උශාලිට දැන් වෙනදාටත් වඩා සතුටෙන් පෙර පාසලට යන්නට හේතුවක් ඇත.
ඒ දුලන්‍යාගේ තාත්තා දකින්නට හැකිවේය යන බලාපොරොත්තුව නිසාය.
දින දෙකේදීම පමා වී අවුදින් මද සිනහවකින් තමාට ස්තුති කල ගියා මිසක ඔහු සමග වදනක්වත් දොඩන්නට අවස්තාවක් නොලැබුනද සිත තුල සතුටු මල් පුබුදුවන්නට ඒ සිනහව පමණක්ම ඇති ය.
ඒ සතුට නිවසේ අනෙක් අයට නොපෙන්වා හිඳින්නට දරන උත්සාහය නම් හිතට බරකි. අනෙක් අතට සිතේ එක පසකින් හිඳ “දරුවෙක් ඉන්න තාත්තෙක්ට ආදරේ කරන්න උඹට ලැජ්ජ නැද්ද?” කියා අසන ප්‍රශ්නය උශාලිගේ සිතට ගෙන එන්නේ මහත් බරකි.
ආදරයක් ඇතිවෙන්නේ සිතක් ඇතුළිනි. ඒ ආදරයට සමාජයේත් සදාචාරයේත් බැමි ඉදිරියේ සීමා පමුණුවන්නට ඇති අපහසුතාවය දන්නේ කෙදිනක හෝ ආදරය කල වුන් පමණකි.
“බැඳපු මිනිහෙක්ට ආදරේ කරන්න ලැජ්ජ නැද්ද” යන ප්‍රශ්නයට “මම එයාට ආදරේ හිතෙන් විතරයි, මම කවදාවත් එයාට ඒක කියන්නෙ නෑ” යන පිළිතුර තම පසින් දුන්නද ඒ ආදරයේ ඇති සදාචාරසම්පන්න නොවන බව මකා දමන්නට අපහසුය.
ඒකපාර්ශ්වික ආදරයක් වුවද තමා සිතෙන් හෝ බැඳී හිඳින්නේ වෙන ගැහැණියකගේ පිරිමියකුටය. තමා විවාපත් දිනක වෙනත් ගැහැණියක් තම සැමියාට ආදරය කිරීම හෝ ආදරයෙන් බැඳී හිඳීම හෝ දරාගන්නට නොහැකි තරමේ සියුමැලි සිතක් ඇති තමා වෙනත් ගැහැණියකට එසේ අවැඩක් කිරීම මොනතරම් නම් වැරදිද?
එහෙත් ආදරය එන්නේ කලින් පවසා නොවේ. එසේ කලින් දැනගන්නට හැකියාවක් තිබුනා නම් දුලන්‍යාගේ අම්මාට පෙර තමාට ඔහුව හමුවන්නට තිබුනා නෙවිද යන්න උශාලිට කවදාවත් සිතී නැත.
අනෙක් අතට මේ ඒකපාර්ශ්වීය ආදරයකි. තමා සිතෙන් කෙතරම් ප්‍රේම කරද ඒ ප්‍රේමය වචන කර ඉදිරිපත් කරන්නට අවස්තාව ලැබුනා වුවද අනෙක් පාර්ශ්වය විසින් ඒ ආදරය පිලිගනීවිද යන සැකය සහ පැනය ඒක පාර්ශ්වීය ආදරයක සෑම තැනකදීම දැකගන්නට හැකියාව ලැබේ.
ඒක පාර්ශ්වීය ආදරයක් වේදනාත්මක යැයි පවසනු ඇත්තේ එබැවින් විය යුතුය. නොලැබීම, අනපේක්ෂිත බව, අස්තාවර බව මූලික කරගෙන උපත ලද ඒක පාර්ශ්විය ආදර කතාවක වේදනාවම හැරෙන්නට සතුටක්, බලාපොරොත්තු ඉටු වීමක් දකින්නට වේද?
රාත්‍රියේ නින්දට යද්දී ඔහුව සිහිනයෙන් දකින්නට පතමින්ද උදෑසන ඇහැරෙද්දී ඔහුව සැබැවින්ම දකින්නට පතමින්ද ගෙවන ලබා ගත නොහැකි සිහිනයක තමා අතරමං වි ඇති බව පමණක් උශාලිට පැහැදිලිය.
“අයියා ඇහුව අද එයා පරක්කු වෙලා යන් හින්ද ගිහිල්ල දාන්නද කියල”
අම්මා සුපුරුදු පරිදි බත් පත අතැතිව කාමරයට පිවිසෙද්දී උශාලි උන්නේ සුන්දර සිහින ලොවක අතරමංව කණ්ණාඩිය ඉස්සරහ හිඳ පෙර පාසලට යාමට සැරසෙමිනි.
මද මුදු සිනා නංවමින් තමා දෙසට හැරුණ දියණියගේ මුවින් ඊළඟට පිවිසෙන පැනය ගීතාංජලී මහත්මිය නොදන්නවා නොවේ.
“ඔය දෙන්නට පුදුම සැකයක් නේ තියෙන්නෙ මම මේ තනියෙන් යන එක ගැන”
“සැක හිතෙන්නෙ නැද්ද ඉතින් මේ අයිය එක්ක හොඳට සැපට කාරෙකේ යන්න පුලුවන් කම තියෙද්දි හිරවෙල බස් එකේ යන්න හදනකොට?”
“ආහ් මේ මාව සැපෙන් තියන්නද එහෙනං මේ බැංකුවෙ මහත්තය අද පරක්කු වෙලා යන්න හදන්නේ, හාකො හාකො එහෙනං යන්කො”
නංගී හඬ උස්කොට කතා කරේ තමන්ට ඇසෙන්නට බව කිශාල් නොදන්නවා නොවේ. නිහඬ සිනහවකින් මුව සරසාගනිමින් කෑම මේසයේ හිඳගෙන් බත් කමින් උන් කිශාල් වදනක්වක් නොපවසා ඒ හුරතල් කතා දරගත්තේය.
අම්මාට වැඳ අයියාගේ කාරයේ ඉදිරිපස රියදුරු අසුනට එහා පසින් හිඳගත් උශාලි නොරිස් කැනල් පාරෙන් දකුණට හැරී ඇස් වාට්ටුව ළඟට වැටෙද්දී උශාලිගේ ඇස් තිබුනේ ඉදිරිපස මල් කඩ ඉදිරියේ ඇති ග්‍රෑන්ඩ්පාස්, මරදාන පැත්තට දිවෙන පාරටයි.
ඒ ඇස් බැල්ම සෙව්වේ අදත් වැරදී හෝ දුලන්‍යාගේ තාත්තාව දකින්නට ලැබේය යන පැතුමයි.
එහෙත් අහම්බයන් වුව සිදුවන්නේ අහම්බයෙනි.
“දැන් මොනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ?”
කිශාල්ගේ වදන් විත් නැවතුනේ සිත තුළය.
අයියා යනු ලේසියෙන් මෙවන් දේ අසන්නෙක් නොවේ. එහෙත් කලාතුරකින් හෝ අසන යමක නොපෙනෙන ගැඹුරක් ඇති බව අයියාව හොඳින් දන්නා ඕනැම අයෙක් දන්නා කාරණාවකි.
“ඒ කිව්වේ?”
“දැන් හැමදාම මොන්ටිසෝරි එකේ උගන්නන්නද හිතන් ඉන්නේ?”
“තාම ඉතින් එච්චර ලොකුවට ඒ ගැන හිතල නෑ.අනිත් කවුන්සලින් ඩිප්ලෝමා එකත් තාම ඉවර නෑනෙ”
“ඒක තව කොච්චර කල් යනවද ඉවර වෙන්න?”
“තව වන් ඉයර් වගේ තියෙනව”
දරුවන්ට ඉගැන්වීම සම්බන්ධ පාඨමාලා ඉගෙන අහවර කල පසු උශාලි ළමා මනෝ විද්‍යා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නට ඇරඹුවේ ළගඳිය. එයද හුදෙක් ඉගෙනීමට ඇති ආශාව නිසාම නොව සති අන්තයේ නිවසට වී කම්මැලි කමේ ඉන්නට තිබූ අකමැත්ත නිසාය.
ගෙවුණු සතියට පෙර ජීවිතය තිබුණේ බොහෝ හුදකලාව බවත් සෙනසුරාදා සහ ඉරිදා තව දුරටත් කම්මැලි නොවන සිතුවිලි ප්‍රවාහයකට තමා හසුව තිබෙන බවත් දැන් දන්නා නමුත් මුදල් බැඳ අවසන්ව තිබෙන පාඨාමාලාවෛතින් අතහරින්නට බැරිය.
එහෙතේ ඔස්සේ මහා අනාගතයක් උශාලි තවමත් දකින්නට අරඹා තිබුණේ නැත.
නංගීගේ නිහඬතාවය කිශාල්ට පැනයකි.
තමා ඇසුවේ එතරම් කල්පනා කරන්නා දෙයක් නොවේ.
“හැමදාම ටීචින් කර කර ඉන්න පුලුවන් ඔයා ඉක්මනට මැරි කරන්න බලාගෙන ඉන්නවනම්, හැබැයි ලොකු කරියර් ග්‍රෝව්ත් එකක් බලාපොරොත්තු වෙනවනම් ලංකාව වගෙ රටක මොන්ටිසෝරි ටීචින් වලින් යන්න පුලුවන් දුර ඔයා දන්නවනේ. මම නම් හිතන්නෙ කවුන්සලින් වගේ ස්ටඩි කරලා ඒ සයිඩ් එකෙන් ඉස්සරහට ගියා නම් හොඳයි කියල”
විවාහයක් පිළිබඳ අල්ප අපේක්ෂාවක්වත් නොමැති මොහොතක අයියාගේ මුවින් නික්මෙන වදන් විත් සිත තුලට වදින්නේ කුණාටුවක් මෙනි.
“අනිත් එක අම්මයි තාත්තයි උනත් හැමදාම ඉන්නෙ නෑනෙ. කවදමහරි දවසක එයාලා නැති දවසක් එනවා. එදාට තනියම ලෝකෙට මූන දෙන්න අපි හැම දේකින්ම ස්ටේබල් වෙලා ඉන්න ඕන. ස්පෙශලි ෆයිනැන්ශලි.
ඒ නිසා ජොබ් එකක් කරද්දි උනත් අපි ඒ දේවල් ගැන ගොඩක් කන්සිඩර් කරන්න ඕන. ඔයා කරන ජොබ් එකේ වරදක් නෙවි මම මේ කියන්නෙ. මේ කරන ජොබ් එක ඔයාට හොඳ, බොහොම කම්ෆටබල් එකක් වෙන්න පුලුවන්. ඒ උනාට ඔයාගේ ෆියුචර් එක ගැන හිතද්දි මේ ජොබ් එකයි ඒකෙන් ලැබෙන ඉන්කම් එකයි මොන තරම් ස්ටේබල් ද කියන එක අමතක කරන්න එපා
අනිත් එක ඔයා දන්නවනෙ මම පවුලෙ ලොකු ළමය උනාට සමහර කාරණාවලදි මට කලින් ඔයාට ඉස්සර වෙන්න වෙන බව”
නවකතාවල තිබෙන අන්දමේ බලෙන් බැන්දවීම් හෝ අකමැති අයෙකුට බැන්දවීම් වැනි බොළඳ අදහස් තම නිවසේ නැති බව දන්නා එක සිතට සැනසුමක් වුවද අයියාවිසින් හෙලි කරන අනාගතයේ මුහුණ දෙන්නට නියමිත බැරෑරුම් ඉසව් සිතට මහත් බරකි.
ඒ බර අයියාගේ වාහනයෙන් බැස පෙර පාසල් තුලට යනවිටත් උශාලිගේ සිතෙන් ගිලිහී ගොසින් තිබුනේ නැත. ඒ බර සිතෙන් බිම තබා ඉගැන්විමේ කටයුතු කල යුතු බව දැන උන්නද එය සිදු කරන්නේ කෙසේද යන්න ගැන නිවැරදි අදහසක් උශාලිගේ සිතේ තිබුනේ නැත.
පොඩ්ඩන්ගේ කලබලය මැද්දේ පෙර පාසල තුලට ගිය උශාලි අත් බෑගය කබඩයෙන් තමා එදිනට කරන්නට නියමිත පොත් පත් ආදිය පිටතට රැගෙන පිලිවෙලින් අත්‍යවශ්‍ය දෑ පොඩ්ඩන්ගේ මේස මත්තෙන් තියාගෙන යද්දී වුව උන්නේ ඒ බර සිත තුල පටවාගෙනය.
Parrot පංතියේ පොඩ්ඩන් සියල්ලන්ම තවම ඇවිත් නැති පාටය. ඇවිත් හිඳින් ඇතැම් පොඩ්ඩන් තම පොත් බෑග මේස මත තබා අලුතෙන් හඳුනාගත් යාලුවන් සමග සෙල්ලම් කරන්නට ගොසිනි. සමහර මේස මත එවන් පොත් බෑග නැත්තේ පොඩ්ඩන් ඇවිත් නැති නිසාවෙන්ද නැත්ට්ගම් පොත් බෑග පංති කාමරයෙන් තබන්නටවත් ඉස්පාසුවක් නැතුව සෙල්ලමට ගොස් ඇති නිසාවෙන්ද කියා උශාලි නොදනී.
ළම කාලය මොනතරම් නම් ලස්සනද යන සිතුවිල්ල සිතට ආවේ කොයි මොහොතෙදැයි මතක නැතිමුත් ඒ අදහස සැබෑය. මව් දෙමව්පියන්ගේ සහ වැඩිහිටි ආදරය රැකවරණය මැද්දේ අනාගතය යන වචනයේ තේරුම පිළිබඳ්ස් කිසිදු අදහසක් නොමැතිව ගෙවී ගිය ඒ ළම කාලය මල් පෙත්තකටත් වඩා සියුමැලි මෙන්ම සැහැල්ලු දෙයකි.
ඉක්මනින් ලොකු වන්නට කුඩාවුන්ට උවමනා වුවත් ඉක්මනින් ලොකු වීම ගැන වැඩිහිටියන් මොනතරම් නම් දුක් වන්නේද යන්න කිසිවෙකුත් කිසිදිනක කිසිදු පොඩ්ඩෙකුට පැහැදිලි කර දී නැත.
ජීවිතයේ අනේක ප්‍රශ්න, හමුවීම අහිමිවීම් මැද සිනහවට වඩා කඳුලු වැඩි වැඩිහිටි වියේ හිඳ ආයේමත් ළමා කාලයට යන්නට තිබුණානම් මොනතරම් අපූරුද යන සිතුවිල්ලට තහංචි දමන්නට නොහැක.
ඒ කල්පනාවේ ගිලී හුන් උශාලි කොහෙන්දෝ අහුලාගත් සිනාවක් මුව රඳවාගෙන පංති කාමරයේ දොර වෙත හැරුණේ පංති අරඹන සිනු හඬට අවනතව කොරිඩෝව දිගේ දුවගෙන එන පොඩ්ඩන්ගේ පා හඬ අනුවය.
දුලන්‍යාද මේ පොඩ්ඩන් රොත්ත සමගින් දුව එනවා ඇති.