පෙඟුණු මල්පෙති 31

අම්මා කෙනෙකු නැති වීම දරුවෙකුට මෙතෙකැයි කියා කිව හැකි අන්දමේ වේදනාවක් නොවේ. එය දරාගන්නට අපහසුම තරම් වේදනාවකි.සිතනා සැම විටකම අලුතෙන් කඳුලු උනන්නට හේතුවන වේදනාවකි. මතක් වන හැම විටකම සිත ඉරිතලා දෙදරා යන වේදනාවකි.

ඒ වේදනාව මිහිකට වුව දෙවනි වූයේ නැත.

පිරිමියෙකු සියල්ල ශක්තිමත්ව දරාගත යුතුය, නොහැඬිය යුතුය යන සම්මතයක් සමාජයේ තිබුනද පිරිමියෙකු යනු තවත් එක් හැඟීම් දැනීම් ඇති මනුශ්‍යයෙකුය යන්න දැන් හුන් පිරිස් ඉතා අල්පය.

මුහුණු පොතේ බොහෝ දාර්ශනික වදන් අකුරු කරන චරිත්‍රා පවා හිඳියේ ඒ පළමු සමාජ සම්මත කොටසේය.

ඇය ඇතැම් විට තමා රවටා වෙනත් අයෙකු හා බැඳෙන්නට එයද හේතුවක් කරගන්නට ඇති බව මිහික කල්පනා කලේ තමාට මුහුණු පොත ඔස්සේ නම නොදන්නා කවුරුන් හෝ විසින්  එවා තිබූ චරිත්‍රාගේ සහ ඇයගේ පෙම්වතාගේ වීඩියෝ පටය සහ ජායාරූපයි.

ඒ වූ කලි සිත් වේදනාවන් අලුත් කරන්නට හේතුවක් වුවත් මිහිකට වේදනාවකට වඩා දැනුනේ ආත්මානුකම්පාවයි. තමා ප්‍රතික්ශේප කරන්නට තරම් නීරස පුද්ගලයෙක්ද යන ගැටලුව මිහික තුල ඇති කලේ බරපතල ආත්මානුකම්පාවකි.

එහෙත් තමා අතහැර යන්නට තනන දේවල් තමා ලඟ තබාගන්නට මිහිකගේ මනුසත් සිත ඉඩ නොදේ. නීතියෙන් තමාගේ කරගත්තද හදවතින් තමා සමග නොබැඳී තමා හා එක්ව ජීවිතයක් ගත කිරිම වේදනාවක් වන්නේ තමාට පමණක් නම් එය විඳීමට මිහික සූදානම් ය. එහෙත් චරිත්‍රා වේදනාවෙනි. 

ඇය තමාව රැවටුවද තමා ඇයට පෙම් කලේ සැබෑවටමය. ඉතින් ආදරය කල හිතකින් තමා ආදරය කල පුද්ගලයා වේදනාවක හිඳිනු දකින්නට හැකිද?

චරිත්‍රාගේ සුවඳ රැඳී තිබෙන සයනය මත වැතිර මිහික කල්පනා කලේ එයයි.

“පුතේ”

අම්මාගේ හඬ ඇසුනේ දෑස පියාගෙන යනවාත් සමගිනි. තමා ඉන්නේ සිහිනයෙන්ද අඩ සිහියෙන්ද යන්න නිනව්වක් නොමැති මිහික ඇඳෙන් නැගිට්ටුනේ ඒ හඬ දෙවරක් පමණ “පුතේ” කියමින් තමා අමතද්දීය.

“අම්මේ”

නැත අම්මා නොවේ.

තවත් අම්මා කෙනෙකි. එහෙත් තමාගෙ අම්මා නොවේ.

ඇස්වලින් ආදරයත් දුකත් මුහු වුණ සංවේදනාවන් වගුරුවාලමින් කාමරයේ දොරකඩ ළඟ බලා හුන්නේ සුරංගි නැන්දාය. අම්මා තරමටම තමාට ආදරය කල සුරංගි නැන්දාය. සහෝදරයකු බඳු මිතුනගේ අම්මාය.

“නැන්දේ”

“පුතා කන්නෙත් නැතුවනෙ නිදාගත්තෙ මං ඒකයි පුතේ ආවෙ කන්න කියන්න”

දොරකඩ අසල සිටගෙන සිටි සුරංගි නැන්දා එසේ පැවසුවේ සෙමෙන් කාමරය තුලට පැමිණෙමිනි. කාමරය හැඩි වී ඇත්තෙ පසුගිය දින කිහිපයේ එහි යකා නැටුවාක් පරිද්දෙනි. සෝදා නොමැති ඇඳුම් කැඩුම් තැන තැනය. පොත් පත් එහෙ මෙහෙ විසිරීය. සිත මෙන්ම කාමරයද අපිලිවෙලය කලබලය.

“නැන්දේ”

මිහික ඇඳෙන් නැගිට්ටේ අතකින් අවුල් වූ හිසකෙස් සකසමිනි. කාමරයේ වසා ඇති බැල්කනියේ සිනිදු තුනී ජනෙල් රෙදි අස්සෙ පෙරි එන ලා සඳ එලිය මලානිකය. සිත අප්‍රාණික කර ඇඳට වට්ටන්නට ඒ මලානික හිරු එළිය කටයුතු කරයි.

ගතට දැනෙන්නේ ඉතාමත් අප්‍රාණිකත්වයකි. කිසිවෙකු සමග කතා නොකර නොකා නොබී ඇඳට වැටී ඔහේ කල්පනා කරමින් හිඳින්නට හැකිනම් කොපමණ අපූරුද යන්න මිහිකට සිතේ.

එහෙත් මේ තම නිවසය. අප්පච්චි කෑවද බීවාද යන්න, නිවසේ සිටින අනෙක් මිනිසුන් කෑවාද බීවාද සුවෙන්ද, ඉතිරි වී ඇති වැඩ රාජකාරි මොනවද යන්න සොයා බැලීමේ වගකීම හිමි තමාටය.

“පුතා දැන් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?”

සුරංගි නැන්දා අසන්නේ තීරණාත්මක පැනයකි.

“ඇත්තටම දැන් මොකද කරන්නේ? මිහික ඇසුවේ තමාගේම සිතිනි.

අප්පච්චි යන්නට කැමති නම් අප්පච්චි රැගෙන ආපසු රට යන්නට මිහිකට අපහසුවක් නැත. අප්පච්චිව ඩිපෙන්ඩන්ට් දමා එහෙට ගෙන්වා ගන්නට හැකියාවක් තිබේද යන්න සොයා බැලිය යුතුය. තමාට කොතරම් අප්පච්චිට සලකන්නට පුලුවන් කමක් තිබුණද මිනිස්සු සිතනා තරම් රට යෑම පහසු කටයුත්තක් නොවේ.

අනිත් කරුණ නම් ඒ සියලු ගැටලු නිරාකරණය කර ගත්තද තම නිවස දේපල ඉඩකඩම් දමා නන්නාදුනන රට ජීවත් වන්නට යන්නට අප්පච්චි කැමති වේද යන්නයි.

දරුවන් උස් මහත් කර උසස්ම අධ්‍යාපන පහසුකම් ලබාගන්නට මග පෙන්නුවද අප්පච්චිත් අම්මාත් ඉතාම සරල දිවි පෙවෙතක් ගත කල මිනිසුන් ය. මේ ඔවුන්ට පරම්පරාවෙන් ලැබුන නිවහනක් වුවද ඒ සියල්ල බලා කියා ගනිමින් ජීවත් වුණු අප්පච්චිටත් අම්මාටත් තම එකම දරුවා හොඳින් සතුටින් සිටින යහපත් මිනිසෙකු කරනු හැරෙන්නට මහ ලොකු බලාපොරොත්තු තිබුනේ නැත.

අම්මාත් අප්පච්චිත් අතර තිබුනේ පිච්ච මලක් බඳු පරම පිවිතුරු ආදරයකි.

“මනුස්සය එනකම් ගෑණි නොකා ඉන්න ඕන නෑ, මිනිහ ගෙදර එන්න කලින් නිදිමත තිබ්බොත් නිදාගත්තට කමක් නෑ” යන රැඩිකල් වදන් මුහුණු පොත පුරා ලියා තබන චරිත්‍රා ඇතුලු තවත් බොහෝ ගැහැණුන් සහ පිරිමින් නොදන්නා යමක් අම්මාත් අප්පච්චිත් අතර තිබුනි.

ඒ යටත් වීමකට වඩා ආදරය සෙනෙහස කරුණාව පෑමකි. තමා රැක බලා ගැනීම වෙනුවෙන් කළගුණ සැලකීමකි. ගෞරව කිරීමකි.

ඉස්සර අප්පච්චි වැඩ රාජකාරි අවසන් කර නිවසට එන්නට පමා වන විට අම්මා මද වේලාවක් දොර ලඟත් අනතුරුව ගේට්ටුව ළඟටත් ගොසින් බලා හිඳිනු මිහිකට අද වාගේ මතකය. මිහික කුඩා අවදියේ පටන් තිබුණ ඒ පුරුද්ද මිහික වැඩිහිටියකු වූ අවදියේවත් වෙනස් වූ බවක් මිහිකට මතක නැත.

අම්මා උයන විටක කුස්සියට පැමිණ හෙමින් සැරේ විහිලු තහලු කොඳුරන අප්පච්චිගේත් ඒවාට මද මුදු සිනා නංවන අම්මාගේත් දසුන් මිහිකගේ සිත තුල කුඩා අවදියේ හිඳ මවා තිබුනේ කුලගෙය සුන්දරය යන අදහස්‍ ය.

එහෙත් ඒ ප්‍රේමය අයිති අතීතයේ හුන් මිනිසුන්ට පමණක්‍ ය යන්න මිහිකට දැන් සිතේ.

තමා ඉත සිතින්ම ප්‍රේම කල විවාපත් කරගත් තරුණිය ඉතින් තව දුරටත් තමාට ආදරේ නැත.

අනිත් අතට ඇය කුමනාකාරයේ චරිතයක්ද යන්න මිහිකට සිතාගන්නට නොහැක.

ඇයගේ සහ නම නොදත් ඒ තරුණයාගේ ජායාරූප සිතට ගෙනා වේදනාවට වඩා වැඩි බයක් පෙර දින රැයේ චරිත්‍රා තාමා ඉදිරියේ හැසිරුණ අයුරින් සිතට පිළිපන් බව මිහිකට ස්තිරය.

ඒ තමා ආදරය කල චරිත්‍රා නොවේ. ඇය තමා හා විවාහ වී සිටියදී වෙන අයෙකු හා බැඳීමටත් වඩා මිහිකට පුදුමයකුත් වේදනාවකුත් ගෙනා ආවේ චරිත්‍රා විසින් තමා ඉදිරියේ නිරාවරණය කරන ලද සරාගී ඇතුලාන්තය ගැනය.

“අයියා නම් ඉන්නෙ පුදුම හිත් වේදනාවක පුතේ. උන්නයින් බාගයයි ඒ මනුස්සය”

සුරංගි නැන්දා නිහඬතාවය ආයෙමා බින්දාය.

ඒ  තමා නිහඬව උන් නිසාය යන නිගමනයකට මිහික එළඹුණේය. තමා එතරම්ම දුර කල්පනා කර බව මිහික දනී.

“අම්මා නැති වෙච්ච එකෙන් ලොකුම පාඩුවක් වුනේ අප්පච්චිට නැන්දේ”

“අයියා මේ ටික දවසට ලෙඩෙක් වෙච්ච හැටියි මට හිතාගන්නට බැරි” කියමින් සුසුම් හෙලන සුරංගි නැන්දා දෙස නොබලා මිහික ජනේලයෙන් එලියේ පෙනෙන නිල් පැහැ අවකාශයට දෙනෙත් යොමු කලේය. 

ඈත කලුවන් අහස පුරා තාරකා එළි නිවෙමින් දැල්වෙමින් තිබේ. කවුරුන් වෙනුවෙන් දැල්වෙනවාද යන්න ගැන ඒ තාරකාවලට වගක් නැතුවා සේය.

“අප්පච්චි එක්ක හීන් සීරුවේ මේ ගැන කතා කරන්න ඕන නැන්දේ” කියමින් මිහික තැනුවේ කාමරයෙන් එලියට යන්නටය. කුසගින්න හිමින් සැරේ නැග එයි. ඒ කුසගින්න දෙපාවලට පණ දෙන්නේ පහල කෑම කාමරයට යන්නයි.

මිහික උත්සාහ කලේ සුරංගි නැන්දා පසු කරගෙන යමින් කාමරයෙන් පිටවන්නට වුවත් ඇගේ මුවින් නිකුත් වූ වචන ඒ ගමන අවහිර කලාය.

“පුතාට හිතෙන්නෙ නැද්ද දු එක්ක මෙහෙ නතර වුණානම් හොඳයි කියල”

තමා මොනතරම් නම් අසරණද යන්න සිහිවෙද්දී චරිත්‍රා පිළිබඳ සියල්ල වමාරා සුරංගි නැන්දා ඉදිරියෙ හඬන්න තිබුණා නම් යැයි කියා මිහිකට සිතුණි.

ඇය තවදුරටත් තමාගේ ජීවිතයේ නැති බව පවසන්නේ කෙසේද?

රාත්‍රී ආහාරය ගන්නට මිහිකට දෑලබණ්ඩාර නිලමේත් එකතු විය. ඒත් ඒ තමා පෙර දැන හුන් අප්පච්චි නොවේ. නිහඬව නිසොල්මනේ කෑම ගැනීමක් තමා දන්නා අප්පචි ළඟ තිබුනේ නැත.

කෑම මේසය පිරී තිබුනේම අම්මා විසින් සකසන ලද රසමසවුලුත් තාත්තාගේ රස කතාත් එක්කාසු වීමෙනි. ඒ සිනා කතා මැදට එකතු වුණු කෑම පිනෙව්වේ රස නහර පමණක්ම නොවේ.

පුදුම තරම් නිහඬබවක් පැතිරී තිබූ කෑම මේසයේ නිහඬ බව මැකුනේ ඉඳ හිටක හැන්දක් බඳුනක ගැටෙන හඬින් පමනකි. අනෙක් අතට බෙදාගත්තද කන්නට පිරියක් නොතිබුන තැනක සතුටකට රැඳෙන්නට හැකිද?

“පුතා ආපහු කවද්ද යන්නේ?”

අප්පච්චි එහෙම අසනු ඇතැයි මිහික බලාපොරොත්තු වුනේ නැත.

සැබෑය. යන දවස තමා දන්නා බව සැබෑවකි. එහෙත් අප්පච්චි දමා යන්නට සිත හදාගන්නට මිහිකට නොහැක. තමා වෙනුවෙන් දැන් මෙලොව ඉතිරි වී හිඳින්නේ අප්පච්චි පමණක් නොවේද?

අප්පච්චි ඇසූ පැනයට මිහික පිළිතුරු දෙන්නට සූදානම් වුවත් එයට බාධා කරමින් දුරකතනය හඬ තලයි.

චරිත්‍රා ලෙස ඉංග්‍රීසියෙන් සටහන් වී තිබූ දුරකතන මුහුණත දෙස බලමින්ම දුරකතනය අතට ගත් මිහික අප්පච්චි දෙස බැලුවේ ඒ ඇමතුම ගන්නට අවසර ඉල්ලන්න මෙනි.

“හෙලෝ”

“අනේ මිහික”

චරිත්‍රා හඬා වැළපේ. එහා පසින් ඇසෙන්නේ වැළපුමක්ම පමණකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles