සියක් සියපත් 16

ඒ සිදු වූයේ කුමක් දැයි සදාතන ට සිතා ගත නො හැකි ය. අහසින් පොළොවට වැටුණා සේ ඔහු කම්පිත ව සිටියේ ය. සිහින උපන් ගෙයි ම මිය ගොස් තිබේ!

අරුණ උදා වන්නට කල්පයක් කල් ඇත්තා සේ සදාතන ට දැනිණ. අඳුර විසින් ආත්මය අතුරු සිදුරු නැතිව වසා ගෙන තිබිණ. ඔහු ට යහන් ගත ව සිටිය නො හැකි විය. කාමරයේ ඒ මේ අත සක්මන් කරත්දී, කන්දක් තරණය කළ වෙහෙස දැනිණ. ආයේ යහනත කඩා වැටෙත්දී අසීමිත ආත්මානුකම්පාවක් ළය හාරා පාරා දැමුවේ ය. ඇස් වලින් කඳුළු ද සිරුරෙන් දහදිය ද ගැළුවේ ය. ආත්මීය අසරණ කමකින් ඒ මුළු රැය පුරා ඔහු දුක් වින්දේ ය. ප්‍රේමය ගැනත් විරහව ගැනත් ඔහු ගේ ප්‍රථම අත්දැකීම එය වූයේ ය. සියපත් ට පෙම් කරන්නේ වෙනත් පිරිමියෙකු වී නම් අහස තරු කුඩුපට්ටම් කොට හෝ ඉරණම වෙනස් කර ගන්නා හැටි සදාතන දනී. නමුත් සනාතන සමගින් තරග කරන්නට හෝ දිනන්නට කිසිත් නැත. සිය ජීවිතය වුව සහෝදරයා නමින් පවරා දිය හැකි එකේ, ඔහු ට දෙන්නට බැරි දිනුමක් සදාතන ට නැත.

එදා උදේ ඔහු ගෙදරින් නික්ම ගියේ මදිරා බලන්නට කාමරයට පවා නො යමිනි. සියපත් ගේ මූණ බලන්නට තරම් දිරියක් ඔහු ට වූයේ නැත. ඇගේ ඇස් වල වන කතාව කියවා ගන්නට තරම් අයිතියක් දැන් ඔහු ට නැත්තේ ය. ප්‍රේමය කියනා විෂයේ දී ඔහු පොළොවට ම සමතලා වී ඇති සෙයක් සදාතන අත්වින්දේ ය.

“සියපත්ට ප්‍රපෝස් කරන්න මං රිං එකක් ගත්ත”

කියමින් දහවල සනාතන සදාතන ගේ කාර්යාල කුටියට කඩා වැදුණේ ය. එය කුඩා දියමන්තියක් ඇල්ලූ සුදු රත්තරන් මුදුවකි. සියපත් ඊට කැමති වන වග සහතික ය. සනාතන ගේ මූණේ බලාපොරොත්තු සහගත සිනහවක් විකසිත වී තිබිණ. සදාතන සොයුරා ගේ උරහිසට තට්ටු කළේ ය.

“කිසිම දේකට ප්‍රමාද වෙන්න නරකයි. ඒක මං ජීවිතෙන් ම ඉගෙන ගත්ත පාඩමක්. ඉක්මනට සියපත්ට මේ ගැන කියන්න”

ඉක්මන් ඇස් පිය සලමින් සදාතන සොයුරා ට ආශීර්වාදාත්මක අවවාදයක් ද දුන්නේ ය. සනාතන නික්ම ගියේ සදාතන ගේ ඇස් වල වූ බොඳ කඳුළු පටලය නො දැක ය.

“සනාතන ඔයාව සතුටෙන් තියයි සියපත්.. වෙන්න ඕන ඒකනෙ”

මන්දස්මිතයකින් සදාතන ඔහු ට ම මුමුණා ගත්තේ ය. නමුත් හද තුළ වූයේ පහසුවෙන් දරා ගත හැකි පීඩනයක් නොවේ. පොඩි කාලේදීත් මල්ලී දෙයක් ඕනේ කීවොත් තමන් සතු වූවක් වුව ඔහු ට දී සනාතන සතුටෙන් තබන්නට දැරූ උත්සාහයන් කිහිපයක් සදාතන ට සිහි වී ය. 

 එදා දිවා ආහාරය සඳහා ඔහු ගෙදර නාවේ ය. රාත්‍රියේ මදිරා බලන්නට පැමිණි ඔහු ගේ ඇස් වල උමතු ශෝකයක් වන බව මදිරා ට දැකිය හැකි විය. ඒ ගැන විමසත්දී සදාතන කීවේ “පොඩි හෙඩ් ඒක් එකක්” ඇති බව ය. 

“අනේ මල්ලා ඉතිං ෆැමිලි ඩොක්ටර් ළඟට යන්නකො. බෙහෙත් ටිකක් ගන්න. බලන්න…ඔයාගෙ ඇස් බොර පාට වෙලා. ඇස් දෙකෙන් පේනව ඇඟ ඇතුළෙ අසනීපයක් තියනව කියල”

මදිරා ඉල්ලා සිටියා ය. සදාතන දඩබ්බර මඳහසක් නගා ගත්තේ ය.

“ඇඟ ඇතුළෙ නෙවේ අක්ක. අසනීපෙ තියෙන්නෙ හිත ඇතුළෙ. ඒක බෙහෙත් වලින් සනීප කරන්න පුළුවන් අසනීපයක් නෙවෙයි. අපි බලමු…සමහර විට කාලයත් එක්ක සුව වෙයි”

එසේ සිතුවා මිස සදාතන ඒ සිතිවිලි වචන වෙන්නට හැරියේ නැත.

පසු දා උදයේත් මදිරා ගේ කාමරයට නොයා ම ඔහු කාර්යාලයට නික්ම ගොස් තිබිණ. සියපත් ට ඇස් කෙවෙනවා වාගේ දැනිණ. දෙදිනක් පුරාවට සදාතන නො දැකීමේ වෙහෙස ඒ ඇස් වල විය. නමුත් ඔහු ගැන මදිරා ගෙන් වුව අහන්නට මගක් වූයේ නැත. 

දෙවෙනි දවසේ දහවල වන විට ඒ උහුලා දරා ගැනීම ක්ෂය වී ගොස් සදාතන ගෙදර පැමිණියේ ය. දරුණු හිසරදයක් ඔහු වෙලා ගෙන තිබිණ. හිස ඔසවා ගන්නට තබා ඇස් දෙක විවර කර ගන්නට වුව බැරිව ඔහු ඔහේ වැතිර සිටියේ ය.

“වයිරල් ෆ්ලූ එකක් වෙන්නැති. බෙහෙත් ටිකක් ගමු”

සනාතන ඇරයුම් කළේ ය.

“තව ටිකක් බලමුකො”

කියමින් සදාතන අදිමදි කළේ ය. රෝගයත් රෝගයට හේතුවත් ඔහු දැන සිටි බැවිනි. එමතු නොව රෝගය නැති කිරීමට කාලය මිස වෙනත් මාර්ගයක් නැති බව ද ඉඳුරා දැන සිටි බැවිනි.

“සදාතනට සනීප නැතුව ගෙදර ඇවිත්. මේ ළමයට මං ඊයෙත් කිව්ව ඩොක්ටර් ළඟට යන්න කියල අහන්නෑනෙ”

මදිරා සියපත් සමගින් එසේ කීවේ රූපවාහිනී විදෙස් නාට්‍ය මාලාවක් නරඹන්නට සූදානම් වෙමිනි. සියපත් හදවතින් තිගැස්සී ගියා ය.

“සදාතන සර්ව දවස් ගාණකින් දැක්කෙත් නැද්ද කොහෙද”

නො සැලකිලිමත් බවක් ආරූඩ කර ගෙන යුවතිය සිය සිතේ වූ ගැටළුව පිටතට දැම්මා ය.

“මේ දවස් වල හැම තැනම වෛරස් උණක් තියනවලු. ඒක හරි අමාරුයිලු”

“ඒකනෙ. බෙහෙත් ටිකක් ගන්නෙපැයි කෝකටත්”

“කෑමට ආවෙත් නෑ ඊයෙ රෑත්”

“කන්න බෑ අක්කෙ ඒකට. මං  අච්චාරු ටිකක් ගිහින් දෙන්නද සර්ට…මටත් උණ හැදිල හිටිය දවසක නංගිට කියල හදෝගත්ත…එහෙම දෙයක් කන්න පුළුවන්”

දවල් කෑමෙන් පස්සේ කොළ ඇපල් හා අන්නාසි කැබලි කපා දමා මිරිස් ගම්මිරිස් කුඩු දමා සියපත් ඒ අච්චාරුව හැදුවේ කොරියානු ටෙලි කතාව බලත්දී කන්නට ය. ‘හා’ කියන්නට මදිරා මඳ වෙලාවක් ගත්තා ය. ඒ වෙලාව කල්පයක් සේ සියපත් ට දැනිණ.

“ඩොක්ටර් ළඟට යන්න කියල මං කිව්ව කියලත් කියන්න සියපත්”

“රූම් එක කොතනද අක්කෙ..”

“ස්ටෙයාකේස් එක ළඟින් දකුණට තියන පැසේජ් එකේ…වම් අත පැත්තෙ රූම් එක”

අච්චාරු ටිකක් සුදු තසිමක දමා ගෙන සියපත් පියගැට පෙළ නැංගේ නො ඉවසිල්ලෙනි. හෝරා ගණනාවක් තිස්සේ සදාතන දැක ගන්නට නො නො හැකි වීම ඇසිත කළඹා තිබිණි ද ඒ වෙනුවෙන් කළ හැකි යමක් වූයේ නැත. එදා වියානා ගැන කතාව කීමෙන් පස්සේ ඔහු ඇයව මගහරිනවා ද කියාත් සියපත් ට නො සිතුණා නොවේ. තමන් ගේ ඉක්මන් කම ගැන ඇය ඇයට ම දොස් කියා ගත්තා ය. සදාතන ලා කියන්නේ වියානා වාගේ උස් අතු වල පිපුණු මල් නෙලන්නට වරම් ඇති කුමරුවන් බව ඇත්ත ය. නමුත් බිම් මලක් වී හෝ ඔහු දෙස බලා ඉන්නට තිබූ අවස්ථාව අහිමි කර ගන්නට තරම් උද්දච්ච වීම ගැන ඇයට දොස් නො නගා සිටිය නො හැකි ය.

සියපත් කාමරයේ දොරකඩ නතර වූවා ය. ඒ තරම් තීව්‍රතාවයකින් මීට පෙර හදවත ගැහුණු වාරයක් ඇයට සිහි කර ගත නො හැකි ය. දහදිය දමා ගෙන එන බවක් දැනිණ. ආපසු හැරී යන්නට නො සිතුණා ම නොවේ. නමුත් ඇය තමන් වෙනුවෙන් දිරි වඩා ගත්තා ය. තව එක ම එක වතාවකට හෝ ඔහු දැක ගත යුතු බව ඇගේ හදවත කෑ ගසා කියමින් තිබිණ.

“සර්…”

පුංචි තට්ටුවක් ද සමගින් ඇය මිමිණුවා ය. ඒ තට්ටුවවත් ඒ මිමිණුමවත් සදාතන ට ඇසිය නො හැකි වෙතැයි සියපත්ට ම සිතිණ. නමුත් ඇගේ උගුරේ ඒ තරම් හයියක් ඒ වෙලාවේ තිබුණේ ද නැත.

සදාතන සිටියේ නින්දක නොවේ. නො නින්දක ද නොවේ. මද මුදු හඬින් සියපත් සර් කියනයුරු ඔහු ට දැනිණ. ඔහු ට පෙනිණ. ඔහු ට ඇසිණ. සදාතන හැඩි දැඩි අශ්වයෙකු සේ ඇඳෙන් පැන්නේ ය. නමුත් ඒ සිහිනමය මායාවී හඬක් යයි ඊළඟ නිමේශයේ ඔහු ට සිතිණ. සියොළඟ ම පණ නැති වී හිස රදය හිස ඔසවා ගෙන ආවේ ය. සදාතන යහන මත හිඳ ගත්තේ ය.

“සර්”

ඒ හඬ නැවත ද ආයෙන් ඔහු වහා නැගිට දොර හැරියේ ය. යුවතිය සිනහ වෙන්න ද නො වෙන්න ද කියා නිරවුල් නැති දෑස් ලොකු කොට බලා ගෙන දොරකඩ වූවා ය.

“ස්..සර්…සනීප නෑ කියල අක්ක කිව්ව. ඊයෙ රෑටත් කෑවෙ නෑ කිව්ව. වයිරල් ෆ්ලූ එකට කන්න බෑ තමයි. මේ අච්චාරු හැදුවෙ අක්කට. මං ටිකක් ගෙනාව. බලන්නකො…සර්ට කන්න පුළුවන් වෙයි. කටේ තිත්ත ගතියට හොඳයි”

සියපත් සිහි එළවා ගෙන කියවා ගෙන ගියා ය. ඇගේ වත දෙස ම බලා ගෙන උන් සදාතන ගේ මූණට සිනහවක් ආවේ ය. යන්තම් හඬ නැගෙන ඒ ක්ෂණික සිනහව සියපත් වසඟ කරයි. නමුත් මේ මොහොතේ සිහියෙන් ඉන්නට ඇයට ඕනෑ විය. 

එක මොහොතකට සදාතන ට සියල්ල අමතක වූයේ ය. ඒ සිනහව නැගුණේ ඒ මොහොතේ ය. කාටත් කලින් මේ හිතුවක්කාර පුංචි කෙල්ලව ළගට ගෙන පපුවට තුරුලු කොට ගැනීමේ තෘෂ්ණාවක් ඔහු වෙළා ගත්තේ ය. නමුත් එසැනෙන් සනාතන සිහියට ආවේ ය. ඔහු වූ කලී නිවුන් සහෝදරයා ය. සනාතන ඇයට පෙම් කරයි. ඔහු ඉක්මන් වී ද තිබේ. ප්‍රේමාරාධනය සඳහා දියමන්ති මුදුවක් මිල දී ගන්නට තරම් ඔහු ඒ විෂයේ ප්‍රවීණ ය. නමුත් සනාතන තවමත් සියපත් ට සිය යෝජනාව කර නොමැති බවට සියපත් ගේ මේ ඇස් දෙක සාක්ෂි දරයි. ඒ ඇස් ඒ තරම් පවිත්‍ර ය. ඒ ඇස් වලින් කියනා කතාව ඇත්ත නම්, ඇය හදවත දරා ගෙන ඉන්නේ සදාතන ව ය. 

සියපත් කාමරය තුළට පියවරක් තබා අච්චාරු තසිම මේසය මත තැබුවා ය.

“බෙහෙත් ගන්න. කොත්තමල්ලි එකක් තම්බල ගෙනත් දෙන්නද…සර් උදේට අක්කව බලන්න ඇවිත් යන්න. එයාට සනීප වෙන්න…ඒකත් හේතුවක්”

ඒ අන්තිම ටික කීවේ සැබවින් ම මදිරා වෙනුවෙන් නොවන බව සියපත් ගේ ගැහැනු හිත දනී. නාසය දැවිල්ල ගෙන, ඇස් දැවී යනු ද හඬ බිඳෙනු ද ඇයට දැනිණ. යුවතිය දෑස් බිමට හරවා ගත්තා ය.

“මං…යන්නං සර්..”

ඉරණම ඒ තරම් අසාධාරණ ඇයි දැයි සදාතන ට දැනී නො දැනී ගියේ ය. සියපත් ඉතා හෙමිහිට අනිත් පස හැරුණා ය.

“නංගි”

ඔහු ට එහෙම කියවිණ. සියපත් ට අමුත්තක් දැනිණ. කවදාවත් නැතිව ඔහු නංගි කීවේ ඇයි? ඇය හැරී බැලුවා ය. නමුත් ඇගේ ඇස් මත බිය මුසු ගැස්මක් මිස එක සිනහ බිඳක් හෝ වූයේ නැත.

“එක්කො…මුකුත් නෑ”

සදාතන දොරකඩින් කාමරය ඇතුළට හැරුණේ ය. ඔහු දොර වසනා තුරුත් සියපත් හැරී බලා ගෙන සිටියා ය. යමක් සිදු වෙමින් පවත්නා බවක් ඇයට දැනේ. වෛරසයකට වඩා වැඩි යමක් ඔහු ගේ හදවතට වද දෙන බවක් ඇයට දැනේ. සියපත් කල්පනාකාරී කෙටි පියවර නගා පිය ගැට පෙළ බසිමින් සිටියා ය. බටහිර ගීත ඛණ්ඩයක් මුමුණමින් සනාතන පියගැට පෙළ වෙත එළඹුණේ සියපත් එහි මැද හරියේ දී ය. ඇය උඩු මහලට ගියේ කුමටද යන පැනය ඔහු ගේ හිතෙහි සරැලි නගන්නට විය. ඔවුන් දෙදෙන ඒ පුළුල් පියගැට පෙළෙහි එක ම පඩියක් මත්තෙහි නතර වී උනුන් ගේ මුහුණු බලා ගත්හ. සියපත් ආයාසයෙන් සිනහවක් නගා ගත්තා ය.

“සදාතන සර් අසනීප නිසා…අක්ක කිව්ව අච්චාරු වගයක් දෙන්න කියල…මං ඒක අරං ගියා…”

ඇය වචන අතරේ නැවතීම් තබමින් එසේ කියා ගත්තේ සනාතන ගේ කුතුහලය දුටු නිසා ම ය.

“ආ…ඔව්. සදාතනව ඩොක්ටර් ළඟට එක්කං යන්න ඕන”

සියපත් යන්තම් හිස වනා පියවරක් පහළට තැබුවා ය. සනාතන “සියපත්” කියමින් ඇගේ ගමන නතර කළේ ය.

“ඔයාට දෙයක් කියන්නමයි හිටියෙ. ඒත් හරියට වෙලාවක් සෙට් වුන්නෑ”

“කියන්නයියෙ”

එය ඒ තරම් උද්‍යෝගීමත් සරක් නොවේ. සනාතන ගේ ඇස් බැල්මේ වෙන කවදාවත් නොදුටු වෙනසක් ඇයට දැනෙන්නට වූ නිසාවෙනි. ඒ වෙනස ඇය දෙගිඩියාවට පත් කොට තිබූ නිසාවෙනි.

“ඒත්…මෙහෙම කියන එකනං හරිත් නෑ වගේ”

“කමන්නෑ. කියන්න”

සනාතන සිය කලිසම් සාක්කුවට අත දමා ඒ කුඩා මංජුසාව අතට ගත්තේ ය. සියපත් ගේ නළල ඉසියුම් රැල්ලක් නැගී ඇස් කුඩා විය.

“මං ඔයාව මැරි කරන්න කැමතියි. මේක ජෝක් එකක් නෙවේ සියපත්”

“අයි…යෙ…මොනාද මේ කියන්නෙ…”

කුඩා මංජුසාව විවර කොට එහි වන දියමන්ති මුදුව පෙනෙන සේ සනාතන එය සියපත් වෙත පෑවේ ය.

“මේ විදිහට නැතුව…ඔයාව පර්සනලි මීට් වෙන්න විදිහක් නැති නිසයි මෙහෙම ප්‍රපෝස් කළේ..ඇත්තටම…මං සදාතනටත් මේ ගැන කිව්ව. අපේ ගෙදරින් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ සියපත්. ඔයාගෙ කැමැත්ත විතරයි ඕනෙ”

“අයි…යෙ…ඔයා මොනාද මේ කියන්නෙ…”

සනාතන සිය දඟකාර සිනහව නගා ගත්තේ ය. නමුත් සියපත් ගේ ඇස් මත වූයේ අපේක්ෂා භංගත්වයකි.

“මං කිව්වනෙ ජෝක් එකක් නෙවේ කියල..ම්..මේක ගන්න”

සියපත් ගේ අතක් ගෙන සනාතන එය එහි තැබීමේ උත්සාහයක් ගත්තේ ය. නමුත් සියපත් ඊට ඉඩ දුන්නා නොවේ.

“මට මේක ගන්න බෑ අයියෙ. මට ඔයා ගැන කවදාවත් එහෙම හිතන්නත් බෑ. අයියෙක් නැති මං ඔයා ගැන හිතුවෙ මගෙම අයිය වගේ. මදිරා අක්කත් මට මගෙම අක්ක වගේ. සොරි අයියෙ. මට මේක කවදාවත්ම ගන්න බෑ”

එපමණක් කී සියපත් පියගැට පෙළ දිගේ පහළට දිව යන්නට වූවා ය. ඇය මදිරා ගේ කාමරයට ඇතුළු වූයේ හොල්මනක් දැක බිය වූ තැනැත්තියක සේ ය.

💜️සියක් සියපත් ගැන ඔබේ සිතැඟි දැන ගන්නට කැමැත්තෙන් සිටිමි.

💜️නිබ්බුත ගීත, ප්‍රේම ගාථා හා අහස තරු සහ කළුවර යන මගේ අලුත් නවකතා, 0788376053 යන අංකයට වට්සැප් පණිවිඩයක් තැබීමෙන් වට්ටම් සහිතව ඔබේ ලිපිනයට ගෙන්වා ගත හැක.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles