නිම්නැති නිම්නය 53

මේ ආත්ම භවයෙහි ජීවිතය වූ කලී සංසාර ගමනේ අතර මගක හමු වෙන එක් නවාතැන් පොළක් පමණකි. ඒ වාගේ ජීවිත නො ගිනිය හැකි ප්‍රමාණයක ජීවත් වන්නට ජීවීන්ට සිදු වේ. එනයින් සංසාරය යනු කෙතරම් බියකරු වූවක් දැයි සිතා ගත හැකි ය. මැරි මැරී උපදිමින් දුක් ම වළඳන්නට සිදු වෙතැයි සිතීම ම බියකි. ඒ බිය මුලින් ම ආරාධනා ගේ සිත්හි ජනිත වූයේ සිය මිත්තණිය යහනක් මත ජීවිතය විඳවූයුරු දැකීමෙනි. ඇයට මතක කාලයේ සවිමත් ස්ත්‍රියක වූ මිත්තණිය, ජීවිතයේ අවසාන භාගය ගත කළ ආකාරය සියැසින් දැකීම මත ආරාධනා පව් කරන්නට බිය වූවා ය. මිත්තණිය ගේ අවසාන සමය ඒ තරම් දුක්ඛිත වූයේ සසරේ කර ඇති පව් නිසා යයි ඇයට පිරිත් කියන්නට වැඩම කළ ස්වාමීන් වහන්සේ නමක කියත්දී, ආරාධනා ගේ සියොළඟ හීගඩු නැඟිණ. 

එදා සිට ඇය පවට බිය වූවා ය. රහසින්වත් පව් නො කොට ඉන්නට තැත් කළා ය. හැකි තරම් යහපතෙහි ම යෙදුණා ය. දුක්ඛිත නොවන ජීවිතයක් ද මරණයක් ද සංසාර ගමනක් ද ළඟා කර ගැනීම සිය දිවියෙහි තේමාව බවට පත් කර ගත්තා ය.

කවීශ්වර සිය කෙළිලොල් ජීවිතය තුළ පව් සිදු කර ගත් බව ආරාධනා දනී. මතුවට එසේ නොවී ඔහු යහපතෙහි ගැලෙනවා නම් එය ඇගේ බලවත් චිත්ත ප්‍රීතියට හේතු වේ. බලවත් කුසලයෙහි යෙදීමෙන් ඇතැම් අකුසල කර්ම අහෝසි වී යන බව සාමාන්‍ය පෙළ පන්තියේ දී උගත්තා මතක ය. කවීශ්වර ද කැටිව ම යහපතෙහි යෙදීම දැන් ඇගේ ඒකායන අරමුණයි.

තාරා විසින් විවාහයක් ගැන කතා කළ වෙලාවේ ආරාධනා ගේ මුවෙහි සමච්චල් සිනහවක් ඇඳිණි. තාරා ට එය වටහා ගත නො හැකි තරම් වූයේ ය. අවසන ආරාධනා ම සිය සිනහව ට හේතු පාඨ කීවා ය.

“ඔය මැරේජ් සර්ටිෆිකේට් එක කියන දේ ගැනනං දැං මට කිසිම විශ්වාසයක් නෑ අක්ක”

“උඹ කියන්නෙ කවීශ්වර එක්ක මැරේජ් එකක් වෙන්න බෑ කියලද..”

තාරා ගේ ඇස් මත ඇඳුණේ බලාපොරොත්තු සුන් වූ අඳුරක සේයා ය. ආරාධනා තොල් කොනක මඳහස තවරා ගත්තා ය.

“ඔය සර්ටිෆිකේට් එකට මොකද්ද කියන්න කරන්න පුළුවන්…කාශ්‍යප මාව කිරිසප්පයො දෙන්නෙකුත් එක්ක දාල යද්දිවත් ඒකට මුකුත් කරන්න පුළුවන් වුණාද…නෑනෙ අක්කෙ. ඒකට පුළුවන් වුණේ දික්කසාද නඩු දාන්න විතරයි. ආයෙත් මට එහෙම සහතිකයක් මොකටද…මොනාද ඒකෙන් සහතික වෙන්නෙ කියල කියන්නකො. දාල යන්නෙ නෑ කියලද…දරුවො අත් අරින්නෙ නෑ කියලද…කිසි දෙයක් නෑ. ඉතිං මට මොකටද තවත් ඒ වගේ සහතිකයක්…”

තාරා ගේ ඇස් වඩාත් බියපත් වූයේ ආරාධනා ගේ ඒ ප්‍රකාශයත් එක්ක ය. මනුශ්‍යයෙකු සිය ජීවිතය තුළින් ලැබුවා වූ අත්දැකීම්, කිසිවෙකුට සංස්කරණය කළ නො හැකි ය. ඒවා උගත් පාඩම් ලෙස හදවතේ නිදන්ගත වේ. 

“කවීශ්වර මං ගැන හැම දේම හොයල බලනව. එයා හිතනව ඇති මං දන්නෑ කියල. මං කන්න ආස දෙයක් මගකදි දැක්කත් ඒක අරං එනව හරියට එයා ආසයි වගේ. මට ඔළුව කැක්කුමක් තියනව කියල වුණත් එයා මගෙ මූණ දිහා බලල තේරුං ගන්නව. ආදරේ කියන්නෙ එහෙම දෙයක් කියල දැන් මට හොඳට දැනෙනව අක්කෙ. මං කවීශ්වර ට ආදරේ කරනව කියලත් මං දන්නව. ඒත් ඔය කසාදෙ කියන දේට මං හරි බයයි අක්ක දැං”

ආරාධනා වෙනුවෙන් කිව යුතු වන්නේ කුමක් දැයි නො දැන තාරා ගොළු වූවා ය. ඇගේ සිත් හි වන අනියත බිය හා අවිශ්වාසය දුරු කළ හැක්කේ කවීශ්වර ට ම බව ද තාරා තීරණය කළා ය. කවීශ්වර මේ ගැන ඇය සමග කතා කළේ ආරාධනා පාසලේ හවස් වරුවේ පාඩමක් කරන්නට නැවතුණ දාක ඇය කැටුව එන ගමන් ය.

“මේ මොකද මෙතන නැවතුණේ..”

ආරාධනා සිනා සී කවීශ්වර විමසුවේ බොජුන් හලක් ඉදිරියේ රිය නතර වුණු නිසා ය.

“මං ගෙදර ගිහිං රෑට උයන්නං. එළියෙං කෑම ගෙනියන්න ඕන නෑ. මට මහන්සි නෑ අනේ”

“පණ්ඩිත ආච්චි නොවී එන්නකො”

ගෙදර ගෙන යන්නට නොව ඔහු කෑම ඇනවුම් කළේ මේසයට ය. ආරාධනා සිනහ වෙවී බලා සිටියා ය.

“මට බඩගිනි නෑ අනේ. ආෆ්ටර් ස්කූල් ක්ලාස් එක කරන්න කලිං මං කැන්ටීන් එකෙන් සැන්ඩ්විචස් අරං කෑව”

“හැම දාම හැම තැනකදිම ඔයා අනිත් අය ගැන විතරයි හිතන්නෙ. ඔයාව අමතක කරල දානව. ඒක නිසා මටවත් ඔයා ගැන හිතන්න දෙන්න”

කවීශ්වර ආරාධනා වෙනුවෙන් තැබුණු සුදු පෝසිලේන් පිඟානට බත් මාළු පිණි බෙදුවේ ය. අනතුරුව හැන්ද ඇගේ අතෙහි තැබුවේ ය. 

“එක වේලක් බත් කෑවෙ නෑ කියල මං මැරෙන්නෑ අනේ”

නමුත් ඒ මුවට ගත් පළමු බත් බිඬෙහි ඇයට දැනුණේ දිවිතුරා එහෙව් රසයක් දැනී නැති බවට හැඟීමකි. කවීශ්වර ආදරයෙන් ඇදෙස බලා සිටියේ ය.

“ඔහොම බලන්න එපා ඉතිං…”

ඇය රතුවන් ව ගිය වත බිමට හරවා ගෙන කීවා ය.

“මට කියන්න බෑ මාව විශ්වාස කරන්න කියල..මං එහෙම කෙනෙක්ගෙ හිතේ විශ්වාසයක් ඇති වෙන විදිහට වැඩ කරල තියෙන මිනිහෙකුත් නෙවෙයි. ඒත් එදා ඔයාගෙ ගෙදර අය ඉස්සරහ කතා කරපු විදිහට මං හිතුව පොඩි හරි විස්වාසයක් ඇති වෙලයි එහෙම කිව්වෙ කියල…ඇත්තටම…පහු ගිය කාලෙ පුරාම මං විශ්වාසෙ කඩ වෙන දෙයක් කරල නෑ. ඒක මට ඔප්පු කරල පෙන්නන්න විදිහක් නෑනෙ”

ඒ අන්තිම ටික කියත්දී කවීශ්වර ගේ හඬෙහි බිඳීමක් ඇති විය. ඔහු විසින් නිදහස් කර ගන්නට ගිය ඇස්, ආරාධනා බලයෙන් වාගේ සිය දෑසින් ග්‍රහණය කර ගත්තා ය.

“අනේ ඉතිං මං කිව්වද මට ඔයා විශ්වාස නෑ කියල…මං දන්නෑ ඇයි මං ඔයාව විශ්වාස කරන්නෙ කියල. හැබැයි එහෙම දෙයක් නොදැනුණානං අපේ ගෙදර අය ඉස්සරහ කීයටවත් මං එහෙම දෙයක් එච්චර විශ්වාසෙං කියන එකක් නෑ” 

“විශ්වාස නැති නිසානෙ තාරාට අර විදිහෙ දෙයක් කියල තියෙන්නෙ”

ආරාධනා කෙටි කල්පනාවකට වැටුණා ය. කවීශ්වර මේ කියන්නේ කසාද සහතිකයක් ගැන ඇයට විශ්වාස නැති බවට කළ ප්‍රකාශය ගැන යයි ඇයට සිහි වූයේ මඳ පමාවකිනි. එකෙනෙහි ආරාධනා ගේ මුව මත මඳ සිනහ රේඛාවක් ඇඳී ගියේ ය.

“ඒ මං කිව්වෙ මැරේජ් සර්ටිෆිකේට් කියන එක ගැන. ඕන කෙනෙක් බඳින්නෙ ඒ සහකිකේ තමන්ට ආරක්ෂාවක් කියල විශ්වාස කරලනෙ. මට එහෙම විශ්වාසයක් නෑ කියලයි මං කිව්වෙ. ඒ සහතිකේට වඩා මං ඔයාව විශ්වාස කරනව කවීශ්වර. අනිත් එක…”

ඒ කියන්නට ගිය දේ කියා ගන්නට බැරිවා වාගේ දැනුණෙන් ආරාධනා බත් පත දෙස බලා ගත්තා ය.

“මොකද්ද අනිත් එක..”

කවීශ්වර ඇගේ මුහුණට එබිකම් කළේ ය.

“ඔයා මට ආදරෙයි කියලත් දන්නව. ඒක වැඩිය වචන වලින් නොකියපු…ඒත් කරන දේවල් වලින් දැනෙන්න ඇරපු ආදරයක්”

“ඒ ආදරේ දැනුණට…තාමත් මං ගැන ආදරයක් දැනිල නෑ කියලද ඔය කියන්න යන්නෙ…කාශ්‍යප කියන තාප්පෙ කඩං එන්න තාමත් බැරි වෙලා තියෙන්නෙ ඒකද…”

ආරාධනා යටි තොල් පට සපා ගනිමින් තදින් ඇස් දෙක පියවා ගත්තා ය. ප්‍රේමය වෙනුවෙන් මග බලා උන් ප්‍රේමවන්තයෙකුට තව දුරටත් බලා ඉන්නට සැලැස්වීම ඔහු ට දෙන දඬුවමක් විය හැකි බව ආරාධනා දැන සිටියා ය. එය ම, ප්‍රේමය ගැන ඔහු තැබූ විශ්වාසය බිඳ වැටෙන්නට හේතුවක් විය හැක.

“මං ඔයාට හරි ආදරෙයි කවීශ්වර”

එය කීවා ම නොවේ. කියවිණ. අහම්බෙන් නොවේ. ටික ටික හදවතේ පැළ වී පපුව පුරා ඒ හැඟීම මුල් ඇදගෙන තිබි හින්දා ය. සඟවා ගන්නට බැරි කඳුළක් කවීශ්වර ගේ ඇසක් බොඳ කළේ ය. 

“ඒත් ඒ ආදරේට කසාද සහතිකයක් නැති වුණා කියල මට අඩුවක් දැනෙන්නෑ”

කවීශ්වර තද කොට ආරාධනා ගේ අතක් අල්වා ගත්තේ ය. ඒ යළි අත්හැරෙන්නට නොවන බව ඔහු තරයේ ඇදහුවේ ය. 

“ඒත් මං කැමතියි චූටි වෙඩින් එකක් ගන්න. පවුලෙ අය ටික දෙනා විතරක් ඉන්න…මොකද…මනමාලයෙක් වෙන්න කවීශ්වර ට තියන අයිතිය උදුර ගන්න එක පව්. එයත් ආස ඇතිනෙ එහෙම දවසක් එයාගෙ ජීවිතේ තිබුණා කියල දවසක මතක් කරන්න”

පසුව ආරාධනා එසේ කීවේ තාරා හා කාවින්දි හමුවේ ය. ඒ අනුව විවාහ ලියාපදිංචිය හා පවුලේ අයගේ එකතු වීම වෙනුවෙන් ලස්සන කුඩා තැනක් තෝරා ගැනිණ. ආරාධනා සුදු පාට මැක්සි ගවොමක් හැඳ සුදු ඒරම් ලිලී මල් මිටියක් අතින් ගෙන සිටියා ය. බේජ් පැහැති කලිසම් කෝට් හැඳ  බේබිස් බ්‍රේත් මල් කිනිත්තක් කෝට් එයක් ගවසා උන් කවීශ්වර වෙතින් දිස් වූයේ කඩවසම් මනාලයෙකි. ඒ මනාලයා  හැම විටෙක ම සඳයුරු වඩා ගෙන සිටි අතර, ලා රෝස පැහැති සුරංගනා ගවුමක් හැඳි බිඟුනි ඔහු ගේ කෝට් එකේ පසෙකින් අල්ලා ගෙන සිටියා ය. 

“අපි ළමයි බලා ගන්නං. ඔය දෙන්න දවස් දෙක තුනක් කොහෙ හරි ගිහිං එන්න”

කියා කාවින්දි කී කතාව ආරාධනා මීට පෙර කවීශ්වර ට කීවා ය.

“පිස්සුද…ළමයි අරං තමයි කොහෙ ගියත් යන්නෙ”

කවීශ්වර විරුද්ධ වූයේ ය. ඒ අනුව ඒ මංගල ඇඳුම් උනා දමා අතිශය සාමාන්‍ය ඇඳුම් වලින් සැරසී දවස අවසානයේ ඔවුහු කවීශ්වර ගේ රියෙහි නැගී ගත්හ. සඳයුරු ආරාධනා ගේ උකුලේ නින්දට වැටුණේ ය. බිඟුනි රිය කවුළුවෙන් මග තොට වාහන දෙස බලා ගෙන සිටියා ය. කාර්යාල නිම වෙන වෙලාව හින්දා වාහන තදබදය වැඩි වී තිබිණ. වෙනදා මෙහෙම වෙලාවක ‘චක් චුක්’ ගාමින් නො සන්සුන් වෙන කවීශ්වර වෙත වූයේ ඉවසිලිවන්ත මගියෙකු ගේ ස්වරූපයකි. ආරාධනා මුහුණ මඳක් හරවා ගෙන ඔහු දෙස ම බලා සිටියා ය.

“මොකද…”

කවීශ්වර ඉක්මන් සිනහවක් ඇය වෙතට පා ඉදිරිය බලා ගත්තේ ය.

“අපරාදෙ කියල හිතෙන එකක් නැති වෙයිද කවදාවත්…”

ඇගේ ස්වරයේ අසීමිත අව්‍යාජ බවක් ද අවිහිංසක කමක් ද මුහු වී තිබිණ.

“මොනාද…”

“මෙහෙම දරු පවුලකට කර ගහපු එක…”

“කරගහපු…මොනාද කියන්නෙ ආ…”

“ඔයා පව් කවීශ්වර”

“මං සතුටෙන්…මේ මොහොතෙ මේ ලෝකෙ සතුටෙන් ම ඉන්න පිරිමිය මං වෙන්න ඇති”

“ඒක එහෙමනං…ජීවිතේ ඉස්සරහට උදා වෙන්න නියමිත හැම තත්පරේකම ඒ සතුට ඔයා ළඟ තියන්න පුළුවන් හැම දෙයක්ම මං කරනව”

“ඒ ගැන පොරොන්දු ඕන නෑ”

සිය වමතින් කවීශ්වර ආරාධනා ගේ දකුණු අත ගෙන ඔහු ගේ කකුලක් මතින් තබා ගත්තේ ය. ආරාධනා යන්තම් පසුපස හැරුණේ බිඟුනි දෙස බලන්නට ය. ඇය පිටත බලාගෙන ගීයක් මුමුණමින් සිටියා ය.

ඔවුන් කඳුකරයට ළඟා වන විට රෑ බෝ වී තිබිණ. ඒ සුඛෝපභෝගී හෝටල් කාමරය තාරා හා චින්තන ගෙන් ආරාධනා ට හා කවීශ්වර ට ලැබුණ මංගල තිලිණයකි. 

“මස්සිනා හිතං ඉන්නෙ මට මගෙ ගෑනිව ලක්සරි හොටේල් එකකට එක්කං යන්න වත්කමක් නෑ කියලද දන්නෑ”

ඒ බව දැනගත් වෙලේ කවීශ්වර අඩ සිනහවකින් කීවේ ය. සිනහව ගිල ගත්තා මිස ආරාධනා ඔහු ට මොනවාවත් ම කියන්නට නො ගියා ය. 

“වාව්…හරි ලස්සන රූම් එකක්. අපි කොච්චර දවස් මේ හොටෙල් එකේ ඉන්නවද තාත්ති…”

කාමරයේ සුව යහනාව මත උඩ පනිමින් බිඟුනි සතුට පළ කළා ය.

“ඔයා කැමති දවසක්…ඉස්කෝලෙ නිවාඩු නිසා ඔන්න ඔහේ ඉමු නේ..”

කවීශ්වර ද ඒ යහනේ පෙරළුණේ ය. ආරාධනා සඳයුරු වටේට කොට්ට ටිකක් ලං කළා ය.

“දඟලල මල්ලි ඇහැරවන්න එපා. එච්චර දවස් මෙහෙ ඉන්න බෑ. සීයා බාගෙට බඩගින්නෙ ඉඳී…ආච්චි උයන කෑම කන්න බෑ සැර නෑ කියල. මං ඒත් කාවිට කිව්ව දවසකට සැරයක්වත් ඇවිත් ගේ පැත්ත බලන්න කියල. මේ දෙන්න නැතුව අම්මටත් සාංකාව වගේ වෙයි”

කවීශ්වර අඩ සිනහවෙන් ඇදෙස බලා ගෙන ම සිටියේ ය. ආරාධනා ඒ බැල්ම දුටුවේ මඳකට පස්සේ ය.

“හැමෝම ගැන හිතනව මං ගැන නැතුව”

ඔහු ඊළඟට කියන්නට නියමිත ඒ වැකිය බව ඇය අනුමාන කළත් කවීශ්වර එසේ නො කියා සිටියේ ය.

“එතකොට තාත්ති මෙහෙදි ඉන්නෙ අපේ රූම් එකේද…නැත්තං ගෙදරදි වගේ වෙන රූම් එකකද…”

ආරාධනා සිනහව ගිල ගෙන ඉවත බලා ගත්තා ය.

“අම්මිගෙන් තමා අහන්න වෙන්නෙ”

කවීශ්වර එහෙම කියනු ඇයට ඇසිණ.

-සමාප්තයි.

💜️මගේ අලුත් නවකතා වන ප්‍රේම ගාථා, නිබ්බුත ගීත හා අහස තරු සහ කළුවර වට්ටම් සහිතව ඔබ ඉන්නා තැනකට ගෙන්වා ගැනීම සඳහා 0788376053 අංකයට වට්සැප් පණිවිඩයක් තබන්න.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles