සදාතන කාර්යාලයේ වැඩි වේලා නොරැඳී ඉක්මනින් ගෙදර ආවේ ය. ඒ, රියදුරු නැති නිසාවෙන් සියපත් ගෙදර ඇරලීමේ බලාපොරොත්තුව ඇතිව ය. සියපත් කල් ඇතිව ම බස් එකේ ගෙදර යන්නට තීරණය කොට තිබුණා ය. ඔවුන් වාගේ පුංචි මිනිසුන් ලොකුවට හිත් රිදවා ගත නො යුතු බව ඇය සිතට අවධාරණය කළා ය. වැටෙන්නට තවත් තැනක් ඔවුන්ට ඇත්තේ නැති බැවිනි. වසර ගණනාවක් පෙරුම් පුරා නැගිටින්නට උත්සාහ කළේ ඇය වෙනුවෙන් පමණක් නොව මුළු පවුලක් වෙනුවෙන් වන නිසාවෙනි. එක ම එක පුංචි සිතිවිල්ලක් නිසා, දින ගණනක සිට හිතට රිංගා ගෙන තරම් නැති කලබලයක් කරනා එක පුංචි හැඟීමක් නිසා, සියල්ල වියවුල් නො විය යුතු ය. සියපත් තනිව සිනාසුණා ය. මේ මහා මන්දිරයේ පුතෙකු ගැන හීන දකින්නට තරම් එහි සේවිකාවක වන ඇයට වන ලොකු කම කුමක් ද?
පිටේ එල්ලා ගන්නා ලෙදර් බෑගය එක් උරයක දමා ගෙන ඇය ගෙන් පිට වීමට එත්දී නිවුන් සොයුරන් දෙදෙනා ම ආලින්දයෙහි රූපවාහිනියේ ක්‍රිකට් තරගයක නෙතු නතර කර ගෙන සිටියහ. සදාතන නම් මෙහි රැඳුණේ ම සියපත් වෙනුවෙනි. ඒ නිසා පියවර හඬක් නො ඇසී ද ඇය වෙනුවෙන් ඔහු හිස නගා බැලුවේ ය. සියපත් ඔහු දෙස බැලුවේ නැත. නමුත් සෑම පැත්තකින් ම ඇයට පෙනෙන්නේ ඔහු ය. සදාතන අසුනෙන් නැගිට්ටේ ය. ඒ යතුර ද අතට ගනිමිනි.
“ඔය යනවද සියපත්…”
ඇය එතැනින් යත්දී ම සනාතන විමසී ය.
“ඔව්…”
ඇය ආචාරශීලී ලෙස කෙටි උත්තරයක් දුන්නා ය.
“මාත් දැං එළියට යනව. ඉන්න මං ඔයාව ඩ්‍රොප් කරන්නං”
“අනේ එපා එපා. මට බස් එකේ යන්න පුළුවන්. උදේ සදාතන සර්ත් නිකං අපරාදෙ රස්තියාදු වුණා. මං උදේටත් බස් එකේ එන්නං සර්”
එහෙම කියමින් සියපත් ගෙයින් මිදුලට ද බැස්සා ය. සනාතන වහ වහා රිය වෙත ගියේ ය.
“එන්න සියපත්”
“එපා සර්. මං බස් එකේ යන්නං”
සදාතන දොරකඩට ම ආවේ ය. සියපත් සනාතන ප්‍රතික්ෂේප කරමින් ගේට්ටුව දෙසට ඇවිද යමින් සිටියා ය. සදාතන ට පේන්නට සනාතන ගේ රියෙහි නැගී යන උවමනාවක් ඇයට නොවූ බවට ඉර හඳ පවා සාක්ෂි ය. මේ වෙලාවේ සියපත් ට උවමනා කර තිබුණේ මුළුමනින් ම තනි වෙන්නටයි. තනි වී මේ හිත් රිදුම ඇති සැටියෙන් විඳ ගන්නටයි. හෙළවෙනා දතක් දිවෙන් පිරිමැද ලබනා රිදුම විඳින්නටයි.
“මෙන්න මෙහෙ එනව”
කියමින් සියපත් ගේ අත් ගොබ දෙකෙන් ම ඇය පිටුපස සිට සනාතන අල්වා ගත්තේ ය. සියපත් ට දැනුණේ ඇය එතැන පොළොව යටට කිඳා බැස්සා මෙනි.
“අනේ ඕන්නෑ. මං බස් එකේ යන්නං”
“පණ්ඩිතය නොවී නගිනව”
ඔහු රියෙහි දොර ද හැර ඇය ඊට ගොඩ කරවූවා ය.
“මං සියපත්ව ඩ්‍රොප් කරගෙනම යන්නං සදාතන”
දොර උළුවස්ස උඩ නතර වී බලා සිටිනා සදාතන ට එසේ කියමින් සනාතන රියට ගොඩ වූවේ ය. සියපත් උගුර අල්වා ගෙන සිටියා ය. ඇයට ඒ තරම් රිදුමක් දැනෙමින් තිබිණ. ඉක්මනින් ම ඕ ආසන පටිය තද කොට ගත්තේ උදේ සදාතන එසේ කරත්දී දැනුණ ඔහු ගේ සුවඳ පවා සිහි කරමිනි.
රිය නික්ම යන්නටත් පෙර සදාතන දොරකඩින් මෑත්ව පිය ගැට පෙළ දිගේ කාමරයට ගියේ ය. පපුව රිදෙනවා වාගේ ඔහු ට දැනිණ. ඔහු සුව පහසු යහනාවේ උඩුකුරු ව වැතිරී දෑත් දෙපසට විහිදුවා ගත්තේ ය. ඇස් දෙකෙහි දැවිල්ලක් ඇති වී ගෙන එනවා දැනිණ. එකෙනෙහි කඳුළු දෙපෙළක් ඇස් වලින් රිංගා ගොස් කන් පෙති අසලින් රූටා ඇඳ ඇතිරිල්ලට තෙත උරා ගත්තේ ය. මේ වගේ හැඟීමක් මීට පෙර කවදාවත් ඔහු ට දැනී නැත. ගෑනු ළමයෙකු හින්දා ඇස් වලින් කඳුළක් ගිලිහෙනු තබා හිතේ ගැස්මක් ඇති වී ද නැත. යොවුන් වියේ දී ලැජ්ජාව නිසා ම උපකාරක පන්ති වල හිඳිනා බාලිකාවක දෙස හෝ ඔහු ඇසක් ඇර බලා නැත. ගෑනු ළමයින් ගේ නිරන්තර අවධානයට මේ නිවුන් සොයුරෝ ලක් වූවෝ ය. ඒ ඔවුන් නිවුන්නු නිසා ම නොව කඩවසම් නිවුන්නු වූ නිසා ය. සදාතනටත් එක්ක ම හැම තැනකදී ම සනාතන අවස්ථාව ලබා ගෙන තිබේ. ඔහුත් එක්ක තරග කරන්නට සදාතන ට කිසි දා ඕන වී නැත. ගෑනු ළමයින් සම්බන්ධයෙන් සනාතන ගේ හැසිරීම් වල දී සදාතන කළේ පුංචි සිනහවක් නගා ගන්නා එක විතර ය. ඒ සිනහවේ ද ලැජ්ජාවක් හෝ අහංකාරයක් තැවරී ගෙන තිබිණ. ගෑනු ළමයෙකු සමග ඇසුරක් ඇති කර ගත යුතු ය කියා ඒ කිසි අවස්ථාවක ඔහු ට හිතී නැත. වියාන පිළිබඳ යෝජනාවේ දී ද පියා ට විරුද්ධ වන්නට බැරි කමට නිහඬ ව සිටියාට ඇය ගැන කිසිදු විශේෂ හැඟීමක් ඔහු ට දැනී නැත්තේ ය. තමන් සමග විවාහ වීමට යෝජිත තරුණිය සමග වීඩියෝ ඇමතුම් ඔස්සේ කතා කිරීමේ අවසරය සනාතන ට ලබා දෙත්දීවත් ඔහු ට මේ වගේ රිදුමක් දැනී නැති බව සහතික ය.
සනාතන සියපත් ට පෙම් කරන්නේ ද? එය එසේ නම් කළ යුත්තේ ඔහු ට ඉඩ දී පසෙකට වීම මිස කවරක් ද? දඟයෙකු වූවාට සනාතන නරකයෙකු නොවෙනා බව සදාතන තරම් හොඳින් මදිරාවත් දන්නේ නැත. තවම ඔහු ට ස්ථිර ප්‍රේමයක් නැති බව සදාතන දනී. වරින් වර සුළු සම්බන්ධතා කිහිපයක් ම තිබී ඇත ද ඒ කිසිවක් විවාහය වන් දීර්ඝ කාලීන හා ස්ථිර වූ ගමනක් වෙනුවෙන් තරම් නොවූ බව සනාතන සදාතන සමගින් පවසා තිබේ. සියපත් කියන්නේ සුවිශේෂ ගෑනු ළමයෙකි. වසර කිහිපයක් තිස්සේ කහවණුගොඩ මැදුර අරක්ගෙන තිබූ මූසල අඳුර පහ ව ගියේ සියපත් හින්දා ය. ඇය මේ ගෙදරට පය තැබුවාට පස්සේ ය. මිලාන වූ මලක් සේ හේ බා ගිය මදිරා ගේ ජීවිතය මත්තේ පොද වැස්සක් සේ වැටී යළිත් ඇය ප්‍රාණවත් කරවූයේ සිපපත් ය. දැන් මේ ගෙදර කිකිණි සිනහ හඬක් පාව යනවා නම් ඒ සියපත් හින්දා ය. දැන් මේ ගෙදරට බලාපොරොත්තුවේ ප්‍රභාතය උදා වී තිබෙනවා නම් ඒ ද සියපත් හින්දා ය. ඉතින් ඇය මේ ගෙදර ලේලියක වෙනවාට කිසිවෙකු විරුද්ධ නොවනු ඇත. කළල් දියක උපනත් දැන් ඇය සියපතකි. ඒ ගැන විරෝධය පාන්නට තරම් මේ ගෙදර මිනිසුන් පටු මානසිකත්වයක් ඇති අය නොවේ. එසේ නම් සිය සහෝදරයාට ආශීර්වාද කරන්නට තරම් තමන් ද අවංක විය යුතු යයි සදාතන සිතා ගත්තේ ය.
රිය තුළ දී වෙනදා වාගේ සනාතන සමගින් කතා කරනා උනන්දුවක් සියපත් ට නොවිණ. නළල දෙපසින් සිහින් හිස රදයක් ද පැතිර යන්නට වූයෙන් ඇය බෑග් එක තුරුලු කොට ගෙන ගුලි වී සිටියා ය. සනාතන විමසූ දේකට කෙටි පිළිතුරු දුන්නා පමණකි.
“සනීප නෑ වගේනං හෙට ලීව් එකක් ගන්න”
ගුරු පාර ළඟදී සියපත් රියෙන් බසින්නට පෙර සනාතන සිහිපත් කළේ ය.
“අපෝ බෑ”
සිනහවකින් ඇය වහා ම කීවා ය.
“අක්කට පාළු දැනෙයි”
එය අතිශය මෝඩ සිනහවක් සේ වියැකී යන හැටි ඇයට දැනිණ. මදිරා නොව සිතේ මැවී තිබුණේ සදාතන ගේ රුව ය. මදිරා ට නොව එහි නොයා සිටීම දරා ගත නො හැකි වන්නේ තමන්ගේ දුප්පත් සිතට බව යුවතිය වටහා ගනිමින් සිටියා ය.
දිය නාත්දී ඇගේ ඇස් වලින් කඳුළු ගලා ගෙන ගියේ ය. ඒවා තේරුමක් නැති කඳුළු බව ඇත්ත ය. නමුත් ඒ දුක වෙනුවෙන් හඬන්නට හෝ අයිතියක් තිබිය යුතු නේද කියා ඇය සිතුවා ය. කොයි තරම් කඳුළු සේදී ගියත් ඒ කටුව ගැලවී ගියා නොවේ. ආදරය, කටුවක් සේ හදවතේ ඇනී තිබිණ. එය පැටලි පැටලී දුක් දීමට නියමිත එකක් වූයේ ය. එදා ඇය කඩයප්පම් විකිණීමෙහි නිරත වූයේ නින්දෙන් වාගේ ය.
“ඔළුව කැක්කුමනං චුට්ටක් හරි කාල බේත් පෙති දෙකක් බීල නිදියන්න මැණික”
සුජීවා දෙතුන් වරක් කීවාට පස්සේ සියපත් කාමරයට ගොස් ඇඳට වැටුණා ය.
“ඕන කරන පන්ති වලට යන්නෝන ෆීස් ගැන නොහිතා…හරිද…මං දැං ඉන්නවනෙ ෆීස් ගෙවන්න. රිවිශන් ක්ලාසස් බලල ඒවටත් යන්න. එක පාරින් ගොඩ යන්න බලාගෙන මහන්සි වෙන්න නංගි”
ඇස් පියවෙත්දී ඇය පාඩම් කරනා පංකජී ට කීවා ය. නංගී නළලත මත ඕඩිකොලෝන් ටිකක් දමා හිස පිරිමදිනු සිහිනයෙන් වාගේ සියපත් ට මතක ය.
පසු දා රියදුරු ජගත් ගේ දොරකඩට පැමිණ සිටීම, බලාපොරොත්තු සුන් කරවීමක් වූවාද නැත්නම් සැනසීමක් වූවා ද කියා ඇය සිතන්නට ගියේ නැත.
සදාතන සියපත් එන්නට පෙර කාමරයට විත් මදිරා ට කතා කොට ගියේ ය. දවල් කෑමට ඔහු ගෙදර ආවේ නැත. හදිසි වැඩ ටිකක් ඇති නිසා පමා වෙන බව කීවාට පමා වී හෝ කෑමේ රුචියක් නොවූ නිසා තමන්ට දඬුවම් දී ගනිමින් කාර්යාලයේ රැඳුණේ ය. හදවත හෝදා පාළු වී ගිය සෙයක් සියපත් අත්වින්දා ය. නමුත් ඕ බාහිරයෙන් පෙර සිටි සියපත් ම වූවා ය.
සතියකට වරක් දෙකක් හැන්දෑවේ උද්‍යානයට යාම මදිරා ගේ සතුට විය. ඒ ගමනට සියපත් ද රිසි වූවා ය. මේ හැන්දෑවේත් එහි යන්නට මදිරා සැරසෙත්දී සියපත් එකඟ වූයේ බඩ පපුව අතරේ වන දැවිල්ලක් එක්ක ය. ගෙදර යන්නට වන්නේ සදාතන ගේ මූණ හෝ දකින්නට අවස්ථාවක් නො ලැබී ය යන සිතිවිල්ල ඇයට තහනම් වේදනාවක් ගෙන දෙන්නට ගති.
සනාතන ඔවුන් ව උද්‍යානයට ඇරලූවේ ය. ඔවුන් ආපසු ගෙන යාම ඔහු සදාතන ට පැවරූයේ ය. සදාතන ඒ ඉල්ලීම පිළි ගත්තේ කැමැත්තෙන් වී ද ඒ සතුට තහනම් එකක්ය යන හැඟීම ද වද දෙමින් තිබිණ.
හැන්දෑවේ ඔහු උද්‍යානයට යන විට සියපත් හා මදිරා සිටියේ තරුණයෙකු සමග දොඩමළුවේ ය. ඒ දොඩමළුව ආගන්තුක වූවක් නොවේ. උනුන් බෙහෙවින් හුරු පුරුදුයි වාගේ එකකි. සදාතන ඔවුන් වෙත ගියේ ම කේන්තියෙනි. ඇතැම් විට මදිරා ඒ කේන්තිය මූණෙන් ම වටහා ගන්නට ඇත. ඔවුන් තරුණයා ගෙන් සමු ගත්තේ වාචික සමු ගැනීමකින් තොරව ය. මදිරා ව රියට ගොඩ කොට රෝද පුටුව ද ඇතුළට දැමූ ඉක්බිති තව දුරටත් ඒ කේන්තිය පාලනය කර ගෙන ඉන්නට සදාතන අපොහොසත් විය.
“තමුංව විශ්වාස කරල අපි අක්කව මෙහෙම තැනකට එවන්නෙ මේ විදිහට හැසිරෙයි කියල බලාපොරොත්තුවෙන් නෙවෙයි. වැදගත් ගෑනු ළමයෙක් කියල හිතලයි. පාක් ගානෙ කොල්ලො එක්ක කතා කර කර ඉන්නෙ…තමුං කොහොම ගෑනු ළමයෙක්ද ආ…”
සියපත් ට දැනුණේ ඇය උස්සා පොළොවේ ගැසුවා වාගේ ය. ඇගේ ඇස් වඩාත් ලොකු වී දැල්විණි. සදාතන දෙස බැලීම පවා ඇය බියපත් කරවී ය. ඔහු රියට නැගුණේ මහ හඬින් දොර වසා ගෙන ය. මදිරා සන්සුන් වන්නැයි ඇස් වලින් සියපත් අස්වැසුවා ය. ඇය අසුනේ හිඳ බිම බලා ගෙන ම සිටියා ය. වෙනදාට වැඩි වේගයකින් සදාතන රිය පදවන බව දැනුණ ද මදිරා කිසිත් කීවේ නැත. ඔහු සියපත් ව මගින් බැස්වූයේ හෝ ඇගේ ගේ දෙසට රිය ධාවනය කළේ හෝ නැත. ඒ වෙනුවට රිය ඇදී ගියේ කහවණුගොඩ මන්දිරයට යන පාරේ ය. විජේරාමෙන් එගොඩවත්ත පාරට හැරුණු පසුවත් සියපත් බිම බලා ගෙන ම සිටියා ය. මදිරා නිහඬව ම සිටියා ය.
“මට අමතක වුණා සියපත්ව ඩ්‍රොප් කරන්න. අක්කව ගෙදරට දාල එහෙමම එක්කං යන්නං”
සදාතන ම අවසන නිහඬ බව බින්දේ ය. ‘එපා’ කියා හෝ කියන්නට බැරි තරමට සියපත් තවමත් සිටියේ හද ගැස්මෙනි.
“සොරි”
ආපසු ඇය කැටිව යන ගමන්, අතර මගකදී ඔහු මිමිණී ය. සියපත් නෙතු විදා බැලුවා ය.
“පාක් වල ඉන්න දන්නැති කොල්ලොත් එක්ක කතා කරනවද…උං මොක්කුද කියල කවුද දන්නෙ…”
සියපත් දසන් අතරේ දෙතොල් තද කොට ගත්තා ය.
“අනිත් එක…කෙනෙක් තමං ගැන බලාපොරොත්තු තියං ඉන්නව කියල දන්නවනං…ඒකට අකමැත්තකුත් නැත්තං…ඔහොම හැසිරෙන එක වැරදිනෙ”
සියපත් ගේ ඇස් වඩාත් ලොකු විය. ඇගේ උඩු තොල මත්තේ දහදිය බිඳු නැගී ගෙන ආවේ ය. සදාතන මේ කියන්නේ කුමක්ද?
“මං කියන්නෙ…සනාතන ගැන”
කෑ ගසා හඬන්නට ඕනෑකමක් සියපත් ට දැනිණ. නමුත් එහෙම දැනෙත්දීත් එක ඉකියක්වත් පිට නොවෙන අවස්ථා උදා වේ. සියපත් ට මේ එහෙම මොහොතකි. ඇගේ හුස්ම හිර වී තිබිණ. උගුලකට හසු වූ මුවැත්තක සේ ඕ සදාතන දෙස බලා සිටියා ය.