විහඟ පියාපත් 39

0
4549

ශයිනි  ඕස්ට්‍රේලියාවට පියෑඹුවාය. හෝටලයේ පාලනය ශයිනිගේ ඥාති සහෝදරයෙකු වෙත පවරා තිබුණි. තිළිණි සතු බලතල කිසිවක් අඩු නොකර, ඇයට වඩා පහසුකම් සැලසෙන ලෙසින් සියල්ල සකසා තිබුණි.

 ඇඟලුම් කර්මාන්තශාලාව ශයිනිගේ තාත්තා අතින්ම පාලනය වන සේ සකස් කර තිබුණි. ශයිනි ඕස්ට්‍රේලියාවේ සිටින නැන්දණියගේ නිවෙසට ළඟා වූයේ හදවතින් හරි අඩකුත් අරික්කාලක් ලංකාවේ අතැරය. 

එහෙත්, ඉතිරි තුන් කාලෙන් ජීවත් වීමේ අවදානම ඇය ගත්තාය. මුලාවක ජීවත් වෙන්නට වූ අකමැත්ත සහ ඇය මුලාවේ හෙලීමට අකලංක ට තිබූ හය්ය ගැන ශයිනිට දැනෙන්නේ හිස් හැඟීමකි.

ශයිනිගේ පැමිණීම නැන්දා සහ මාමා පිළිගත්තේ ඉතා සන්තෝස වෙමිනි.

“අම්මේ… අන්තිමේදී හරි නැන්දා ළඟට එන්න හිතුණා ඇති…”

“මට ආයේ ටිකක් ස්ටඩි කරන්න හිතුණා නැන්දේ … එහෙ ජීවිතේ බෝරින් දැනෙන්න ගත්තා …”

ශයිනි පහසුවෙන් ඕස්ට්‍රේලියාවේ ජීවිතය ට හුරු වූවාය. මුල් මාස තුනම ඇය වැය කලේ එහෙ මෙහෙ ඇවිදින්නටය. ඒ අතරේ ඔවුන් උන් නගරයේ කුඩා කෝපි හලක් සහ කියවීම් ශාලාවක් සකසන සැලසුමක් සකස් කලාය. ඇයට අවැසි වූයේ ඉතා තද කාර්‍යබහුල වීමක් ය. 

තිළිණි සමඟ සම්බන්ධතා ද සීමා කලාය. තිළිණි සහ ප්‍රබාත් අතරේ වන සමීප සම්බන්ධතාවය නිසා  අකලංක ගැන මොනවාම හෝ දැනගන්නට ලැබේවියැයි ඕ බිය වූවාය. ඒ නැතත්, ජීවිතේ අතෑරෙන තරමටම පැටලී ගිය පසු තිළිණි අල්ලා රැක ගන්නට ප්‍රබාත් හමුවවූවද, අඩුවා නෑතිව සියල්ල ඇති තමා මෙවන් මුලාවක පෙරලීම ගැන ඇයට වූයේ වේදනාවකි. 

එය තිළිණි පිළිබඳව ඉරිසියාවක් නොවේ. එහෙත්, තම පිළිබඳව දරාගත නොහැකි තරමේ වේදනාවකි.

අකලංක සමඟ සිද්දිය දන්න කිසිවෙකු නොවීම තුළ, හාරා අවුස්සමින් ඒ ගැන විමසන්නට කිසිවෙකු නොවීම ශයිනිට පහසුවක් විය. තිළිණි පවා තමා අමතන්නට උත්සාහ කිරීම අතැර දැම්මේ, එක දිගට කෙටි පණිවිඩය සහ ඇමතුම වර්ජිතව කල් ගෙවීම නිසා බව ශයිනි දනී. එයට කම් නැත.  ලෙහෙසියෙන් තම බිඳ වැටෙන්නේ නැති වග ඕ විශ්වාස කලාය.

එහෙත් , මාස හතරකට පසු දිනෙක යළි සියල්ල කණපිට ගැසුණි. ශයිනි කාමරයේ සිටියදී නැන්දා කාමරයට පැමිණියේ ඇගේ කුඩා ලැප්ටොප් පරිඝනකය ද රැගෙනය. එහි යම් තාක්ෂණික දෝශයක් නිසා, යූ ටියුබ් සැරිසැරීම කල නොහැකි වග කීවාය. ශයිනි උන්නේ එය පිරික්සමිනි.

“අද අටට මගේ හොඳම යාලුවාගේ පුතා ඇක්ට් කරන අලුත් ඩ්‍රාමා එක පටන් ගන්නවා… ඔයත් දන්නවා ඇති දෝණි… අර අකලංක කියලා ඉන්නේ.. කෙල්ලෝ පිස්සු වැටිලා ඉන්නේ කොල්ලාට…. “

ඕ දිගටම කියවන්නීය

” කොල්ලා ඉතින් කොලු කමට උන් පිස්සු වට්ටනවා මිසක් අම්මලට පිට යන්නේ නෑ… දැන් නම් මම හිතන්නේ ගෙදරින් හොයනවා කෙල්ලෙක්….. ඒ අම්මලා බලන්නේ චාම්, ලස්සන මාතලේම නවතින්නත් කැමති කෙනෙක්ලු.. මටත් කියනවා ඉතින් හොයන්න කියලා …”

ශයිනි අසිහියෙන් මෙන් තාක්ශණික දෝෂය නිවැරදි කලාය. නැන්දා පිටව ගියේ ටෙලි නාට්‍ය නරඹන මෙන් ඇයටද පවසමිනි.

ශයිනි එහෙමම ඇඳට වැටුණාය. හිස තුළ දෝංකාර දෙන්නේ නැන්දාගේ වර්ණනාවය

” කොල්ලා ඉතින් කොලු කමට උන් පිස්සු වට්ටනවා මිසක් අම්මලට පිට යන්නේ නෑ… දැන් නම් මම හිතන්නේ ගෙදරින් හොයනවා කෙල්ලෙක්….. ඒ අම්මලා බලන්නේ චාම්, ලස්සන  , ගමේ කමටම හැදුණ මාතලේම නවතින්නත් කැමති කෙනෙක්ලු.. මටත් කියනවා ඉතින් හොයන්න කියලා …”

චාම් , ලස්සන , ගමේ කමට හැදුණ… ඔය කිසිවක් තමාට නැති වග ඕ කල්පනා කලාය. මාතලේ .. එසේනම් ඔහුගේ ගම එහේ ය. එහි නවතින්නට ඉඩක් තමාට නොමැති වග අකලංක හොඳින්ම දැන සිටින්නට ඇත. එහෙත්, ඔහු තමා පටලවාගෙන මේ සියල්ල අවුල් කලේය. නොවූ ප්‍රේමයක් දිගින් දිගටම පෙන්වූයේය.

” හය්ය ගෑණුන්ගේ කොඳු බිඳින එක සමහර පිරිමින්ට තියෙන විනෝදයක් ශයි… උන් දන්නවා ඒක කරන්න තියෙන විදි දෙක.. සමහරු බලෙන්, වදෙන් , ගහලා, බැනලා උත්සාහ කරනවා. උන් එක්ක හැප්පෙන්න පුලුවන් .. හැප්පිලා දිනන්න පුලුවන් ..කොන්ද කැඩුණත් ආයේ හදාගෙන නැගිටින්ම පුලුවන් ….ඒත් සමහරු ඒක කරන්නේ ඉඹලා , ළඟ දැවටිලා, පපුව අස්සට රිංගලා… උන් එක රැයෙන් අතුරුදන් වෙනවා.. එතකොට කැඩෙන්නේ කොඳු නෙවෙයි, පපුව… කුඩු පට්ටම් වෙච්ච පපුවක් තියෙන ගෑනියෙක් කොහොමද ශයි කොන්ද කෙලින් තියාගන්නේ ??”

කලකට පෙර දවස්කා යාලුවෙක් එක්ක සංවාදයක් මතක් වීමෙන් පසු ශයිනි හඬා වැටුනේය. ඇතැම්විට ඔහුට අවැසිවන්නට ඇත්තේ තම ව්‍යපාර බිඳ දැමීමක්ද ? 

මුලදී කුමක් සිදු කලා වුවද,  ඔහු හෝටලයේ වැරදි නිවැරැදි කරගන්නට උදව් කලා නොවේද ? ඒ සියල්ල වෙනුවෙන් මඟ පෙන්වූවා නොවේද ? කලබල දවස් වල තම සන්සුන් කම තනමින් සිටියා නොවේද ?

ශයිනි කලකට පසු  යළි මුහුණුපොත සක්‍රීය කලාය. අකලංක ගේ ගිණුමට පිවිසියාය. 

මැජික්මය ඇස් දෙකක්, ඇස් අග්ගිස්සේ වැටුණු රැලි තුනක් , ඉතා ඝණ ඇහි බැම යුග්මයක් ශයිනිගේ පපු මැද්දෑවේ ඇලවී තිබූ තැනින්  ඉලිප්පුණ වග දැනුණි. ඇය ඉතා අපහසුවෙන් ජංගම දුරකථනය පසෙකට දැමුවාය.

අකලංක අමතක කර දමා ජීවිතයේ ඉදිරියට ආවායැයි තමා රවටාගෙන ඇත්තේ තමාම වන වග ශයිනි අවධාරණය කර ගත්තාය. ඔහු අමතකව ගොස් නොවේ, ඔහු ජීවිතය තුළට රිංගා ගෙනය. මෙතෙක් කල් සැඟවීගෙන ඉඳ ඇත. විටින් විට මතුවෙමින් ඔහු සිටින වග සිහිපත් කිරීම මෙතැකින් ඇරඹෙනු ඇත. 

 පසුදා ඇය වෙහෙසී වැඩ කරන්නට ශයිනි තීරණය කලාය. ඇය කඩා වැටෙන්නේ නැති වග ඇයටම පෙන්වන්නට ඇයට අවශ්‍ය විය.  හෝටලයේ තොරතුරු සොයා බලන්නට ඇමතුමක් ගත්තාය.

 සති වාර්තාව යොමු කරන්නට දැනුම් දුන්නාය. ඉදිරි මාසය වෙනුවෙන් නව සැලසුම් සකස් කිරීමට සාකච්ඡාවක් සැලසුම් කරන්නටද දැනුම් දුන්නාය. අප්පච්චි අමතා ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඇණවුම් වෙනුවෙන් කල යුතු වෙනස්කම් පිළිබඳව ද සාකච්ඡා කලාය.

සවස් වරුවම ගත කලේ කෝපි හළ ගොඩ නඟන්නට සුදුසු ස්ථානයක් සොයන්නටය. එහෙත්, හිතට ගැලපෙන ස්ථානයක් හමුවූයේ නැත. 

සවස නිවසට පැමිණි පසු ඕ මාමා සමඟද ඒ පිළිබඳව සාකච්ඡා කලාය. මාමා පසු දිනයේ ඇය සුදුසු යැයි හැඟෙන ස්ථාන කිහිපයකට කැටුව යන්නට පොරොන්දු විය. 

ශයිනි උත්සාහ කලේම, අකලංක ඉක්මවා යමින් සිටිනවායැයි තමාට අඟවා ගන්නටය. ඕ නෝට් පෑඩය ගෙන ඒ වග ලීවාය. අකලංක ට තම බිඳ වැට්ටවිය නොහැක. 

එහෙත්, සැබැවින්ම ඔහුට අවැසිවූයේ තමා බිඳ දමන්නද යන ප්‍රශ්නාර්ථය සිතෙහි ඉතුරු විය. 

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here