පතිදම්වැල් 13

“අම්මි නම් කිව්වා දූ ඉස්සරටත් වඩා ආසාවෙන් දැන් මොන්ටිසෝරි එකට යනව කියල”

දුරකතනයේ වට්සැප් යෙදවුම ඔස්සේ ඇදී එන තාත්තාගේ කටහඬ ඉතින් උශාලිගේ සිත් තුල කුතුහලය මුසු බියකුත් තොල් මත දුලන්‍යාගේ තාත්තා මතක් වී එන සිනහවකිනුත් පිරේ.

එහෙත් තාත්තා යම් ප්‍රශ්නයකට අවතීර්ණ වන්නෙ ඉතාම සංයමයකින් බව උශාලි නොදන්නවා නොවේ. බාගදා දිස්නාට දැනුණ අන්දමේ වෙනසක් අම්මාද දැක තිබෙන්නට හැක.එවන් යම් ගැටලුවක් වේ නම් අම්මා කරන්නේ එය තාත්තාට කල් තබා දැනුම් දෙන බවත් තාත්තා ඒ ඔස්සේ තමන් සමග කතා බහ කරන බවත් උශාලි නොදන්නවා නොවේ.

තාත්තා ඒ ගැන යමක් ඇසුවද එය කියන්නට නොහැකි රහසකි. තම සිත ගිය තරුණයකු ගැන වී නම් එය තාත්තා සමග කියන්නට බැරි නොවන බව දන්නා නමුත් මේ තරුණයකු ගැන පුවතක් නොවේ. තවත් පියෙකු සැමියකු ගැන පුවතකි. ඒකපාර්ශ්වික ආදරයක් ගැන පුවතකි.එහෙම දෙයක් තාත්තා සමග කීවද ඒ සඳහා දිය හැකි සිත නිවන අන්දමේ උත්තරයක් තාත්තා ළඟ තිබිය හැකිද?

“දැන් ඉතින් පුරුදුයිනේ එහේ. අනික මේ පාර ටර්ම් එකට ආව බබාලාත් හරිම ෂෝක්”

“ඒ වුණාට අම්මි නම් හිතන් ඉන්නෙ වෙන දෙයක්” කියමින් කුලරත්න මහතා එහා පසින් සිනා සේ.

“ඒ මොකද්ද තාත්ති?” කියා සිනාසෙමින්ම අසද්දි තමන්ගේ කාමරය අසලින් ඇදෙන අම්මාගේ චායාව උශාලිට නොපෙනුනා නොවේ. ඉතින් මේ අම්මාද රහසින් සම්බන්ධ වී හිඳින කතාවක් බවට මුල අග ගැටගසාගන්නට උශාලිට හැක.

“අම්මි හිතන්නෙ ඔය මේ කවුරු හරි බෝයි කෙනෙක්ව මගදි මීට් වෙන නිසා තමයි කියල සන්තෝසෙන් යන්නෙයි අයියගෙ කා එකේ යන්න බෑ කියන්නෙයි.

මං ඒත් අම්මිට කිව්ව පිස්සු කියවන්න එපා කියලා. අනිත් එක ඉතින් මේ කෙල්ලො දැන් කොල්ලන්ව හම්බෙන්නෙ නැතුව මොකෝ අම්මි වගේ වයසට ගියම කොල්ලො හම්බෙන්නද නේද?”

තාත්තා යනු ඉතාම සරල, විනෝදරබර චරිතයකි. ඕනෑම විශාල දෙයක් කුඩා කොටස් වලට කඩා එය ඉත සරලව විග්‍රහ කර දීමට තාත්තාට තිබෙන අපූරු හැකියාව ගැන උශාලි නොදන්නවා නොවේ.

තාත්තා මේ ප්‍රශ්නයටත් ඒ ලෙසින්ම ඇතුලු වුවද කතා බස් කරන්නට යන්නේ ජීවිතයේ මෙතෙක් දිනක් කතා බස් නොකෙරුන අන්දමේ බර සාර මාතෘකාවක් බවට තාත්තාගේ වචන ඔස්සේ අනවැකි කියන්නට උශාලිට බැරිකමක් නැත.

දරාගන්නට අපහසු ඒ කතාබහ තම අනාගතය සම්බන්ධ අනාවැකි කීමක් වීමයි.

“ඒත් ඒ මාතෘකාව ඇදිල ආව එකත් හොඳයි. ඔයා දැන් ස්ටඩීස් එහෙමත් ඕල්මෝස්ට් කරල ඉවරනෙ, තව අවුරුද්දකින් විතර අනිත් ඩිප්ලෝමා එකත් ඉවරනේ. තව ස්ටඩි කරන්න අයිඩියාස් තියෙනවද දුව?”

තාත්තා තමාව සෙමෙන් සෙමෙන් ප්‍රශ්නයේ සංකීර්ණම තැනකට රැගෙන යන බව දැන උන්නද ඉන් මිදෙන්නට හැකියාවක් හෝ ඉඩකඩක් තමාට නැති බව උශාලි නොදන්නවා නොවේ. අනෙක් අතට මොකක් හෝ කියා තාත්තා සමග අද මේ කරන කතා බහෙන් මිදුණද මේ ප්‍රශ්නයම නැවත දිනක ඇදි එන බව හොඳින් දනී. 

“එහෙම අදහසක් නම් තාම නෑ තාත්ති. ගොඩක්ම යුරෝප් කන්ට්‍රීස් වල නම් අර්ලි චයිල්ඩ් හුඩ් ඩිවලොප්මන්ට් ඇන්ඩ් ප්‍රී ස්කූල් එඩියුකේශන් වලට මාස්ටර්ස් එහෙමත් තියෙනවා. ඒත් ඉතින් අපේ රටේ එහෙම ලොකුවට ප්‍රී ස්කූල් ටීචින් වලට තැනක් නෑනෙ. ඒ නිසා මට එහෙම ලොකුවට ස්ටඩි කරන්න අදහසක් නෑ. ඩිප්ලෝමා එකත් මම ආසාවට පටන් ගත්තේ”

“ඔයා කැමති නිසාමයි අපි යුනිවසිටි යන්න සිලෙක්ට් වෙලා ඉන්නකොටත් දුරවැඩි නිසා යන්න බෑ කියද්දි මුකුත් කිව්වෙ නැත්තෙ, අනික අපි මොනව කිව්වත් ළමයි කරන්න ඕන තමන් කැමති දෙයක්. කිසිම කෙනෙක් වෙනුවෙන් ඔයාලා අකමැති දෙයක්.කරන්න ඕන නෑ.

පුත අහගෙනද ඉන්නේ?”

“ඔව් තාත්ති කියන්න, මම අහගෙන ඉන්නෙ” කියා කියද්දි තම සිත අසාමාන්‍ය වේගයකින් ගැහෙන බව උශාලිට නොතේරුනා නොවේ.

“ජීවිතේට පුතා බලාපොරොත්තුවක් තියෙන්න ඕන.ඔයා ඉස්සරහට කරන්න ඕන මොකද්ද කියල අයිඩිය එකක් දෙයක් පටන් ගනිද්දි තියෙන්න ඕන. මම මේ කියන්නෙ වරදක් නෙවෙයි. ඔයාලට තාම ලොකුවට ලෝකෙ ගැන අයිඩියා එකක් නෑනෙ. 

අයියට නම් පොඩ්ඩක් හරි දැනුම් තේරුම් තියෙනව යුනිවසිටි ගිහින් රැග් එහෙම කාලා තියෙන නිසා. ඔයා එළියට ගියා නම් ගියේ ඉස්කෝලෙ යන්නයි වැඩට යන්නයි වගේනෙ.

ඒ නිසාම තමයි මම හිතුවෙ අද පොඩ්ඩක් ලොකුවට කතා කරන්න ඕන කියල. අම්මිත් හරි බයෙන් ඉන්නෙ ඔයාව අපි ගෙදරම තියාගෙන හදපු එකෙන් ඔයාට වරදක් වෙයි කියල.

මම නම් එහෙම හිතන්නෙ නෑ. ඔයා එහෙම මෝඩ දරුවෙක් නෙවෙයි කියල මම දන්නවා.

අම්මි හරි බයයි ඔයා කවුරුහරි වැරදි කෙනෙක් එක්ක යාලුවෙයි කියල”

තාත්තා ගේ දීර්ඝ කතාබහ අවසානයේ “එහෙම වෙන්නෙ නෑ” යැයි පවසන්නට පවා උශාලි වචන සොයාගත්තෙ ආයසයෙනි.

තාත්තා කරන්නට යන්නේ ඉතාම දීර්ඝ එමෙන්ම සංකීර්ණ කතාවක් බව උශාලිට තේරුම්ගන්නට අපහසුවක් නැත.

“ඔව් මම දන්නවා. ඔයාලා එහෙම මෝඩ වෙලා තීරණ ගන්නෙ නෑ කියල මම දන්නවා. ඒත් පුතා ජීවිතේ හරියන්න වගේම වරදින්න එක අඩියක් තියන විදිය ඇති.

අනිත් එක අම්මයි මමයි දෙන්නම හිතනව දැන් කාලෙ හොඳටම හොඳයි කියල ඔයාට කවුරුහරි තෝරගන්න.

සමහර ගෑණු ළමයිනම් ඉස්කොලෙ යද්දි එහෙමත් අෆෙයාර්ස් රන් කරනවනේ. අපි ඔයාලට ඒ කාලෙදිවත් ඒවට හා කිව්වෙවත් එපා කිව්වෙවත් නැ. ඔයාලම හිතල අෆෙයාර්ස් කරේ නෑ.

ඒ ගැන අම්මියි මමයි දෙන්නම හරිම සතුටු වෙනවා. අපිට හරි ආඩම්බරයි ඒ ගැන. ඒ අතින් ඔයාල ඉස්කෝලෙ යන කාලෙදිවත් ඉන් පස්සෙවත් අපිට ඒ වගේ ප්‍රශ්න ආවෙ නෑනෙ.

ඒත් දැන් ඔයාට ලබන අවුරුද්දට විසි පහක්. අම්මි මැරි කලෙත් විසි පහෙන්. ගර්ල් කෙනෙක්ට වෙන හයර් ස්ටඩීස් වගේ දේවල්නැත්තම් විසි පහේදි විතර මැරි කරන එකේ කිසිම ඉශූ එකක් නෑ. 

අයියාට නම් අෆෙයාර් එකක් තියෙනව සහ අපි ඕල්‍ රෙඩි ඒ ගැන දන්නවනේ. ඒ දුවගෙ ස්ටඩීස් ඉවර වෙනකම් සහ අයියගෙ බෑනින් එක්සෑම්ස් ඉවර වෙනකම් බඳින්නෙ නෑ කියල ඉතින් දෙන්නම කියන නිසා අපි ඒකට වැඩිය කලබල කරන්න යන්නෙ නෑ.

ඒත් ඔයා දැන් හයර් ස්ටඩීස් කරන්නත් බලාපොරොත්තුවක් නැත්තම් අපි කැමතියි දැනගන්න ඔයාට මොකක් හරි අෆෙයාර් එකක් තියෙනවද කියල අපිට ඒ ගැන එතකොට හිතල බලන්න පුලුවන් නේ”

උශාලි නිහඬතාවය මැද්දේ වදන් ගලපා අවසාන කලපසු රණවීර මහතා දියණිය මොනවා හෝ පිළිතුරක් ලෙස ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් තප්පර කිහිපයක් බලා හිඳිනට වූවේය.

දියණිය සමග මෙවන් දෙයක් කතා කල පළමු අවස්තාව මෙය බැවින් එය ඇයගේ සිතට ඉමහත් බරක් බව තේරුම් ගන්නට අපහසු තාත්තෙක් නොවේ රණවීර මහතා.

එහෙත් දූවරුන් හිඳින තාත්තලාගේ සිත් තුළ ඇති බිය කෙතරම්දැයි දූවරුන්ට අදහසක් නැත. වැඩිම බරක් ඇත්තේ දූලා කුඩා කාලයේදී නොව කෙමෙන් කෙමෙන් දරුවන් උස් මහත් වෙද්දීය.

කුඩා කාලයේ වඩාගෙන හුරතල් කරද්දී ඔවුන්ගේ ලෝකවල එකම වීරයා තාත්තා වුවත් ටිකෙන් ටික උස් මහත් වෙද්දී අලුත්වීරයන් සමග අලුත් ලෝක ගොඩනගාගන්නටත්, කුඩා කල බෝනික්කන් සුරතල් කලා මෙන් පසුව ඒ වීරයන් සමග පණ තිබෙන බෝනික්කන් සුරතල් කරන්නටත් දූවරුන් දක්වන්නේ ඉමහත් ආසාවකි.

එය රණවීර මහතා නොදන්නා කරුණක් නොවේ.

තමා දියණියට පණ මෙන් ආදරය කරන තාත්තා කෙනෙකි.

මේ කෙමෙන් කෙමෙන් කාලය එළඹෙන්නේ ඒ පණ වන් ආදරය කරන දියනිය වෙන නිවසක සිරියා කාන්තාව කර යැවීමට සුදුසු කාලය බව රණවීර මහතාට වඩාත් තදින් දැනුනේ ගීතාංජලී මහත්මිය දහවලේ කතා කර මේ බව කියූ පසුවය.

“මම නම් හිතන්නේ නෑ ඔයා කිව්වට දූට එහෙම සම්බන්ධයක් ඇති කියලා”

“සම්බන්ධයක් තියෙනවම කියල මම කියන්නෙ න, ඒ උනාට ළමයි දැන් ඉන්නෙ හිත එහෙ මෙහෙ යන වයස්වලනේ.

මං ඒකයි කිව්වෙ පොඩ්ඩක් අහල බලන්න කියල. එයා කොහොමත් ඔයාට හැමදේම කියන නිසා ඔයා අහල බැලුවොත් දැනගන්න පුලුවන් කා එක්ක හරි සම්බන්ධයක් තියනවද කියල. අපි දන්නෙ නෑනෙ වැරදි තීරණයක් එහෙම අරගෙනද කියල”

“වැරදි තීරණයක් කියල ඔයා අදහස් කලේ මොන වගේ දෙයක්ද?”

“මං කියන්නෙ අපිට ඉන්න එකම ගෑණු ළමය නිසා ඒ ළමය කසාද බන්දල දෙන මනුස්සය එයාට වගේම අපිටත් ආස්‍රය කරන්න පුලුව කෙනෙක් වෙන්න ඕනනෙ. ඔයා දන්නවනෙ මූණ කට ලස්සනට තියෙද්දි ගෑණු ළමේක්ට වුනත් කරදර එන්න පුලුවන් විදි කීයක් නම් තියෙනවද කියල”

“හරි මං මෙහෙම අහන්නම්කො, ඔයා කැමති දූව මොන වගේ තැනකට කසාද බන්දල දෙන්නද?”

“ගතිගුණ එයාලානෙ මහත්තය බලාගන්න ඕන. අනිත් කාරණා පැත්තෙන් ගත්තොත් පමණට වඩා වැඩියෙන්වත් අඩුවෙන්වත් මුකුත් නැති අපිට ගිහින් එක මේසෙ ඉඳගෙන කාලා බිල එන්න පුලුවන් තැනක් වෙන්නයි ඕන. අනික් කාරණේ මං නම් වැඩිය කැමති අපෙ ජාතියෙම එක්කෙනෙක් වෙනවට”

“හරි හදිසියේ හරි දූ ඔය කියන කාරණා ඔක්කොටම වඩා වෙනස් මනුස්සයෙක් බඳින්න ඕන කිව්වොත් ඔයා ඒකට විරුද්ධ වෙනවද?”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles