පතිදම්වැල් 38

“පුතා කන්ෆිඩන්ට් නම් ඔයා ගන්න ඕනම තීරණයක් ළඟ අම්මයි මමයි දෙන්නම ඉන්නවා”

තාත්තා කතාව ඇරඹුවේ රාත්‍රී ආහරයෙන් පසුව සුපුරුදු කෝපි පරිච්ජේදය ඇරඹුන පසුවය. කෝපි සුවඳින් සාලය පිරී තිබිද්දී අනුපගේ සිත අන්ත දෙකකට බෙදී සිතුවිලි යාත්‍රාවන් දෙකක් මුහුදුබත් කරමින් උන්නේය. එක් සිතුවිලි යාත්‍රාවක නැගී උන්නේ ෂෝබිතාත් ඇය විසින් සිත තුළ වපුරනු ලැබූ වේදනා අංකුරවලින් උපන් සිතුවිලිය.

අනෙක් සිතුවිලි යාත්‍රාව උශාලි විසින් සිත තුල තබා ගිය මද මුදු සිනහවකින්ද සතුටකින්ද පිරී තිබිණ. දුකටත් සතුටටත් එකම මොහොතක එකට එක්ව ගමනක යා හැකිද යන්න ගැන අනුප දැන හුන්නේ නැත. එහෙත් මේ මොහොතේ තම සිතෙන් එවන් සිතුවිලි ද්විත්වයක්ම නික්මෙන බවක් අනුපට දැනුනි.

“අනේ ඔව් පුතේ ලෝකාපවාදෙන් ගැලවෙන්න කියල ඔයාට තීරණ ගන්න කියල අපි කියන්නෙ නෑ”

තාත්තාගේ කතාවට සම්මාදම් වෙන්නී අම්මාය. ඒ වනාහී තම එකම දරුවා පිළිබඳ හිත ඇතුළතින් හට ගත් ආදරය බව අනුප නොදන්නවා නොවේ. තම සිත තුල ඇවිලෙන ගින්න මෙන්ම ගින්නක් ඔවුන් සිත් තුලද ඇවිලෙන බව අනුපට රහසක් නොවේ. එහෙත් තම සිත් ගිනි නිවාලන්නට පෙරාතුව තම දරුවාගේ සිතෙහි ඇවිලෙන ගින්න නිවාලනු පිණිස ඔවුන් ආදරයේ දියවර එවන බව අනුප දනී.

“ෂෝබිතාට පුතා කතා කරාද මේ ගැන?”

“ඔව්”

“මොකද එයා කියන්නේ?”

“මම එයාට කිව්වා මට එහෙම එයාට ලැජ්ජ කරන උවමනාවක් නෑ. ඒ නිසා එහෙම නොවෙන විදියට මම පුලුවන් තරම් කටයුතු කරන්නම් කියල. එයා එහෙම ලොකු දෙයක් කිව්වෙ නෑ පේපර්වර්ක් කරගෙන එයාට එවන්න කිව්වා”

“මොනව කියන්නද ඉතින් එයාටනෙ උවමනා උනේ දික්කසාදෙ ගන්න”

අම්මාගේ ඒ වචන වල වූයේ බලවත් කලකිරීමකි. ෂෝබිතාව විවාහ කරගෙන මෙ නිවසට කැන්දාගෙන ආ දින සිට අම්ම්මා ෂෝබිතාට කොපමණ ආදරයෙන් සැලකුවාද යන්න අනුපට රහසක් නොවේ. එහෙත් එකී ආදරය හැරදමා යන්නටද අනතුරුව අම්මාට කතා කර විවිධාකාර දේ පවසමින් සිත රිදවන්නටද ෂෝබිතා කටයුතු කලේ ඒ අතීතය අමතක වූ විලසිනි.

“පුතා ෂෝබිතාගේ මව් දෙමව්පියන්ට ඒ ගැන දැනුම් දුන්නද? ෂෝබිතා මම හිතන්නෙ නෑ තමන්ගෙ මව් දෙමව්පියන්ටවත් කතා කරන්න ඇති කියලා”

“මම ඩිවෝස් එක දෙනව කියල ආන්ටිටයි අන්කල්ටයි ඉන්ෆෝම් කරා. එයාලාත් ඉතින් කියන්නෙ ෂොබිතාගෙනෙ වරද, එයා ආයෙ එන්න අදහසක් නැත්තම් ඉතින් අපි බලාගෙන ඉඳල තේරුමකුත් නෑනෙ කියල”

“ඔව් ඉතින් ඒ කතාවත් ඇත්ත. අනික ඉතින් කොච්චර බලාගෙන හිටියත් අපි කොච්චර කතා කරත් මම හිතන්නෙ නෑ ඒ ළමයගෙ තියෙන මුරණ්ඩුකමේ හැටියට ආය තමන්ගෙ ගත්ත තීරණයක් වෙනස් වෙයි කියල.අනික පුතා ඔයා ෂෝබිතාට ඇත්තටම ආදරේ කරානම් එයා යන්න හදන වෙලේ යන්න දෙන්න. අල්ලගෙන ඉඳල තේරුමක් නෑනෙ”

“එහෙම කියන්න එපා, මං කියන්නෙ…”

කුලරත්න මහතා තම කතාව මැදින් පිනූ ආරියලතාව නවතන්නට මෙන් දකුණත ඔසවා බැලුවේය.

“නෝන කියන්න යන කාරණාව මම නොදන්නව නෙවි. ඇත්ත අපි හිතන්න ඕන මිනිස්සු මේ ගැන මොනව හිතාවිද අර පොඩි දරුවට මේකෙන් වෙන බලපෑම මොකද්ද කියල. ඒ උනාට ඒ ගැන හිතල දිගටම අපි වෙන්නෙ නැති දෙයක් ගැන බලාගෙන ඉඳල තේරුමක් නෑනෙ. අපි ස්ටේශමට ගිහින් කෝච්චියට නගින්න බලාගෙන ඉඳල කෝච්චිය නේන බව දැනගෙන අපි එතන දිගටම හිටගෙන ඉන්නෙ නෑනෙ. එක්කො ආපහු එනව එහෙම නැත්තම් අපි වෙන විදිහකට යනවා.

ජීවිතේ ගන්න වෙන තීරණත් සමහර වෙලාවට ඒ වගේ තමයි පුතා. මම කියන්නෙ නෑ මේ වෙච්ච දේ හොඳයි කියල. තමන්ගෙ කසාදගෑණි මෙහෙම කරන එක ඕනම මනුස්සයෙක්ට දුකක් සහ ප්‍රශ්නයක්. ඒත් මම හිතන්නෙ මේ වෙලාවෙ අපි ඔක්කොටම වඩා හිතන්න ඕන දුලන්‍යා ගැන.

මොකද ඒ දරුව පොඩි. මේ වෙලාවෙ එයාගේ ඔලුවට යන දේවල් එක්ක එයා උස්මහත් වෙද්දි සමාජෙ ගැන මිනිස්සු ගැන සම්බන්ධකම් ගැන වැරදි අදහසකට එන්න පුලුවන්. අන්න ඒ වගේ දේවල් නොවෙන්න අපි කටයුතු කරන්න ඕන. අනික පුතා නොඑන කෝච්චියක් වෙනුවෙන් ඔයා අවුරුදු දාහක් බලාගෙන හිටියත් ඒ කෝච්චිය එන්නෙ නෑනෙ. ඒනිසා දැන් අපි මේ ගමන යන්න වෙන විදියක් හොයාගන්න ඕන.

දුලන්‍යාට අම්මා නැති උනාට අපි හැමෝම ඉන්නව. ඒකෙන් ගෑණු ළමයෙක්ගෙ ජීවිතේට අම්මාගෙන් වෙන දේවල් ඉටුවෙන්න ඕන කාරණා නොවෙන්න පුලුවන්. ඒත් අපිට පුලුවන් අපිට පුලුවන් තරමින් ඒ දරුවව හොඳ පාරක එක්කගෙන යන්න

ෂෝබිතා කරපු දේ වැරදි. ඔය වගේ තීරණයක් ගන්න ඕන උනානම් එයාට එක්කො පුතාව නොබැඳ ඉන්න තිබුණා. එහෙම නැත්තම් දරුවො නොහද ඉන්න තිබුන. එහෙමත් නැත්තම් මිට වඩා පිලිවෙලට මේ වැඩ කටයුතු කරගන්න තිබුනා. ඕන තරම් අම්මල දරුවන්ව තාත්තා ලඟ දාලා දික්කසාද වෙනවනෙ. ඒ වගේ සාධාරන, මිනිස්සුන්ගෙන් කතා අහන්න වෙන්නෙ නැති ප්‍රශ්න අඩු පාරක් තෝරගන්න හොඳටම ඉඩ තිබිලත් ඉතින් මේ වගේ දෙයක් කරේ තමන්ගෙ තියෙන මෝඩකමට. ඒත් අපිට ඒ වෙනුවෙන් තව කරන්න දෙයක් නෑ. ඒ ළමය කරගත්ත මෝඩකමෙන් ගලවගන්න කියල අපිටත් ගිහින් ඒ වලට ඇදවැටෙන්න බෑනෙ. ඒ නිසා පුතා හොඳට හිතල තීරණයක් ගත්ත නම් ඒ තීරණේ පිහිටල ඉන්න. අම්මගෙන් හරි මගෙන් හරි යම් උදව්වක් ඕන නම් අපිට ඒ බව දැනුම් දෙන්න. එතකොට අපිට පුලුවන් කරන්න පුලුවන් උදව්වක් පුතා වෙනුවෙන් කරන්න”

වැසි වලාකුලු පිරි අහසක හිරු පායන්නාක් මෙන් අප මුහුණ දෙන දුෂ්කරතා මධ්‍යයයේ අපගේ දෙමව්පියන් අපත් සමග හිඳින අතර ඒ කටු කොහොල් පිරි මාර්ගයේ යන ගමන ආදර මද පවන් එවා සිහිලසින් පුරවන්නට ඔවුන් කටයුතු කරයි. කුණාටු මුහුදක ගොඩබිමකට මග පෙන්වන ප්‍රදීපාගාරයක් මෙන් දෙමව්පියන් ජීවිතය තුළ හිඳිති.

කුලරත්න යුවලත් මේ මොහොතේ කරමින් හුන්නේ දෙමව්පියන් ලෙස තමන්ට කල හැකි විශාලම වගකීම සහ යුතුකමයි. මේ මොහොතේ අනුප උන්නේ විශාල මකුලු දැලක පැටලී එහි වියමන් අතර සිරවීය.

“මම ඩිවෝස් එක දෙන්නම් ෂෝබිතා, ඔයාට එන්න කියලවත් ඔයා එනකම් මම බලාගෙන ඉන්නම් කියලවත් තේරුමක් නැති බව මම දැන් දන්නව සහ මට තේරෙනව. අනික ඔයා ආපහු ආවත් ඔයා වෙනස් වෙලා දුලන්‍යාට ආදරේ කරන අම්මා කෙනෙක් වෙන බවවත් මට පිලිගන්නවත් විශ්වාස කරන්නවත් පුලුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඊට වඩා අපි දෙන්න පාරවල් දෙකක යන එක හොඳයි. ඒක මම හිතන්නෙ ඔයා බලාපොරොත්තු වෙන නිදහසට වගේම දුලන්‍යාගෙ මෙන්ටලිටි එකටත් හොඳයි. අම්මා ගැන ඇහුවොත් එයාට ස්ටේබල් උත්තරයක් දෙන්නත් මට ඒකෙන් ලේසි. මගෙ දරුවට උනත් හිත නොතල ඉන්න බොරු කියන්න මම කැමති නෑ. අම්මා ට්‍රිප් එකක් ගිහින් කියන බොරුව උනත් කියන්න පුලුවන් වගේම දුලන්‍යා වගෙ පොඩි දරුවෙක් උනත් විශ්වාස කරන කාලයක් තියෙනවනෙ.

මම ලෝයර්ට කතා කරා. ඔයාගේ ලොයර්ගෙ ඩීටේල්ස් මට එවන්න. මම කැමති නෑ තවදුරටත් ඔයා එක්ක මේ ගැන ඩිස්කස් කරන්න. මම ඔයාගෙ ලෝයර්ගෙ නම්බර් එක අපේ ලෝයර්ට දෙන්නම්. ඒ දෙන්න කතා කරල ඉතෘ ඇරේන්ජ්මන්ට් රෙඩි කරාවි”

කුලරත්න නිවසේ එවන් කතාබහක් යද්දී ෂෝබිතා උන්නේ හිත ඇතුලාන්තයෙන් යම් කිසි දෙයක් වෙනුවෙන් තැවෙමිනි. ඒ තැවීම කුලගෙය අහිමි වන්නට පියවරක් තැබීමද නොඑසේනම් දුලන්‍යා සහ අනුප අහිමි වීමද යන්න ගැන පැහැදිලි අදහසක් තිබුනේ නැත. එහෙත් දුරකතන්යෙන් අමතා අනුප විසින් “මම ඩිවෝස් එක දෙන්නම්” යැයී කීමත් සමග හිත ඇතුළතින් හටගත් ගිනි පුංජයක් දැන් මධ්‍යම ප්‍රමාණයේ ගිනි දැල්ලක් බවට පත් වී තිබේ. එහි රශ්මිය සහ උණුහුම දරාගන්නට අපහසුය.

“ඉතින් ඩිවෝස් එක ඉල්ලුවෙ ඔයාම නේද?”

දමිත් සමග හෝ බෙදාගන්නට නොහැකි එකී සිතුවිලි දහරාව බෙදාගන්නට ෂෝබිතාට උන්නේ නංගී අම්‍ රිතා පමණකි. කුඩා අවදියේ සිටම අම්මාගේත් තාත්තාගේත් කාර්‍යබහුල ජීවිතය තුල නිවසේදී යමක් කතාකරන්නට හෝ උන්නෙ නංගී නිසාවෙන් ෂෝබිතාත් අම් රිතාත් අතර කුඩා, සියුම් එහෙත් යම් තාක් දුරකට ශක්තිමත් බැඳිමක් විය. තනිව රාත්‍රියේ ආහර ගන්නට වූ විට, සේවිකාව විසින් සකසා දෙන ආහාර පිඟන් වලට බෙදා නෙට්ෆ්ලික්ස් බලමින් ෂෝබිතාත් අම් රිතාත් කාලය ගෙවුවාය. විවාහය සමග එකී බැඳීම කෙමෙන් තුරන් වී ගියද මෝඩකම් කරගත්තද ඒ තමාගේ අක්කාය යන සිතුවිල්ලෙන් මිදෙන්නට හැකියාවක් අම් රිතාට තිබුනේ නැත.

“ඔව්”

“එහෙනම් ඇයි දැන් අනුප අයියා ඩිවෝස් එක දෙන්නම් කිව්වම ඔයා ඒ ගැන එච්චර හිතන්නෙ ඇන්ඩ් වොරි වෙන්නේ?”

“මට හිතෙනව දුලන්‍යාව ඉල්ලන්න?”

“පිස්සුද ඕයි තමුසෙට?”

“ඇයි?”

“ඇයි කියන්නෙ? තමුසෙ වගේ කසාද මිනිහව දාල වෙන මිනිහෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න ගෑණියෙක්ට අනුප අයිය ළමය දෙයි කියල හිතනවද? අනික දමිත් කැමති වෙයිද අනුන්ගෙ ළමයෙක්ව හදාගන්න?”

“දමිත් ඕන නෑ මට දුලන්‍යාව හදාගන්න, මම ආයෙ ජොබ් එකකට යනවා”

ඒ වු කලී සිතන්නට කාලය යෙදිය යුතු වදන් පෙළකි. එහෙත් ඒ සිතුවිලි සියල්ල එක් තප්පරයක් තුල සිතා අහවර කල අක්කාගෙන් අහන්න ප්‍රශ්නයක් අම් රිතාට විය.

“ඔයා එහෙම කිව්වේ, ඔයා ඩිවෝස් එක ගත්තට පස්සෙ සෙට්ල් වෙන විදියක් ගැන දමිත් කතා කරේ නැද්ද?”

ඒ පැනය කොපමණ බරද යන කාරණාව ෂෝබිතාගේ දෑස් ඔස්සේ විහිදෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles