ලැබුණත් නො ලැබුණත් ප්‍රේමයේ නිල අල්වා බලන්නට මිනිසුන්ට වන්නේ ආත්මගත ආශාවකි. ප්‍රේමයේ ස්වර සුසර කොට බලන්නට වන්නේ මරණීය ආශාවකි. ලෝකය බිහි වූ දා පටන් ස්ත්‍රී පුරුෂයන් අතරේ පැවතියා වූ ඒ සහජ තෘෂ්ණාව, පරම්පාර අසීමිත සංඛ්‍යාවක් ඔස්සේ මානව ජාන සංයුතියට කාවැදී, සුවිශේෂ මානව ලක්ෂණයක් වූවා විය යුතු ය. ප්‍රේමය නමින් ජීවත් වන්නට හෝ මියෙන්නට මිනිසුන් පෙළඹෙනුයේ ඒක ය. හිමි වුණත් අහිමි වුණත් ප්‍රේමය කියනා ගින්දරට පැන එහි යම් තරමකට හෝ පිච්චෙන්නට ඔවුන්ට ඕනෑ වන්නේ ඒක ය. ප්‍රේමයේ රළ පහර කිහිපයකට ම හසු වී ජීවිතයත් මරණයත් අතරේ සටනක් කරන්නට ඔවුන් අභීත වන්නේ ඒක ය. වැරදියි කියා ළමා වියේ පටන් දැන ඉගෙන ඇති කාරණා පවා අමතක කොට ඇතැම් විට ඔවුන් වැරදි කරන්නේ හෝ පාපයෙහි ගැලෙන්නේ ඒක ය.
පෙර දා දිය නාත්දී ගලා ගිය කඳුළු කෝ කියා සියපත් ට සිහි වූයේ හෝ නැත. ඒ වෙනුවට ඕ නාන කාමරයට වී තනිව සිනහ වූවා ය. ඒ සිනහව ආත්මයේ ගැඹුරු තැනක උපන්නක් බව දැනුණ ද සිනහ වෙන්නට කාරණා ගැන නො සිතා ඉන්නට යුවතිය ට ඕනෑ විය. ගැහැනියක හඬන්නේත් සිනහ වෙන්නේත් පිරිමියෙකු නිසාවෙන් බව ජීවිතය විසින් සියපත් ට උගන්වමින් සිටියේ ය.
“මේ මාසෙ පඩියත් දාල අපි පාරට වෙන්න කඩයක් ගමු නේ තාත්තෙ”
මාරුවෙන් මාරුවට තාච්චි වලට ආප්ප පිටි වත් කරනා ශාන්ත ළඟට වී බලා සිටිමින්, සියපත් අලුත් සිහිනයකට අඩුම කුඩුම එකතු කළා ය. ශාන්ත ගේ මුහුණේ ගැඹුරු පෙනුම අතරින් සතුටක් රැලිති නැගුවේ ය. නමුත් සුජීවා මේ යෝජනාවට ඒ තරම් කැමති වූයේ නැත.
“පුතාගෙ රස්සාව තව මාස කීයක් තියෙයිද කියල අපි දන්නෑනෙ. ඔය කියන විදිහට මිස්ට සනීප වුණාට පස්සෙ එන්නෙපා කියන්නත් පුළුවන්නෙ. ඒක නිසා මන්නං කියන්නෙ චේන් පටක් වළල්ලක් එහෙම හදා ගන්න එකයි ඔය සල්ලි වලින් කරන්න ඕනෙ. නේද ඒයි…අපිට දවසෙ වියදම නැහිල නැහිල හරි දැන් හොයා ගන්න පුළුවන්නෙ”
“ඒත් මේ මහන්සියටම සෙනග ගැවසෙන පාරක කඩයක් කරන එක වැඩියෙන් ලාබ වෙයිනෙ…නේද තාත්තෙ…එකම තැන ඉන්නවට වඩා අඩියක් ඉස්සරහට තියන්නනෙ ඕනෙ…නේද තාත්තෙ…”
සියපත් ඒ බලාපොරොත්තුව හකුලා ගන්නට සූදානම් වූයේ නැත.
“අනික මට ඒ සර්ල ඔෆිස් එකේහරි ජොබ් එකක් දෙයි. පිළිවෙලට මේකත් කරගන්න පුළුවන්නං…ඒක ලොකු දෙයක්නෙ…තාත්ත දැම්ම කඩ කෑල්ලක් ගැන සෝදිසියෙන් ඉන්න. අනික අම්මෙ…මෙතන ගේ දොරකඩ කට්ටිය ඉඳගෙන ආප්ප කන්නයි තේ බොන්නයි තියා ගත්තහම…ඒක කොච්චර වුණත් අපේ නිදහසට කරදරයක්. නංගිට වුණත් එළියට එන්නත් බෑනෙ. අපිට බැරිම කාලෙ කොහොම හරි ජීවත් වෙන්න එහෙම කළා තමයි. හැබැයි අපි දැන් අර ටක්ගාල ආපහු ඉල්ලන්නෙ නැති විදිහට…ලෝයර් කෙනෙක් ළඟ අත්සන් කරලම අවුරුද්දකට දෙකකටවත් තැනක් ගමු”
සියපත් ට කවදත් තිබුණේ ලොකු ලොකු හීන ය. ඇයට තියෙන්නේ ලොකු හිතක් යයි කියමින් ඥාතීන් අපහාස උපහාස කර ඇති අවස්ථා ඕනෑ තරම් ය. උසස් පෙළට සියපත් ගණිතය විෂය හදාරන්නට ගත්දීත් ඥාතීහු සිනහ වූහ. ඇඟිල්ලේ තරමට ඉදිමියල්ලා යි ඔවුන් ගේ මූණට ම කීහ. විශ්ව විද්‍යාලයට ඇය වරම් නො ලබත්දී ඒ සිනහව වඩාත් ප්‍රබල විය.
“ඒකි හරියට උඩ පැන්න. පොඩ්ඩක් පොත්ත රතු වුණාම හිතං ඉන්නෙ ලෝකෙ අල්ලන්න පුළුවන් කියල”
යයි උනුන් කතා වූහ. ඒ ඇතැම් ඥාතියෙකු ම සුජීවා සමග කතා බහේදී අනෙකා කීවා කියා කේලම කනේ තබන්නී ය.
“ඔහොම ඇවිත් කේලං කිව්වට කට්ටිය එකතු වුණහම අපිට හිනා වෙන හැටි මං නොදන්නවයැ. කෙල්ලො දෙන්නට අපි බඩට නොකා හරි උගන්නන එක උන්ට දරා ගන්න බෑ”
දුප්පත්කම කියනා සයුර තරණය කළ හැකි එක ම යාත්‍රාව අධ්‍යාපනය බව සියපත් දැන සිටියා ය. ඉගෙනීම ගැන විශ්වාසය තබා ඇය උත්සාහයෙන් අධ්‍යාපන කටයුතු වල නිරත ද වූවා ය. නමුත් උසස් පෙළ කියනා කඩ ඉමේදී ඉරණම ඇයත් සමග සෙල්ලමක් කළේ ය. එය එසේ වී ද සියපත් අනාගතයක් ගැන දිගට ම බලාපොරොත්තු තබා ගෙන සිටියා ය.
“බලමුකො. මං හෙමිහිට තැනක් හොයල බලන්නං”
ශාන්ත තීන්දුව දුන්නේ ය. නිහඬ හා අධිෂ්ඨානශීලී මිනිසෙකු වූ ඔහු ද වඩා සුවපහසු වූ ජීවිතයක් ගැන සිහින දකින්නෙකු වූයේ ය. හැම තත්පරයක ම ජීවිතය මත්තේ දහ දුක් වින්දේ වඩා හොඳ හෙට දවසක් වෙනුවෙනි.
ඒ රාත්‍රියේ සියපත් ට නින්ද පමා විය. නො තේරෙන චමත්කාරයකින් හිත පිරී තිබිණි. සුපුන් පමණකුදු නොව ප්‍රේමය විමසූ කිසිදු පිරිමි ළමයෙකු ළඟ සසල නොවූ සිත ගව් ගණනක් උසින් පිපි මලක් වෙත බැඳුණේ කිම දැයි ඇයට තේරෙන්නේ නැත. ඇයට තියෙන්නේ ලොකු හිතක් යනුවෙන් ඥාතීන් කරනා චෝදනා සිහි වී සියපත් සිහිනයෙනුත් සිනහ වූවා ය. සදාතන විවාහපේක්ෂිත තරුණයෙකි. ඔහු ඇයට ලං විය නොහැකි තරම් උසස් පවුලක කෙනෙකි. නමුත් මෙතෙක් හමු වූ පිරිමින් පසු කොට ආවා සේ සදාතන පසු කොට යා නො හැකි බවක් ඇයට දැනේ. කෙළි බඩුවක් ඉල්ලා බිම පෙරළී හඬනා දරුවෙකු සේ ඇය ඔහු ළඟ නැවතී ඇති බවක් දැනේ. අත් පත් කර ගැනීම කෙසේ වතුදු එතැන පසු කොට යා නො හැකි ය. බර්මියුඩා ත්‍රිකෝණයේ දී අතුරදන් වන්නා වූ යාත්‍රාවක් සේ ඇයට ඇය ද අහිමි වී යන්නට පුළුවන. එහෙම අහිමි වී යාමකට වුව හදවත සූදානම් බවක් සියපත් ට දැනේ.
මැදියම් රැය පසු වීත් සදාතන කාමරයේ ඒ මේ අත සක්මන් කරමින් සිටියේ ය. ඔහු මෙතෙක් ජීවිතය ගැන භාරදූර තීරණයක් ගෙන නැති තරම ය. අම්මා අකාලයේ මිය ගිය ද මදිරා දෙවෙනි අම්මෙකු වූයෙන්, ජීවිතය ගැන බරක් හෝ වගකීමක් කිසි දා ඔහු ට දැනී නැත. උපාධිය ලැබීම තෙක් අධ්‍යාපන කටයුතු පහසුවෙන් කර ගෙන යන්නට තරම් කහවණුගොඩ පවුල ආර්ථික වශයෙන් සුරක්ශිත එකක් විය. ගෑනු ළමයෙකුට සිත බැඳීම නිසා පෙම් පළහිලව්වක් ඇති කරගැනීමේ තීරණයක් එදා මෙදා තුර ඔහු අරගෙන ම නැත. තාත්තා ඔහු වෙනුවෙන් මනාලියක ද තේරුවේ ය. ලැජ්ජාව නිසා හෝ ඒ ගැන කිසිදු හැඟීමක් නො දැනීම නිසා පසු බෑව ද මයිකල් ගේ අදහස මත සදාතන කර බා ගෙන වියානා පිළිබඳ යෝජනාව පිළිගත්තේ ය. ඒ අනුව ඔහු වෙනුවෙන් මෙතෙක් සියල්ල කර තිබෙන්නේ පවුලේ අය ය. ඔහු වෙනුවෙන් ඔහු කිසිදු තීරණයක් ගෙන නැත. නමුත් දැන් ඔහු ඉන්නේ එවන් තීරණයක් ගත හැකි නිදහස් මිනිසෙකු ගේ තත්වයේ ද?
“මීට පස්සෙ සර් මාව පික් කරන්නවත් ඩ්‍රොප් කරන්නවත් එන්න එපා සර්… ඩ්‍රයිවර් කෙනෙක් නැති වුණත්..පිටින් බලන අයට ඕන දෙයක් හිතන්න පුළුවන්නෙ. වියානා මිස් වුණත් ඒක වැරදියට දකින්න හිතන්න පුළුවන්නෙ සර්…”
හැන්දෑවේ සියපත් දෙඩූ ඒ වදන් මේ දැනුත් සදාතන ගේ හිතේ පිලිරැව් දේ. ඔහු කෙතරම් අසාධාරණ මිනිසෙකු ද යන සිතිවිල්ල සදාතන තුළ ආත්මීය ලැජ්ජාවක් ඇති කරවයි. සදාතන කහවණුගොඩ කියන්නේ වෙනත් අය විසින් නටවනු ලබන රූකඩයක් සේ දැන් ඔහු ට දැනේ.
“අනේ සියපත්. මං බයේ හිටියෙ ඔයා ආයෙ එන එකක් නැද්ද කියලත්”
උදේ සියපත් ගේ මූණ දුටු ගමන් මදිරා ගේ මූණට සිනහවක් ආවේ ය.
“මං බයේ හිටියෙ සේවයෙන් පහ කළා කියල උදේම මට මෙසේජ් එකක් තියෙයි කියල”
ඔවුන් දෙදෙනා එක් ව හඬ නගා සිනහ වූහ. සියපත් ව කහවණුගොඩ මැදුරට හඳුන්වා දුන් හෙදිය, ලලිතා ගුරුගේ සියපත් දෙස බලා රැව්වා ය. දැන් දැන් සියපත් ගැන ඇය වෙත වන්නේ ඊර්ෂ්‍යාවකි. කලින් ආ කනට වඩා පස්සේ ආ අඟ ලොකු කර ගත් ගෙදර ඇත්තන් ගැන ඇයට වන්නේ නො රිස්සුමකි. සියපත් ගේ ප්‍රවාහනය වෙනුවෙන් කහවණුගොඩ ලා මෝටර් රථයක් පවා වෙන් කළහ. ඒ කිසිදු වරප්‍රසාදයක් ඇයට නොවීම ගැන ලලිතා පසු වන්නේ කේන්තියෙනි. නමුත් සියපත් ඈ කෙරේ ඉතා ගෞරවනීය ය.
“ඕනවට වඩා හයියෙන් හිනා වෙන්න යන්න එපා. ඔයා මදිරා මිස්ට අක්ක කිව්වට ඔයා මේ ගෙදර සේවිකාවක්. අන්න ඒක අමතක කරන්න එපා”
ලලිතා සියපත් ව පසෙකට කැඳවා අවවාද කළා ය. යුවතිය බිම බලා ගෙන ඒ අවවාදය පිළිගත්තා ය. නමුත් සියපත් ගෙන් ඒ දැනගත් මදිරා තවත් හයියෙන් සිනහ වූවා ය.
“මේ ගෙදරට හිනාව අරං ආවෙ ඔයා සියපත්. නැත්තං මේ ගෙදර මිනිස්සු හිටියෙ හිනා වෙන්න අමතක වෙලා වගේ. පොඩි එකා සනාතන විතරක් අපි ඔක්කොමලවම හිනා ගස්සන්න ට්‍රයි කළා. ඒත් ඒකාගෙ විහිළුවකට වුණත් හිනා වෙන්න තරං හයියක් අපි කාටවත් තිබුණෙ නෑ. ඔයා ඕන තරං හිනාවෙන්න සියපත්. එතකොට අපිටත් ජීවත් වෙන්න ඕන කියල දැනෙයි”
“අක්…කෙ”
“අනිත් එක…ඔව් මං අක්ක තමයි. ඔයා මගෙ නංගි. සමහර බැඳීම් එහෙමයි…එක බඩ වැල කඩං ඉපදෙන්නම ඕන නෑ සහෝදරයො වෙන්න. ඔයා කවදාවත් මේ ගෙදර එම්ප්ලෝයී කෙනෙක් කියල හිතන්න එපා. සැලරි එකක් දෙන්න වෙනව තමයි. ඒත් ඔයා මගෙ නංගි තමයි සියපත්. ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන්. ඒ ගැන වද වෙන්න එපා”
සියපත් ගේ පපුව මත මහ කන්දක බර විය. ඔවුන් ඇය ගැන තබා තිබෙන විශ්වාසය රැක ගැනීම කියනා මහා වගකීම ඇය ඉදිරියේ වේ. දැනටමත් රහස් සිතිවිල්ලක් ලෙස හෝ ඒ විශ්වාසය බිඳ වැටී ඇති සෙයක් හැඟී ඇයට ගිනි මැලයක උණුහුම දැනිණ.
දොර විවර වූයේ සදාතන ගේ තට්ටුවත් එක්ක ය. දැන් ඒ තට්ටුව හොඳට ම හඳුනනා සියපත් ගේ හෘත් පේශි වල පෙරළීමක් සිදු විය.
“මෙයාගෙ අයිය දෙන්න කිව්ව”
කියමින් සදාතන මුලින් ම ලිපි ගොනුවක් සියපත් වෙත දිගු කළේ ය. ඔහු ගේ කට කොනක වූ සිනහව අවඥා සහගතයයි සිතී සියපත් ගේ බඩ පපුව දැවිල්ල ගත්තේ ය. ඒ උපාධි පාඨමාලාවක් පිළිබඳ විශ්ව විද්‍යාලයක ලිපි ලේඛන ය. සනාතන එය සදාතන අතට පත් කළේ ඔහුට ඉක්මන් කොට කාර්යාලයට යාමට සිදුව තිබූ බැවිනි.
“එයා අයියනං ඉතිං ඔයත් අයියනෙ”
මදිරා ඇඟට පතට නො දැනී කීවා ය.
“මං ඉතිං සර්නෙ”
නැවතත් අර කට කොනක තැවරුණු සිනහව ය.
“අනේ සියපත් මෙන්න මූටත් අයිය කියන්න”
ඉක්මන් කෙටි සිනහවකින් සියපත් බිම බැලුවා ය. ෆයිල් එක පපුවට තුරුලු කර ගත් වන ඇය සිටියේ තරමක ගැස්මකිනි. ඒ ගැස්ම පිරිමි පියවර හඬක් නිසා මින් පෙර ඇගේ ගැහැනු පපුවට නො දැනුණකි. පිරිමි ඇස් දෙකක් නිසා කලින් ඇති නොවූවකි. ඇය වසා ගෙන ඒ පිරිමි ඇස් යුග්මය එක මොහොතකට පෑයුවේ ප්‍රභාතය මෙනි. ඔහු එසැනෙන් ඒ බැල්ම ඉවතට හරවා ගත්තේ ය.
“ඒ ළමය ඊයෙ හොඳටම බය වුණා”
මදිරා ඒ කළේ චෝදනාවකි.
“බය වෙන්න මං යකෙක්යැ”
සදාතන තරමක් සැහැල්ලු වන්නට විය.
“යකෙක් වගේ නේන්නං ඇඟට කඩං පැන්නෙ”
“අක්ක දන්නවනෙ. මගෙ කෙනෙකුට කරදරයක් වෙයි කියල හිතෙන තැනදි මං එහෙමයි කියල”
මදිරා සදාතන ගේ අත් බාහුවක් අල්වා ගත්තා ය. ඇගේ වත පුරා ආදරය ගැන කතාවක් ලියැවී තිබිණ. ‘දැං ඊයෙ ඔයා කවුරු ගැනද බය වුණේ’ කියා අසන්නට සිතුණද ඇය ඒ සිතිවිල්ලට ඉඩ නොදී සිටියා ය. සාධාරණ බියක් අක්කා වශයෙන් ඇගේ පපුවේ වේ. සනාතන හා සදාතන යනු ඇගේ ඇස් දෙක ය. මල්ලිලා දෙන්නා ම සියපත් විශයේ විශේෂිත හැසිරීමක් පෙන්වතැයි ඇයට සිතේ. සදාතන වෙනුවෙන් වෙන් වූ යුවතියක සිටින බව ද අමතක කළ නො හැකි ය. අනිත් අතට රන් රිදී මුතු මැණික් වලට වැඩියෙන් වටිනා සහෝදරයන් දෙදෙනා ගේ බැඳීම ගැන ඇගේ පපුවේ ගැස්මක් වේ.
“මගෙ කෙනෙකුට කරදරයක් වෙයි කියල හිතෙන තැනදි….”
සියපත් ඒ වචන ටික යළි යළිත් සිහි කළා ය. සදාතන මගෙ කෙනෙකුට යන්න වඩාත් බර කොට කීවේ ය. සුළං මෝලක් සේ ඒ බර සියපත් ගේ හද තුළ කැරකෙන්නට විය.
සදාතන කාමරයෙන් නික්ම ගියේ සිටපත් දෙසට එක ඇස් බැල්මක් හෝ නො හෙළමිනි. නමුත් ඔහු මුළුමනින් තමන් තුළ නතර වී ඉන්නා සෙයක් ඇයට දැනිණ.
💜️සියක් සියපත් ගැන ඔබේ අදහස සලකුණක් ලෙස හෝ ඉතිරි කොට යනු ඇතැයි බලාපොරොත්තු වෙමි.