තමා දෙස දෑස් විසල් කරගෙන හිඳින ඒ තරුණයාත් ඔහුට එහයින් සිට තමා දෙස බලා සිටින චරිත්‍රා දෙසත් මාරුවෙන් මාරුවට දෑස් යා කල මිහික අනතුරුව එක එල්ලේම නම නොදත් තරුණයා දෙස බලා සිටින්නට විය.
මේ ඇයගේ පෙම්වතාය.
මුහුණු පොතේ හුවමාරු වූ ජායාරූපයේ හුන් සුන්දර කඩවසම් තරුණයාය.
ඔහුද තමා තරමට උස මහතය. එහෙත් තමාටත් වඩා කඩවසම් ය.
එහෙත් මේ ඒවා සිතන වෙලාවක් නොවේ.
“මිස්ට කවුද?’
ඒ වචන මුවින් පිට කරමින් තමාගේ දෑස දෙසම එක එල්ලේ බලා හුන් ඒ තරුණයාගෙන් දෑස් මදක් ඉවතට ගත් මිහික ඇස් චරිත්‍රා වෙත යා කලේ ඒ පැනයට පිළිතුරක් බලාපොරොත්තුවෙනි.
ඒ ප්‍රශ්නයට පිළිතුර තමා ළඟ තිබේ. එහෙත් ඒ පිළිතුර තමා විසින් ලබා දෙනවාට චරිත්‍රා කැමති වේද යන්න මිහිකට සැකය.
මිහිකගේ දෑස් මාරුවෙන් මාරුවට නම නොදත් තරුණයගේත් චරිත්‍රාගේත් දෙඇස් අතර හුවමාරු වන්නට විය.
ඒ මිනිත්තු කිහිපයක් පමණක් වුවද මිහිකට දැනුනේ තමා බොහෝ වේලා ඒ දෑස් යුගල දෙක අතර හුවමාරු වෙමින් හිඳි බවකි.
තිදෙනාම උන්නේ තිදෙනාගෙන්ම පිලිතුරක් අපේක්ෂාවෙනි.
“ඒ මගේ හස්බන්ඩ්”
ඒ වදන් පිට වූයේ චරිත්‍රාගෙන්ද යන්න සැක හැර දැනගන්නට ළහිරුත් මිහිකත් හිස හැරවුයේ එකම මොහොතකය.
ඒ ඔවුන් බලාපොරොත්තුවෙන් හුන් වදනක් නොවේ.
අනෙක් අතට මිහික වුව චරිත්‍රා තමාගේ පෙම්වතා ඉදිරියේ එසේ පවසනු ඇතැයි සිතුවේ නැත. ඇය තමාව මිතුරෙකු ලෙස හඳුන්වා දුන්නා නම් එය එසේම ලෙස රඟ පාන්නට මිහික සිතුවේ විවර වුණ දොර තුලින් ළහිරුව දුටු පසුවය.
එතෙක් වේලා අඩවන් කර ගෙන හුන් දොර සම්පූර්නයෙන්ම ඇරගෙන මිහික ඇතුලට එද්දීත් සීතලව ගල් ව මෙන් හුන් ළහිරු බිම බලාගෙන කල්පනා කරමින් හුන්නේ එක් අතක ඇඟිලි කෙස් අතර යවමිනි.
සෙමෙන් මිහික නිවස තුලට එද්දී චරිත්‍රා මුලු තැන් ගෙය දෙසට ඇවිද යන්නට වූයේ සිහිනයෙන් මෙනි. එහෙත් ඇය උන්නේ මෙලොව බව මිහික දැනගත්තේ මඳ අඳුරේ වුවත් කිසිවක නොහැප්පී ඇය මුලුතැන් ගෙය වෙත උඅනු දුටු බැවිනි.
මිහිකට තමා ගැනත් ළහිරු ගැනත් දැනුනේ පුදුමාකාර වේදනාවකි. අද තමන් දෙදෙනාම එකම ගැහණියක් නිසා රැවටී හිඳින බව තේරුම් ගෙන අහවරය. ඒ වූ කලී මෙතකැයි කියා වචනයෙන් විස්තර කල හැකි අන්දමේ වේදනාවක් නොවේ.
ළහිරු උන්නේ තවමත් බාගෙට අඩවන් වූ දොර අසල සිටගෙන ය.කම්පාවෙන් ගල්වීය.
එහෙත් ඒ කම්පිත බවේ සිසිලසෙන් මිදී හුන් තමා මෙන්ම රැවටුණු මිත්‍රයා වෙනුවෙන් පිදිය යුත්තේ කුමන වදනක් දැයි මිහික දැන හුන්නේ නැත.
සබඳතා ඇතුලේදී රැවටෙන්නේත්, වේදනා විඳින්නේත් කාන්තාවන් පමණක් යැයි, එසේ වන් කාන්තාවන් බිමට ඉදිරී නොවැටී මහා රූස්ස ගස් මෙන් අහස සිඹින්නට හිස එසවිය යුතු බවට කී ගැහැණියක නිසා රැවටුණු පිරිමි හිත් දෙකක් එකම මොහොතක එකම තැනක හිත එකම හේතුවකට ගැහෙමින් තිබුණි.
ඒ හිත මුණිවත රකින මුත් දෙහිතටම එකිනෙකා හා බෙදා හදා ගන්නට අදහස් කප්පරක් ඇති බව දෙදෙනාම දැන් උන්හ.
තේ කෝප්ප ගැටෙන හඬකට හැරී බැලූ මිහික දුටුවේ තේ කෝප්ප තුනක් සහිත බන්දේසියක් අත තබාගෙන තමා දෙසත් ලහිරු දෙසත් බලමින් හුන් චරිත්‍රාය.
මෙවන් මොහොතක කෙහෙ අවුල් කරගෙන හඬා වැටෙමින් හුන් ගැහණියක දකින්නට බලාපොරොත්තු වුන මිහිකට චරිත්‍රාව මෙසේ දැකීම පුදුමයක් විය.
මේ තමා දැන් හුන් ගැහැණිය නොවේ. සමහරවිට ළහිරුගේ ආදරය ඇයව ශක්තිමත් කරන්නට ඇය. එසේත් නැතිනම් ජීවිතයේ ප්‍රශ්න ආ විට නොසැලී හිඳින්නට හැකි අපූරුතම ශක්තියක් ගැහණුන් තුල තිබෙන නිසා ද?
චරිත්‍රාගේ බැල්ම අනුව ළහිරු තමා හිටගෙන හුන් මිදුණු හැඟීමෙන් මිදී මිහික වාඩි වී හුන් සෙටියේ මිහිකට ඉදිරිපසින් වූ අසුනක වාඩි විය. චරිත්‍රා විසින් සෙටියමැද වූ කොෆි ටේබල් එක මතින් තේ කෝප්ප තමා ළහිරුත් මිහිකත් අර මැද පුටුවක වාඩි වූයේ තමාගේ තේ කෝප්පය අතට ගනිමිනි.
ඉඟුරු දමා සකසා තිබූ තෙ කෝප්ප අතට ගෙන සෙමෙන් තොලගාන්නට වූ තිදෙනා අතර වූයේ ඇදහිය නොහැකි නිශ්ශබ්දතාවයකි.
ඒ වූ කලී විශ්වාස කල හැකි නිශ්ශබ්දතාවයක් නොවේ.
පිරිමින් දෙදෙනෙකුව රැවටූ ගැහැණියකට ඒ පිරිමින් දෙදෙනා අතර මැද හිඳගෙන එතරම්ම නිශ්ශබ්දව කාලය ගත කරන්නට හැකිද?
අනෙක් අතට තමා රවටූ ගැහැණිය තමා අබියස හිඳියදී තමාව රැවටුවේ ඇයිද යන පැනය නොඅසා ඉන්නට පිරිමින් දෙදෙනෙකුට හැකිද?
ඒ ප්‍රශ්න නැති පිළිතුරුය.
ඉඟුරු රසැති තේ කෝප්පයේ උණුහුමින් හිම මෙන් මිදී ගොස් තිබුණ හිත සෙමෙන් ලිහිල් වනු මිහිකට දැනේ. බාගදා එය එලෙසම මේ තරුණයාටත් චරිත්‍රාටත් දැනෙනවා ඇත. එහෙත් ඒ හැඟීම ගල් ගැසී ඇති දෙතොල ඉහිල් කරන්නට ප්‍රමාණවත් නොවේ.
“මම දැන් මොකද කරන්න ඕන”
එතෙක් වේලා නිසොල්මනේ වාඩි වී හුන් චරිත්‍රා එසේ ඇසුවේ මේ මොහොතේ ඇය මුහුණ දි හිඳින තත්ත්වය ගැනද නොඑසේනම් තමාත් අනෙක් තරුණයාත් රැවටීම පිළිබඳවද යන්න මිහිකට සිතාගන්නට නොහැකි විය.
මිහික ළහිරු දෙසත් ළහිරු මිහික දෙසත් බැලුවේය.
“ඔයා දන්නවද ඒ වීඩියෝ එක ලීක් කරේ කවුද කියලා”
ඒ එක් මුවකින් නැගුන එහෙත් දෙහිතකින්ම අසන්නට බලාපොරොත්තුවෙන් උන් පැනයකි. ප්‍රශ්නයක් විසඳන්නට ප්‍රශ්නයේ මුල සොයාගත යුතුය. මැදින් කපා දැමුවහොත් ඒ ප්‍රශ්නය අනාගතයේ දිනක ආයේම මුල් අදින්නට ඇති හැකියාව ඉහලය.
ඒ ප්‍රශ්නයට වචනයෙන් පිලිතුරු නොදුන් මුත් හිස උඩ පහත වනමින් චරිත්‍රා හුන්නේ ආයෙ ආයේ කඳුලු අලුත් කරගනිමිනි.
ඇය අත තිබූ තේ කෝප්පය අත හැරෙන්නට ඔන්න මෙන්න තිබියදී වම් පැත්තෙන් ළහිරු පැමිණ ඇය අසල දණ ගසා තේ කෝප්පය අතට ගත්තේය.
අනෙක් පසින් පැමිණි මිහික තේ කෝප්පය අතැරීම නිසා වෙව්ලන්නට ගත් දෑත අල්ලාගෙන සෙමෙන් පිරිමදින්නට වූවේය.
“අඬන්න එපා”
ඒ වදන් පිටවුනේ ළහිරුගේත් මිහිකගේත් දෙදෙනාගේම මුවිනි. මිහිකගේ අතින් චරිත්‍රාගේ දෑත අල්වාගෙන හිඳින අතර ළහිරු සෙමෙන් ඇයගේ දණහිස අතගාමින් උන්නේය.
ඒ මොහොතේ ඇය අයිති කාහටද? තමාටද ඔහුටද යන පැනය කිසිවෙකුගේ සිතේ තිබුණාදැයි කවුරුවත්ම නොදනී.
අනෙක් අතට ඒ ප්‍රශ්නය ඇසීමේ තේරුමක් තිබේද? ප්‍රශ්නය ඇය කිසිවෙකුටවත් අයිතිද යන්න නොවේ. ඇයට නවතින්නට උවමනා කා ළඟද යන්න නොවේද?
“ඒ ප්‍රභාත්. ප්‍රභාත් තමයි ඒක අප්ලෝඩ් කරන්න ඇත්තෙ. එයා තමයි ඒක අරගන්න ඇත්තෙ”
කඳුලු අතරින් චරිත්‍රා පවසන්නට වූ කතාව ළහිරුත් මිහිකත් අසා උන්නේ කිසිදු හැඟීමක් දැනීමක් නොමැතිය. දෑස්වලින් කඳුලුද මුවින් වචනද හරහා ඇය දිය කර හරින්නට වූ ඒ වේදනාවේ කෙලවර තමාද විඳවමින් ඉන්නා බව දන්නා මුත් මහත්මා ගති ඇති මිනිසුන් දෙදෙනෙකු ඉවසා දරාගනිමින් සෙටිය අසල බිම දෙපසට වී තමා රැවටූ ගැහණියගේ දෑත අල්ලාගෙන වර්තමානයට සම්බන්ධ වන අනාගතයට දිවෙන කුණු ගඳ හමන කතාවක් අසා සිටින්නට විය.
“ප්‍රභාත් එදා මට කතා කරල එන්න කිව්ව ලේක් ග්‍රෑන්ඩ් එකට. ඒත් මම යන්න බෑ කිව්වා
එයා කීප සැරයක්ම කතා කරත් මම යන්න බෑ කිව්ව. එයා සද්ද නැතිව ඉඳපු නිසා මම හිතුවෙ එයා ඒක අමතක කරන්න ඇති කියල”
කඳුලු අතරින්ම චරිත්‍රා ඒ කතාව එසේ අවසන් කරාය.
තමා කොතෙක් වේලා ඒ කතාව අසා සිටියාද කියා මිහිකටවත් ළහිරුටවත් නිනව්වක් වූයේ නැත.
වේලාව රාත්‍රී එකටත් කිට්ටුය. එහෙත් නිදිමතක් නැත. වෙහෙසක් නැත.
“ඔයාගේ ඊමේල් එෆ් බී කිසිම දේකට ලොග් වෙන්න පුලුවන් කමක් නැද්ද?”
ඒ ඇසුවේ මිහික යන සැමියා පමණක්ම නොවේ මිහික යන මෘදුකාංග ඉංජිනේරුවරයාය.
“මම ට්‍රයි කරා. ඒත් ඊමේල් එකටවත් එෆ් බී එකටවත් ලොග් වෙන්න බෑ. ඔෆිස් එකට ඉන්ෆෝම් කරා. එයාලා මෙටා සූට් ඇක්සස් අයින් කරා කිව්වම ඔක්කොම බ්‍රෑන්ඩ්ස් වලින්. ඒ නිසා බ්‍රෑන්ඩ් අකවුන්ට්ස් වලට අවුලක් නෑ කිව්ව.
ඒත් මට ලොග් වෙන්නම බෑඅකවුන්ට් එකට. මට හිතාගන්න බෑ මොකද්ද කරන්නෙ කියල”
චරිත්‍රා දිගටම හුන්නේ කඳුලු වගුරවමිනි.
“බයවෙන්න එපා අපිට පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳගන්න. එහෙම නේද? මචං”
තමා පෙම්වතිය යැයි සිතා හුන් ගැහැණියගේ සැමියාට මචං යන වදනින් අමතන්නට තමාට ශක්තිය ආවෙ කෙසේදැයි ලහිරු නොදනී.
අනෙක් අතට මිහිකට ඔහු තමා එසේ ඇමතීම ගැන දැනුනේ සතුටකි.
තමන් දෙදෙනාම එකම බෝට්ටුවේය.
එකිනෙකාට එකිනෙකා විශ්වාස කල හැකිය යන සිතුවිල්ලක් එකිනෙකා අතර හදවත්වලින් හුවමාරු වෙමින් තිබුණි.
මට ඔහුව විශ්වාස කල හැකිය යන ඒ සිතුවිල්ල මචං යන වදනට පාර සකසා දුනි.
ළහිරුත් මිහිකත් දෑස් වලින් හුවමාරු කරගන්නට වූයේ ඒ විශ්වාසයයි. ඒ විශ්වාසය මත තමන්ව රැවටූ ගැහැණිය වැටී හිඳින ආගාධයෙන් ඇයව ගොඩගන්නට ඔවුන් දෙදෙනාටම අවශ්‍ය විය.
ඒ විශ්වාසය මුල පුරන්නට වූයේ නමක් නොදිය හැකි මිතුදමකටය.