“රන් කෙන්දෙන් බැද
අතැගිලි එක් කළ ආදරයයි
පෙම් රැහැනින් බැද
සිතුම් වසල කළ ආදරයයි
හිරු සදු එකවර දෙපස නැගේ
කලුවර ඇයි විජිතයම මගේ
කණාටු සුළගේ දුහුල් මලකි ඈ
වල්මත් වී පාවෙන්නේ”
දුහුල් මලක් චිත්‍රපටය වෙනුවෙන් නන්දා මාලිනිය ගැයු ඒ ගීතය තමාගේ ජීවන ගීතය බඳුයැයි චරිත්‍රාට සිතුනේ සැනසිල්ලේ නිදියන්න යැයි කියා මිහිකත් ළහිරුත් තමා ඇඳ මත හොවා ආපසු සාලයට ගිය පසුය.
රන් කෙන්දෙන් බඳ අතැගිලි එක්කල ආදරයටත්, පෙම් රැහනින් බැඳ සිතුම් වසඟ කල ආදරයටත් තමා දෝහි විය.
තමා ඔවුන් දෙදෙනාම රවටා තිබූ බව හොඳාකාරවම දැන ඉද්දීත් මෙතරම්ම ආදරයකින් තමා අසරණ වූ මොහොතේ තමා සනසාලන්නට ඔවුන් පැමිණීම දරාගන්නට නොහැකි තැන චරිත්‍රා සෙමෙන් ඉකිබිඳින්නට විය.
කොට්ටයේ මුහුන සඟවා අඳුරු කාමරයේ හිඳ ඉකිලමින් උන් චරිත්‍රාව පායා තිබූ සඳෙහි කාමරය තුලට වන් සඳ එලියෙන් පෙනෙන්නට වූයේ වැන් ගෝගේ චිත්‍රයක් බඳුවයි.
දුහුලු මලක් චිත්‍රපටයේ නිලූපා තමන්ගේ සැමියා වන සුරවීර ඉද්දී හමුවන කෙලිලොල් කඩවසම් තරුණයකු වන රොහාන් හා ප්‍රේම සම්බන්ධයක් අරඹයි. තමා ඉතාම තුරුණු වියේදී නැරඹූ දුහුලු මලක් චිත්‍රපටය තමා ඉතාම ප්‍රියකරන සිංහල චිත්‍රපට අතරට එක්වූයේ තමාද එවන් ජීවිතයක් ගෙවන්නට බලාපොරොත්තුවෙන් උන් නිසාද?
එහෙත් නිලූපා යනු තමා නොවේ. ඇය සැබවින්ම තමාට වඩා අවිහිංසකය. අනියම් සබඳතාවයක් කිසි දිනක සාදාරණීකරණය කරන්නට නොහැක. කී දෙනෙකු සතුටු වුවද අනියම් සබඳතා නිසා දුක්වන එක් පාර්ශ්වයක් හරි වෙයි. නිලුපා රොහාන්ට පෙම් කරමින් සුරවීර රැවටුවද අවසානයේ සුරවීර ඇයට සමාව දෙයි.
එහෙත් තම ජීවිතයේ සියලුම සත්‍යයන් දන්වා මිහික සහ ළහිරු තමාට සමාව දේවිද?
ඒ සමාව ලබන්නට තමා සුදුසුද?
කඳුලින් පෙඟුණු කොට්ටය මට හිස තියාගෙන උන් චරිත්‍රා කල්පනා කරන්නට විය.
“මම ඔයාව කවදහරි රැවැට්ටුවොත් ඔයා මොකද කරන්නේ?”
ඒ ප්‍රශ්නය අතීතයේ දිනක තමා මිහිකගෙන් ඇසුවේ ඔහුව රවටන්නට බලා හුන් නිසා නොවේ. ඕනෑම පෙම්වතියක පෙම්වතෙකුගෙන් අසන සාමාන්‍ය සුලබ ප්‍රශ්නයක් නිසාවෙනි.
“ඇයි ඔයා ඔය වගේ ආතක් පාතක් නැති ප්‍රශ්න මගෙන් අහන්නේ?”
තමාගෙ උකුල මත හිස තබාගෙන හුන් මිහික හිස ඔසවා තමාගේ මුහුන දෙස බලාගෙන ඇසුවේ අමනාපයෙනි.
මිහිකගේ අමනාපය පිරුණු මුහුන විහිලු සහගතය. ඒ බව තමා කොතරම් වාරයක් නම් කියා තිබේද?
“එහෙම නෙවෙයි, මම ඇහුවෙ නිකන්. කියන්නකො ඉතින්. මම එහෙම කලොත් ඔයා මොකද කරන්නේ”
“මොන වගේ රැවටීමක් ගැනද දැන් ඔයා ඔය කිව්වෙ?”
“ඒ කියන්නේ”
“දැන් ඔයාට පුලුවන්නෙ මාව එක එක විදියට රවට්ටන්න. ඔයා මොන විදියටද මාව රවට්ටන්න හිතාගෙන ඉන්නෙ?”
“ම්ම් හරි දැන් හිතන්නකො මම ඔයා එක්ක යාලුවෙලා ඉද්දි වෙන කෙනෙක් එක්කත් යාලුවුනා කියල.ඔයා මොකද කරන්නෙ එහෙම උනොත්?”
තමා එදා එසේ ඇසුවේ මිහිකව රවටන්නට සිතාගෙන නොවේ. ඒ මිහික සමග ආදරයේ මිහිරෙන් බැඳී හුන් කාලයකි. එදවස මිහිකට එහා දෙයක් තමා නොදුටු බව චරිත්‍රාට මතකය.
එහෙත් ඒ හැඟීම තිබුනේ කෙතරම් නම් කුඩා කාලයක්ද?
ආදරයකට එතරම් ඉක්මනින් අවසන් විය හැකිද යන්න පවා එදා තමාට සිතුනේ නැත.
ඉන්පසුව ආ ගිනි පුපුරු බඳු දැවෙන සුලු සබඳතා දහසක් අතර මිහිකගේ මද පවනක් බඳු ආදරයට හමා යන්නට ඉඩක් තිබුනේ නැත.
ඒ දැවීම අවසන් වුනේ අහම්බයකින් මෙන් ළහිරු මුණ ගැසීමෙනි.
“ඔයා ඇයි මට ආදරේ?”
“අනේ මන්ද මන් කිසිම හේතුවක් නිසා නෙවි ඔයාට ආදරේ”
“හැමදේටම හේතුවක් තියෙන එකේ ඔයාට මට ආදරේ කරන්නත් හේතුවක් තියෙන්න ඕන නේද?”
“ඔව් ඒත් මම හිතන්නේ නෑ ආදරේ කරන්න හේතුව තියෙනව කියල. මට ඔයාට ආදරේ කරන්න හේතුවක් තිබුනෙ නෑ. මම නොහිතපු වෙලාවක දන්නෙ නැති හේතුවකට මම ඔයාට ආදරේ කරන්න ගත්තා”
ළහිරු එසේ පැවසූවේ ඕශන් බ්‍රිශි රැයක් ගත කල දිනයක සුදු පැහැ ඇතිරිලි ඇතුලේ උණුසුමෙන් වෙලී ඉද්දීය.
එදා ඒ උණුසුමේ ගැලී හිඳ පසුදින උදෑසන නවාතැනට යන අතරවාරයේ තමා මුහුණු පොතේ මෙසේ ලියා තැබූ හැටිද චරිත්‍රාට මතකය.
“හේතු නිසා ඇතිවුන ආදරේ වෙන හේතුවක් නිසා හෝ මූල හේතුව නැතිවුන දවසක නැතිවෙලා යද්දි හේතුවක් මූලික නොවුන ආදරේ හේතුවක් ඇතුව හෝ නැතුව සදහටම රදා පවතීවි. හරියට අම්මගෙ තාත්තගෙ ආදරේ වගේ.
හේතුවක් නැති ඒ ආදරේ සදාකාලික නැද්ද?”
සාලය දෙසින් මිහිකත් ළහිරුත් මොනවදෝ කියනවා ඇසේ.
තමාට නින්ද ගියේ කොයි වේලාවකද කියා චරිත්‍රාට මතක නැත.
තමා ළහිරුගේ නම කියමින් ඉතා උස බිල්ඩිමක පඩිපෙල හති දමමින් නගිමින් සිටියාය. ඒ වූ කලී අවසානයක් නැති ගොඩනැගිල්ලකි. තමා ළහිරුගේ නම දිගින් දිගටම නොනවත්වා කෑමොර දෙමින් ඒ ගොඩනැගිල්ල නැග යමින් උන්නේ ඇයිදැයි කියාවත් චරිත්‍රාට තේරුණේ නැත.
තමාගේ පසුපසින් කවුරුන් හෝ දුව එනු මතකය්. ඒ කවුදැයි කියා හැරී බලන්නටවත් නොඉඳ තමා පඩිපෙල නගිමින් උන්නාය.
පඩිපෙල අවසානයේ දකින්නට වූයේ දකින්න බලාපොරොත්තු වූවක් නොවේ.
ඉහල තැන්වලට බිම තිබෙන බඩු ඔසවා ගෙන ගොස් තබන ක්‍රේන් එකක ළහිරු උන්නේ එල්ලීය. ක්‍රේන් එකෙහි අග ඇති කොක්කේ ඇමිණී තිබූ ශර්ටය නිසාවෙන් ඉහලට එසවෙමින් උන්නද ළහිරු උන්නේ නිහඬවය.
දඟලමින්වත් කෑගසමින්වත් නොවේ.
තමා ඔහු වෙතට දිව යද්දී ගොඩනැගිල්ලේ ඉහල මාලයෙන් අඩි කිහිපයක් ක්‍රේන් එකෙහි ඇමිණී ගොස් හුන් ළහිරු බිමට ඇද වැටෙනු චරිත්‍රාට මතකය.
ඔහු මිය ගොසින් ඇතැයි සිතා හඬමින් තමා දිව යන අයුරුත් හිස හරවා බලද්දි තමා පසුපසින් දිව ගෙන අවුදින් පපුව අල්ලාගෙන බිම වාඩි වී හිඳින මිහිකත් දුටුවාය.
චරිත්‍රා තිගැස්සී ඇහැරුණි.
ඒ සිහිනයකි.
දහදිය වගුරුවා ගෙන ඇහැරී මද වේලාවක් යනතුරු දෑස හුරු කරගන්නට අපහසු විය.
හොඳින් හිරු එලිය වැටී තිබෙන කාමරයේ සිටින්නේ තමා පමණකි. නිවසේ අනෙක් අන්තයෙන්ද කිසිදු හඬක් නොඇසේ.
මිහික සහ ළහිරු බාගදා රාත්‍රියේම යන්නට ඇත.
සෙමෙන් ඇඳ මතින් නැගිට නාන කාමරයට ගිය විට දුටුවේ ඉදිමුන දෑසකුත් මලානික මුහුණකුත් තිබූ අලුත් චරිත්‍රා කෙනෙකි.
අලුත් වුවත් ඇය මියගොසිනි.
හිරු පායා තිබුනද මේ අලුත් ජීවිතයක් නොවේ.
සීතල වතුර පොදකින් මුහුණ තෙමා ගෙන චරිත්‍රා නාන කාමරයෙන් එලියට විත් සාලය දෙසට යන්නට විය.හැඬීමත්, කෝපයත් නිසා අවුල් වූ නිවසේ වේදනාවේ නටඹුන් සෑම තැනකම දකින්නට හැක.
සාලයේ සෙටිය මත නිදාගෙන හුන් මිහිකත් ළහිරුත් දුටු චරිත්‍රාට පුදුම සිතුණි.
සියලු දෙනාම තමාව අතැර ගොසින් හිඳින මොහොතක පවා තමා වෙනුවෙන් වේදනාව දරාගෙන මෙහි රැඳී හිඳින අසරණ මිනිසුන් දෙදෙනා ගැනම එක හා සමාන ගෞරවය මුසු වූ ආදරයක් එවෙලේ තම සිත තුල වූවාය.
උස මහත තරුණයන් දෙදෙනෙකුට සෙටියක් මත නිදා ගැනීම අපහසු බව චරිත්‍රා නොදන්නවා නොවේ.
තම දුරකතනයත් පරිගනකයත් ඔවුන් දෙදෙනා නිදා හුන් සෙටිය අසල කොෆි ටේබල් එක මත තිබුනි.
ඒ මිහික තම මුහුණු පොත් ගිණුම යලි තමා භාරයට ගන්නට උත්සහ කල නිසාවෙන් බව චරිත්‍රා දනී.
මිහික වැනි දක්ශ මෘදුකාංග ඉන්ජිනේරුවකුට එය හැකිවන්නට ඇතැයි යන සිතුවිල්ල සිතට සතුටක් ගෙනාවද එයට තමා විසින් ඇති කරගත්තාවූ ප්‍රශ්න කිසිවක් මකාදමන්නට නොහැක.
ඒ ප්‍රශ්න සියල්ල සමගම තමාට ඉදිරි ජීවිතයට මුහුණ දෙන්නට වන බව චරිත්‍රා දනී.
මෙතුවක් කාලයකට කිසිවෙකුට තම දුරකතනය හෝ පරිගනකය භාවිතා කරන්නට තමා ඉඩ දී තිබුනේ ඇත. ඒ එතරම්ම රහස් ඒවායේ සැඟවී තිබුන නිසාවෙනි.
එහෙත් අද තමාට කිසිවෙකුගෙන් සඟවා තබාගන්නට කිසිවක් මේ ලෝකයේ නැත. ඉතින් මිහික දුරකතනය සහ ලැප්ටොප් පරිගණකය ගෙන පරික්ශ කිරීමේ ගැටලුවක් අද නැත.
“එක රහසක් වහන්න අපි තව තව බොරු ජීවිතේට එක්කහු කරගන්නව නේද?කවදහරි අපි දන්නෙම නැතුව අපි ඒ බොරු දැලේ පැටලෙනවා. ඒ දැලෙන් පැටලිල එලියට එන්න අපිට ලේසියෙන් ඉඩක් හම්බෙන්නෙ නෑ. හරියට මකුලු දැලක පැටලිච්ච කුරුමිණියෙක් වගේ”
තමා විසින් ලියා තැබූ වචනම අද බූමරංගයක් මෙන් තමා වෙතටම පැමින ජීවිතයේ ඇත්ත පහදමින් හිඳී.
ඒ ඇත්ත තිත්තය. මෙතෙක් දිනක් බොරුවේ මිහිර විඳි හිතකට ඒ ඇත්තේ තිත්ත දරාගන්නට අපහසුය.
කොෆි ටේබල් එක මත තබා තිබෙන තම දුරකතනය නාද වේ. ඒ ඇමතුම අම්මාගෙනි. සාමාන්‍යයෙන් තමා අම්මා අමතනු මිස අම්මා තමා අමතන සිරිතක් නැත.
ඒ ඇමතුමේ එහා පසින් මේ සියල්ල දැනගත් අම්මාගේ වේදනාත්මක විලාපය අහන්නට වේ යැයි බියෙන් චරිත්‍රාගේ දෑඩ් සැලෙන්නට විට.
දුරකතනයේ හඬින් අඩ නින්දේ හුන් ළහිරු අවදි වෙද්දීම ඇමතුමට සම්බන්ධ වූ මිහික අම්මා අමතමින් සහ ඇයව සනසවමින් මුලුතැන්ගෙය දෙසට යන්නට විය.
නිදිබර දෑස් අතින් පොඩිකරමින් සෙටිය මත අසුන් ගෙන හුන් ළහිරු චරිත්‍රා දෙස බලා හිමින් සැරේ හිනා වුණාය.
ඒ අහිංසක හිනාවකි. අනුකම්පාව මුසු වූ හිනාවකි. වේදනාවෙන් බර හිනාවකි.
එහෙත් කෝපයක, පිළිකුලක සේයාවක්වත් එහි නොවීය.
හිරුත් සඳුත් එකවර තම ජීවිතයේ දෙපස නැගී හිඳී. එහෙත් ඒ කෙතරම් කාලයකටද?
“කනාටු සුළගේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ”