. එහෙත් තමා ළහිරුව දැනටමත් තෝරා ගෙන ඉවරය. දැන් ඇත්තේ ඒ බව මිහිකට දැනුම් දෙන්නට පමණකි. එතනින් පසුව ඔහුට තනි මකන්නට තමා ඔහු ලඟ නෑ නොවේද?

මිහික උන්නේ චරිත්‍රා කියූ කිසිවක් නෑසුණා මෙනි.

ඔහු කතාකරමින් උන්නේ තමා සමගද නැතිනම් ඔහු සමගමද යන්න සිතාගන්නට නොහැක. සමහර විට ඒ දෙකම විය හැක.

“අතාරින්න අමාරුයි කියල හයියෙන් අල්ලගෙන හිටියට ඒ දේ අතෑරියම ඔක්කොටම වඩා හිතට සැනසීමයි.

අතාරින එක අමාරුයි. ඒත් බලෙන් දෙයක් ළඟින් තියාගන්න වද විඳිනවට වඩා ඒ දේ අතෑරල දැම්මම හිතට දැනෙන සැනසීම ඒ වේදනාවට වඩා වැඩියි”

මිහික වචනවලට හරවමින් උන්නේ ජීවිතය ගැන බරපතලම කතාවකි. 

චරිත්‍රාගේ පෙඟුණු පුලුන් හිතට තව තවත් බිය සංකා සහගත දියවැල් එක්වෙමින් සිත බරකරමින් තිබුණි.

“මම ලබන සතියේ කොළඹ එනවා. අපි හැමදෙයක් ගැනම කතාකරමු චරිත්‍රා”

මෙතෙක් වේලා බැල්කනියෙන් ඈත පේන කොල පැහැ තුරු මුදුන් වෙත දෙනෙත් යොමා හුන් මිහික සිරුර කෙලින් කර චරිත්‍රා දෙස එක එල්ලේ බලා පැවසුවේ චරිත්‍රා කිසිදිනක මිහිකගෙන් අත් නොවිඳි සෘජු, පෞරුෂමත් පිරිමිකමකිනි.

ඒ පිරිමිකම ඉදිරියේ චරිත්‍රාගේ ගැහැණු සිත බියෙනුත්, සැකයෙනුත් සසැලෙමින් තිබිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles