පෙඟුණු මල් පෙති 35

මිහික උන්නේ බියෙනි. 

චරිත්‍රා ජීවිතය නැති කරගෙන ඇතිද යන බියෙනි.

කොතෙක් අධිශ්ඨානශීලී වදන් මුහුණු පොත තුල ලිව්වද චරිත්‍රා යනු මිනිසුන් තමා ගැන සිතන දේ ගැන බොහෝ සේ සිතන අයෙකු බව මිහික හොඳින්ම දනී.

ඉතින් එවන් අයෙකුට මෙවන් දෙයාක් දරා ගැනීමේ කිසිදු හැකියාවක් නැත.

දෑස්වලින් කඳුලු කඩා වැටෙන්නේ ආදරය නිසාද බිය නිසාද යන්න මිහිකට සිතාගන්නට නොහැක.

ඇයගේ නිවසට යන්නට තවත් පැය බාගයක කාලයක් ගත වේ. ඒ කාලය තුල තමා මේ දැවීම දරාගත යුතුය. ඒ තමා වෙනුවෙන් නොව ඇය වෙනුවෙනි. 

“මෙහි සිටින චරිත්‍රා මිහිසුරණි විජේබණ්ඩාර යන අයව මාගේ දයාබර බිරිඳ වශයෙන් පිළිගන්නා බවටත්” යනුවෙන් පවසමින් නීතිය සහ නෑ හිතවතුන් ඉදිරියේ ඇයව විවාපත් කරගත් දින ඕනෑම ලෙඩක දුකකදී කරදරයකදී ඇයව අත නොහැර ඇයත් සමගම සිටින බවට තමා පොරොන්දුවක් දුන් බව මිහිකට මතකය.

“මගෙ කෙල්ල පොඩ්ඩක් මුරණ්ඩුයි. ඒත් පුතේ මේ ඉන්නෙ අපේ ඇස් දෙක” කියමින් නික්මෙන මොහොතේදී තමාගේ උරහිසින් අල්ලා ගෙන හඬා වැටුණ චරිත්‍රාගේ පියාගේ දෑත අල්ලා තමා ඇයව කිසි දිනක අත නොහරින බවට පොරොන්දු වූ අයුරුත් මිහිකට මතකය.

“ඔයා කැමති ගම්බද පරිසරේක ජීවත් වෙන්නද? ටවුන් එකක ජීවත් වෙන්නද?”

ඒ කතාබහ ඇරඹුන ඇයගේ දෙණියායේ සුන්දර නිවහනට ගොස් සිටි සති අන්තයකය.

“ම්ම් මම ආස ටවුන් එකක ඉන්න. ගමේ හැමදාම එකම දේනේ. වෙනසක් නෑ. වෙනසක් වුණත් ඒ වෙන්නෙත් හරිම හිමින්. මට නම් ඒක මහ කම්මැලි ජීවිතයක්”

“ඔයා කම්මැලි කිව්වට මට නම් හිතෙන්නෙ ඒක නිස්කලංකයි කියල”

“මම හැබයි ආසයි උදේට ඉර පායනවා දකින්න තියෙනම්. ටවුන් එකක නම් ඉතින් ඒක අඩුවෙන්නෙ ලස්සනට දකින්න වෙන්නෙ. ඔයා ආස නැද්ද උදේට ඉර පායනව දකින්න?”

“මට ඕන උදේ පාන්දර නැගිට්ටම ඔයා දිහා බලන්න. ආයෙ අමුතුවෙන් ඉර පායනව බලන්නෙ මොකටද? මගේ අන්ධකාර ජීවිතේට පායපු ඔයා තමයි ඒ ඉර”

ඒ කියමන අවසාන කරන්නටත් පෙර චරිත්‍රා තමාගේ දෙතොල් මත හාදුවක් තැබූ හැටි මතකය.

දෙදෙනා වාඩි වී හිඳියේ බිමට නැවී තිබුණ කජු ගහක බිම දිගේ ඇදී ගොස් තිබුන අත්තකය.

“මේ කජු ගහ මෙහෙම බිම දිගේ ගියේ කොහොමද?”

තමන් එසේ චරිත්‍රාගෙන් ඇසූ බව මතකය. ඒ කජු වාරය නොවුනත් අතරින් පතර වවුලන් සාරය උරා බිව් කජු පුහුලමක් දෙකක් විය.

“මේ ගහ කාලෙකට කකින් බිමට ඉදිරිල වැටුණ. අපි හිතුවෙ මැරිල කියල. ඒ වුනාට ඊටත් ටික කාලෙකට පස්සෙ මේ අත්ත දලු දදා තිබුණා. ඉතින් අපි අයින් කරන්න හිතුවෙත් නෑ. වත්ත පිටිපස්සෙ තියෙන නිසා කරදරේකුත් නෑනෙ”

ඒ සුන්දර අතීතය එදා දුටු වවුලන් විසින් සාරය උරා බිව් කහු පුහුලමක් මෙන් වියැකී ගොසිනි. ආදරය පිරුණු හිත් කාලය විසින් ආදරය උරා බීම නිසා වියලී ගොසිනි.

ඒ වියලුනු හිත මත ආයෙමත් ආදරයේ මල් පිපෙන්නට හැකිදැයි යන්න සැකයක් මුත් දෑස් අගින් නොනවත්වා කඳුලු වැගිරෙමින් තිබේ.

මිහික ඒ කඳුලු ගංගාව එක අතකින් පිසදා ගනිමින් අනෙක් අතින් රිය හසුරුවන්නට විය.

කොළඹට අඳුර එන්නේ නුවරට වඩා ප්‍රමාදවය.

නුවර මේ වෙද්දීත් නිදාගෙන හිඳින බව දන්නා මිහිකට කොළඹ මිනිසුන් රෑ බෝවී වනතුරු එළියට වී කරන්නේ මොනවාදැයි සිතාගත නොහැක.

කොළඹ රැකියාව කරන අවදියේ වුවද මිහික වැඩ ඇරී බෝඩිමට යන්නට ප්‍රිය කල අයෙකි. එය මදක් හෝ වෙනස් වූවා නම් ඒ චරිත්‍රාගේ ආගමනයත් සමගිනි.

ඇයත් සමග රාත්‍රී ආහාරය ගන්නට, චිත්‍රපටයක් බලන්නට ගිය දිනක රෑ බෝ වුවද එය පෙම්වතුන් දෙදෙනෙකු අතර සිදුවන ආදරය මුල් කරගත් දෙයකි. රෑ හඳ පානේ ඇවිද යන්නට පෙම්වතුන් කෙතරම් නම් ආසාද?

“ඔයා අහල තියෙනවද ගී ද මෝපසාං කියල ඕතර් කෙනෙක්ව?”

චරිත්‍රා දිනක් ඇසුවේ රෑ බෝ වූ වේලාවක හඳ එලියේ ගාලු මුවදොර පිටියේ වාඩි වී වඩේ කරත්තයකින් ගත් වඩේ කමින් ඉද්දීය. ඒ තමාත් ඇයත් පෙම් කරන්නට ගත් අලුතය.

“ඔයා දන්නවනෙ මම පොත් කියවන කෙනෙක් නෙවි කියල වැඩිය”

“ඔව් ඒත් ඔයා අහලවත් නැද්ද ගී ද මෝපසාං කියල ඕතර් කෙනෙක් ගැන”

“නෑ”

“එයාගේ තියෙනව කෙටි කතාවක් සඳ එළිය කියල”

“හ්ම්ම්ම්”

“ඒ පොතේ මෙන්න මෙහෙම දෙයක් කියනවා – සහෝදරිය, බොහෝ විට අප ආදරය කරන්නේ පුද්ගලයෙකුට නොව අපටමයි, අපේ සිතුවිලි වලටමයි. එදින රාත්‍රියේ ඔබේ සැබෑ පෙම්වතා වූයේ සඳ එළියයි කියලා”

“ඇයි දැන් ඒක එකපාරට මතක් වුණේ”

“නෑ මට මේ හඳ එලියෙ දිලිසි දිලිසි ඉන්න කපල්ස් දැක්කම ඒ කතාව මතක් වුනා. මට ඒ කෙටි කතාව තියෙන පොත හම්බුනේ ඉස්කෝලේ ප්‍රයිස් ගිවින් එකකදි”

“මම පොත කියවල නම් නෑ ඒත් මම හඳ එලියට ආසයි. ඒ ඔයා නිසා”

“ඒ කිව්වේ”

කුතුහලයෙන් පිරුණු බෝපත් මූණත් විසල් දෑසත් තමා දෙසට හරවමින් චරිත්‍රා එසේ ඇසූ හැටි මිහිකට දැනුදු මතකය.

“ඔයාගේ ඇඟේ හැඩ පේන්නෙ හඳ එලිය වැටුණාම”

ඒ වචන වලට කෝල සිනහවක් පෑ චරිත්‍රා ආයෙ වරක් තම දෑස ඇත පේන මුහුද දෙසට හැරෙව්වද තමා ඇයගේ පිරුනු දෙකම්මුල් දෙස බලා හුන් අයුරු මිහිකට අමතක නැත. 

එදා රැයේ ඇය නවාතැනට ගොස් ඒ හඳ එලියේ කතාවට එවූ පිළිතුර වචනයක් පාසා මිහිකගේ හිත කෙලවර ලියවී තිබේ.

“ඇයි මගේ ඇඟ උඩට හඳ එළිය වැටුණම හැඩයි කියන්නෙ, මගේ ඇඟ හැඩම ඒ ඇඟ ඔයාගේ දිග අතැඟිලි වලින් ස්පර්ෂ කරාම

ආදරේදි ඉරයි හඳයි කියන්නෙ නැතුවම බැරි වස්තු දෙකක්. ආදරේ උපමා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයකට ඉරයි හඳයි අපි පාවිච්චි කරලා තියෙනවා.

මමත් එහෙම කරල තියනව. ඔයා ඇත්තටම ඉරක් වගේ මගේ අන්ධකාර ජීවිතේ එළිය කරලා ආදරය කියන සඳ එළියක් වගේ සෞම්‍ය හැඟීම් වලින් මාව සනසන කෙනෙක්.

ගෑණියෙක්ව හැඟීම් වලින් සනසන්න පුළුවන් පිරිමි හරිම අඩුයි. ආදරේ පෙන්නන්න, ආදරේ කියන්න ලැජ්ජ වෙන පිරිමි අතරෙ මම කැමතියි ඔයාගේ ඒ නිර්ව්‍යාජ ගතියට. ඔයාම කියන විදියට “ගොඩේ ගතියට”

පෙම් කරන්නට ගත් අලුත් ජීවිතයට දැනෙන ඒ වෙනසට ආසා නොකරන අයෙක් නැති තරම් ය.එය එතරම්ම සිතට කුල්මක් බවක් ගෙන ඒ. හරියට සීතලම සීතල කොකා කෝලා බෝතලයක් විවර කළ විට එලියට පනින්නට බලා හිඳින රැස් මාලාව මෙනි.

“ආදරේ කොකා කෝලා බෝතලේකට සමාන කරනවට මම ආස නෑ” එසේ චරිත්‍රාට පැවසුවේ තමාය.

කොකා කෝලා බෝතලයක් පලමු වරට විවර කල විට එලියට පනින රැස් දෙවනි හෝ තුන්වන වාරයේ එසේ එලියට පනින්නේ නැත. ඒ “ආතල්” එක පළමු සැරෙන් අවසන් වේ. එහෙත් ආදරයට එසේ වන්නට නොහැක.

ආදරය යනු හිරු එලිය මෙන් සෑම දිනකම අලුත් වෙවී පායන්නකි. ජීවත් වන්නට අලුත් බලාපොරොත්තුවක් දෙන්නකි. ජීවිතය එළිය කරන්නකි. ආදරයේ කුල්මත් බව රැඳී තිබෙන්නේ ආදරය කරන්නට පටන් ගත් මුල් අවදියේ පමනක් නම් එතනින් එහාට ජීවිතය දෙදෙනාට එක්ව ගෙවායන්නට බලාපොරොත්තුවක් හේතුවක් නෑ නොවේද?

ඉතින් ආදරය කොකා කෝලා බෝතලයකට සම කරන්නට සැබෑ ආදරයේ මිහිරිතම අමුර්තයෙන් හිත පුරවා හුන් මිහික අකමැතිය.

“ආදරේ කියන, ආදරේ පෙන්නන මිනිහෙක්. ඒ තමයි සැනසීම.මම හෙව්ව සැනසීම”

ගෑණු හොයන්නෙ සැනසෙන්න පුලුවන් පිරිමියෙක්. සැනසීම ලබාදෙන පිරිමියෙක්. සමහරු හිතනව කෙල්ලො හොයන්නෙ “සල්ලි තියන, සික්ස් පැක්ස් තියන, හෙන උස, පට්ට කඩවසම්” එකෙක් කියල.

එහෙම requirements තියෙන කෙල්ලො ඇති. හැබැයි මේ ලියන කෙනා ඊට හාත්පසින්ම වෙනස්. 

ප්ලීස් බොරු ලොකු සීන්, පොශ් සීන් එපා. ඔය ගොඩේ නම් ඒ වගේ ඉන්න.මම ඒකට ආසයි. ඔයා සරල නම් ඒ වගේ ඉන්න මම ඒකට ආසයි”

චරිත්‍රා මෙසේ ලියා එවුවේ තමා ඇයට ආදරය ප්‍රකාශ කල දිනයේය. ඇය එය තමාට පමණක් එවා නොනැවතී මුහුණු පොතේ ද පල කර තිබුණි. ඒ පෝස්ටුව බොහෝ කෙල්ලන් විසින් හදවත් ලකුණු සමග මුහුණු පොතේ ශෙයා කර තිබෙනුද මිහිකට මතකය.

චරිත්‍රා කිසි දිනක තමා ගැන කිසිවක් හෝ ජායාරූප කිසිවක් ඇයගේ මුහුණු පොතේ පල නොකර බව මිහික දනී.

“රිලේශන්ශිප් ස්ටේසස් දාමුද?” යනුවෙන් තමා ඇසුවේ විවාපත් දිනය. ඒ විවාහ වීමෙ සතුට සියල්ලන් සමගම බෙදාගන්නට උවමනා වූ නිසාය.

“මගෙ අකවුන්ට් එක පබ්ලික් එකක් නෙ. මම ආස නෑ මිහික මිනිස්සු අපේ පර්සනල් ලයිෆ් එක ගැන දැන ගන්නවට. අනිත් එක ඔය එෆ් බී එකේ බැන්දමයි ඇනිවසරි ආදරේ ගැන කියල ෆොටෝ එහෙම දාන මිනිස්සු ඉන්නව නේද? ඒ මිනිස්සු තමයි තමන්ගෙ පවුල් ජීවිත ඇතුලෙ අසතුටෙන්ම ඉන්නෙ. මම ආස නෑ මට තියෙන දේවල් පෙන්නන්න. අපි වටින දේවල් ලෝකෙට පෙන්න පෙන්න යන්නෙ නෑනේ පරිස්සමට අරන් තියල තියනව මිසක”

කියමින් ඇය පැවසූ දෙයට විරුද්ධ වන්නට හේතුවක් එදා මිහිකට තිබුණේ නැත. ඇයට සැබවින්ම උවමනා කරේ ලෝකයේ දෑස් ඉදිරියෙන් තමා මෙන්ම ඇයද පණ මෙන් සුරකින මේ ආදරය සඟවා පරිස්සම් කරගන්නට බව තමා අතීතයේ සිතුවේය.

චරිතා මෙතරම්ම නින්දිත ලෙස රැවටුවේ එසේ ඇයව විශ්වාස කල තමාවය.

එහෙත් මේ ඒව ගැන සිතන්නට වේලාවක් නොවේ.

මොනවා වුවත් ඇය මනුශ්‍යය ගැහැණියකි, දුක වේදනාව උහුලමින් හිඳින මොහොතක ඇය වෙනුවෙන් පෙනී සිටීම තමාගේ මනුසත් කමයි.

වේගයෙන් පැදවූ රිය චරිත්‍රාගේ නවාතැන ඉදිරියේ මහ ශබ්දයෙන් නතර කල මිහික දොර ඇරගෙන කාරයෙන් බැස් දිව්වේ දොර වැසුණාදයි බලන්නටවත් නොනැවතීය.

තම ජීවිතයේ වටිනාම වස්තුව යැයි සිතූ යමක් මේ නිවස තුල වේදනාවේ ගැලී සිටී. සැම දෙයටම වඩා වටින්නේ එයයි. ඇයයි.

අගුලු ලා තිබූ නිවසේ උඩු මහලින් මන්දාලෝකයක් පිට වේ.

මිහික කීප සැරයක්ම සීනුව නාද කලේ “අනේ චරිත්‍රා ප්ලීස් දොර අරින්න” යනුවෙන් දෙවියන්ගෙන් අයදිමිනි.

“ටක්” හඬින් අගුලු ඇරෙනුත් තමා දොර තල්ලු කරගෙන නිවසට ඇතුලු වනුත් මිහිකට මතකය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles