නිම් නැති නිම්නය 52

දැන් සඳයුරු සැනසුම් පාය පුරා දණ ගා යයි. ඔහු ගේ කිරි සිනහ හඬින් ද ලාලන කූජන වලින් ද සැනසුම් පාය පිරී ගොස් තිබේ. තා තා තා යයි කියමින්, කවීශ්වර ගෙදර එන වෙලාවට දණ ගාගෙන ගොස් ඔහු ගේ දෙපා බදා ගනී. එතකොට කවීශ්වර ඔහු වඩා ගෙන මුහුණත් උදරයත් පපුවත් අත් පාත් සිප ගනී. රැවුල් කොට ඇනී කිති ගැන්වෙන බිළිඳා මහ හඬ නගා සිනහ වෙයි. ඒ සිනහව සැනසුම් පායේ නිවැසි හැම හදවතක ම සැනසුම් සිනහවක් ජනිත කරවයි. 

“තාතාතා නෙවෙයි…තාත්ත..තාත්..ත”

ගජධීර හෝ රාජිකා මැණිකේ පේන්නට නො හිටියොත් කවීශ්වර සඳයුරු තුරුලු කර ගෙන කියයි. ආරාධනා එතකොට සිනහව රහසේ සඟවා ගෙන ඉවත බලා ගනී. ඇගේ මේ ආඩම්බර කමට එදා සේ අදත් කවීශ්වර කැමති ය. 

අවුරුද්දක් සම්පූර්ණ වෙත්දී සඳයුරු ඇවිදිනු ඇති බවට, නිතර ම රාජිකා මැණිකේ අනාවැකි කියන්නී ය. 

විදෙස් ගත වූවාට පස්සේ කාශ්‍යප දෙවරක් කවීශ්වර ගේ දුරකතනයට කතා කළේ ය. පළමු වතාවේ, ඔහු එරටට ගොඩබැසි බව කියන්නට කෙටි ඇමතුමකි. දෙවන වතාවේ කවීශ්වර කතා කරන්නට යමක් වන නිසා නිදහස් වෙලාවක ගන්නයි කී නිසා ගත් ඇමතුමකි. ඒ වෙලාවේ කවීශ්වර වීඩියෝව ක්‍රියාත්මක කොට කාශ්‍යප ට දරුවන් දෙදෙනා දකින්නට අවකාශ සලසා දුන්නේ ය. ඉන් පසුවය ආරාධනා ගැන ඔහු ගේ වන අදහස ගැන කීවේ. මුලින් කාශ්‍යප ගොළු වී ගියේ ය. ඒ සැබවින් ඔහු කිසි සේත් බලාපොරොත්තු නොවූ යමකි. කවීශ්වර වාගේ සෙල්ලක්කාරයෙකුට ආරාධනා වන් අහිංසක ගැහැනියක නො ගැලපෙන බව කියමින් කෑ ගසන්නට උපන් සිතිවිල්ල ඔහු විසින් මැඩ ගනු ලැබූයේ, ආරාධනා ගැන තීරණ ගැනීමේ අයිතියක් දැන් ඔහු ට නොවෙන බව සිහි වී ය.

“මං කරපු දේ තමුසෙත් ඒ අහිංසක ගෑනිට කරන්නනං එපා. මට එච්චරයි කියන්න තියෙන්නෙ”

එසේ කියත්දී කාශ්‍යප ගේ උගුර රිදිණ. ඇස් වලට කඳුළක් උනා ආවේ නෑ කීවොත් මුසාවකි. ඒ වෙත්දී ඔහු සමග එකට ජීවත් වෙන්නට පටන් ගෙන සිට බ්‍රසීල ජාතික කාන්තාව, සොෆියා,  කාශ්‍යප ගේ මුව සිප ගත්තා ය. ඒ ඔහු කියන්නේ කුමක් දැයි නො තේරුණ ද ඔහු සංවේදී වී ඇති බව දැනුණ නිසා ය. ඇය ඔහු ට ආදරය කරමින් හිඳිනා බව කාශ්‍යප ට දැනෙමින් තිබිණ.

“මොනා වුණත් මගෙ ළමයි දෙන්න ඉන්නෙ මල්ලි එක්කනං…මට ඒක සැනසීමක්…”

සෑම අඳුරු වලාවක ම රිදී රේඛාවක් ඇත යනුවෙන් පාසලේදී ඉගෙන ගත් වැකිය කාශ්‍යප ගේ සිත්හි ඇඳී මැකී ගියේ ය.

අවුරුද්ද  සපිරෙන්නට දින ගණනක් තිබියදී, කවීශ්වර රියෙන් බසිනු දුටු සඳයුරු සිය සෙල්ලම් බඩු ගොඩ අතරින් හදිසියේ ම නැගිට ගෙන ආලින්දයේ සිට වැරැණ්ඩාව තෙක් ඇවිද යන්නට වූයේ ය. 

“ආව් ආව් හපන් හපන්”

යනුවෙන් අත්පුඩි ගසමින් ආරාධනා සතුට ප්‍රකාශ කරන්නට වූවා ය. සතුටෙන් ගල් ගැසී වාගේ මොහොතක් බලා උන් කවීශ්වර ඊළඟ නිමේශයේ  සිය දෙපා බදා ගත් සඳයුරු ව වඩා ගත්තේ ය. 

“තාත්….ත…”

ඔහු ප්‍රථම වතාවට පැහැදිලිව, නිරවුල් ව තාත්තා කියා කීවේ ඒ වෙලාවේ ය. තාත්තා වශයෙන් ඔහු හඳුනා ගෙන සිටියේ ද ඒ අමන්ත්‍රණයෙන් කතා කරන්නට වඩාත් සුදුසු යයි බිළිඳු හදවත විශ්වාස කරන්නට ඇත්තේ ද කවීශ්වර ව ය. ආරාධනා ගේ ඇස් මිහිදුම් පටලයක් බැඳුණා සේ බොඳ වන්නට විය. රාජිකා මැණිකේ ප්‍රසිද්ධියේ ම නෙත කඳුළු පිස දා ගත්තා ය. ගජධීර ආඩම්බරකාර පීතෘ ස්නේහයකින් සිය පුත්‍රයා දෙස බලා සිටියේ ය. ඔහු ගේ හිතේ යළි ගොඩ එමින් තිබුණේ කාලයේ වැලි තලා අතරේ සැඟවී ගිය පැරණි මතකයන් ය. කාශ්‍යප මුලින් ම තාත්තා කී දිනය ද කවීශ්වර මුලින් තාත්තා කී දිනය ද කාවින්දි මුලින් ම තාත්තා කී දිනය ද පපුව බර කරමින් පුනර්භවය ලැබුවේ ය. 

 එක වචනයක් හෝ පවසා ගත නො හැකි තරමට කවීශ්වර හැඟුම්බර වී සිටියේ ය. යළිත් වතාවක් ඉතා තදින් බිළිඳා සිප ගත් ඔහු, සඳයුරු ව දෝතින් ගෙනැවිත් ආරාධනා ගේ දෑත් මත තැබුවේ ය. ඒ මොහොත, ඔවුන් ගේ සිව් නෙත් වෙනුවෙන් ම ලොව පහල වූවකි. කඳුළු පිරුණු ඇස් හතරක් උනුන් දෙස අනිමිස ලෝචනයෙන් බලා සිටියේ ය.

“බෑ බෑ මල්ලි බාප්පිට තාත්ත කියනවනං මටත් කියන්න ඕනෙ. අනේ අම්මි…බාප්පි…මාත් තාත්ති කියන්නද ඔයාට…”

ඒ සිඟිති කිචි බිචිය බිඟුනි ගේ ය. රාජිකා මැණිකේ කඳුළු අතරින් සිනහ වෙමින් නිකටේ අත තියා ගත්තා ය. ආරාධනා බිම බලා ගත්තා ය. ඊළඟ මොහොතේ බිඟුනි සිටියේ කවීශ්වර ගේ ගෙල බදා ගෙන ය.

“ඔයා කැමතිනං එහෙම කියන්න. මන්නං ආසයි”

කවීශ්වර උගුර යටින් කියා ගත්තේ ය. බිඟුනි සිය ග්‍රහණය තවත් දැඩි කරමින් කවීශ්වර ගේ ගෙල බදා ගත්තා ය.

“මගෙ හොඳ…තාත්ති”

සිය ජීවිතය මත්තේ මේ සිදු වෙන දේවල් දැන් දැන් ආරාධනා ට දරා ගත නො හැකි තරම ය. කාශ්‍යප ඇයත් දරුවන් අතැර යත්දී ඇයට දැනුණේ ලෝකය එතනින් අවසානයි වාගේ ය. ජීවිතය එතැනින් නිමයි වාගේ ය. නමුත් කිසිවක් සිදු වී අවසාන වන්නේ නැති බව දැන් ඇය පසක් කරමින් හිඳී.  හැම මොහොතක ම යම් දෙයක් අලුතෙන් සිදු වේ. දරුණු ම කුණාටු පවා ගසා ගෙන යයි. නරක ම දින වලටත් පැය විසි හතරකට වඩා ඇත්තේ නැත. නපුරු ම කාල ද ගෙවී යයි. වෙලාව නතර වූ ඔරලෝසුවක් පවා දිනකට දෙවරක් නිවැරදි ව වෙලාව දක්වයි!

දැන් ආරාධනා සිටින්නේ දැඩි කුණාටු ද හිම පතන ද අධික වර්ෂා ද පත් සිඳෙන ශරත් සමයන් ද  සහිත වූ ඍතු ගණනාවක් ගෙවී ගොස් එක් නිස්කාංසු සමයක ය. ඒ ඍතු පසු කොට ආ ගමනේ තමන් සිතින් පරිනත වී ඇති බවක් ඇයට දැනේ.

“ලොකු අයියට වගේ යන්න දෙන්නෑ රාධාගෙ ඇස් වලට ආයෙ කඳුළක් දුන්නොත් එහෙම…තමුසෙව ම ර න් නෙ මං එහෙම වුණොත්..”

සේනාසිංහලා සැනසුම් පායට විත්, චින්තන ඇති කළ කලබලය ගැන දැන ගත්තාට පස්සේ සැනසුම් පායට දිව අ කාවින්දි කවීශ්වර ගේ කාමරයට ගොස් ඉතා පහළ ස්වරයකින් ඔහු ට තර්ජනය කළා ය. කවීශ්වර කළේ යන්තම් හඩ නැගෙන්නට සිනහ වෙන එක ය.

“හිනා වෙන්නෙ…රාධා කියන්නෙ හැම තැනම ඉන්න විදිහෙ තමුසෙගෙ ටෝයිස් වුණ ජාතියෙ කෙල්ලෙක් නෙවේ”

“හරි හරි ඉතිං…ඉස්කෝලෙ යන කාලෙදි වගේ දැනුත් මාව බය කරන්න එපා”

කවීශ්වර සිනහ වෙවී කීවේ ය. ඒ සිනහව තුළ, නො කියවුණ විශ්වාසවත් හැඟීමක් ලියැවී තිබුණායි අදහා ගන්නට කාවින්දි ට සිදු විය.

“මනුස්ස සම්බන්ධතා කියන ඒව ඇනලයිස් කරල කැටගරි කරන්න හරි අමාරුයි අරා. ඒක හරියට…වතුර භාජනේ හැඩේ ගන්නව වගේ…අවස්ථානුකූලයි”

එදා ආරාධනා සැනසුම් පායේ නතර වෙන්නට තීරණය කළායින් පසු, මිතුරියන් තිදෙනා එක්ව මුණගැහුණ වෙලාවක තාරා හරි බරි ගැහෙමින් කීවා ය. ආරාධනා හරි බරි ගැසුණේ ලොකු කතාවක් අසා සිටින්නට ය. තාරා ගේ ජීවනාදර්ශ මනසින් උරා ගන්නට ඇය කවදත් ආශා ය. තාරා සතුව කතා මල්ලක් තිබේ. ඉඳහිට ඇය ඉන් එකක් දෙකක් පිටතට අදින්නී ය. ඒවා බොහොමයක් අත්දැකීම් මත පදනම් වූ ඒවා ය.

“අපිටත් පුළුවන්නං වතුර වගේ අපි ළඟින් ඉන්න මනුස්සයට හැඩගැහෙන්න..අන්න ඒකයි ජීවත් වෙන්න තියන පහසුම විදිහ. මං හිතන්නෙ අරා නොදැනුවත්ව හරි එහෙම හිටියත්..කාශ්‍යප ට එහෙම වෙන්න බැරි වුණ නිසයි ඒ පවුල කැඩිල ගියේ. අපි ඒව ගැන පෝස්ට් මෝටර්ම් තියල වැඩක් නෑ දැං. හැබැයි හැම සිදුවීමක්ම ජීවිතේට පාඩමක්. කවියා වුණත් අතීතෙ ප්ලේ බෝයි කෙනෙක් වුණේ ඒ සිද්දි නිර්මාණය වෙලා තිබුණ විදිහ අනුව වෙන්නැති. දැන් දේවල් සිද්ද වෙන හැටිත් එක්ක ඒ දේවල් සම්පූර්ණයෙන් වෙනස් වෙයි. අනිත් එක අපි තේරුං ගන්න ඕනෙ වැදගත්ම දේ තමයි වීදුරුවෙ හැඩේ ගන්නැතුව වීදුරුව වෙන්න ගියොත් හැම දේම අමාරු වෙනව කියන එක. චින්තන ගැන මං අමුතුවෙන් අරාට කියන්න ඕන නෑනෙ. මට ඇඳපු ඇඳුම ගලවන්න වෙලා තියනව ඔය මනුස්සය නිසා. තමුංගෙ ගෑනිගෙ ලස්සන පිට මිනිහෙක් දකින එක ගැන හුඟක් පිරිමි මාර බයයි. එක පිරිමියෙක් සෙට් නෑ කියල තව පිරිමියෙක් ළඟට යන එක නෙමේ වැඩිය හොඳ. එහෙම මාරු කර කර කී තැනකට යන්න වෙයිද කියන්න බෑ. මොකද හැම ගෑනිගෙම වගේම හැම පිරිමියගෙමත් ඔය වගේ ගති තියනව. වීදුරුවක් වෙලා අනිත් එකා වතුර වෙන්න ඕන කියල හිතන එක නෙමේ කරන්න ඕන. තමන් වතුර වගේ වෙන්න ට්‍රයි කරන එක. එතකොට පහසුයි. අනිත් එක අරා ළමයි ටිකක් ලොකු වෙලා අපි නිදහස් වෙන කාලයක් එනව. උඹලට තව කල් තියනව ළමයි පොඩි නිසා. ඒත් මං දැන් ඉන්නෙ එහෙම තැනක. මිනිහයි ගෑනියි කිය කිය උන්ගෙ ඇඟේම එල්ලිල ඉන්නෑ කවුරුත් ඔන්න ඔය කාලෙ ආවට පස්සෙ. මං හිතන්නෙ ඕනම ගෑනියෙක්ගෙ ජීවිතේ හොඳම කාලෙ තමයි ඒක. හතළිහෙන් වගේ පස්සෙ. තමන්ගෙ ජොබ් එක කරං…තමන් කැමති ගමනක් තනියම හරි ගිහින්…පොතක් බලල..ආස ෆිල්ම් එකක් බලං…සින්දුවක් නිවී සැනසිල්ලෙ අහං ඉන්න විවේකයක් හම්බ වෙන්නෙ ඔන්න ඔය කාලෙදි. එතකොට අපි පාට්නර්ගෙ දේවල් වලට ඉන්වෝල්ව් වෙනව අඩු වෙනව. හැම මිනිහෙක්ටම පෞද්ගලිකත්වයක්..නිදහසක් තියනව. ඒක අපිට ඕන වෙන්නෙත් වැඩිපුර දැනෙන්නෙත් ළමයි ලොකු වෙලා අපි නිදහස් වෙනකොට. ඒ නිදහස ගෑනියෙක්ට ඕන වෙන්නෙ වෙන පිරිමි එක්ක ඇඳවල් වලට නගින්න නෙවෙයි. තමන්ගෙ ජීවිතේ විඳින්න. මං දැන් ඉන්නෙ එහෙම තැනක. චින්තනගෙ සමහර දේවල් වලට ආසම නැති වුණත් මට මොකෝ මට ඕන හැටියට හදන්න උන්දව මං දරුකමට ගත්තෙ නෑනෙ කියල හිතන්න පුළුවන් තැනක දැන් මං ඉන්නව. ඊට පස්සෙ ජීවිතේ විඳින්න තරං ඇත්තටම අපි මනසින් නිදහස්.  අරාගෙ ළඟට ආවොත්…අපිට ආදරේ කරන මිනිහෙක් විතරක් බැඳලත් සතුටක් විඳින්න අපිට බෑ අරා. ඒ මිනිහට අපිත් ආදරේ වෙද්දි තමයි එතන ෆුල්ෆිල්මන්ට් එකක් තියෙන්නෙ. ඒක නිසා…අපි හොඳටම දන්නවනෙ කවිය උඹට ආදරෙයි කියල…ඒ හැඟීම ටික ටික උඹටත් දැනෙනව. ඒකට ඉඩ දීල රිලැක්ස් වෙයං. තනියම ළමයි හදං ඉන්න ගෑනියෙක්ට පුළුවන්. ඒක ඇත්ත. ඒත් පැත්තකින් පිරිමියෙක්ගෙ ආදරෙත් විඳින්න ඒ ගෑනිට අයිතියක් තියෙන්න ඕනෙ..”

ආරාධනා සිටියේ බිම බලා ගෙන ය. කවීශ්වර කියන්නේ දැන් දැන් ඇයට මලක් පිපෙනා චමත්කාරය දනවන හැඟීමකි. ඔහු ගේ ඇලුම් බැලුම් ද ඉඳහිට ලෝකයට රහසේ කරනා හදිසි සිප ගැනුම් ද දරුවන් හා ඇය ගැන ඔහු පෙන්වන්නා වූ අයිතිවාසිකම මුහු වූ ආධිපත්‍යය ද ආරාධනා ගේ සිත කවීශ්වර ළඟ වෙඬරු පරිද්දෙන් මෙළෙක් කරයි. නමුත් තවමත් අර කාශ්‍යප කියනා තාප්පය මුළුමනින් බිඳ වැටී නැත්තේ ය. නමුත් තාරා ගේ හා කාවින්දි ගේ ඇතැම් විහිළු තහළු, බාලිකාවක සන්දියේ සේ ඇය චමත්කාරයෙන් පුරවා ලයි.

නිවාඩු අවසන දැන් ආරාධනා නැවත පාසල් යයි. ඇය එනතුරු රාජිකා මැණිකේ සඳයුරු බලා ගනී. පාසල් නිම වන වෙලාවට කවීශ්වර ගොස් ඔවුන් ගෙදර ගෙන එයි. 

ආරාධනා උදේ ම නැගිට උදේ ආහාර පිළීයෙල කරයි. රාජිකා මැණිකේ දවල් කෑම පිස තබන්නී ය. ආරාධනා නැවත ද රෑට උයයි. ඒ රෑ කෑම වේල විශේෂ ය. කවීශ්වර ද ගජධීර ද බලා සිටිනුයේ කටට රසට රෑ කෑම වේල කන්නට ය. කවීශ්වර කන්නට වැඩිපුර රිසි දේවල් ගැන ආරාධනා අවධානයෙන් සිටින්නී ය. ඇතැම් විට රාජිකා මැණිකේ ගෙන් ඒ ගැන ඉඟියක් ලැබේ. 

කවීශ්වර හවසට ගෙදර එන්නේ බිඟුනිට හා සඳයුරු ට රස කැවිල්ලක් හෝ පළතුරක් ගෙන ය. ආරාධනා කැමති කෑමක් ගෙන විත් ඇය ආශාවෙන් කනු දැකීම ඔහු ට දැන් වන ලොකු ම සතුට ය. ඇය ඔහු ගේ රෙදි සෝදා වියළා නවා අල්මාරියේ තබයි. සතිපතා ඔවුන් ගේ ඇඳුම් මදිනා ගමන් කවීශ්වර ට ද කමිස පහ හයක් මැද එල්ලා තබයි. ඉල්ලා සිටීමකින් හෝ බල කිරීමකින් තොරව එකිනෙකා එකිනෙකා ගේ සුව සතුට ගැන වද වෙන හා වග වෙන තත්වයක් නිරායාසයෙන් ඔවුන් අතරේ ඇතිව තිබේ. එය ඉතා සුනම්‍ය හා සුවපහසු හැඟීමකි.  මටසිළිටි හා නිදහස් වූ ස්නේහී බවක් හදවත මත තවරනා බැඳීමකි. 

සඳයුරු නිදි කරවන්නට රාත්‍රියේදී නම් කවීශ්වර ඕනෑ ම ය. ආරාධනා ඔහු නිදි ගන්වන්නට උත්සාහ කළත් බිළිඳා ‘තාත්ත…තාත්ත’ කියමින් ආරාධනා ට විරෝධය පළ කරයි. එතකොට කවීශ්වර යහනට විත් ඔහු ව උකුලේ දමා “මාගෙ පුතුට මල් යහන සදන්නේ ” ගීතය කියන්නට ගනී. “මට මේ කුමරුන් කවුදෝ දුන්නේ” පේළිය ගයනා විට සඳයුරු නින්දේ ය. ඊට පස්සේ තියෙන්නේ බිඟුනි ගේ යුද්ධයයි.

“අනේ තාත්ති අපේ ඇඳේ නිදියන්නකො” කියමින් ඇය දින ගණනාවක් තිස්සේ කංකෙඳිරි ගාන්නට පටන් ගෙන තිබේ. ඒ ඇසුණොත් ආරාධනා නෑසුණා සේ ඉවත බලා ගනී. කවීශ්වර නම් හොරැහින් හෝ ඇදෙස බලයි. 

“අම්මිගෙන් තමයි අහන්න ඕනෙ”

කවීශ්වර බිඟුනිව අවුස්සා තියයි. එතකොට කුස්සියේ වැඩක් කරමින් හිටියත් බිඟුනි දිව විත් එක ම දේ කියමින් ආරාධනා ට කරදර කරයි. 

“මට තාත්ති ඕනෙ නිදියන්න. තාත්තිට අපේ රූම් එකට එන්න කියන්නකො දොයියන්න”

ආරාධනා නිරුත්තර වෙයි. නෑසුණා සේ හිඳී. එතකොට බිඟුනි හැඬුම්බර වෙයි. බැරි ම තැන ආරාධනා මෙසේ කියයි.

“හරි ඉතිං බාප්පි ඉඳියි ඔයාට නින්ද යනකල්”

“නින්ද යනකල් නෙවෙයි. මං ඇහැරෙනකොටත් තාත්ති මං ළඟ දොයියං ඉන්නයි ඕනෙ. බාප්පි නෙවේ තාත්ති කියන්න”

රාජිකා මැණිකේ උරහිසේ මුව හංගා ගෙන සිනහව ගිල ගන්නී ය. ආරාධනා නැන්දණිය ගේ මුහුණ මගහැර බොරුවට හෝ වෙන වැඩකට ඇස් යොමා ගනියි.

මෙලෙස ගෙවී ගිය සති ගණනාවකට පසු කවීශ්වර වෙනුවෙන් ආරාධනා සමග මේ ගැන කෙළින් ම කතා කළේ තාරා ය.

“මේ නිකරුණේ ගෙවෙන්නෙ ජීවිතේ ලස්සනම දවස්නෙ බං. තරුණම කාලෙ. චූටියට පවුලෙ කට්ටිය විතරක් එකතු වෙලා රෙජිස්ටර් කරල දාමු. ළමයින්ගෙ මනසට වුණත් ඒක හොඳයි නේද…උඹගෙ අකමැත්තක් නෑ නේද…අපි ලස්සනට වැඩේ ඕගනයිස් කරන්නද…”

බිමට යොමා ගත් ඇස් තටු ඔසවා ආරාධනා තාරා දෙස බැලුවා ය. තාරා ඒ ඇස් කවුළු වලින් ආරාධනා ගේ ආත්මයට රිංගුවේ හිතට යම් දෙගිඩියාවක් දැනුණ නිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles